May 8, 2019

පෙරළුෑ නැවුම් පසෙහි ඉපිද,කරමසෝ සහෝදරයන්ට සමුදුන් සිංහල සාහිත්‍යයේ රුසියානු ලකුණ



හැටේ දශකයේ මුල් භාගය යනු ලංකාවේ ,ලෙස බොහෝ දෙනෙක් අදටත් විශ්වාස කරති. හරියටම එදා යුරෝපයේ පුනර්ජීවනයෙන් පසු සාහිත්‍යය, දේශපාලනය ගැන පොදු සමාජයේ විවාද,කතිකාවත්,ප‍්‍රපංච බිහිවූවාක් මෙන් ලංකාවේද හැටේ දශකයේ සාහිත්‍ය පිළිබඳ දැඩි වාද විවාද බිහිවූ බව කිව යුතුය. ලියෝ ටොලස්ටෝයිගේ ”War and Peace”කෘතිය ලොව මේ තාක් බිහිවූ විශිෂ්ටතම නවකතාව ලෙස ලෝකයේම ගෞරවාදරයට පාත‍්‍රවී ඇත. එකල Daily News පුවත්පතේ සිංහල සාහිත්‍ය පිළිබඳව ඉංග‍්‍රීසි භාෂාවෙන් කෙරුණු සංවාදයකදී ගූණදාස අමරසේකර ශූරීන් කියා තිබුණේ හරියට ඉංග‍්‍රීසි භාෂාව හැසිරවීමට හෝ නොහැකි පරිවර්තකයින් සිටින ලංකාවේ ටොලස්ටෝයිගේ “War and Peace” වැනි කෘතියක් සිංහලට පරිවර්තනය කිරීම සිහිනයක් බවයි. එයට විරුද්ධව මත පලකල රෙජී සිරිවර්ධන පවසා තිබුණේ ලංකාවේ එවැනි සමත්කමක් කරන්නට හැකි පුද්ගලයින් අනිවාර්යයෙන්ම සිටින බවයි. ගුණදාස අමරසේකරගේ මේ උඩඟු කතාවට හිත රිද්දවාගත් පුද්ගලයෙක් විය. හෙතෙම ඒ වනවිටත් විදෙස් කෘතීන් ගණනාවක් සිංහල බසට පෙරලා තිබුණු අතර අමරසේකර ශූරීන්ගේ අභියෝගය තමන් බාරගත යුතුයයි තීරණයට එළඹිනි. අවසානයේ එය ’යුද්ධය සහ සාමය’ නැමැති අපූරු අනුවාදනයක් බවට පත්වන්නේ සිංහල සාහිත්‍යය තුල තමන්ට කල නොහැක්කක් නැතිබව සපථ කරමින්ය. හෙතෙම සිරිල් සී.පෙරේරා නම් විය. සිංහල සාහිත්‍යය තුල පරිවර්තන සාහිත්‍යය යම් තැනක සිටීනම් ඒ තැන වෙනුවෙන් අනූපමේය මෙහෙයක් ඉටුකලේ එතුමන්ය. 93 වැනි වසරේදී සිය ජීවිතය නැමැති කෘතියේ අවසන් ෙඡ්දය ලියා පලකල ඔහු සිංහල සාහිත්‍යයේ රුසියානු ලකුණ ලෙස හඳුන්වන්නේ නිකම්ම නොවේය.


උපන්දා සිට

බොරලැස්ගමුවේ රත්තනපිටිය ප‍්‍රාථමික විදයාලයෙන් ගල්ලෑල්ල මත ’අ’ යන්න ’ආ’ යන්න ලියූ සිරිල්.සී.පෙරේරාට නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට ඇතුලත්වන්නට සිදුවන්නේ ඉංග‍්‍රීසි අධ්‍යාපනය වැඩිදුර ලබාදෙන්නට ඔහුගේ පියාණන්ට දැඩි අවශ්‍යතාවක් ඇතිවූ නිසාවෙන්ය. ඉංග‍්‍රීසි භාසාව සහ සාහිත්‍ය ගැන ඉතා හොඳ දැනුමක් එහිදී ලබාගන්නට සිරිල්.සී.පෙරේරා ශිෂ්‍යයාට හැකිවෙන්නේ ඒ මාර්ගයෙන්ය.
මා විසින් සිංහල අනුවාදනය කරන ලද බොහොමයක් පොත්වල සාර්ථකත්වය වුනේ මම එදා ලබපු ඉංග‍්‍රීසි සාහිත්‍ය දැනුමයි. හොඳ කියවීමකට මාර්ගය හදාගත්තෙත් ඒ හරහාම තමයි’

වරක් පිළිසඳරකදී හෙතෙම ඉතා නිහතමානීව අදහස් දක්වන්නේ තමන්ගේ මූලික අධ්‍යාපනයේ පදනමින් තමා පෝෂණය වූ ආකාරයයි. ඒත් සිය පියාගේ හදිසි අභාවය නිසා ඔහුගේ වගකීම බාරගත් බාප්පා වැල්ලවත්ත ශ‍්‍රී වෛශාඛ විදුහලට ඇතුලත් කරන්නේ සිංහල දරුවන් කතෝලික පාසල්වල සිටීම නොසුදුසු බව සඳහන් කරමින්ය. ඔහුගේ බාප්පා එවකට කුමාරතුංඟ මුනිදාස ශූරීන් පවා ඉතා ලඟින් ඇසුරුකල සිංහල භාෂා ප්‍රේමියෙක් වීමද එයට එක් හේතුවක් විය. ඉංග‍්‍රීසි භාෂාවට පෙම්කරමින් සිටි සිරිල්.සී.පෙරේරාට මුලින් මේ සිංහල ඉගැන්වීම ගැන ඇතිවන්නේ තරහකි. එහෙත් එය පසුකලක වෙනස්වන්නේ ඩබ්ලිව්.ඒ.සිල්වා වැනි පුද්ගලයන්ගේ ඇසුර සමගය.

මේ ඇසුර නිසා සිංහල භාෂාව,සිංහල සාහිත්‍යය පාලි, සංස්කෘත,ඉතිහාසය ගැන බොහෝ කරුණු මමත් දැනගත්තා. විශේෂයෙන්ම කුමාරතුංග මුණිදාසයන්ගේ කතා බහට සවන් දීමෙන් මෙතෙක් මා තුළ වූ සිංහල භාෂාව කෙරෙහි වූ අප‍්‍රසන්නතාව ටිකෙන් ටික අඩුවෙන්න පටන් ගත්තා .කුමාරතුංග සූරීන් විසින් ලියන ලද ’කියවන නුවණ’ ’ශික්ෂා මාර්ගය’ කියවීමට මා පුරුදු වුණා, ඒ කාලේ ලක්මිණි පහන පත්තරයේ කොටස් වශයෙන් පළවන ’මඟුල් කෑම’ ’හත්පණ’ ’හීන්සැරය’ වැනි පත පොතට මගේ සිත ඇදී ගියා’

සිත්තරෙක් සහ ගෘහ නිර්මාණ ශිල්පියෙක්

සුන්දර නිර්මාණකරුවෙක් නිබඳවම ක්ෂේත‍්‍ර ගණනාවක දක්ෂයෙක් වීම සාමාන්‍ය සිදුවීමක්. සිරිල්.සී.පෙරේරා නැමැති නිහතමානී ගත්කතුවරයා කලක් තිස්සේ දක්ෂ චිත‍්‍ර ශිල්පියෙක් ලෙස කටයුතු කල බව දන්නේ ඉතා අල්ප පිරිසකි. ජේ.ඒ.ඞී.පෙරේරා මහතාගෙන් චිත‍්‍ර කලාව හැදෑරූ ඔහු තෙල් සායම් සිතුවම් ඇඳීමෙහි විශේෂ ප‍්‍රාගුන්‍යයක් ලැබූ බව එකට ඔහුගේ සමකාලීනයන්ගේ මතය විය. එහෙත් පසුව ඔහුගේ හිතේ වැඩෙමින් තිබුණු ගෘහ නිර්මාණ ශිල්පියෙක් වීමේ ආශාව සන්තර්පනය කරගැනීමට රජයේ කාර්මික විද්‍යාලයට එක්වුණු සිරිල්.සී.පෙරේරා පසුකලෙක ශිෂ්‍යත්වයක් ලබා  ඕස් යන්නේ වැඩිදුරටත් එම ක්ෂේත‍්‍රය හැදෑරීමටය. ඔහුගේ නිර්මාණාත්මක ගෘහ සැලසුම්වලට වශීවුණු  ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක් පුරවැසිභාවයද ලබාදී ව්‍යාපාරයට හවුල්කර ගැනීමට කැමැත්ත විමසා සිටියත් සිංහල පොළවේ සිංහල හුරුවට පෙම්කල සිරිල්.සී.පෙරේරා  පිටරට ජීවිතය එතකින් අවසන් කරන්නට තීරණය කලහ.

පරිවර්තන සාහිත්‍යයට පය තැබීම

වෘත්තීය ජීවිතය අතරතුර සාහිත්‍යයට තිබූ කැමැත්ත සිරිල්.සී.පෙරේරා ගේ සිතින් ඉවත්වූයේ නැත. ලියෝ ටොලස්ටෝයිගේ කෙටිකතා කිහිපයක් ඉතා සුමට ලෙස සිංහලට පෙරලූ ඔහු එම පිටපත් රැුගෙන එම්.ඞී.ගුණසේන සමාගම වෙත ගියත් ඔවුන් එය බාරගැනීමට කැමැත්ත පලකලේ නැත. ඉන් අනතුරුව මිතුරන් කිහිපදෙනෙකුගේ උපකාරය මත එම පොත් ප‍්‍රකාශනයට පත්වූවද සිරිල්.සී.පෙරේරා නාමය පරිවර්තන සාහිත්‍යයේ මුල් බැසගන්නට පදනම සපයන්නේ ඔහු විසින් සිංහලට පරිවර්තනය කල චාල්ස් ඩිකන්ස්ගේ ක‍්‍රිස්මස් කැරොල් කෘතිය ’නත්තල් ගීතය’ ලෙස ප‍්‍රකාශයට පත්වීමත් සමගය. එයට හේතුවුණේ එකල පරිවර්තන සාහිත්‍යය තුල තිබූ රාමුගත ස්වභාවය අතික‍්‍රමණය කරමින් සිරිල්.සී.පෙරේරා තමන්ගේ පරිවර්තන හරහා හෘදයාංගම සහ සෞන්දර්යාත්මක ආමන්ත‍්‍රණයක් සිදුකිරීම නිසාවෙන්ය.

හෙතෙම රුසියානු සාහිත්‍යයට දැක්වූයේ පුදුමාකාර ලැදියාවකි. හරියටම රුසියාවේ උපන් රුසියානුවෙක් පරිද්දෙන්ම ඔහු රුසියානු සාහිත්‍යයේ සුවිශේෂී ලක්ෂණ විද්‍යමාන කරමින් රචනයෙහි යෙදුනු බව ඔහුගේ කෘතීන් කියවා ඇති  ඕනෑම අයෙක්ට අවබෝධකරගත හැකි සත්‍යයකි. සිරිල්.සී.පෙරේරා ගේ පරිවර්තන සහ වෙනත් පරිවර්තන එක රේඛාවක තබා සංසන්දය කලවිට ඔහු කොතරම් තදින් රුසියානු සාහිත්‍ය නිර්මාණ පාඨකයා මත ඇද බැඳ තබනවාද යන්න පැහැදිලිවම දැකිය හැකිය.

පියදෝර් දොස්තොයෙවුස්කි ගේ “කරමසෝ සහෝදරයෝ”,නිකොලායි ගොගොල් ගේ “මළ මිනිස්සු”,මිහයිල් ෂොලොහොව්ගේ “පෙරළුෑ නැවුම් පස”, නිකොලොයි එව් ද කිමෝච්ගේ “ජීවිතය සරල කතාවක්” යන රුසියානු නවකතාද ල ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ කෙටිකතා,ලියෝ තොල්ස්තෝයිගේ කෙටි කතා,පියදෝර් දොස්තයෙවුස්කිගේ කෙටි කතා රාශියක් ද මැක්සිම් ගෝර්කිගේ කෙටි කතාද සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට ඔහු සමත්විය. ඔහුගේ ජීවිත කාලය පුරාවට විදේශීය ලේඛකයන් එකසිය පහළොස්දෙනෙකුගේ නවකතා දහ අටක්, කෙටි කතා එකසිය හැත්තෑ දෙකක්, නාට්‍ය තුනක්ද සිංහල බසට පෙරලා ඇත. ජාතික සහ ජාත්‍යන්තර සම්මාන 31 කින් පිදුම් ලැබූ මේ මහර්ඝ සාහිත වෘක්ෂය වනාහි ශ‍්‍රී ලංකාව තුල එතරම් පරිවර්තන සාහිත්‍ය ප‍්‍රචලිතව නොතිබුණ අවධියද බිහිවී එය සුපෝෂණ්‍ය කල සාධකයක් බව කිව යුතුමය.

වේදිකාවේ ආලෝකය

සිරිල් සී. පෙරේරා මහතා කෙටි ළමා නාට්‍ය දහ අටක් සිංහලට පරිවර්තනය කල අතර ප‍්‍රධාන ධාරාවේ වේදිකා නාට්‍ය තුනක්ද සිංහලට පරිවර්තනය කිරීමට සමත්විය. 1950 දී පමණ ’තෝල්ස්තෝයිගේ කෙටි කතා’ හා කෙටි ළමා නාට්‍ය වන ’දරුවන්ගේ නුවණ’ පරිවර්තනය කරමින් දරුවන්ගේ සාහිත්‍ය තුලට විප්ලවීය ආභාෂය එක්කිරීමට කටයුතු කලහ. ටොලස්ටෝයිගේ ආභාෂයවූ දරුවන් හරහා සමාජ විප්ලය සිදුකිරීම යන සංකල්පය ලංකාව තුල කුළුගැන්වීම සිරිල්.සී.පෙරේරාගේ අභිප‍්‍රාය වූ බව ඉන් පැහැදිලිය.

ඔහු විසින් පරිවර්තනය කරන ලද ප‍්‍රධාන නාට්‍ය අතර 1985 දී ධර්මසිරි බණ්ඩාරනායක නිෂ්පාදනය කළ ’මකරාක්ෂයා’ නාට්‍ය 1989 දී වේදිකාගතවූ ’ධවල භීෂණය’ සහ 2003 දී  අරියල් ඩෝෆ්මාන්ගේ  ’වීඩෝස්’ නාට්‍යයෝ ’වැන්දඹුවෝ’ නමින් පරිවර්තනය කල අතර එම නාට්‍ය ජෙරොම් ද සිල්වා විසින්  ’ආයෙත් එන්නේ නෑ’ නමින් නිෂ්පාදනය කරන ලදි. විදේශීය නිර්මාණ ලංකාවේ වේදිකාව මතට ගෙන ඒමේ උත්සහ සාර්ථකවූ අතරම සිරිල්.සී.පෙරේරා විසින් පරිවර්තනය කල නාට්‍ය බොහොමයක් ලෝක සාහිත්‍ය තුල බිහිවූ විශිෂ්ටතම නිර්මාණයන්ය.

පරිවර්තනය වෙනුවට අනුවාදය

සිරිල්.සී.පෙරේරා ශූරීන් විසින් බොහෝවිට ඔහුගේ කෘතිවල පරිවර්තනය වෙනුවට භාවිතා කලේ අනුවාදය යන යෙදුමය. මේ පිළිබඳ විමසා සිටි අවස්ථාවක ඔහු කියා සිටියේ

පරිවර්තනය කියන්නෙ එක් තැනක සිට තවත් තැනකට ගෙන යෑමයි. අනුවාදය යනුවෙන් අදහස් කරන්නේ එකම දෙයක් යළිත් පැවසීමයි. පරිවර්තනය කියන්නේ පාරිභාෂික පදයක් (Technical Term) දැනුම ,නීතිය,ඉතිහාසය වැනි ශාස්ත්‍රීය පෙළක් සිංහලට නැඟීමේදී ’පරිවර්තනය’ යන යෙදුම භාවිත කරන්න පුළුවන්.නමුත් සාහිත්‍යයේදී සිදුවන්නේ අනුවාදයක්. ඒ සඳහා අනුවාදකයාට නිශ්චිත ආකල්පයක් (Attitude) තිබිය යුතුයි. එසේම සිංහල භාෂාවෙන් නැවත කීමේදී නොයෙක් ප‍්‍රශ්න මතුවෙනවා. පොතක් අනුවාදය කිරීමට පෙර සාහිත්‍ය පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබිය යුතුය. ඒ සඳහා වැඩි වැඩියෙන් පොත් කියවන්න  ඕනෑ.දේශීය හෝ විදේශීය උසස් සම්භාව්‍ය කෘති අද කියවන්නේ කීයෙන් කීදෙනාද. සාහිත්‍ය කෘතිවල අන්තර්ගත වී තිබෙන්නේ ඒ ඒ ලේඛකයන් ගේ අනුභූතීන්. මා ඒවා කියවා ඒ අත්දැකීම හදවතට ගන්න  ඕනෑ. එතැනදී ඇතැම්විට ලේඛකයා ලියන අත්දැකීම් අපේ ජීවිතවලදීත් අපි මුහුණපා තිබෙන දේ විය හැකියි.අනුවාදක යා මෙලෙස එය තමාගේ අනුභූතියක් බවට පත් කර ගත යුතුයි. ඉන්පසුව එම අත්දැකීම තමාගේ භාෂාවෙන් පාඨකයාට කීමට සුදුසු අයුරෙන් බස සකස් කළ යුතු වෙනවා.එහිදී කෘතියේ අත්දැකීම,චරිත,පරිසරය ගොඩනැඟීමට අනුවාදක ගේ පරිකල්පන (Imagination) ශක්තිය වැදගත්. පොතක් අනුවාදය කිරීම යනු රටවල්,භාෂා ,සංස්කෘතීන් දෙකක් අතර සිදු කෙරෙන සාකච්ඡුාවක්’

එලෙස සාමාන්‍ය පරිවර්තනයට විශේෂ අගයක් එකතු කිරීමට හේ සමත්විය. එමෙන්ම තමන්ගේ ජීවිත කාලය පුරාවටම ස්වතන්ත‍්‍ර නිර්මාණයක් කිරීමට ඔහු නොපෙලබීම ඉතාමත් විශ්මයදනවන සිදුවීමකි. එහෙත් ඒ පිළිබඳ සිරිල්.සී.පෙරේරා මහතා කිසිසේත්ම කණගාටු නොවූ අතර ඔහු ඒ පිළිබඳ දැරුවේ ඉතාම වෙනස් මතවාදයකි. තමන්ගේ සාහිත්‍ය ජීවිතය පුරාවටම කිසිකලෙස සිංහල පාඨකයන්ට කියවීමට අවස්ථාව නොලැබෙන මහර්ඝ කෘතීන් ගණනාවක් සිංහලට පෙරලන්නට හැකිවීම තමන් ලද ඉහළම භාග්‍ය බව ඔහුගේ අදහසය. තමන්ගේම නිර්මාණයක් කිරීමට වැයකරන කාලය උපයෝගීකරගෙන විදෙස් කෘතීන් සිංහලට පරිවර්තනය කරන්නට ලැබීම එක් පැත්තකින් සිංහල සාහිත්‍යයට කරන ලද විශාල සේවයක් මෙන්ම අනෙක් අතට පුද්ගලිකවම තෘප්තිදායක සිදුවීමක් බව ඔහුගේ අදහසයි. එම ප‍්‍රකාශය ඉතා සාධාරණ වන අතර එයට හොඳම නිදර්ශන වන්නේ ටොලස්ටෝයිගේ ’යුද්ධය සහ සාමය’ වැනි කෘතීන්ය.

අකුරෙන් මැවූ රුසියාව

රුසියානු සාහිත්‍යය සිංහල සාහිත්‍යය තුලට කැඳවාගෙන ඒම මෙන්ම එය උසස්ම ස්ථානයක තැබීමට සිරිල්.සී.පෙරේරා තරම් කාර්යභාරයක් සිදුකල වෙනත් කිසිවෙක් නොමැති තරම්ය. අනුවාදය හේතුවෙන් මුල් කෘතීන්ට බරපතල හානියක් සිදුවන බවත් පරිවර්තනය තුල මුල් කෘතියේ ගුණාංග ඉස්මතුවන්නේ ඉතාමත් මද වශයෙන් බවට වරක් කේ.ජී.කරුණාතිලක ශුරීන් දැක්වූ අදහසකට ප‍්‍රතිවිරුද්ධව අදහස් දැක්වූ සිරිල්.සී.පෙරේරා කියා සිටින්නේ තමන් අනුවාදයේ යෙදුනේ ආදල මුල් කෘතීන් තුල ජීවත්වෙමින් බවයි. ඒ නිසාවෙන් කිසිදිනක තමන්ගේ අනුවාදයන් හරහා මුල් කෘතියේ ජීවගුණයට හානිවූ බවට තමන් පිළිනොගන්නා බවද හෙතෙම පවසා තිබිණි

වරක් මා දියණිය සමග රුසියාවේ සංචාරය කරද්දි මේ කතාවලට පදනම්වුණු බොහෝ තැන්වල ඇවිද ගියා. එම සිදුවීම් මගේ ඇස් ඉදිරිපිට මැවෙනවා කියලා මට හිතුනා. ටොලස්ටෝයි විසූ නිවසට ගියපු වෙලාවේ මට හිතුනේ ඔහු තවමත් ජීවත්වෙනවා වගේ. ඒ නිසා මට ඒ බොහොමයක් මුල් කෘතීන් හදවතින් කියවා ඒවා තුල මට දැනෙන දේ සමග සම්මිශ‍්‍රකර රචනාවේ යෙදෙන්නට අවස්තාව ලැබුණා’

සිරිල්.සී. පෙරේරා විශිෂ්ටයෙකු වන්නේ අන්න එවැනි සුවිශේෂීතාවයන් නිසාය. විදෙස් බසකින් රචිත දේ අමු අමුවේම සිංහලෙන් ලියා තබනවා වෙනුවට හැඟීම් දනවන ආකාරයෙන් රචනාවේ යෙදෙන්නට ඔහුට හැකිවිය. ටොලස්ටෝයිගේ සහ දොස්තොයෙවුස්කිගේ වෙනස සම්බන්ධයෙන් ඉතාමත් ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ඔහු කියා සිටින්නේ ටොලස්ටෝයිගේ කෘතීන් තුල දුක් සහ කම්කටොළු සහ සතුට එකසේ විඳිමින් ජීවිතය ජයගන්නා මිනිසුන් ජීවත්වන අතර දෝසතොයෙවුස්කිගේ කෘතිවල කටුකබව සහ දුක මනෝභාවාත්මකවම පාඨකයා තුලට කැඳවීමට සමත් මිනිසුන් ජීවත්වන බවයි. ඒ විශ්ලේෂණයෙන් පැහැදිලිවන්නේ ඔහු සැබෑ ලෙසම මේ පරිවර්තන කෘති ඔහුගේ හදවතේ ගැඹුරුම තැනින් පරිශීලනය කරඇති බවයි.

අවසන් පිටුව

ජීවිතයේ අවසන් භාගයේ ඉතාමත් නිහ`ඩ සහ සාමකාමී ජීවිතයක් ගතකල ඔහු කළුබෝවිල ප‍්‍රදේශයේදී නිරතුරුවම දැකගත හැකිවිය. මීට කෙටිකලකට පෙර නව පරපුරේ පොත් ප‍්‍රකාශකයෙක් හමුවූ මොහොතක සිරිල්.සී.පෙරේරා මහතා ඔහුගෙන් අසා තිබුණේ ’දැන් පරිවර්තනය වෙන පොත් විකිණෙනවාද’ යනුවෙන්ය. එසේ විමසීමට හේතුව කුමක්දැයි යොවුන් පොත් ප‍්‍රකාශකයා අසා සිටි විට ඔහු ලබාදී ඇති පිළිතුර වන්නේ ’නෑ ඒවා හරි සංකීර්ණයිනේ. මිනිස්සුන්ට තේරෙනවද කියලත් සැකයි’ ලෙසය. ජීවිතයේ අවසන් භාගයේ පවා පරිවර්තන සාහිත්‍යයේ නාඩි වැටීම පිළිබඳව සිරිල් සී.පෙරේරා මහතා තමන්ගේ නාඩි වැටීමටත් වඩා අවධානයක් යොමුකර සිටිබවට එයින් මනාව පෙනී යයි.

කෙටි කලක් රෝගාතුරව සිට 93 වැනි වියෙහි සිටියදී පසුගිය 4 වැනිදා සදහටම මෙලොවින් සමුගනිද්දී මෙරට ජ්‍යෙෂ්ඨතම අනුවාදකයෙක් අහිමිවූවා පමණක් නොව සිංහල සාහිත්‍යයේ නොමැකෙන මතක සටහන් තැබූ පතාක යෝධයෙක්ගේ ජීවන පරිච්ෙඡ්දයද එයින් අවසන් විය.

සැඬ පාරේ කාස්ටක දිය ඉතාම හොඳ ඖෂධයක්, දැන් මවිසින් කළයුතු හොඳම දෙය හොඳ සිහියෙන් කටයුතු කිරීමයි, මගේ දෑත තමන්ට අයත් කටයුත්ත හොඳට ඉෂ්ට කළා, දැන් අපි කිසිම කරදරයක් නැතිව හොඳට යාත‍්‍රා කරනවා. මාළුවත් කට වහගෙන බාව කෙළින් තියාගෙන මාත් එක්ක හොඳ සහෝදරයෙකු වගේ යාත‍්‍රා කරනවා.  අනතුරුව මහල්ලාගේ සිහිය ටිකක් අවුල් විය .මම මාළුවා අරගෙන යනවද , නැතිනම් මාළුවා මා අරගෙන යනවද යයි ඔහු කල්පනා කළේය’ මහල්ලා සහ මුහුද සිංහලට පෙරලෙද්දී සිරිල්.සී.පෙරේරා එලෙස ලියා තබා ඇත. සැබෑ ලෙසම ඔහු විසින් විදෙස් සාහිත්‍ය අප තුලට ගෙන ආවා මෙන්ම විදෙස් සාහිත්‍ය විසින් ඔහු අපතුල අඹවා,කැටයම් කර ඇත. එබැවින් ඔහුගේ ජීවිතයේ ස්මරණ අතර අපටනම් අවසන් පිටුවක් නැත.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර
ඉරුදින ‘ඉවුර’ අතිරේකය
2016.09.11


No comments:

Post a Comment