Jul 26, 2016

පාද යාත්‍රාව - එදා මහින්ද, අද රනිල් සහ මෛත්‍රී


විවිධ රටවල දේශපාලන ඉතිහාසය තුල නැවත නැවතත් සිදුවන නරක පෙරනිමිති (Bad Omens) ඇත. ලංකාවේද මේ නරක පෙරනිමිති සම්බන්ධයෙන් දෛවය පිළිබඳ විශ්වාස නොකරන දේශපාලඥයන් පවා දැඩි බියකින් කටයුතු කරන අයුරු අනේක වාරයක් දැක ඇත. පාද යාත්‍රා හෙවත් මහජන පෙළපාලි සම්බන්ධයෙන් විශේෂ පෙරනිමිත්තක් ලංකාවේ දේශපාලන ඉතිහාසය පරිශීලනය කිරීමේදී සොයාගත හැකිවේ.

ඒකාබද්ධ විපක්ෂය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙරටුකරගෙන ඓතිහාසික මහනුවර සිට කොළඹ දක්වා “පාද යාත්‍රාවක්“ සංවිධානය කිරීමට මේ දිනවල කටයුතු කරමින් සිටින අතර දහසකුත් එකක් ප්‍රශ්න බල්ලාට දමා රටේ ජනමාධ්‍ය මෙන්ම දේශපාලඥයින්ද ආන්ඩු,විපක්ෂ භේදයකින් තොරව කියවන්නේ පාද යාත්‍රාව පිළිබඳවය. වර්තමාන ආන්ඩුවේ පිළිවෙත හෙළා දැකීම සමස්ත පෙළපාලියේ අරමුණවන අතර වැඩි පිරිසක් කොළඹට ගෙන්වාගෙන ආන්ඩුවට දැනෙන්නට යමක් කිරීම මහින්ද ප්‍රමුඛ පිරිසේ අරමුණ බව පැහැදිලිය. මෙය කොතෙක් දුරට යථාර්තයක් වේද යන්න පිළිබඳ නිවැරදි පුරෝකථනයක් සිදුකිරීමට නොහැකිය. කෙසේ වුවත් එය ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම මහින්ද රාජපක්ෂ නැමැති දේශපාලන චරිතයේ අනාගතය තීන්දු කරන “ජැක්-පොට්“ එකක් බවට පත්වෙන බවනම් ස්ථීරය.


1992 මහින්ද රාජපක්ෂ කතරගම සිට කොළඹට ආ පාද යාත්‍රාව සංවිධානය කරන්නේ ප්‍රේමදාස ආන්ඩුවට මෙන්ම ශ්‍රී.ල.නි.ප යේ චන්ද්‍රිකා ඔසවාගෙන දැඟලූ පාර්ශවයන් වට්ටවන්නටය. පාද යාත්‍රාව එවකට පිිරිහෙමින් තිබුණු ප්‍රේමදාසගේ මර්දනකාරී ආන්ඩුව ගෙදර යැවීමේ තීරණාත්මක ලක්ෂයක් වූ බව සැබෑය. එහෙත් මහින්ද-අනුර ශ්‍රී.ල.නි.ප යේ ප්‍රධාන බලවේගය වශයෙන් ඊළග රාජ්‍ය නායකත්වයට පැමිණෙනවා වෙනුවට චන්ද්‍රිකා බලයට පැමිණීම සිදුවන්නේ 1994දීය. ඒ නිසා 1988 පත්වූ ප්‍රේමදාස ආන්ඩුව සහ වසර 15ක් පැරණි එජාප ආන්ඩුවට එරෙහිව එදා පාද යාත්‍රාවේ මහින්දගේ භූමිකාව ඉතා ප්‍රබලවිය. එහෙත් එදා පාද යාත්‍රාවට අතදිග හැර වියදම් කරන්නට හෝ බස්වලින් සෙනග අද්දන්නට මහින්දට සිදු නොවීය. එහෙත් සීසර්ගේ රෝමය ලෙසින් උපමා කල එ.ජා.ප ආන්ඩුව බලා සිටියදී කඩා වැටෙන්නට විය. එ.ජා.ප ය සීසීකඩ විසිරීයෑම,රාජ්‍ය නායකයා ඝාතනයවීම, එ.ජා.පයේ ප්‍රබල චරිත ගණනාවක් ජීවිතක්ෂයට පත්වීම  සිදුවිය.

2001 දී එ.ජා.ප ආන්ඩුව කරන්නේද එවැනිම කටයුත්තකි. 94 චන්ද්‍රිකා ආන්ඩුව 2001 වනවිට අවුල් වියවුල් නිසා අන්තයට පිරිහෙමින් පැවති අතර 2000දි නැවත පත්වන චන්ද්‍රිකා දීර්ඝකාලීන බලයකට දතකමින් සිටියදී එ.ජා.ප ය “ජන බල මෙහෙයුම“ නමින් තවත් පාද යාත්‍රාවක් කොළඹට කැඳවන්නේ පොදු පෙරමුණු ආන්ඩුවට විරෝධය දක්වමින්ය. එසේම පිරිහෙමින් යන රනිල් වික්‍රමසිංහගේ බලය එ.ජා.පය තුල ස්ථාවර කරගැනීමද එහි තවත් අරමුණක් විය. 92 පාද යාත්‍රාවට ප්‍රේමදාස කිසිඳු බාධාවක් නොකල නමුත් චන්ද්‍රිකා ආන්ඩුව එ.ජා.ප යේ ජනබල මෙහෙයුමට බාධා කරමින් සහ එහිදී ඇතිවූ කලබලකාරී තත්ත්වය හමුවේ පොලීසිය කල වෙඩි තැබීමක් නිසා කොළඹදී මංජුල ප්‍රසාද් සහ අචින්ත ගුණරත්න යන තරුණයන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වීමත් සමග එ.ජා.පයේ ජන බල මෙහෙයුම සාර්ථකත්වයට පත්වෙන්නේ රජය ජනතාව ඉදිරියේ දැඩි පිළිකුල්සහගත තත්ත්වයට පත්වෙමින්ය. 2001දී පොදු පෙරමුණු ආන්ඩුව බිඳ වැටෙන්නට මේ ජන බල මෙහෙයුම ගාමක බලවේගයක්වූ බවට සැක නැත.

92 පාද යාත්‍රාව සිදුකල මහින්ද අද විපක්ෂයේද, අරමුණ නැවත බලය අත්කර ගැනීමය. 92 දී ආන්ඩුවේ සිටි සහ 2001 විපක්ෂයේ සිට ජනබල මෙහෙයුම සිදුකල රනිල් අද ආන්ඩුවේය, 92 පාද යාත්‍රාවේදී විපක්ෂයේ සහ 2001 ජන බල මෙහෙයුම අවස්ථාවේ ආන්ඩුවේ සිටි මෛත්‍රීපාල සිරිසේන අද ජනපතිවරයාය. මහින්ද,රනිල් මෙන්ම මෛත්‍රීපාලද එවැනි පාද යාත්‍රාවල ප්‍රතිඵල හොඳාකාරයෙන්ම දන්නා පුද්ගලයන් නිසාවෙන් එවැන්නක් රට තුල ඇතිවෙද්දී ආන්ඩුවේ පටි තදකර ගැනීම නුවණට හුරුබව අවබෝධ කරගෙන ඇති ආකාරය හොඳින් පෙනේනනට ඇත. යහපාලන ආන්ඩුවට තවම වසර එකහාමාරක් පමණක් වුවද එය සැලකිය යුතු මට්ටමේ පිරිහීමකට ලක්ව ඇතිබව සත්‍යය. 92 එ.ජා.ප රජය හෝ 2001 පොදු පෙරමුණු රජය තරම් නැතිවුවද යහපාලන ආන්ඩුවේ පිරිහීම සංසන්දනාත්මකව බැලිය යුත්තේ ලබාදුන් දවල් හීන පොරොන්දුවලින් මුසපත්වුනු ජනතාව සිහිනයෙන් අවදිවෙද්දී දැනෙන ත්‍රාසය සහ කෝපය නිසාවෙන් ඇතිව තිබෙන තත්ත්වයක් ලෙසින්ය. ඒ නිසාවෙන් 92දී ප්‍රේමදාස තරම් හෝ 2001දී චන්ද්‍රිකා තරමට නැතත් යහපාලන ආන්ඩුවේ රනිල්-මෛත්‍රී සුසංයෝගය විපක්ෂයේ පාද යාත්‍රාව නිසා යම්තාක් දුරට සෙලවී ඇතිබව පෙනෙන්නට ඇත. 

මොන බාධකය ආවත් ආන්ඩුව අවුරුදු 5ක් යනතුරු සොලවන්නට බැරි බව කියන්නට රනිල්-මෛත්‍රී ඇතුළු ආන්ඩුවේ නඩයට සිදුව ඇත්තේ if someone proves too much,proves nothing යන ලතින් යෙදුම සිහියට නංවමින්ය. ලපටි දත් ටික කාලයකින් හෙල්ලෙන බව සැබෑය. පාද යාත්‍රාව නිසා ආන්ඩුව යන්තම් සෙලවී ඇත්තේ කලින් සඳහන් කල දේශපාලනයේ නරක පෙරනිමිති නිසා බවත් පිළිගත යුතුය.

9 comments:

  1. EDA EHEMA WUNATH ADA EHEMA WENNE NEHE

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ඒකත් පෙර නිමිත්තක් තමයි

      Delete
  2. රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ දෙපලම දැන් නික්ම යන්නට කාලේ හරි... කෙතෙක් අඩුපාඩු තිබුනත් ඊලග කන්ඩායමකට දෙන්න වෙනවා නේ...

    දෙන්නාගේම අලුත් අදහස් අලුත්වැඩපිලිවෙලක් නෑ.. හුදෙක් ජනප්‍රිය තර්ක කිහිපයක් පමණයි හුවමාරු වෙන්නේ..වියපත් බව නිසාමදෝ ආරක්ෂනවාදී පිලිවෙතක් මිස ඉදිරිගාමී ප්‍රහාරක වැඩපිලිවෙලකට යන් නෑ දෙපැත්තම..

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒකේ ඇත්තක් තියනවා. අමිල සහෝදරයගේ ගමේ මනුස්සයා නිසා මහින්ද රාජපක්ෂ ගැන ඒ දරණ අදහසත්,රනිල් වික්‍රමසිංහ ගැන දරණ අදහසත් පිළිගන්නවා. දෙන්නම ඉන්නේ විසිවෙනි සියවසේ දේශපාලන මතවාද එක්ක. මෛත්‍රීපාල සිරිසේනට එහෙම එකක්වත් නැතිවීම අඩුවක්. විසිල් මාතෘකාවලට එහා ගිහින් දූරදර්ශී දෙවන පෙළක අවශ්‍යතාව දැඩිව තිබෙනවා

      Delete
  3. මහින්ද එදා පාද යාත්‍රාවෙන් කරපු ටික මේ වතාවේ නම් කර ගන්න වෙන එකක් නැති වෙයි. තවත් එක දේශපාලන විහිළුවක් වීමේ බොහෝ ඉඩක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එදා මහින්ද සහ මහින්දගේ වටපිටාව අද වෙනකොට පැහැදිලිවම නැහැ. මිනිස්සුන්ට ආන්ඩුව ගැන කළකිරීමක් තිබුනට විකල්පය මහින්ද නෙවෙයි. මහින්ද ඒක තේරුම් අරගෙන නැහැ දිනේෂයා

      Delete
  4. මහින්ද කියන්නේ අවලංගු කාසියක්... වෙන රටක නම් වෙන දේ මම පෝස්ට් එකකින් ලිව්වා... එහෙම අවලංගු කාසියකට වටිනාකමක් ලැබෙන්නේ ආන්ඩුව අතිශය දුර්වල ආන්ඩුවක් නිසා...

    ReplyDelete
    Replies
    1. මහින්දගේ අවලංගුභාවය නැවත වලංගු තත්ත්වයකට නොඑන්න පුළුවන්. ඒත් ඔබ කිව්වා වගේ ආන්ඩුවේ අඥාන පියවර නිසා මහින්දගේ ප්‍රයත්නය සාර්ථක වෙන බවක් පේන්න තිබෙනවා. අපේ භාෂාවෙන් කියනවනම් “කබ්බෝ ෆෝම් කරනවා“

      Delete
  5. මුන් ඔක්කෝම එලවන්න ඕන කිව්වට නූගත් බහුතර ජනතාවත් එක්ක මේ ප්‍රධාන පක්ශ දෙකේ කුම්භාන්ඩයෝ එලවනන් බෑ . . ලබන සැරේක වත් කරන්න ඕන හොඳම දේ මැදි මතදාරියෝ එකතු වෙලාවත් ජෙප්පන්ව මේ කුම්භාන්ඩයන්ගේ ආන්ඩු කන්ට්‍රෝල් කරන රිමෝට් එක වෙන විදිහට උන්ට පොඩි වැඩි බලයක් අරන් දෙන එක.

    ReplyDelete