Feb 15, 2024

නිවැරදි තැන සිටගන්නට බිය නොවන්න - To kill a Mockingbird (1962)

 


1930ට ආසන්න කාලවකවානුක කියන්නේ ඇමරිකාව ඇතුලේ වර්ගවාදී ගැටුම් ඉතා දැඩි විදිහට උද්ගතවෙමින් තිබුණ කාලයක්. කළු ජාතිකයන්ට එරෙහිව ඇමරිකානු සුදු හම ඇති ජනතාව ගෙනගිය කෘෘරතර ජාතිවාදී පිළිවෙතට එරෙහිව කළු ජාතිකයන් අතරින් අරගල බිහිවෙන කාලය. මේ අරගලය පනහේ දශකයෙන් පස්සේ මාටින් ලූතර් කිං ලා, මැල්කම් එක්ස් ලා අතට අරගෙන එහි ජයග්‍රහණය දක්වා ගමන් කළත් ශත වර්ෂයකට වැඩි කාලයක් තිස්සේ පැවතුන් වර්ගවාදී ගැටුම්වලින් සිදුවුණු හානිය කියලා නිමකරන්න බැරිවුණා.

To Kill a Mockingbird පොත 1960 දි සුප්‍රකට ඇමරිකානු සුදු හම ඇති ලේඛිකාවක් වන හාපර් ලී අතින් ලියවෙන්නේ මෙන්න මේ සිදුවීම් දාමය අතරේයි. 1962 දි රොබට් මුලිගන්ගේ නිර්මාණයක් විදිහට තිරගත වෙන To Kill a Mockingbird චිත්‍රපටයට පදනම්වෙන්නේ හාපර් ලී ගේ මේ කෘතියම තමයි. මේ කෘතිය 70 දශකයෙන් පස්සේ ලෝකය පුරාම භාෂා ගණනාවකට පරිවර්තනය වෙමින් ජනප්‍රය වුණා. ඒ ජනප්‍රියත්වය වගේම මේ පොතේ කතාව කොයිතරම් වටිනා එකක්ද කියනවනම් බ්‍රිතාන්‍යයේ පුස්තකාලය මේ පොත නම්කලේ බයිබලයටත් වඩා වටිනා කෘතියක් විදිහට. ඒ නිසාම ‘සෑම වැඩිහිටියෙක්ම මැරෙන්නට කලින් කියවිය යුතුම පොතක්‘ විදිහට To Kill a Mockingbird නම් කරන්න ඔවුන් පසුබට වුණේ නෑ.

මේ චිත්‍රපටයට පදනම් වෙන කතාව 1930 ආසන්න කාලයේ ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ, මොන්රෝවිලා කියන ප්‍රදේශයේ සිදුවුණු සත්‍ය සිදුවීම් ගණනාවක් එකතු කරලා හදපු කතාවක්. ඇටිකස් ෆින්ච් කියන බොහොම සෘජු වගේම තමන්ගේ භාවිතාවෙන්ම ප්‍රතිපත්තිගරුකභාවය ප්‍රදර්ශනය කරන නීතීඥවරයා වටා මේ කතාව හරි අපූරුවට ගෙතෙනවා.

ඇටිකස්ගේ බිරිඳ මියයන්නේ ඔහුගේ දරුවන් දෙන්නා බොහොම පුංචි කාලෙදි. ඔහුගේ පුත්‍රයා ජෙම් සහ දියණිය ස්කෞට් මේ මහපොළවේ පයගහලා ජීවත්වෙන්න පුළුවන් යථාර්ථවාදී දරුවන් බවට පත්කරවන්න ඇටිකස් ඉතාම වෙහෙසක් ගන්නවා. සමාජ පන්ති භේදය ගැන නොතකන, මුදල මත පදනම් වෙන සමාජයේ එසේ නොවී උඩුගං බලා පීනායන ඇටිකස්ට එක්තරා අවස්ථාවකදි මුහුණදෙන්න වෙන්නේ තමන්ගේ ජීවිතේ කිසිම දවසක නොහිතපු සිදුවීම් මාලාවකට.

ටොම් රොබින්සන් නැමති නීග්‍රෝ ජාතික කළු තරුණයා දුප්පත් ගොවි පවුලක සුදු ජාතික තරුණියකට අතවර කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරද්දි, විත්තිකරුවා වෙනුවෙන් පෙනීසිටින්න නියම වෙන්නේ ඇටිකස්ට. ඔහු මේ අභියෝගය බාරගනිද්දි ඒ සම්බ්න්ධයෙන් ජෙම් සහ ස්කෞට් විමසද්දි තමන්ට නගරයේ කොන්ද කෙලින් තියාගෙන ජීවත්වෙන්න නම් මේ වගේ අභියෝග බාරගන්නම වෙනවා කියලා ඇටිකස් පුරුදු ස්ථිරසාර ස්වරයෙන්ම කියා සිටිනවා. 

මේ නඩුවෙදි කළු ජාතික සැකකරුවෙක් වෙනුවෙන් පෙනී සිටීම නිසා ඇටිකස්ට තමන්ගේ හමේ පැහැය හිමි ඇමරිකානු අසල්වැසියන්ගෙන් වගේම නගර වැසියන්ගෙන් විවිධ තාඩන පීඩන එල්ලවෙනවා. ඒත් ඒ කිසිම දෙයක් තඹයකට මායිම් නොකරමින් ඉතාම ඉවසීමෙන් ඇටිකස් කටයුතු කරන ආකාරය චිත්‍රපටයෙන් ඉදිරිපත් කිරීම ඉතාම විශිෂ්ටයි. ඇමරිකානු රංගන ශිල්පී ග්‍රෙගරි පෙක් මේ චරිතය රඟදක්වන ආකාරය ඉතාම ප්‍රශංසනීයයි කියන එක ලියා තැබිය යුතුම එකක්.

මේ තාඩන පීඩන සහ ගැරහුම් මැද්දේ උසාවියේ ජූරිය විසින් අවසන් තීන්දුව ලබාදෙන වෙලාවේ විනිසුරුවරයා පිටවයන අවස්ථාවේදීවත් අසුනෙන් නැගීසිට ආචාරය නොදක්වන කළු ජාතික ජනතාව, ඇටිකස් ෆින්ච් උසාවියෙන් පිටව යනවිට නැගීසිට ගෞරවය දක්වන ආකාරය චිත්‍රපටය ඇතුලේ වර්ගවාදී අරගලය තුල සෘජුව පෙනීසිටින සුදු ජාතිකයන්ට ලබාදෙන උත්තම ගෞරවය ඉතා මැනවින් පෙන්වන අවස්ථාවක්. 

Mockingbird යන පක්ෂී වර්ගය ඇමරිකාවේ උතුරු කොටසේ බොහොම බහුලව ජීවත්වෙන පක්ෂීන් වර්ගයක්. රාත්‍රී කාලයේ ඉතා මිහිරිලෙස ගී ගයන කිසිම විටක මිනිසුන්ට කරදරයක් නොවෙමින් ජීවත්වෙන පක්ෂීන් වර්ගයක් විදිහට මොවුන් ප්‍රසිද්ධයි. ඒ නිසාම ඒ කාලේ තුවක්කුවක් හිමි ඇමරිකානුවන් Mockingbird කෙනෙක් මරාදැමීම හඳුන්වන්නේ අහිංසකයෙක්ට සිදුකරන පාපයක් විදිහටයි. ඒ නිසා හාපර් ලී මේ කෘතියට මේ නාමය හෝ යෙදුම භාවිතා කිරීම ඇතුලේ කොයිතරම් නම් මේ කතාව සහ සිදුවීම් දාමය ස්වදේශීකරණය කරන්නට සහ එකී භාවාත්මක ප්‍රකාශනයන් ජනතාව අතරට සියුම්ව ගෙනයන්නට උත්සහ දරා ඇතිද කියලා පෙනෙන්න තියනවා.

කොහොමවුනත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම To Kill a Mockingbird කියන්නේ උසස් සිනමා නිර්මාණ රසවිඳින ඕනෑම ප්‍රේක්ෂකයෙන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු මට්ටමේ චිත්‍රපටයක්. ලෝකයේ චිත්‍රපට ශ්‍රේණිගත කිරීම්වල ඉතාම ඉහළින් මේ සිනමා පටය තබා නැතත්, එයට හිමි ගෞරවය එලෙසින්ම ලබාදිය යුතු උසස් නිර්මාණයක්. මීට වසර 62කට කලින් නිර්මාණය වුණ චිත්‍රපටයක් වුනත්, අදත් ඒ නැවුම් රහ ඒ ආකාරයෙන්ම විඳිය හැකි නිර්මාණයක් විදිහට මේ සිනමාපටය හඳුන්වන්න පුළුවන්.

සිනමාවේදීන් ෆේස්බුක් සමූහය වෙනුවෙන් ලියූවකි 
2024.02.13

2 comments: