Apr 5, 2017

නතරවිය යුත්තේ රසායනික අවි ප්‍රහාර පමණක්ම ද?


දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කුරිරු යුද්ධයකින් බැටකෑ අපිට යුද්ධයක ඇති බිහිසුණුබව අමුතුවෙන් කියා දිය යුතු නැත. සීතල බටහිරට නොදැනෙන යුධ වේදනාවන් අප අනන්තවත් විඳ ඇත. වසර ගණනාවක් තිස්සේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් එකම රටේ එකම භූමියක ඉපදුණු මිනිසුන් දෙපැත්තකට වී මරා ගණිමින් මිනී කඳු ගොඩගැසූ යුගයක් අපදැන් පසුකර සිටින්නෙමු. ත්‍රස්තවාදය අවසන් කර ඇත, එහෙත් එකිනෙකා මරාගන්නා එක තවමත් නතර කර නැත.

සිරියාවේ දේශසීමාවක යුද ගැටමු පවතින ප්‍රදේශකයට එල්ලවුණු රසායනික අවි ප්‍රහාරයක් නිසා යුදමය තත්ත්වයට එළඹී සිටින කැරලිකරුවන්, සාමාන්‍ය ජනතාව,කුඩා දරුවන්, සහන සේවා නිලධාරීන් ඇතුළු 72ක් ඝාතනයට ලක්ව ඇති බව වාර්තාවේ. මෙය ලෝක ඉතිහාසයේ රසායනික අවි ප්‍රහාර එල්ලවූ මුල්ම අවස්ථාව නොවේ. එහෙත් මෙය අවසන් අවස්ථාව කරගැනීමේ හැකියාව මේ ලෝකයේ බල සංතුලනයට හැකියාව ඇත.


මෙම රසායනික අවි ප්‍රහාර චෝදනාව එල්ලවන්නේ සිරියානු නායකයා නියොජනය කරන පාර්ශවයට වන අතර එහි තිරය පිටුපස දායකත්වය සම්බන්ධයෙන් රුසියාවට චෝදනාව එල්ලවේ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාවල සඳහන්වෙන්නේ හය හතර නොතේරෙන කුඩා දරුවන් අදාල රසායනික ප්‍රහාරයෙන් පසු මුඛයෙන් සෙම දමමින් ඒ මේ අත උමතුවෙන් මෙන් දිව ගොස් වැටී මිය ගිය බවයි. මේ මිහිතලය මත එසේ විය යුතුද?

මේ ආකාරයෙන් ප්‍රහාර එල්ලකරගෙන ගෙන අත්කරගන්න බිමක් මත කොතරම් කාලයක් අපිට ජීවත්විය හැකිද? සදාකාලිකවම..කිසිසේත්ම නැත මිනිසාගේ ආයුකාලයේ උපරිම සාමාන්‍ය අවුරුදු 83.7 කි. ඒ කෙටිකාලය වෙනුවෙන් මෙසේ එකිනෙකා මරාගත යුතුද යන්න සිතාබැලිය යුතුය. 

රසායනික ප්‍රහාරයන්ට එරෙහිව මානව හිමිකම් සංවිධාන රෙදි කෝට් උස්සාගෙන කෑ ගැසුවාට රසායනික ප්‍රහාර සඳහා හේතුවෙන ගැටුම් පැටි අවධියේදීම මුලින් උපුටාදමන්නට ඒ ඒ රටවලට සහය දෙන්නේ නැත. හැකිතරම් උත්සහ කරන්නේ ප්‍රශ්න අවුල්කර බොරදියේ මාළු බාමින් ජාත්‍යන්තර දේශපාලනයේ තමන්ගේ පංගුව වැඩිකරගැනීමට මිස පොදු මහජනයාගේ සුභසිද්ධිය වෙනුවෙන් තමන්ගේ “ගෝලීය ඇජෙන්ඩාව“ හෙවත් “ගෝලීය දේශපාලන හා සමාජ න්‍යායපත්‍රය“ හකුලාගන්නට කිසිඳු බලවත් රටක් හේ සංවිධානයක් කටයුතු කරන්නේ නැත. එයටම නොදෙවෙනිව අනෙක් රටවල්ද මේ එකිනෙකා මරාගැනිල්ල නතරවන තැනට වැඩ කරන්නේ නැත.

ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්, ශාතෘවරුන් සාමයේ අගය පිළිබඳ සදාතනික සත්‍යයන් ලොවට පවසා තිබියදීත් තවමත් මේ ගැටුම් අවසන් නැත. මේ ගැටුම්වල මූලය වන්නේ පෙර සඳහන් කල ගෝලීය ඇජෙන්ඩාවයි. ලොව සියළුම දේශපාලනික සිදුවීම්වලට බලපාන්නේ ඒ ඇජෙන්ඩාවේ එක් එක් ක්‍රියාකාරකම්ය. එම ක්‍රියාකාරකම්වල කෙටි කාලීන සහ දිගුකාලීන අරමුණු පවතින අතර ඒවායේ අවසන් බලපෑම අපේක්ෂාවෙන් ලොව දේශපාලන බලවතුන් පොරපිටියට එළඹ ඇත. 

දෙවන ලෝක යුද්ධයෙන් පසු සාමාජික රටවල් 51ක මැදිහත්වීමෙන් බිහිවූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණ වූයේ එවන් ගැටුම් යලිත් ඇති නොවන්නට කටයුතු කිරීමය. වර්තමනාය වන විට ලෝක යුද්ධ සිදුවන්නේ එළිපිට නොවේය, ඒ අරගල සිදුවන්නේ දේශපාලනික ක්‍රියාන්විතයන් හරහාය. ඒ නිසා පතොරම්,උණ්ඩ,බෝම්බ ලෝකයට පෙනෙන්නේ නැත. නමුත් ලෝක යුද්ධයකට වඩා හානිකර දේ තවමත් සිදුවෙමින් ඇත. ඒ නිසා එක්සත් ජාතීන්ගේ අරමුණ වසර 72 කට පසුව වත් ඉටුවී ඇත්ද යන්න සිතාබැලිය යුතුය.

මේ සියලු බලඅරගලයන් නිසා දුක්විඳින්නේ සාමාන්‍ය ජනතාව මිස සුර සැප විඳින සුපිරි පන්තියේ ව්‍යාපාරිකයන් හෝ දේශපාලන බලවතුන් නොවේය. රසායනික සහ වෙනත් ප්‍රහාරවලින් බුරුතු පිටින් මිය යන්නේ බඩ පිට පොත්තේ ඇලුණු දුප්පත් මිනිසුන් මිස මහා ධනකුවේරයන් නොවේය. ඒ නිසා මේ යුද මානසිකත්වය මුලින් තුරන්විය යුත්තේ සාමාන්‍ය ජනතාව අතරින්ය. “ගැටීම වෙනුවට වෙලීමේ“ ප්‍රතිපත්තියට ලොව හුරුවූ තැනකදී රසායනික අවි පමණක් නොව බොහෝ ප්‍රහාරයන් නතරවනු ඇත.

ඡායාරූප - The Economics Web

No comments:

Post a Comment