Jun 3, 2017

සුසන්තිකාලා සහ දයාසිරිලා


සුසන්තිකා ජයසිංහ යනු මෙරට මලල ක්‍රීඩාව ලද සුපිරිතම සම්මානය බවට හැඳින්වූවාට කිසිඳු වරදක් නැත. හද්දා පිටිසර ගමකින්, කොස් දෙල් කා ක්‍රීඩාවට පිවිසි සුසන්තිකා අපේ මතකයේ රැඳී ඇති සමයේ ලෝකයම හෙල්ලූවේ ශ්‍රී ලංකාව නම් පුංචි දිවයිනේ හයිය 2000 සිඩ්නි ඔලිම්පික් උළෙල අවස්ථාවේ මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා දෙමින්ය. එකල සුසන්තිකා “ආසියාවේ කළු වෙළඹ“ ලෙස හැඳින්වූයේ ඇය ලංකාවට පමණක් නොව ආසියාවටම ආභරණයක් වූ නිසාවෙන්ය. 2007 අවුරුද්ද වන විට ඇය ඔලිම්පික් රිදී පදක්කමක් (මේරියන් ජෝන්ස්ට රන් පදක්කම අහිමිවූ නිසා), ලෝක මළල ක්‍රීඩා ශූරතා තරඟ වෙනුවෙන් එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්, ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් එක් රන් පදක්කමක්,රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක්, ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 6ක් සහ රිදී පදක්කමක් සමගින් ජයග්‍රහණ ගණනාවක් ලංකා ධජය ඉදිරියේ තබා ඇත. සුසන්තිකා තරම් ලංකාවට මලල ක්‍රීඩාවෙන් ජයග්‍රහන ගෙනා ආ කිසිවෙක් නොමැති. එසේම ක්‍රිකට් වලින් පමණක් ජාත්‍යනතරය දිනා සිටි ලංකාව මලල ක්‍රීඩාවේ නමින් ලෝකය පුරා සන්නිවේදනය වන්නේ සුසන්තිකා, දමයන්ති දර්ශා, ශ්‍රීයාණි කුලවංශ,සුගත් තිලකරත්න වැන්නවුන් නිසාය.


එහෙව් සුසන්තිකා පසුගිය සතියේ කියා සිටියේ තමන්ගේ ජීවිතයේ මහාර්ඝ වස්තුවක් වන ඔලිම්පික් රිදී පදක්කම ප්‍රසිද්ධියේ වෙන්දේසි කරන බවත්, එසේ සිදුකරන්නේ තමන්ට ජීවත්වීම සඳහා ආර්ථික හයියක් ලබාගැනීමට බවත්ය. සුසන්තිකා සම්බන්ධයෙන් විවිධ විවේචන තිබිය හැකිය, ඇයගේ පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් දවස පුරා අනුන්ගේ කුණු රසකරමින් බුදිනා ඇත්තන්ට බරපතල විවේචන තිබිය හැකිය. එහෙත් අප මේ කතාකරන්නේ සුසන්තිකා නම් සම්මානනීය මලල ක්‍රීඩිකාව පිළිබඳවය. කුමක්දෝ ඉරණමේ වරදකට සුසන්තිකාගේම වචනයෙන් කිවහොත් අද අන්ත අසරණව සිටිමින් පදක්කම පවා විකුණන්නට සිදුව ඇත. අද ලංකාවේ ක්‍රීඩාවට සිදුව ඇති අභාග්‍යසම්පන්න ඉරණම හමුවේ සුසන්තිකාලාට එසේ කරන්නට වීමද පුදුමයක් නැත. ක්‍රීඩාවේ අවස්ථාවන් විකුණාකමින් රැකෙන අමාත්‍යංශයක්, ආයතන ගණනාවක් සහ සංගම් තොගයක් ඇරෙන්නට අපිට ක්‍රීඩාවෙන් ලැබී ඇති කෙංගෙඩියක් නැත. එහෙව් වාතාවරණයක සුසන්තිකාලාට මෙවැනි ඉරණමක් අත්වීම ගැන පුදුමයක් නැත.

අද 41 වැනි වියේ පසුවන සුසන්තිකාට පසුගිය 2016 අගෝස්තු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් මලල ක්‍රීඩා උපදේශ තරනතුරක් ලැබීම සහ ඇය ඒ වෙනුවෙන් ක්‍රියා කල ආකාරයත් සම්බන්ධයෙන් යම් අවබෝධයක් අපට ඇත. එහෙත් අද ඇය පවසන ආකාරයට ක්‍රීඩා අමාත්‍යවරයා ඇයගේ තනතුර සහ දීමනාව අහෝසිකරන තත්ත්වයක පත්ව ඇත්තේ ඇයිද යන්න ගැටළුවකි. මහජනතාවගේ සල්ලි වලින් ඇමතිකම් කරමින් සුරසැප විඳින ගමන් ඉඳහිට රූපවාහිනී නාලිකාවක සිංදුවක් කියා චූන් එකක් දෙන දයාසිරි සහ ඔලිම්පික් පදක්කම්ලාභී මෙන්ම අදටත මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්පතක් විය හැකි සුසන්තිකා එකම තරාදියක දෙපැත්තක දැමුවහොත් සිහිබුද්ධියක් ඇති ඕනෑම අයෙක්ට සුසන්තිකාගේ සැබෑ වටිනාකම දැනගත හැකිය. එහෙව් සුසන්තිකාගෙන් ලංකාවේ මලල ක්‍රීඩාවට නිසි ප්‍රයෝජනයක් නොගෙන හමස් පෙට්ටියට දැමීමට තරම් ලංකාවේ ක්‍රීඩා බලධාරීන් කටයුතු කරනවානම් ඉදිරියටත් අපේ ක්‍රීඩාවට අබ සරණය.

ලංකාව ආසන්න වර්ෂ ගණනාවකදීම ජාත්‍යන්තර තලයේ කිසිඳු සැලකිය යුතු ජයක් ලබාගත නොහැකි තත්ත්වයට ක්‍රීඩාවෙන් පල්ලම් බැස ඇත. නමුත් කිසිඳු සංචාරයක්, පුහුණුවක්, වරප්‍රසාදයක් අතනොහරින හරක්බානක් බඳු නිලධාරී මණ්ඩලයක් නම් අප සතුව ඇත. එහෙව් හරක් බානකගෙන් ලද හැකි කාර්යක්ෂම සහ සඵලදායී ප්‍රතිඵලයක් නොමැත. ක්‍රිකට් ක්‍රීඩාව පල්ලම් බැස ඇති අයුරු පෙනෙන්නේ බංගලාදේශයද අප ඉක්මවා යද්දීය. බංගලාදේශයේ සාර්ථකත්වයේ නියමුවා වන්නේ ලංකාවේ ක්‍රීඩා බලධාරීන් තඹ සතයකට නොගෙන පැත්තකට දැමූ චන්දික හතුරුසිංහය. ඕස්ට්‍රේලියාව කෙටි පුහුණු සංචිතවලට පවා මුරලි කැඳවා අස්ප ගණන් ගෙවද්දී අපේ ක්‍රීඩා ලොක්කන්ට තමන් සට්ටැම්ඹිකම් කරන ගෝතයන් ඊට වඩා වටින නිසා මුරලලිලා, හතුරුලා පැත්තකට දමා සට්ටැම්ඹියන්ගේ යෝජනාවන්ට ඉඩදීමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ ක්‍රිකට් තරඟ යද්දි ටී.වී ඕෆ් කරනා තරමටම ක්‍රීඩා ලෝලීන්ට ක්‍රිකට් එපාවී ඇත. රාජපක්ෂ පාලනයේ ක්‍රීඩා ඇමතිලා සහ යහපාලනයේ ක්‍රීඩා ඇමතිලා දෙගොල්ලන්ම එකම ගෝතකරුමයන්ම බැවින් අපේ ක්‍රීඩාව වලපල්ලට යනවා හැරෙන්නට වෙනත් කිසිවක් සිදුවන්නේ නැත. ආශ්චර්යයක් සිදුවී ගොඩගියොත් හැරෙන්නට අපේ ක්‍රීඩාව ගැන කතා කර පලක් නැත.

සුසන්තිකාට අද සිදුවන දේ සංගක්කාරලාට, මහේලලාට සිදුවූ  බව හොඳින් පැහැදිලිය. ජයසූරියට දේශපාලනයේ පිහිට තිබූ නිසා තවමත් තැනක් ඉතිරිය. සුසන්තිකාලා දේශපාලනයේ සිට යහපාලනයට මාරුවුණු සිස්ටම් එක එතරම් හොඳ නැති නිසා අද සරණක් නැත. දැන් ලංකාවේ දේශපාලනය හරියටම දකුණු ඉන්දියාවේ දේශපාලනය වගේමය, ක්‍රීඩාවත් යන්නේ එතනටමය. දකුණු ඉන්දියාවේ කබඩි මොඩලයට ලංකාවේ ක්‍රීඩාව යන දවස වැඩි ඈතක නොවේය. ඒ නිසා සුසන්තිකාලා දයාසිරිලා යනු මේ ජරාජීර්ණ ක්‍රීඩා පරිපාලනයේ උස් පහත් ඉත්තන් දෙදෙනෙක් පමණි. එහෙත් ඒ ඉත්තන් අනුව මේ රටේ ක්‍රීඩාවේ හෙට දවස ගැනනම් ඕනෑම ගොනෙක්ට උපකල්පනය කල හැකිය.


6 comments:

  1. සුසන්තිකා ජයසිංහ හිතන් ඉන්නේ එයාගේ ඔලිම්පික් පදක්කමට රටක් විදියට අපි එයාට ණයගැතිය් කියලාය.. දිවි ඇති තෙක් ආණ්ඩුවෙන් එයාට අති සුකෝපභෝගී ජීවිතයකට මුදල් ජාතික අයවැයෙන් වෙන් කල යුතුය් කියාය...
    හරියට බැලුවොත් සුසන්තිකා විතරක් නෙවෙය් මේ රටේ බොහොමයක් ක්‍රීඩකයන් සහ කලාකරුවන් හිතන් ඉන්නේ ඔය විදියටය.
    අණ්ඩුවෙන් සලකන්නේ නැති නිසා තමන් ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන බව සුසන්තිකා කියන්නේ මේ නිසාය.

    රජය දැනටමත් ඇයට දීමනාවක් ගෙවන බව කවරුත් දන්නා දෙයකි...ඔය පදක්කම් වෙන්දේසි අඳෝනාව පටන් ගන්නේ එය රුපියල් 80,000 සිට 60,000 දක්වා අඩු උන එකටය.

    ඒ ක්‍රීඩා අමාත්යන්ශයේ උපදේශක වශයෙන් කටයුතු කරනවාටය.
    ඔය්ට අමතරව සුසන්තිකා ජතික මලල ක්‍රීඩා කමිටුවේත් තව ලෝකෙ නැති ක්‍රීඩා සංගම් හා කමිටු වල සාමජිකාවක් බව හැමෝම දන්නා දෙයකි.

    ඕවට ගිහින් දීපු උපදේශ සහ කරපු ක්‍රීඩා සංවරධනය ගැන අපි අහන්න යන්නේ නැත (වත්මන් මලල ක්‍රීඩාව ඇද වැටී අති තත්වය බැලූ කල එය හොඳින්ම පෙනේ)


    ඊට අමතරව පසු ගිය මහින්ද (රජ) සමයේ රාජපක්ෂ වරුන්ට රෙදි නැතුව කඩේ ගොස් මදි නොකියන්න වරදාන ලබා ගත්ත හැටි අපට නම් අමතක නැත.
    මේ අකාරයට ආණ්ඩුව සුසන්තිකාලට වියදම් කරන්නේ ජනතාවගේ මුදල්ය.
    හරි නම් අපි සුසන්තිකා පදක්කමක් ගත්තාට ඇයට ණයගැති විය යුතු නැත. ඒ වෙනුවට මේ රටේ ජනතාවට හ රටට සුසන්තිකා ණයගැති විය යුතුය.

    කෑගල්ල අත්නාවල ගමේ උන් ඇයව ජාත්යන්තරය දක්වා ඔසවා ගෙන ඇතැන්ස් ඔලිම්පික් පදක්කම නම් වූ ඓතිහාසික මොහොත දක්වා රැගෙන ගියේ මේ රටේ බදු ගෙවන ජනතාවය්...
    පුද්ගලික දක්ෂතා තිබූ පමනින් ඇය ගිය ගමන යන්නට නොහැක.

    එදා ඇයගේ පුහුණු වීම්, පෝෂණය, නේවාසික පහසුකම්, වෛද්ය පහසුකම්, විදේශ පුහුණුවීම් හා සංචාර සඳහා බරපැන දැරුවේ රජයය්.
    ඔලිම්පික් පදක්කම දිනූ සමයේ ඇයට අලුත්ම ජීප් රථයක් සහ ලක්ෂ 50 ක මුදලක් රජයෙන් පිරිනැමුනි.
    මම නැවතත් මතක් කරන්නේ මේ සියල්ල අහිංසක ලාංකිකය්න් ගේ බදු මුදල් බවය...

    කෙටියෙනම කියතොත් අද සුසන්තිකා අත්විඳින සුඛවිහරණ සියල්ල අත්විඳින්නේ රජයටත් ජනතාවටත් පින්සිදු වන්නටය.

    දැන් එයා මාධ්ය ඉස්සරහ හොටු පෙර පෙර අඬන්නේ ජීවත් වෙන්න විදියක් නෑ කියලාය. පදක්කම විකුණන්නේ පවුලට කන්න දෙන්නලු. ආණ්ඩුව එයා ගැන බලන්නේ නෑලු..

    මට මේ කතාව දැක්ක ගමන් අවංකවම හිතුන දෙය නම්, අනේ යකෝ මුනුත් ක්‍රීඩිකාවොද කියාය...
    ක්‍රීඩාවේ හරය ඩිංගිත්තක් තරම් දන්නා කිසිවෙකුගන් මෙවැනි පකාශයක් බලාපොරොත්තු විය නොහැක.
    අඩුම තරමේ ඉස්කෝලෙක ජිල් බෝල ටීම් එකක ඉඳපු එව්වොන්ටත් ඔය්ට වඩා ක්‍රීඩාව සහ එය්න් ජීවිතයට එකතු කරන හරය සහ වටිනාකම් ගැන අවබෝධයක් තියෙනවාය.
    ක්‍රීඩාවෙන් කියා දෙන්නේ ජීවිතයේ තම අරමුණ වෙනුවෙන් බාධක හමුවේ නොනැවතී ධෛර්යයෙන් ඉදිරියට යාමටය. මාධ්ය ඉදිරියේ තම පුද්ගලික ජීවිතය සම්බන්දයෙන් නාහෙන් අඬමින් විවිධ පාර්ශව වලට ඇඟිල්ල දගු කිරීම ජාත්යන්තර ක්‍රීඩිකාවකට කිසිසේත් නොවටී...

    ක්‍රීඩාව අමතක කරමු. මෙවැනි කතාවක් අවුරුදු 42 ක් වූ පරිණත වගකීමක් ඇති කාන්තාවක ගෙන් ඔබට බලාපොරොත්තු විය හැකිද?
    මගේ නම් අදහස ඔය ගෙවන රුපියල් 60,000 ත් රජයෙන් නවත්තන්න ඕනය.

    ඔලිම්පික් පදක්කම බැරිනම් ඕන බඩමාලුවක් විකුණගෙන කාපුවාවේ... අපිට පාන්ද !

    මම කඩෙන් ගන්න සීනි පන්සීයට සහ කරවල දෙසිය පනහට ගහන බදු වලින් කොහේවත් ඉන්න සුසන්තිකාල නලවන්නට මට නම් කැසිල්ලක් ඇත්තේම නැත !!!

    ReplyDelete
    Replies
    1. දැන් මෙතන පැහැදිලිවම කියලා තියනවනේ. මෙතනදි සුසන්තිකා සර්ව සාධාරණයි හෝ සුසන්තිකාට ඉල්ලන සියල්ල දිය යුතුයි කියලා කියන්නේ නෑ. හැබැයි මේ මහජනතාවගේ සල්ලි ගැන තර්කකරන ඔබතුමා ඇයි දයාසිරිලා සුරසැප විඳින මහජන සල්ලි ගැන කතාකරන්නේ. දයාසිරිලා මොනවද ලංකාවට කරලා තියෙන්නේ, දයාසිරිලා මොනවද ලංකාවේ නම ලෝකයේ තැනක තියන්න කරලා තියෙන්නේ. අඩුම තරමේ දයාසිරිි ක්‍රීඩා ඇමතිවරයා වුනාට පස්සේ ලංකාවේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අවුරුදු දෙකක් ඇතුලත කරලා තියන විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් දෙයක් කියන්න. මෙතන තියෙන්නේ සුසන්තිකා වැරදියි කියන නිරපේක්ෂ තර්කය නෙවෙයි, සාපේක්ෂව සුසන්තිකා මේ වරප්‍රසාදයක් ඉල්ලන එක වැරදිනම් දයාසිරි ඇතුලුව ක්‍රීඩා අමාත්‍යංශයේ බලධාරී නඩය විඳින වරප්‍රසාද සම්පූර්ණයෙන්ම වැරදියි.

      //මම කඩෙන් ගන්න සීනි පන්සීයට සහ කරවල දෙසිය පනහට ගහන බදු වලින් කොහේවත් ඉන්න සුසන්තිකාල නලවන්නට මට නම් කැසිල්ලක් ඇත්තේම නැත !!!//

      ඒක ඇත්ත අපිත් කැමති නෑ...සුසන්තිකාලා නලවන්න විතරක් නෙවෙයි දයාසිරිලත් නලවන්න කැසිල්ලක් නෑ කිව්වනම් තමයි ඔබතුමාගේ තර්කය සාධාරණ වෙන්නේ. නැත්නම් හුදෙක් ඔබ කරලා තියන ප්‍රකාශන් වෛරීය ප්‍රකාශයක් විතරයි

      Delete
  2. http://www.ada.lk/article/248177/%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F-%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1-%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F

    ReplyDelete
  3. This is sad story, however this is also a common story. She should be given a pension, why only politicos getting all benefits by public money?

    Few weeks ago there was a story about how Australian athletes (some Olympic Gold winners)not supported by the government.

    ReplyDelete
    Replies
    1. of course.. I heard the relevant news, governments are always same and they treat only the parties that they want.

      Delete