Dec 9, 2017

සක්මන් යාගය - 5 වැනි කොටස


පසුගිය කොටස් සියල්ල මෙතැනින්

“මොකද ගනේගොඩ මහත්තයා..මොකක්ද ප්‍රශ්නේ?“

උත්තරයක් නොදී ජංගම දුරකතනෙත් අතේ තියාගෙන ගල්ගැහිලා බිරාන්ත වෙලා ඉන්න ගනේගොඩ මහත්තයාගෙන් නාරද සහෝදරයා ඇහුවා. පියල් සහෝදරයත් ඒ දිහා බලාගෙන හිටියේ ඒ ප්‍රශ්නාර්ථය එක්කමයි. 

“ටෙක්නිකල් හන්දියේ බෝම්බයක් පිපිරිලා..ආරක්ෂක ඇමතිතුමා එතනම මැරිලා..“

නාරදගේ නළල රැළිගැන්වුනේ තත්පරයෙන්. මොකද ඔහු ඒ වගේ ආරංචියක් කිසිසේත්ම මේ වගේ මොහොතක බලාපොරොත්තුවුනේ නැති නිසා වෙන්න ඇති. ඒත් එක්කම තමන්ට අහන්න වුණු අනපේක්ෂිත ප්‍රවෘත්තිය නිසා මොහොතකට වාරු නැතිව ගිය ගනේගොඩ මහත්තයා පුටුවේ වාඩිවෙලා හිටියා.

“මම දවසකුත් ගනේගොඩ මහත්තයට කිව්වනේ..ආන්ඩුව ඔය උතුරේ ප්‍රශ්නේ හත්පොලේ ගා ගන්නවා කියලා..දකුණේ ප්‍රශ්නවලට උත්තර දෙන විදිහට උතුරේ ප්‍රශ්නවලට උත්තර හොයන්න ගියානේ..“

නාදර එහෙම කියලා ගනේගොඩ මහත්තයාගේ පුටුව ලඟින් වාඩිවුණා. ගනේගොඩ මහත්තයා ගතින් හිටියේ පාදුක්ක සීමාවේ වුණාට හිතින් හිටියේ මරදාන ටෙක්නිකල් හන්දියේ සුන්බුන් අතරේ, තැනින් තැන වැටිලා තියන අත්කෑලි, කකුල් කෑලී, මස් වැදලි මැද්දේ. 


මීට හරියටම දවස් තුනකට කලින් පාර්ලිමේන්තුවේ තිබුණ රැස්වීමක් ඉවරවෙලා කැන්ටින් එකේ තමන් තේ එකක් බොමින් හිටිද්දි ලඟට ඇවිත් බොහොම මිත්‍රශීලීව තමන්ගේ උරහිසට අත තියලා දරුවෝ දෙන්නා ගැන අහපු ආරක්ෂක ඇමතිතුමාගේ මූණ ගනේගොඩ මහත්තයාගේ ඇස් ඉදිරිපිට මැවිලා පේන්න ගත්තා. නොදැනිම ඒ එක්කම ඇස්දෙකට කඳුළකුත් ආවා.

“සූසයිඩ් බ්ලාස්ට් එකක්..ඇමතිතුමා දෙමටගොඩ රැස්වීමකට ගිහින් එද්දි..“

ගනේගොඩ මහත්තයා එහෙම කිව්වම නාරද ඒක ටිකක් බරපතල විදිහට බාරගත්තා.

“ඔය පටන්ගැන්ම විතරයි. තව තව බොහෝ දේවල් සිද්ධවෙනවා කියන එකට එක සංඥාවක් විතරයි ඕක..අපිට තියෙන්නේ ආණ්ඩුව එක්ක භාවිතාමය ගැටළුවක්, ඒත් උතුරේ කොටින්ට තියෙන්නේ ඊට වෙනස් ප්‍රශ්නයක්..“

“ඒක එහෙම වෙන්න පුළුවන් නාරද..ඒත් මේකෙන් වෙන්නේ කොටින්ට දික්කරන තුවක්කුවම ආන්ඩුව උඹලා අපි දිහාවටත් දික්කරන්න පටන්ගන්න එකයි..“

ඒ කතාව ඇහුනම නාරද ඒකට ප්‍රතිචාරයක් විදිහට කටපැත්තකින් හීන් හිනාවකින් සංග්‍රහ කලා.

“ඒකට කරන්න තියෙන්නේ ඊට කලින් අපි ආන්ඩුව දිහාට තුවක්කුව දික්කරන එකයි ගනේගොඩ මහත්තයෝ..“

                                                  * * * * *

ඒ දවසින් ආරම්භවුණු සතිය කොළඹ වගේම තදාසන්න නගරවලටත් එතරම් හොඳ කාලයක් වුණේ නෑ. ආරක්ෂක හමුදා වගේම පොලීසියත් රංචු පිටින් තමන්ගේ ක්‍රියාන්විත කරන්න අගනගරය තෝරගෙන තිබීම ඒකට හේතුවක්.

හැම මුරපොලකම දැඩි පරික්ෂා කිරීම් සිද්ධවුණා. හැම දෙමළ මනුස්සයෙක්ට විතරක් නෙවෙයි දෙමළ පෙනුම තිබුණ සිංහල මිනිස්සුන්ට පවා මේ මුරපොලවල්වල වැඩියෙන් කාලය ගතකරන්න සිද්ධවුණා. දකුණේ විමුක්ති ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය ගැන තිබුණ රස්නය එකපාරටම අඩුවෙලා ගිහින් උතුරේ වනාන්තර මැද්දේ රහස් කඳවුරුවල හැදෙන, එහෙම හැදිල කාගේ හරි බඩගෙඩියකට උඩින් බැඳගෙන ඇවිත් කොළඹදි පිපිරෙන බෝම්බ භීතිකාවෙන් මුළු රටම වෙලිලා හිටියා.

“නිත්‍යා..මොකද තනියම..කෝ ප්‍රශංසා..“

මේ හැම කලබලයක් අස්සෙ වුනත් හොටලේ රාජකාරී කටයුතු ඉවරවෙලා බෝඩිමට යන්න එන වෙලාවේ ලේක් හවුස් එක ඉස්සරහදි මිත්‍රට නිත්‍යා මුණගැහුණා. වෙනද නැති සුදුමැලි පෙනුමක් ඒ පැහැපත් මූණ පුරාවට ඇඳිලා තිබුණා කියලා මිත්‍ර ඉක්මණට තේරුම්ගත්තා.

“ප්‍රශී ගෙදර ගියා මිත්‍ර..අම්මට ටිකක් අසනීපයි..“

“අම්මට මොනවා වෙලාද එයාගේ?“

“කොන්දේ කැක්කුමක් කියලා මම හිතන්නේ..අැරත් ටික දවසකින් ගමේ යන්නත් බැරිවුණ නිසා ගියේ..“

එහෙම කියලා නිත්‍යා ලොකු හුස්මක් ගත්තා. කෙල්ලගේ හිතේ මොකක්දෝ බරක් දඟලනවා කියලා මිත්‍රට තේරුණා.

“මොකද දරුවෝ මූණ කළුවෙලා..“

“මම කොහොමත් කළුයිනේ..“

නිත්‍යා හැඟීම් ටික හංඟගෙන හිනාවක් මූණට නගාගන්න උත්සහයක් ගත්තා. කොහොමත් ඒකට ටිකක් විතර නිත්‍යා දක්ෂයි කියලා මිත්‍ර දැනගත්තා.

“කළුනම් තමයි..ඒත් දැකුම්කළුයිනේ..ඒ වුණාට මේ වෙලාවෙනම් වෙන අවුලක් තියනවා..“

කෙල්ල ආයෙත් ලොකු හුස්මක් ගත්තා. මිත්‍ර නිත්‍යා එක්ක ඇවිදගෙන බස් හෝල්ට් එක ලඟට ආවා.

“හැම තැනම චෙක් කරනවා..මාවත් චෙක් කලා අද දවසට තුන් පාරක්ම..අයි.ඩී එක පෙන්නුවම ප්‍රශ්න දාහක් අහනවා.. මට නම් එපා වෙලා..“

ප්‍රශංසා පත්වෙලා තියන අපහසුතාවය මිත්‍රට අරුමයක් වුණේ නෑ. මොකද උදේ පාන්දර බස් එකට නැගපු වෙලාවේ ඉඳන් මිත්‍ර දැක්කා කොළඹ නගරේ අලුත් ආරක්ෂක සැලැස්මේ ප්‍රතිඵල බොහොම හොඳට. එහෙව් එකේ නිත්‍යා ගේ අයි.ඩී එකේ නමයි උපන් ගමයි දැක්කම ඕන කෙනෙක්ට කොටි ලේබලය අලවන්න ඒක හොඳටම ප්‍රමාණවත් කියන එකත් මිත්‍ර දැනගෙන හිටියා.

“මාවත් නිකන් සූසයිඩ් එල්.ටී.ටී.ඊ ගාණට දාලා තමයි චෙක් කරන්නේ..“

මිත්‍රව හිනස්සන්න හිතාගෙන නිත්‍යා ඒ කතාව කිව්වත් මිත්‍රට ඒකට හිනාගියේ නෑ. එක පැත්තකින් දකුණේ මිනිස්සුන්ගේ ප්‍රශ්න තේරුම්ගන්න බැරිව ඉන්න පාලකයෝ ඊටත් වඩා දුර උතුරේ මිනිස්සුන්ගේ හැඟීම් තේරුම්ගන්නේ නෑ කියන සහතික ඇත්ත. මිත්‍රට ඒ වෙලාවේ නිත්‍යා වෙනුවෙන් මොහොතක් වැය කරන්න හිතුනේ මේ සිතුවිල්ල එක්කමයි.

“අපි යමු අතන ජූස් බාර් එකට..“

තැපැල් මූලස්ථානේ ඉස්සරහා ජූස් බාර් එකේ බංකු දෙකක් වාඩිවෙලා දොඩම් වීදුරු දෙකක් අතට අරගෙන උගුර උගුර හිස්කරමින් හිටියත් නිත්‍යාගේ වීදුරුව ඉවරවුණේ බොහොම හිමින්. කතාකරනවටත් වඩා කෙල්ලට හිතන්න බොහෝ දේ තිබ්බා.

“මට වෙලාවකට හරි බයයි මිත්‍ර..“

“මොනවගේ දේකටද බය..“

“මාවත් මේ අවුල් වියවුල් මැද්දට වැටෙයි කියලා..“

“ඒ ගැන බයවෙන්න එපා නිත්‍යා..ඔයා යන්න තෝරගෙන තියෙන්නේ හරි පාරේ..“

“ඒත්...දැන් දැන් වෙන දේවල් එක්ක මට මේ පාරෙ යන එකත් අමාරුයි..“

“ලොකුවට හිතන්න එපා දරුවෝ.. හැමදේම හොඳින් වෙයි..“

නිත්‍යා නොහිතපු වෙලාවක මිත්‍ර ඇයගේ දකුණු අතින් ඇල්ලුවා. ඒ ඇල්ලීමට හීන් අත්දෙක හිරිවැටිලා ගියා වගේ ඇයට දැනුනා. ඒ විතරක්ම නෙවෙයි නිත්‍යා ඉන්න මානසික තත්ත්වය එක්ක ඒ කායික සන්නිවේදනය හරහා ඇයට දුන්නු පණිවිඩිය තමයි තමන් වෙනුවෙන් කවුරුහරි මේ කොන්ක්‍රීට් වනන්තරේ මැද්දේ දැනුත් ඉන්නවා කියන එක. ප්‍රශංසා ලඟ නැති අඩුව ඒකෙන් පිරුණා කියලා නිත්‍යා තේරුම් ගත්තා.

                                              * * * * *

කළුවර කියන දේ කොළඹ විතරක් නෙවෙයි මුළු රටම වහගත්ත කාලෙක කාමරේකට අලුත් දෙයක් නෙවෙයි. ඇරත් හැමදාම කළුවර වෙන තැනකට. එක කාමරේ ඇඳන් දෙකක මුහුණට මුහුණලාගෙන බත් පංගු දෙකක් සප්පායම් වෙන ගමන් මිත්‍රයෝ දෙන්නෙක් කතාවෙමින් හිටියා.

“වැඩේ ලේසි නෑ මචං..මේක රටම පත්තුවෙන වැඩක්..“

මිත්‍ර එහෙම කියලා බත් කටක් අමාරුවෙන් ගිල්ලා. කොළඹ කණපිට පෙරලෙද්දි ආරියපාල එකේ කෑමත් එහෙම වෙන්නේ කොහොමද කියලා මිත්‍රට ඒ වෙලාවේ තේරුණේ නෑ.

“ආරක්ෂක ඇමතියා කියන්නේ තවත් රට කාපු එකෙක් විතරයි බං..ඌ කලෙත් ධනපති පන්තියේ වුවමනාවන් ඉෂ්ට කරන්න හමුදාව මෙහෙයවපු එක විතරයි..“

“එහෙම වෙන්න පුළුවන් බං..ඒත් මේ මැරුවේ රටේ ආරක්ෂක ඇමති.. කොටින්ට එහෙව් ආරක්ෂාවක් තියන මිනිහෙක් මරලා දන්න පුළුවන් කියන්නේ අපිවත් ඕනම තැනක බල්ලෝ වගේ මරලා දාන්න පුළුවන් කියන එක..“

මිත්‍ර බත් පිඟානේ බත් කටක් දෙක්ක ඉවරවෙද්දි මේසේ උඩින් තියලා නිකන් හිටියා. ඒත් රමිත තමන්ගේ වැඩ කටයුත්ත දිගටම කරගෙන ගියා.

“අපි පිලිගන්න ඕන උතුරේ එවුන්ට ප්‍රශ්නයක් තියනවා කියලා මචං..“

“අපි ඒක පිළිගන්නවා බං..හැබැයි ඒක විසඳන්න විකල්ප හොයන්න ඕන මෙහෙමද කියන එක ගැන ප්‍රශ්නයක්තියනවා..“

රමිත මොකුත් නොකියා දිග හුස්මක් හෙළුවා. අදත් රමිත බෝඩිමට ආවේ බොහොම රෑ වෙලා. ඒ ආවෙත් වෙනදා වගේම සැකමුසු මාර්ගයක. එක එක කල්ලි මතුවෙලා විමුක්ති ව්‍යාපාරයත් කොනිත්තන කාලෙක රමිතලාට ජීවත් වෙන්න වෙලා තිබුණේ එහෙමයි.

“ඉස්සරහට දකුණ පිපිරෙන්න ගන්නවා මීට වඩා දරුණු විදිහට.. “

රමිත එහෙම කියලා කවුළුවෙන් ඈත කොල්ලුපිටිය පැත්තේ අහසේ පායලා තිබුණ හඳ දිහා බලාගෙන හිටියා. මිත්‍ර ඒ කතාවෙන් බොහෝ දේවල් තේරුම්ගත්තා.

“ඒ කියන්නේ ආන්ඩුවට ලේසි වෙන්නේ නෑ කියන එකයි..“

“සත්තකින්ම මචං..“

එහෙම කියලා දෙන්නම නිහඬ වුණා. 

“ඒක නෙවෙයි..කොහොමද උඹේ බාලිකාවෝ දෙන්නා..අවුලක් නෑ නේද උන්ට?“

බොහොම වෙලාවකට පස්සේ මිත්‍රගේ මූණට හිනාවක් ආවා. ඒත් ඒකත් පරිපූර්ණ හිනාවක් නෙවෙයි.

“ප්‍රශංසා නම් ගමේ ගිහින්..ආරංචියක් නෑ.. නිත්‍යා කොළඹ ඉන්නවා..ඒත් ඒකිට හෙණ ප්‍රශ්න දෙමළ වීම නිසා..“

“ඒකි දෙමළ කියලා දන්නේ අතට අයි.ඩී එක ගන්න එකෙක් විතරනේ බං..“

“මේ කාලේ වැඩිපුරම කෙරෙන්නෙත් අතට අයි.ඩී එක එන වැඩම නිසා තමයි ප්‍රශ්න වැඩි..හැම දෙමළියක් දිහාම බලන්නේ බෝම්බයක් බැඳගෙන ආපු කොටියෙක් දිහා බලනවා වගේ..“

එහෙම කිව්වම රමිතටත් හිනාවක් ගියා. ඒ හිනාවට හේතුව රමිත කිව්වේ තත්පර කීපයකට පස්සේ.

“හරියටම දකුණේ හැම කොල්ලෙක්ම විමුක්ති ව්‍යාපාරයේ එකෙක් කියලා හිතනවා වගේ වෙන්න ඇති එහෙනම්..“


(මීළඟ කොටස ලබන සතියේ)


No comments:

Post a Comment