අපේ අම්මා දනට පිනට බොහෝම බරය. එබැවින් ඇය තමන්ගේ ජන්ම දිනය දා තම දෑතීන්ම පිලියෙල කල දක්ෂිණාව සංඝගත කිරීමේ වගකීම මට පැවරීය. එයට සහයට ලඟ ඥාතියෙක්වන ගුණසේන මාමා ද කැටුව යන්නට තීරණය කලෙමි.
“හාමුදුරුවෝ කී නමක්ද?“
“දහ නමක්“
ගුණසේන මාමා ඇසූ පැනයට අම්මා පිලිතුරු දුන්නේ භක්තියෙනි. එය අසා ගුණසේන මාමාගේ නලලද රැලි වැටුණි.
“දැන් එහෙනම් දාන දෙන්නත් ලේසි නෑ..මේ ගමේ ඉන්න දුප්පත් මිනිස්සු එදා වේල හොයාගන්නෙත් අමාරුවෙන්..කොහොමද මන් දන්නේ නෑ හාමුදුරුවෝ දහනමකට දානේ දෙන්නේ...“
අම්මා කතාකලේ එයට විරුද්ධවය.
“ඒ වුනාට ඉතින් මේ ගෙදර මහ මිනිස්සු ඉන්න කාලේ ඉඳන් දීපු මාසේ දානේනේ..ඒවා එහෙම කියලා අතාරින්න පුළුවන්ද“
“ඒකනම් ඇත්ත..ඒ වුණාට හාමුදුරුවෝ දහ නමක් කිව්වට මමනම් පංසල පැත්තේ ගියපු කිසිම වෙලාවක හාමුදුරුවෝ තුන් හතර නමකට වඩා දැකලා නෑ...ඔය පොඩි හාමුදුරුවෝ උඩහ ගම පැත්තේ රස්තියාදුකාරයෝ කීපදෙනෙක් සැරට ආස්සරේ කරනවා...මම දැකල තියනවා උන්ටික දන් ගේ අස්සෙත් රිංගගෙන ඉන්නවා...අනුමානයක් නෑ ඔය හාමුදුරුවෝ දහ නමක් ඉන්නවා කියලා දානේ ගෙන්නවන්නේ උන්ටත් එක්ක වෙන්න ඇති..“
ගුණේ මාමාගේ ඒ කතාවනම් අම්මාද විශ්වාස කල බව පෙනෙන්නට තිබුණි. කෙසේ වූවත් දහවල් දානය පිලියෙල කරදී අතුරුපස මෙන්ම තෙල් මල්ද රැගෙන ගුණේ මාමා සහ මම පන්සල බලා යන්නට විය.
පංසල් වත්තට ඇතුලු වන විටම දුටුවේ සාමණේර හාමුදුරුවන් තුන් හතර දෙනෙක් අහල පහල කොලු කුරුට්ටන් සමග පංසල් වත්තේ ක්‍රිකට් ක්‍රීඩාකරන ආකාරයයි. සිවුර බෝධිගරයේ ගලවා දමා අඳනය පිටින් සෙල්ලම් කරන සාමණේර හිමිවරු දෙස සිතුවිල්ලකින් තොරව බලා අපි පිටත් විය. නමුත් අපට ගමන් කිරීමට සිදුවූයේ ඒ අසලින්මය. මම අත් දෙකටම ගත් දන් භාජනද සහිතව එතනින් ගමන් කරන විටම සාමණේර හිමිනමක් පන්දුවට එල්ලකල පහරක් ඉහලින් විත් මා දකුණු අතේ තිබූ පරිප්පු හොදි භාජනයේ වැදී සමබරතාව ගිලිහී එය බිම වැටී හොදි බිම පුරා ඉහිරුණි. පංසල් වත්ත පුරා නිහඬතාව රජයන්නට විය.
“ඉවරයි නේද හොදි එක...පුදුම වැඩක් නේ මේක...පිට්ටනියට ගිහින් ගැහුවනම් හොඳයි මීට වඩා...“
ගුණේ මාමා තරහින් කියන විට මම පහත්වී හොදි භාජනය අහුලාගන්නට විය. හිතට දැනුනේ තරහකටත් වඩා මහත් වේදනාවක්ය. අම්මා මේ හොඳි භාජනය හදන්නට කොතරම් වෙහෙසුනාද. මෙයට පොල්ගෑවේ පෙරදින රාත්‍රී පොඩි අක්කාය. උදෑසන මෙයට පොල්කිරි මිරිකා ලිපේ තබා ඉහින් කනින් දාඩියද දමාගෙන මෙය රත්කලේ අම්මාය. අම්මා මෙය දුටුවානම් කොතරම් දුකක් දැනෙනු ඇද්ද. මාගේ සිතට ඇතුල්වූයේ එම සිතුවිල්ලය.
“සොරි අයියේ...“
පිත්තද රැගෙන හතිදාමින් මාවෙත පැමිණි සාමණේර හිමියන් මට කී දෙය ට මා වදනකිනුදු පිලිතුරු නොදී දන්ගෙය දෙසට පියනගන්නට විය. නොඑසේනම් මට බුදුබණද අමතක වන්නට තිබුණි.
දන්ගෙය පුරාම පුස්ගඳ වහනය විය. සාමණේරවරු පස් නමකට ආසන්න පිරිසක් සිටියද ඉන් කිසිවෙකු උදේ දන්වේල පසු ඉඳුල් භාජන හෝ කුණු භාජනය අස්කර නැත. අපි දන් භාජන පැත්තකින් තබා ඒවා මුලින්ම අස්කලහ.
“මේවා ලොකු හාමුදුරුවන්ගේ වැරදි...චන්දානන්ද ලොකු හාමුදුරුවෝ ඉන්න කාලේ මේ පන්සලේ තිබුණු පිලිවෙල..උන්වහන්සේ ගමේම කෙනා නිසා මේක පණ වගේ ආරක්ෂා කල..කොච්චර ගමට නරක වුණත් සීවලී හාමුදුරුවොත් මේක ආරක්ෂා කලා ගෝලයන්ටත් හොඳට විනය කියලා දුන්නා...ඒකට දැන්...කාට කියන්නද මේවා..අර බුදු බණේ කියන්න වගේ බුද්ධ සාසනේ අවසන් ශ්‍රාවකයා පහලවෙන්න ගොඩක් ලඟයි වගේ...“
ගුණේ මාමා භාජන සෝදන අතර ආවේගයට මෙන් කීය. මම කිසිත් නොකියා භාජන අස්කරන්නට විය. ඒ අතර තවත් කුඩා සාමණේර නමක් හතිදාගෙන දිව එන්නට විය.
“දානේ තියලා යනවා නේද?“
සාමණේර හිමියන් ඇසීය. එය ඇසුවේ ගුණේ මාමාගෙන්ය. හිතේ ආවේගයට ගුණේ මාමා පිලිතුරු නොදුන්හ. මගෙන් නොඇසූ නිසා සහ හිතේ තිබූ වේදනාවට මමද පිලිතුරු නොදුන්හ.
“දානේ තියලා යනවා නේද?“
සාමණේර හිමියන් තවත් කීපවරක්ම එකම පැණය ඇසූ කල්හි මගේ සීමාවද ඉක්මවන්නට විය.
“නෑ..බුද්ධ පූජාව තියලා වැඳලා යන්නේ...මම දන්න විදියට දානේ දෙනවා කියන්නේ එහෙමයි...පොඩි හාමුදුරුවෝ බෝල ගහලා කැමති වෙලාවක ඇවිත් මේවා වලඳන්න...ඔබ වහන්සේලා බෝලෙන් ගැහුවේ ඔබ වහන්සේලටම ගෙනාපු දන් වේලට...ඒ වේල දෙන්න දරණ මහන්සිය පන්සලටම ලඟටම ගෙනැත් බෙදලත් යන නිසා ඔබ වහන්සේලා දන්නේ නැතුව ඇති...ඒ වගේම මම දන්න විදියට බුදුහාමුදුරුවෝ ශ්‍රාවක හාමුදුරුවන්ට පිඬු සිඟා වඩින්නට කියලා තමන් වහන්සෙත් එහෙම වැඩියේ ක්‍රියාවෙන්ම ආදර්ශේ දෙන්න.උන් වහන්සේ එහෙම කරන්න කියලා කිව්වේ තමන් ගන්න දන්වේලේ අගේ තමන්ට තේරෙන්නේ ඒක ගන්න දරණ මහන්සිය දැනුනම කියන එක තේරෙන්නයි...අවසර හාමුදුරුවනේ..“
එසේ කියා බෙදූ බුද්ධ පූජාව අතට ගත් මම බුදු ගෙය දෙසට යන්න සැරසෙන විටම දුටුවේ ජනේලය අසල අනෙක් සාමණේර හිමිවරුද බැට් බෝල සමගින් සිටින ආකාරයයි. මගේ ආවේගශීලී ස්වරයට ඔවුන් මදක් බියපත් වී ඇති අයුරු පෙනෙන්නට විය.
මම ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වා තෙල් මල් හා බුද්ධ පූජාවද රැගෙන බුදු ගෙය දෙසට යන්නට විය. මගේ පිටුපසින් ගුණේ මාමාද එන්නට විය.
“ගුණේ මාමේ...අම්මට මේවා කියන්න එපා...හිත නරක් වෙයි...අපි වැඳලා අම්මට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා යමු...“
අපි බුදුගෙයට ඇතුල් වන්නට විය.
“ධම්මාරාම...ගිහින් පින් දීලා එන්න...“
ලොකු හාමුදුරුවන්ගේ හඬ ආවාස ගෙයි ඈතම කාමරයකින් රූපවාහිනියේ නාදයට මදක් වැඩි හඬකින් ඇසෙන්නට විය.
ඇත්තම තත්වය ඕක තමයි.
ReplyDeleteසිරාවට සිරාවට...
ReplyDeleteඇත්තටම! අපි දැන් නමට බෞද්ධ විතරයි! පන්සලුත් නමට පන්සල් විතරයි!
ReplyDeleteගොඩදාන්න බැරිතරමටම ඔක්කොම කුණුවෙලා ඉවරයි.
ReplyDeleteමම නම් දන්න කියන අයට කියන්නෙ දානයක් දෙන්න ඕන නම් ළමා නිවාසෙකට හරි වැඩිහටි නිවාසෙකට හරි දෙන්න කියලා හාමුදුවරු ආදායම් උපයන නිසා ඒගොල්ලන්ගෙ කෑම ඒ ගොල්ල හදාගනියි. අපි කරදරවෙන්න ඕන නෑ.
කතාව සම්පුර්ණ ඇත්ත.
ReplyDeleteබොහොම වටිනා ලියවිල්ලක්..ඇත්තටම සිද්ධවෙනවා මේ වගේ දේවල් සමහර තැන්වල...
ReplyDelete"සොරි අය්යෙ" ....හ්ම්...මට ඇත්තටම ආවේගයක් දැනුන..
තමන් හැදෙන එක තමයි කරන්න තියෙන්නෙ...
ReplyDelete'හිතට දැනුනේ තරහකටත් වඩා මහත් වේදනාවක්ය. අම්මා මේ හොඳි භාජනය හදන්නට කොතරම් වෙහෙසුනාද. මෙයට පොල්ගෑවේ පෙරදින රාත්‍රී පොඩි අක්කාය. උදෑසන මෙයට පොල්කිරි මිරිකා ලිපේ තබා ඉහින් කනින් දාඩියද දමාගෙන මෙය රත්කලේ අම්මාය. අම්මා මෙය දුටුවානම් කොතරම් දුකක් දැනෙනු ඇද්ද. මාගේ සිතට ඇතුල්වූයේ එම සිතුවිල්ලය.'
ReplyDeleteමේ ටික මටත් හොඳට හිතට දැනුනා..
අනේ මන්ද කියල තමයි කියන්න වෙන්නේ..
කොහොම උනත් ලියවිල්ල හොඳයි!
ජයම වේවා
ගොඩක් තැන්වල ඇත්ත ඕක
ReplyDeleteකාට කියන්න ද බන් මේවා.. කියලා වැඩකුත් නෑ..
ReplyDeleteහැබැයි අපේ ගමේ පන්සල් නම් තවම ඔය තත්වෙටම පත්වෙලා නෑ. නමුත් ඔයිට ක්‍රමයෙන් ආසන්න වෙමින් තියෙන්නෙ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
පන්සලට ගොස් ඇත්තේ කිසිදා සෙල්ලම් කොට නැති චරිතයක් බව කතාව කියවීමේදී පැහැදිලි වේ. නෙඑසේනම් කුමක් හෝ ශාරීරික ආබාධයකට ලක්ව ඇති චරිතයක් විය යුතුය.
ReplyDeleteබුදු දරුවන් වීමට ප්‍රථම සියළු දෙනාම සාමාන්‍ය මව්වරුන්ගේ දරුවන්ය. ඔවුන් සෙල්ලම් කරයි. දුව පැන ඇවිදිති. සංවරවීම ඇරඹෙන්නේ වයසින් මුහුකුරායාමත් සමගමය. එයට ධර්මය හා වෙනත් පාරිසරික කරුණු බලපානුලබයි.
ගම්වල පන්සල් වල පුංචි හාමුදුරුවරුන්ට සෙල්ලම් උපකරණ පූජා කරන උපාසකම්මලා කොතෙකුත් මා දැක ඇත. ඔවුන් එසේ කරන්නේ උන්වහන්සේලා මෙසේ හෝ ඔවුන්ගේ ළමා කාලය ගතකොට රටේ සංඝ ශාසනය පෙරටගෙනයාම සදහා අවශ්‍ය භික්ෂූන් වහන්සේලා නිර්මාණ කිරීම සඳහාය. එසේ නොවන බොහෝ දෙනා විවිධ දේ වලට ඇබ්බැහි වී කලය පැමිණි පසු සිවුරු හැර යයි. එමෙන්ම හිමිවරුන්ට කැප අකැප දේ පිළිබඳ පවසමින් දඩයමේ ගොස් කසිප්පු පෙරන උපාසක මහතුන්ද සමාජයේ දැක ගත හැකිය. නමුත් ඔවුන් අඩුපාඩු පෙන්වන නමුත් තථාවාදීව පවසන දේ සිදුකර පෙන්වීමට ඉදිරිපත් නෙවේ. කිසිදු කෙනෙක් මහණ වීමට ඉදිරිපත් නොවේ. දන් දීම සඳහා කළ යුතු කැපකිරීම අප සියළුදෙනා හොඳාකාරවම දනිමු. ඒ පිටුපස ඇති කඳුල දාඩිය හා පරිත්‍යාගය යන සියළු දෑ අර්ථවත් වන්නේ එය කුමක්දැයි නිවැරදිව තේරුම්ගෙන කටයුතු කලහොත් පමණි. මෙය රචනා කරන්නට යෙදුනු පුද්ගලයා සාමණේර හිමිවරුන්ගේ කෙලි සෙල්ලම මහා අපරාධයක් ලෙස දැක්වීමට හා ඒය කියවන පුද්ගලයා තුල පන්සල - හාමුදුරුවරු පිළිබඳ කළ කිරීමක් ඇති කිරීමට උත්සාහයක් දරා ඇති ආකාරය මනාව පැහැදිලි වේ. එහි පසුබිම හා නිසි අරමුණ කුමක්දැයි මා නොදනී. නමුත් එක් දෙයක් මා හොදින් දනී. දිනෙක පරිප්පු භාජනය වෙත බෝලය එවූ හිමිනම ඔබේ දයාබර මවගේ පාංශකූලයට පැමිණ අනිත්‍යප්‍රතිසංයුක්ත ධර්ම දේශනාවෙන් ඔබේ සිත නිවනු ඇත. එසේ උන්වහන්සේලා වඩම්මවා ගැනීමට නම් අප උන්වහන්සේලා රැක ගැනීය යුතුය. නොඑසේනම් අපගේ කටයුතු වලට වඩම්මවා ගැනීමට හාමුදුරුවරු අප රටේ නොමැති වනු ඇත.. සියළු දෙනා විවේචනයට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුය.
ස්ථිවිරයන් වහන්සේ නමක් මේ සිදුවීම දකිනා ආකාරය පිළිබඳ දැන ගැනීමට ලැබීම බොහොම සතුටක්.
Delete