Feb 4, 2021

නිදහසේ සිට ජාතිය දක්වා විතැන්වීම සහ පරිණාමණයවීම

 


අද ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ යටත් වැසියන් සමරමින් සිටින්නේ 73 වැනි නිදහස් දිනය බව පොල්ගෙඩි අකුරින් ලියවුණු පත්තර සිරස්තල ගණනාවක් දුටුවෙමි. 1948 බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ලංකාව අතහැර යන්නේ ලංකාවේ සිදුවූ මහා නිදහස් විප්ලවයක ප්‍රතිඵලයක් ලෙස අපගේ වත්මන් පරපුර සිතා සිටියි නම් එසේ සිතාගෙන සිටියාට වරදක් නැත.

නමුත් සිතීම සහ අවබෝධය අතර ඇත්තේ විශ්ලේෂණාත්මක,ගවේශණාත්මක සහ බුද්ධිමය වෙනසක් බව වටහාගත යුතු නිසාම ලංකාවේ යටත් විජිත පාලනයෙන් ගිලිහීම යන මාතෘකාව අරඹයා වත්මන් පරපුර සොයා බැලිය යුතු කරුණු බො‍හෝ ය. 1948 වන විට ලංකාවේ යටත් විජිත පාලනය ගිලිහීමට බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාව අතහැරීම සහ ඉන්දියාව නොමැතිව පෙරදිග බලය පවත්වාගැනීමේ අවශ්‍යතාවයක් නොවීම එක් හේතුවකි.

අනිත් පැත්තෙන් ඒ වනවිටත් බ්‍රිතාන්‍යයට සිය වෙළඳ ව්‍යාප්තවාදය තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කීකරු කළුසුදු පාලක පන්තියක් ලංකාවේ බිහිවී තිබීම සහ ඔවුන් විසින් ස්වදේශිකයන් ඉතා සූක්ෂමව රවටමින් පාලන බලය පවුල් කිහිපයක් අතරේ හුවමාරු කරගැනීම දශක කිහිපයක් තිස්සේ ප්‍රායෝගිකව සාර්ථක බව පෙන්වාදී තිබුණ නිසා සැබවින්ම බ්‍රිතාන්‍යයට තවදුරටත් භෞතිකව ලංකාව පාලනය කිරීම අවශ්‍ය නොවීය. ඒ වෙනුවට තවදුරටත් බ්‍රිතාන්‍ය පාලනයේ ක්‍රමවේදයේ දිගුවක් ලෙසින් ලංකාවට හඳුන්වාදී තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලණුවද ලාංකික කළුසුදු පාලකයන් විසින් ඉතා පහසුවෙන් ගිලගැනීම නිසා බ්‍රිතාන්‍යයේ සිට ලංකාව පාලනය කිරීම ඉතා පහසු විය.

1948 ට පසු

එකී නාමමාත්‍ර නිදහස නැමති සංකල්පය ස්වදේශික සිත්වල මතකයේ රැ‍‍‍දිය හැකි සිදුවීමක් කරනු වස් 1815 උඩරට ගිවිසුම, 1818 සහ 1848 ස්වදේශීය කැරලි ගැන සිහිපත් කරමින් ස්වදේශිකයන්ගේ ජාතිහිතෛශීභාවය සහ මව්බිම පිළිබඳ ඇති මාතෘත්ව සංකල්පය ඉතා සැලසුම් සහගතව උත්කර්ෂයට ගෙනයාමට මෙරට පාලක පන්තිය කටයුතු කරන ලද්දේ ‘නිදහස’ නැමති සංකල්පය තුල ඇති ආශ්වාදය විඳීම තුලින් තවත් දශක කීපයක් මෙරට පාලනය වෙනත් කිසිඳු ධනාත්මක වෙනසකින් තොරව පවා ගෙනයා හැකි බවට විශ්වාස කරමින්ය.

නමුත් එවකට ඇවිලෙමින් තිබූ ජාතීන් අතර අර්බුදය වෙනුවෙන් ස්ථිරසාර විසඳුමක් දෙනවා වෙනුවට තව තවත් ජාතීන් භේද කිරීමේ දේශපාලනික ප්‍රතිපත්තීන් නිසා 1948න් පසු අඩුම තරමේ නාමමාත්‍ර නිදහස නැමති සංකල්පයෙන් මත්වී ස්වදේශීය ආර්ථිකයක්, අනන්‍ය සංස්කෘතියක් උදෙසා පෙළගැසෙමින් තිබූ ජනතාව ධනාත්මකව භාවිතා කිරීමට පාලකයන්ට නොහැකිවිය.

එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකමය වශයෙන් ශක්තිමත්ව තිබූ ලංකාව ණය උගුලකට හසුවීමේ සිට දේශපාලනික අස්ථාවරත්වයට බලපෑ හේතු ගණනාවකින් පසු මෙරට බරපතල ආර්ථික,සමාජයීය හා දේශපාලන පසුබෑමකට ලක්විය.

වැරදුණු තැන

පශ්චාත් යටත් විජිත සමය දශක හතකට වැඩි කාලයක් බවට පත්වෙද්දී එකී සමය පුරා රට මේ තරම් පසුබෑමකට ලක්වීමකට යටත් විජිත සමය තුල ගත් තීන්දු තීරණ බෙහෙවින් බලපෑම් කලහ. එසේම නිදහස් ලංකාවේ පළමු රජය ලෙස නම් වූ රජයේ පටන් වත්මන් රජය දක්වාම බොහොමයක් වැරදුණු තැන් නිවැරදි කරගත් බවක් පෙනෙන්නට නැත.

ජාතින් වශයෙන් බෙදීම ඇතිවීමට ප්‍රධානතම හේතුව වූයේත් යටත් විජිත පාලකයන් විසින් තමන්ට විරුද්ධව නැගුණු ස්වදේශීය විරෝධයන් මර්ධනය කිරීම දිගින් දිගටම බයිනේත්තු තුඩෙන් කල නොහැකි තැන උපක්‍රමශීලීව ජාතීන් අසමගියට පත්කරන තැනට පත්වීම සමගය. යටත් විජිත පාලනයන්ට එරෙහිව නිදහස් සටන් කල බොහොමයක් රටවල්වල එම සටන් ජාති,ආගම් හෝ කුල මත පදනම්ව නොබෙදී කටයුතු කරද්දී ලංකාවේ නිදහස් සටන තවත් අනු කොටස් වලට කැඩී යාම නිසා දියාරු ව්‍යාපාරයක් බවට පත්විය.

ලංකාවේ බොහොමයක් නිදහස් සටනේ නායකයන් ජාතිකවාදී නායකයන් නොවී ජාතිවාදී නායකයන් බවට පත්වීම නිසා ජාතීන් අතර අසමගිය උඩුදුවන ගැටළුවක් බවට පත්විය. එපමණක් නොව බහුතරය නියෝජනය කළ සිංහල-බෞද්ධ සමාජය ඇතුලේද කුල සහ උඩරට පහතරට පදනම් කරගෙන පැවති ගැටුම් නිසාවෙන් පීඩනයට පත්වූ පාර්ශවයන් ජාතික සටන පසෙක තබා සිය අයිතීන් සහ සමාන වරප්‍රසාද වෙනුවෙන් පමණක් නොව පීඩනයෙන් ගැලවීම උදෙසා සටන්කරන්නට විය. 1971 සහ 1988 දකුණේ තරුණ කැරැල්ලට මෙන්ම හැත්තෑව දශකයේ උතුරේ ඇරඹි තරුණ නැගී සිටීමටද හේතුව ජාතීන් අතර ප්‍රශ්නයට වඩා කලින් සඳහන් කළ කුල සහ ප්‍රාදේශීය බෙදීම් නිසා හටගත් පීඩනයන් බව 71 මහ නඩුව සහ එම කැරැල්ලෙන් පසු පිහිටවූ ජනාධිපති කොමිසමේ නිර්දේශ වාර්තා ලෙස සඳහන් විය. එසේම ලියුම්කරුගේ මතකය පරිදි 2009 උතුරේ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව එවකට මහින්ද රාජපක්ෂ රජය විසින් පත්කල උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ වාර්තාවේද මෙකී සමාජයීය ගැටළු සම්බන්ධයෙන් ප්‍රාමාණික බරතැබීමක් කර තිබූ බව සිහිපත් කල යුතුය.

නිදහස තුල පල්වීම

අපි අදටත් පෙබරවාරි 04 දින සමරන්නේ වසර හැත්තෑවකට ‍එපිට අතීතයේ යටත් විජිත පාලකයන් විසින් මේ රට හැරයාමේ සිදුවීම මිස රටක් ජාතියක් වශයෙන් ආඩම්බර විය හැකි දිනයක් නොවීම කණගාටුවට කරුණකි. ලියුම්කරුගේ ජීවිත කාලය පුරාම නිදහස් උත්සව වශයෙන් පෙබරවාරි 04 දින සිදුවන සිදුවීම් ලෙස නම්කල හැක්කේ මිලිටරි පෙලපාලි, වසර හැට හැත්තෑවක් පැරණි ආනයනික ආයුද ප්‍රදර්ශනය, ප්‍රකට සංස්කෘතික කණ්ඩායම් කිහිපයක නර්තනයන් සහ රාජ්‍ය නායකයාගේ දේශපාලන න්‍යාය පත්‍රය සහ පසුගිය වසරේ සිදුවූ දේශපාලන විපර්යාසයන් පිළිබඳ පම්පෝරියක් මිස අන් යමක් නොවෙිය.

නමුත් ඔබ වැරදීමකින් හෝ වෙනත් රටක ‘ජාතික දිනයක්’ සැමරීම නරඹා ඇත්නම් එහිලා ජනතාව සහ පාලකයන් කටයුතු කරන ආකාර‍ය ලංකාවේ සැමරීමට සහ ආකල්පමය දිශානතියට කොතරම් වෙනස් ද යන්න අධ්‍යයනය කර ඇතුවා නිසැක ය. බොහෝවිට එම රටවල් උත්සහ කරන්නේ ජාතික දිනය තුල එරට අගනාකම් පිළිබඳ ලොවට හඬගා කීමටය. රටේ සංස්කෘතිය පෝෂණය, පරිපාලනයේ විධිමත්භාවය, නව්‍යකරණයන්, ජාත්‍යන්තර ජයග්‍රහණයන්, රටේ අනන්‍යතාවය වැනි අංගවල අනගිබවනීයත්වය එම අවස්ථාවට පැමිණෙන ජනතාව, රාජ්‍ය නායකයන්, තානාපතිවරුන්, ව්‍යාපාරිකයන් වැනි කණ්ඩායම්වලට මෙන්ම මාධ්‍ය ඔස්සේ එය නරඹන ලෝකවාසීන්ට හඬගා කීමට ය. ඒ නිසා එතනැදී යුදමය ශක්තිය විදහා දැක්වීම යනු එක් අංගයක් මිස සමස්තය හෝ බහුතරය නොවේය.

ඒ නිසා ලංකාව ජාතික දිනය සැමරීම පසෙකලා නිදහස් දිනය ලෙස මිලිටරිමය සංදර්ශනයක පහස විඳීම වනාහි රාජ්‍ය නායකයා සහ මැති ඇමතිවරු පිනවීම උදෙසා සිදුකරන පැරණි භාණ්ඩ ප්‍රදර්ශනයක් වැනිවීම ඛේදජනක තත්ත්වයකි. නමුත් ජාතික දිනයක් සැමරීම තුල රටක් ලෙස පසුගිය වසරේ ලද ජය, නව්‍යකරණයන් හා සංස්කෘතික නැගීසිටීම් ගැන ලංකාවේ පාලකයන්ට කිසිඳු අවබෝධයක් අදහසක් නැත. එසේනම් ජනතාවටද එසේ ඇතිවිය නොහැකිය. එසේම රාජ්‍ය නායකයා ජාතික දිනයකදී සිදුකල යුතු කතාව රට වැසියන් ධනාත්මකව, ඉදිරිගාමීව ශක්තිමත් කළ හැකි මෙන්ම, රාජ්‍යයේ ඉදිරි දැක්ම ප්‍රකාශ කරන කැඩපතක් විය යුතුය. නමුත් ඔබ අද දින ලංකාවේ රාජ්‍ය නායකයාගේ කතාවට කන්දුන්නා නම් නිරායාසයෙන්ම ඔබට කණගාටුවක් දැනෙනු නොඅනුමාන ය.

පොත්තේ ජාතිකත්වය

පසුගිය දශක හතක අටක කාලය තුල ලංකාවේ සියළුම රාජ්‍ය නායකයන් සහ රජයන් පාහේ පො‍ත්තේ ජාතිමාමකයන් ය. අභ්‍යන්තරයෙන් කුණුවී පණුවන් ගැසූ පුද්ගලික දේශපාලන න්‍යායපත්‍ර, ජාතාවාදී කුමන්ත්‍රණ, අපරාධ, දූෂණ සහ වංචා පිරුණු හැලියක් ය. එහෙත් පාලකයන් කල්ගතවෙත්ම ජාතිකත්වයේ සීතාම්බර සළු ගලවා නිරුවතින් රිසිසේ ජඩවාදිත්ව රංගනයේ නිරතවෙනු දැකගත හැකිවිය.

එහෙත් තවමත් ලංකාවේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් ජාතිකත්වය සහ ජාතිමාමකත්වය සම්බන්ධයෙන් මෙන්ම අනන්‍ය ශිෂ්ටාචාරගතවීමක් තුලින් රටක් ලෙස ඉදිරියට යායුතුය යන්න විශ්වාස කරන බව ලියුම්කරුගේ අදහසයි. ඒ නිසා එවැනි තැනකට යාමට දශක ගණන් පල්වෙන ‘නිදහස’ නැමත් පට්ට ගැසූ සංකල්පය වෙනුවට ‘ජාතික’ යන සංකල්පය හෝ ‘දේශය’ යන සංකල්පය කුළුගැන්විය යුතුමය.

බොහොමයක් ආර්ථිකමය සහ සමාජයීය සංවර්ධනයක් අති රටවල් එසේ සංවර්ධනයවූයේ ජාතිකත්වය සහ ස්වදේශීය චින්තනයේ පිහිටාමිස දශක ගණන් පැරණි නිදහස් තෘප්තියක් වසරක් ගානේ අතපත ගෑමෙන් නොවේ ය. අපි අපෙන් විමසිය යුතු ප්‍රශ්න කිහිපයක් ඇත, අපි අපේ පාලකයන්ගෙන් විමසිය යුතු ප්‍රශ්න කිහිපයක් ඇත. ඉන් එකක් නම් මේ පාලකයන් සැබෑවටම ජාති හිතෛශීන් ද යන්න ය, එසේම මේ පාලකයන්ට රට සමෘද්ධිමත් කරන නිසි ප්‍රායෝගික සැලැස්මක් හෝ දර්ශනයක් ඇති ද යන්න ය, එපමණක් ද නොව එවැනි මාවතක් වෙත අවතීර්ණවී දුෂ්කර ගමනක් යන්නට මේ රටේ ජනතාව සූදානම් ද යන්න ය. මෙකී ප්‍රශ්න තුනටම ලියුම්කරුගේ පිළිතුර නම් ‘නැත’ යන්න ය. ඔබේ පිළිතුරු ඇතැම්විට වෙනස්විය හැකිය. නමුත් ඔබේ පිළිතුරු සාධාරණීකරණය කිරීමට පෙර මෙකී ප්‍රශ්නවලට පිළිතුරු දීමට අප යොදාගන්න සාධක සහ පාර්ශවයන්ගේ අතීත භාවිතාවන් සහ වර්තමාන හැසිරීම් මධ්‍යස්ථව සහ මනාව විනිශ්චය කිරීම අත්‍යාවශ්‍ය ය. නැත්නම් මේ පිළිතුරු හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා ට දෙවනි නැත.

ලංකා මාවත

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවේ පාලකයන් මෙන්ම ජනතාව වනාහි වැටීම් වලින් හෝ පැරදීම් වලින් පාඩමක් ඉගනගන්නා පිරිසක් නොවේ ය. එසේම අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නට උපාය මාර්ගිකව ශක්තියක් ඇත්තෝ ද නොවෙති. නව්‍ය ඉගනීම්, ගෝලීය භාවිතයන්, තාක්ෂණය, මානුෂීය ගුණාංග, ස්වයං විනය හෝ අභිප්‍රායන් මුදුන්පත් කරගැනීමේ වුවමනාවක් ඇති පාලකයන් හෝ ජනතාවක් ලෙස ‍ලංකාවේ ජනතාව හැඳින්වීමට නොහැක. මෙකී ගුණයන් ඇති අතලොස්සක් එක්කෝ මේ භූමි සන්දර්භයේ විසීමට නොහැකිව රටින් පිටවී යති, නැතිනම් මෙහි නිශ්ශබ්දව ජීවත්විය මියයති.

ඒ නිසා මෙරට නිවැරදි මාවතට ගැනීමටනම් ජාතිකත්වය සහ ස්වදේශීය සංකල්පය සමග පෙරකී සංකල්පයක් මිශ්‍රවීම සහ එය ‍පෙර පාසල් අධ්‍යාපනයේ සිට වෘත්තීය අධ්‍යාපනය දක්වාම පෙලගැස්විය යුතුය. සංස්කෘතිකව සහ සමාජයීයව ගුණගරුක මිනිසුන් බිහිකිරීමට කලාව සහ අනෙකුත් අර්ථ ශාස්ත්‍රයන් දියුණු කල යුතුය. බල්ලන් මරා හෝ සල්ලි හොයන ආර්ථිකවාදයන් වෙනුවට සැමට සහනයක් විය හැකි අර්ථ ක්‍රමයක් බිහිවිය යුතුය. එවැන්නකට දිරි දෙන ‘ජාතික දිනයකින්’ සහ ‘ජාතික හැඟීමකින්’ තොර ‘නිදහස් දිනයක්’ වනාහි කෝටි ගණනක් මුදල් වැය කරන දවසක ආතල් එකකට ගන්නා බයිට් එකක් පමණක් බව ලියා තැබිමට කැමැත්තෙමි.


No comments:

Post a Comment