Aug 15, 2017

නයි දපනේ දාන මුගටි බැල්ම - ආත්මීය සටහන් 03


මීට කලින් ලියපු ආත්මීය සටහන කියවන්න නම් මෙතැනින් අවස්ථාව තියනවා. කොහොමහරි මීට අවුරුදු ගාණකට කලින් හා හා පුරා කියලා මුල්ම රස්සාව කරන්න තෝරගන්න සිද්ධවුනේ රාජ්‍ය නොවන සංවිධානයක. නැත්නම් එන්.ජී.ඕ එකක. ඒ කාලේ ලංකාවේ එන්.ජී.ඕ වලට එච්චර හොඳ කාලයක් නොවුනත් ප්‍රාදේශීය එන්.ජී.ඕ එකක ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක වැඩබාරගන්න ඉන්ටර්වීව් එක එක පැත්තකින් එච්චර අමාරුවුනේ නෑ, අනිත් පැත්තෙන් එච්චර ලේසි වුනෙත් නෑ. මොකද ඉන්ටර්වීව් එකට වාඩිවුණ අදාල රාජ්‍ය නොවන සංවිධානේ අධ්‍යක්ෂක තැන මට කිව්වේ අත්බෝම්බයක් අරගෙන අතේ පුපුරගන්න හිතෙන කතාවක්.

"පුතා මේක කාන්තාවන් සවිබලගැන්වීමේ ව්‍යාපෘතියක්..මේකේ ඔයා අයදුම්කරපු තනතුර නිර්දේශකරලා තියෙන්නෙත් ගෑණු කෙනෙක්ට..ඔයා හිතනවද ඔයාට කාන්තාවන්ගේ හැඟීම් තේරුම් අරගෙන මේ ජොබ් එක හොඳට කරන්න පුළුවන් කියලා."


මේ කියපු කතාවට එක පැත්තකින් මම කියන්න ඕන මොනවද කියලා මතක් වුනෙත් නෑ, අනිත් පැත්තෙන් හිතට තරහත් එක්ක. පිරිමියෙක් කියන්නේ ගෑණියෙක් තේරුම්ගන්න බැරි අමුතු සත්තු ජාතියක් කියලා හිතන මිනිස්සු එන්.ජී.ඕ වල අධ්‍යක්ෂක තනතුරු දරනවද කියලත් හිතුනා (හැබැයි පස්සේ ඒ අදහස වෙනස් කරගත්තා) තරහටම මම වචන ගොන්නකින් අධ්‍යක්ෂක තුමාට දමලා ගැහුවා.

"මිසටර් කොනී.. මම මේ ලෝකෙට බිහිවුනේ අම්මා කෙනෙක්ගේ බඩෙන්..මට අක්කලා ඉන්නවා..මම ගෑණු ළමයෙක් (මෙය ළමයි ලෙස වෙනස් විය යුතුය) එක්ක ආදරේ කරලත් තියනවා..එහෙව් මට කාන්තාවන් තේරුම්ගන්න බෑ කියලා මම හිතන්නේ නෑ..ඇරත් වැඩිහරියක්ම ගෑණුන්ව තේරුම්ගන්නේ නැත්තේ ගෑණුම තමයි මම දන්න විදිහට.."

ඒ කතාවට අධ්‍යක්ෂකතුමාගේ ඇස්දෙක උඩගියා. මම එච්චර සැරට කතාකරයි කියලා හිතුවේ නෑ මම හිතන්නේ. කොහොම වුනත් රස්සාවේ අදහස අතෑරලා ඉන්ටර්වීව් එක ඉවරවෙලා ගෙදර ආපු මට ඊට පස්සේ දවසෙම ඒ ආයතනෙන් කෝල් එකක් ආවේ ඊට පස්සේ දවසෙම ඇවිත් වැඩ බාරගන්න කියලා. ඔහොම ආරම්භවුන අදාල ආයතනයේ මගේ රාජකාරී ජීවිතය අවුරුදු එකහමාරක් පුරාවට ඇදිලා ගියා.

කිලෝමීටර පනහක හැටක රවුමක් දවස් දෙකකට සැරයක් බයික් එකකින් ගම්පුරා ඇවිදින ගමන් එන්.ජී.ඕ වල පට්ටල් වෙලා ඇම්ඩන්ලා වුණ යටත් සේවකයන් පිරිසක් එක්ක වැඩකරනවා කියන එක හරියට මන්නාරමේ මුහුද හාරලා තෙල් ගන්නවා වගේ වැඩක්. කොහොමවුනත් පලවෙනි රස්සාව ඒ තරමටම අත්දැකීම් බහුල එකක් වෙන්න ඇත්තෙත් ඒ ඇම්ඩන් නෝනා මහත්තුරු නිසාම තමයි. ඒ හැමදේටම වඩා සුන්දර වගේම අසුන්දර අත්දැකීම් ගොඩක් එකතුවුනේ ගම් මට්ටමේ තිබුණ ප්‍රජා සංවිධානවල කාන්තාවෝ බුරුතු පිටින් එකතුවෙලා කරන රැස්වීම්,වැඩසටහන්, පුහුනුවලට සහභාගීවෙන එක නැත්නම් ඒවා සංවිධානය කරන එකෙන්.

ගොඩක් වෙලාවට මගේ රාජකාරී ප්‍රදේශ වුනේ සුනාමියට අහුවෙලා නැවත සංවර්ධනය කරපු ගම්පළාත්. ඒ පළාත්වල ජීවත්වුනේ වැඩිපුරම ධීවර ප්‍රජාව නැත්නම් කොහු ලණු, සුළු ආර්ථික භෝග වගාකරපු මිනිස්සු. බරපතලම ප්‍රශ්නය වුනේ මේ පළාත්වල ජීවත්වෙන කෙල්ලන්ගේ කටවල්. ඒවා එසේ මෙසේ කටවල් නෙවෙයි පූරුවේ ආත්ම ගණනාවක් තිස්සේ නොකඩවාම ශබ්ද විකාශන යන්ත්‍ර සහ බෙරකට්ටල පූජා කිරීමේ ආනිසංස බලයෙන් ලද්දාවූ රියල් ලවුඩ්ස්පීකර්. ඒ වගේම කියන්න තියන දේවල් බෙල්ලෙන් අල්ලලා පොලවේ ගැහුවා වගේ කියන කටවල්. ඔහොම කටක් නිසා දවසක් විලිලැජ්ජා හිතෙන වැඩක් සිද්ධවුනා.

කලින් කියපු වගේ ධීවර ප්‍රජාව ජීවත්වෙන ගමක විවිධ වයස්වල කාන්තාවෝ විස්සකට තිහකට විතර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ ගෘහ ආර්ථිකය වගේ තේමා කීපයක් යටතේ පුංචි පුහුණ වැඩසටහනක් කරමින් හිටියා. පුරුද්දකට වගේ මේ හැම වැඩසටහනක් අතරෙම ඒ එන කාන්තාවෝ එක්ක බොහොම විහිලුවෙන් තහළුවෙන් ගතකරන්න පුරුදුවෙලා හිටියා. ඒකට හේතුව වුනේ එකක් කොලුකම, අනිත් එක රස්සාව ඒකාකාරී වෙන එකේ තියන පීඩනය සහ කළකිරීම් වලක්වාගන්න එක්ක. ඔය කියපු පුහුණුවට අවුරුදු විස්ස විසිපහේ ගෑණු ළමයි දහයක් විතරත් ඇවිත් හිටියා. එකතැන රොත්ත පිටින් වාඩි වෙලා හැම එකටම කිචි කිචියේ හිනාවෙන ගමන් එකිනෙකාට ඇඟිල්ලෙන් ඇණගෙන පුහුණුව කරගෙන ගියපු මට වාතයක් වෙලා හිටපු කෙල්ලෝ ටික පුහුණුව ඉවරවෙලා ඔෆීස් එකට එන්න මම මගේ බෑග් එක සකස් කරගනිද්දි මගේ ලඟට ආවා. 

"සර්..ගොඩක් හොඳයි කියලා දීපු ඒවා..හිකි හිකි...ස්.."

අන්තිමට හිකි හිකියත් එක්ක කිව්වත් මම බොහොම නිහතමානී විදිහට තැන්ක්ස් කියලා කිව්වා. කොහොමත් මේ වගේ ක්ෂේත්‍රයේ රස්සාවකට යන්න කලින්ම තරුණ කොල්ලන්ට එන්.ජී.ඕ මැනේජර්ස්ලා දෙන උපදෙස තමයි ෆීල්ඩ් එකේදි ගෑණු ළමයි එක්ක අතේ දුරින් වැඩ කරන්න කියන එක. මම ඒක අකුරටම ක්‍රියාත්මක කලා.

කොහොමහරි තෑන්ක්ස් කියලත් මේ කෙල්ලෝ ටික යන පාටක් නෑ. ආයෙමත් අර කලින් කතා කරපු කෙල්ලම මට කතා කලා.

"සර්..සර්ට නම් තියෙන්නේ මරු බැල්මක්...නයි දපනේ දාන නියම මුගටි බැල්මක්..හිකි හිකි හිකිස්.."

ඒ කියපු කතාවට එතන හිටපු කෙල්ලෝ සේරම මාව විලිලැජ්ජාවට පත්කරමින් කොක්හඬ දාලා හිනාවෙන්න ගත්තා. කව්ද කියන්නේ මේ සමාජයේ වාචික හිංසනයට ලක්වෙන්නේ ගෑණු ළමයි විතරයි කියලා. මම වගේ අහිංසක කොල්ලෙක් ගෑණු ළමයි රොත්තක් ඉදිරිපිට ඒ වගේ වාචික හිංසනයට ලක්වෙද්දි මාව ගලවගන්න කිසිම පුරුෂ අයිතීන් සුරැකීමේ සංවිධානයක් ඉදිරිපත් වුනේ නෑ.

ඔන්න ඔය වගේ සිද්ධි ගණනාවක් තියනවා රාජකාරී ජීවිතේ. විශේෂයෙන්ම රාජ්‍ය නොවන ක්ෂේත්‍රයේ. අදටත් ඒ වැඩකරපු පළාත්වල ලවුඩ්ස්පීකර් පූජාකරපු ගෑණු ළමයි මග තොටදි මුණගැහෙනවා. ඇඳන් ඉන්න කලිසමේ ගෞරවේ ආරක්ෂා කරන්න ඕන නිසා ඒ වගේ වෙලාවට හිනාවකින් ෂේප් වෙලා යන ගමන මම යනවා.

(ජනා 2017.08.15)



No comments:

Post a Comment