Jul 31, 2011

හමුවුණා...අනේ හමුවුණා...4 වැනි කොටස

ආදරේ කියන අකුරු ටිකේ තේරුම මට හරියාකාරව දැනිලා තිබුණේ නෑ. ඒත් දැන්නම් ඒක ඇතිවෙන්න දැනෙනවා. ඉරූ...මම ඔයාට ආදරේ කරනවා...ඉරුදිකා මම ඔයාට ආදරෙයි කියලා කෑ ගහලා කියන්න පුළුවන් තරමට හිත දගලනවා. ඒත් දෙයියනේ මම එයාට ආදරේ කලාට එයාට කව්රුවත් ලංවෙලා ඉන්නවද..එහෙමත් නැත්නම් එයා මට කවදාවත් කැමති වෙන එකක් නැද්ද කියලා මම කොහොමද දන්නේ. ඒකත් ඇත්ත..හදිස්සිවෙන එක හොදනෑ..හැමදේම හොයලා බලන්න ඕන හොදට..

 හිතේ දගලන පෙම් කතාව ලියන්න ටිකක් ප්‍රමාදවෙයි වගේ කියලා මට දැනෙන්න පටන් ගත්තා. ආයෙත් හමුවුණොත්..අම්මපා දෙකෙන් එකක් දැනගන්නවා..මොකක්ද දෙක..කැමතිද අකමැතිද කියලද? නෑ..තනිකඩද දෙකඩද කියලා. හිත මාත් එක්ක තර්ක විතර්ක කරනවා රෑ ජාමයක් වෙනකම්ම. ඉරුදිකා මගේ හිතට කොච්චර බලපෑමක් කරනවද කියලා දැන් තමයි දැනෙන්නේ.
   රෑ තිස්සෙ නින්ද යන්නෙත් නෑ. හීනෙන් පේන්නෙත් සොදුරු රුවැත්තියම තමයි.ඉතිං රෑට නින්ද යන්නේ එයාව හිතේ තියාගෙන උදේට නැගිටින්නෙත් එහෙමමයි. ඔයා මේ ජීවිතේට එනකම් මේ ජීවිතේ හරි පාළුයි ඉරූ..

  දවස් කීපයක් ගෙවිලා ගියා. ඉරුදිකාගේ මතකය හිතේ හොදට ඇදිලා තියනවා. නොමැකෙන්නම. පඩි දවස ආවා. පඩි අතට ආවම අවශ්‍යතා ඉබේම මතුවෙනවා. යටවෙලා තියන අවශ්‍යතා එලියට එන්නේ එදාටනේ. කලිසම් කීපෙක ඌනතාවෙන් පෙලිලා හිටපු මම කිංස්වත්තට ගියේ පුරුද්දකට වගේ. 

 මැරිලා මැරිලා යන්තං ප්‍රභාත් එකෙන් ඇදුම් ටිකක් ගත්තා. බිල දැක්කම අපි ආදි වාසී ජනතාව වගේ කොලඅතු එල්ලගත්තනම් කොච්චර සැපද කියලා දැනුනා. කොහොමින් කොහොම හරි හවස් වෙලා තිබුණට මාතරට පුරුදු විදියට ඉර තර්ජනය කරමින් හිටියා. හොදටම මහන්සියි. දිව ගිලෙන්න වගේ වතුර තිබහට. අයිස්ක්‍රීම් කරත්තයක් තිබුණත් ඒ සරතැස නිවන්න අයිස්ක්‍රීම් මදිවගේ දැනුණා. අඩියක් දෙකක් ඉස්සරහට ගියා ලවර් එක පහුකරලා. ඉස්සරහින් තියනවා ෆ්ලොරන්ස් එක. හිතුවා මොනවාහරි සීතලට උගුරට දාගන්න. පුදුම හදිස්සියකින් ෆ්ලොරන්ස් එක ඇතුලට ගිහින් බිල ගෙවලා ගත්තා දොඩම් යුෂ එකක්. උගුරයි බිව්වේ බාගෙට නිවන් ගියා වගේ. ඒත් මේ මද්දහනෙත් ගෑණු ලමයි කිසිම අමාරුවක් වෙලාවක් නැතුව ෂොපින් කරන විදිය දැක්කම පුදුම හිතුනා. සිල්වත් කමක් නැති මගේ ඇස් දෙක දිව්වා ෆ්ලොරන්ස් එක පුරාවටම. 

  දෙයියනේ ඈත කෙලවර තනි මේසෙක වාඩි වෙලා කූල් එකක් සප්පායම් වෙන සොදුරු රුවැත්ති...ඉරුදිකා...දැක්කා මගේ පින්වත් ඇස් දෙක. ඇයි දෙයියනේ මේ ටොකු ඇණ ඇණ දෙන්නේ..මෙහෙම කරන්නේ නම් හොදකට නෙවෙයි. මට එයාව දකින්න ඕන කියලා තදින්ම දැනෙනකොටම එයා මගේ ලගනේ..මේකට තමයි දෛවයේ විකාර කියන්නේ. මම හිටපු මේසෙන් නැගිටලා විදුලිය වගේ ගියා එයා ගාවට..ඒත් දැක්කේ නැතුව වගේ එයා ගාවට ගිහින් එකපාරටම පුදුම වෙලා බැලුවා..

...මේ ඉරුදිකා නංගි නේද....

එකපාරටම පුදුම වෙලා වගේ නම ඇහුණු පැත්ත බලපු කෙල්ලගේ මූණ හරි ලස්සන හිනාවකින් විකසිත වුණා. ඔන්න මගේ හිතට ආයෙත් කවි එනවා...

හි‍නාවෙන තරමට
විඩා නිවයි මා හද
කුමට මට දොඩම් යුෂ
දෙන්න හිනාව හදටම

ඔය විකාර කවි හිතට එද්දිම එයත් කතාකලා අර සුපුරුදු සුන්දර හඩින්ම.

...මේ.....සදීප අයියා නේද....

මගේ හිතේ මල් කලඹක්ම පිපුණා. ඒකියන්නේ කෙල්ලට මාව හොදට මතකයි. දෙපාරක් දැකලා නම හොදට මතක තියනවා කියන්නේ හොද ප්‍රගතියක් තියනවා.

 කොහොමත් මාතර කොල්ලෝ ආදරේ හරි ඉක්මණට හිත්වල රන්දනවා. ඒකටම හරියන ආදරයක් ලැබුණොත් ජීවිතේම ඒ ආදරේට දෙනවා..ඒත් ඒ ආදරේට බොරුවක් ‍කලොත් මාතර කොල්ලෝ නිකං ඉන්නෙත් නෑ...ඒ මාතර ආනුභාවය මාතර කෙල‍්ලෙක්ටම මුදාහරිද්දි යම් අවදානමක් තිබුණත් ඉරුදිකාගේ මතකයේ මගේ රැදීම ඇත්තටම මාරයි...

...ඔයාට එහෙනම් මාව මතකයි...මොකද මේ කරන්නේ අද..??

මම දොඩම් යුෂ වීදුරුවත් අරං එයාගේ මේසයේ ඉස්සරහ පුටුවෙන් වාඩිවුනා. ඉරුදිකා හරි මහන්සි පාටකින් හිටියේ.

...යාළුවෙක් එක්ක ෂොපින් ආවා...එයාගේ වැඩකට...ඒ ගමන් මමත් ගත්තා...යාළුවා ගෙදර ගියා මමත් දැන් යන්න කියලා...

සුන්දරම හිනාවක් මූණෙ තියාගෙන හරි හුරතල් විදියට කිව්වා. එහෙම කියද්දි ඉරූගේ ඇස්දෙක දිහා බලන් ඉන්න ආසයි...ලස්සන ඇස්දෙක ලග මොහොතක් නවතින්නට- අවසරදැයි කියන්න...මට එහෙමත් කියන්න හිතුනා..

...මාත් ආවා නංගි බඩු වගයක් ගන්න..මාත් යන ගමන්...

කෙල්ල හීනියට හිනාවුණා...මම ටිකක් ඉවසලා බලං ඉදලා කෙල්ලගෙන් ඇහුවා හීන්දාඩිය දාන ප්‍රශ්නයක්

...නංගි තුඩාවේ නේද?...

කෙල්ල ඒපාරනම් ටිකක් බයවුණා. මූණෙ තිබුණේ වික්ෂිප්ත වුණු ස්වභාවයක්.ඒත් එක ටිකක් මගඇරලා වගේ මගෙන් ඇහුවා

...අයියා කොහොමද දන්නේ...

ඉතිං ඔන්න ඉතිං සිල්පදයක් කඩාගෙන යන්න වුණා.

...දවසක් මම තුඩාව හරියෙන් එද්දි දැක්කා ඔයා ඉන්නවා. 

කෙල්ල මම දිහා බැලුවේ නිකං මම එයාගැන හොයනවා වැඩියි කියන්න වගේ...ඒත් මූණ හදාගත්තා ඉක්මණටම සාමාන්‍ය විදියටම

..ඔව් අයියා හන්දිය ලගමයි ඉන්නේ...

ඉතිං දෙන්නම ටිකක් හිනාවෙලා විස්තර කතාකර කර හිටියා. අදනම් මෙහෙම ගැලවිලා යන්න දෙන්න බෑ. අඩුම ගානේ නම්බර් එකවත් ඉල්ලගන්න ඕන. ඊට පස්සේ අලගිය මුලගිය තැන් සේරම දැනගන්න පුළුවන් එයාගෙන්ම. ඒත් එකපාරටම නම්බර් ඉල්ලුවට දෙනවද මේ නිල්වලා නිම්නේ කෙල්ලෝ. අපෝ එහෙනම් ලෝක පුදුමයක්. ඒක නිසා බිම බලාගෙන දොඩම් යුෂ එක බොන ගමන් උප්පර වැට්ටියක් කල්පනා කලා. ඔළුවට ආවා නියම අදහසක්.

...නංගි මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද?..

කෙල්ල පුදුම වෙලා වගේ මම දිහා බැලුවා.

...කියන්න අයියේ..පුළුවන් දෙයක් නම් කරන්නම්...

ඔන්න ඉතිං උප්පරවැට්ටියේ පලමු පියවර හරි.දැන් දෙවන පියවර

...නංගි මගේ යාළුවෙක් කම්නියුකේෂන් එකක පටන් ගන්නවා දෙවුන්දර..ඒකට හොද ඒවගේ වැඩ දන්න ගර්ල් කෙනෙක් හොයලා දෙන්න..මගේ යාළුවා නිතරම ඉන්නේ පිට..ඒක නිසා කම්නියුකේෂන් එක බලාගන්න විශ්වාසවන්ත ගර්ල් කෙනෙක් ඕන..මම හෙව්වා තාම හොයාගන්න බැරිවුණා...ඔයාගේ යා‍ළුවෙක් හරි දන්න කෙනෙක් හරි ඉන්නවනම් කියන්න...

බොරුවක් කියන්න කටට ආවත් මේනම් කිව්වේ ඇත්තමයි. නිසල් දෙවුන්දර කමිනියුකේෂන් එකක් පටන් ගන්න සේරම ලේස්ති කරලා කෙල්ලෙක් නැතුව දුක් විදිනවා. මම තැනේ හැටියට ඇණේ ගැහුවා.

....හ්ම්...මගේ මතකෙටනම් එහෙම කෙනෙක් එන්නේ නෑ..ඒත් අයියේ මම හොයලා බලලා කියන්නම්...

කෙල්ල පුංචි හිනාවක් දාගෙනම් කිව්වා. විද්ද ඊතලේ නියම තැනට වැදුනා. දැන් අවසන් පියවර. ගත්තා පර්ස් එක. එලියට ඇද්දා මගේ කාඩ් එක..තාම කුඩු ‍නොවී තියන එකක් අරන් දුන්නා ඉරූ අතට.

...නංගි මේ මගේ කාඩ් එක...අනේ හොයලා මගේ මොබයිල් එකට කෝල් එකක් දීලා කියන්න..ලොකු උදව්වක්...

කෙල්ල කාඩ් එක ගත්තේ සර්පයෙක් අතට දීපු ගාණටයි. ඒත් අරං දාගත්තා බෑග් එකේ පොකට් එකට. 

...හරි අයියා මම කියන්නම්...

වැඩේ හරිය. ඒත් කෙල්ල කතාකරන්නේ කෙනෙක් හමුවුණොත්ය. නැත්නම් කතා නොකර ඉදීවිද? එහෙම වුණොත් සියල්ල සුන්ය. 

..කෙනෙක් හොයාගන්න බැරිවුණොත් මට කියන්න නංගි...

මම ඊලග තුරුම්පුවත් ඇද්දේය.

...ඕකේ අයියා...මම කියන්නම්..

දැන් සියල්ල හරිය. අද ගෙදරින් බැහැපු වෙලාව හොදය. මම දොඩම් යුෂ අවසන් කරමින් ඇය දෙස හොරෙන් බලා සිටියේය. යන්නටවත් හිත ඉඩනොදේ. එවිටම ඇගේ ජංගම දුරකතනය නාද විය.

...හෙලෝ...ආ...එහෙමද...අනේ චුට්ටක් ඉන්න...මම එනවා...ඔන්න යන්න එපා..අනේ සොරි..මම එනවා...

ඇය කලබලෙන් සමාව අයදින ස්වරයෙන් දුරකතනයට පිළිතුරු දුනි. කව්ද ඒ? කව්ද මගේ ඉරූ එනකං බලං ඉන්නේ..අනේ දෙවියනේ මට මගේ ඉරූ කියන කෑල්ල ඉවත්කරගන්න වෙලාද? ඇරඹුමම කදුලක් වෙලාද..මට මොනවාද වුණි..

ඇය ඉක්මණට බීම එක හිස්කලහ. මමත් නිසොල්ම‍නේ හැගුම්බරව බලාසිටියේය. මගේ හිත එකපාරටම කළුවිය. ඇය අසුනින් නැගිට්ටාය.

...සොරි අයියේ..මම යනවා එහෙනම්..මම අරක කියන්නම්..බුදු සරණයි කියා...යන්න ගියාය. 

එක සැරයක් වත් ආපුසු නොහැරුනු ඇය ප්‍රශ්න ගොන්නක් මගේ හිතට දී යන්නට ගියාය. ඉක්මණින් ෆ්ලොරන්ස් එක ලගින් බ්‍රෝඩ් වේ පාරට බැස්ස ඇය බෝධිය පැත්තට ඉක්මණින් යන්න ගියාය.

මා හිත මහා පාළුවකින් හා ක්ෂණිකව ඇතුලුවූ බියකින් පෙලිනි. මහා ප්‍රශ්න ගොඩක් මා හිතේ කැරකේ..කෙසේ විසදාගනිම්‍ද?

- 5 වැනි කොටස - 

11 comments:

  1. ප්‍රභාත් එකෙන් අඳුම් අරන් ඉතින් ෆ්ලොරන්ස් එකෙන් ටොපියක්වත් නොගත්තොත් කිසි ෆිට් එකක් නෑනෙ......අපේම ජීවිතේ......... next plzz....

    ReplyDelete
  2. සහතික ඇත්ත මස්සිනා..ඒකනම්..නොකෑවත් මටනං අර වීදුරුවෙන් බැලුවත් ඇති

    ReplyDelete
  3. ඉරූ...මම ඔයාට ආදරේ කරනවා..
    හුටා....මම බය උනා :O

    ReplyDelete
  4. 1.කොහොමත් මාතර කොල්ලෝ ආදරේ හරි ඉක්මණට හිත්වල රන්දනවා. ඒකටම හරියන ආදරයක් ලැබුණොත් ජීවිතේම ඒ ආදරේට දෙනවා..ඒත් ඒ ආදරේට බොරුවක් ‍කලොත් මාතර කොල්ලෝ නිකං ඉන්නෙත් නෑ.

    2. ඒත් එකපාරටම නම්බර් ඉල්ලුවට දෙනවද මේ නිල්වලා නිම්නේ කෙල්ලෝ.

    හා හා මේව නම් සිරාම ඇත්ත.අනික තමා ඔජායෙ කියන්න වගේ ප්‍රභාත් එකෙන් අඳුම් අරන් ඉතින් ෆ්ලොරන්ස් එකෙන් ටොපියක්වත් නොගත්තොත් කිසි ෆිට් එකක් නෑ.

    දිගටම ලියමු.ජයවේවා!!

    (ප.ලි. ඔයා මාතර කොහේද ?)

    ReplyDelete
  5. අනේ බොක්ස් එකකින්ම කෝල් කරපිය හි හි :P
    දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා...

    ReplyDelete
  6. ටං ටනා.... මාතර ඈයොන්ට හිත පිරෙන්න ආදරේ කොරන්න ඇහැකිය .. කවුරු මක්කා කිව්වත් උන් තමා කොල්ලෝය..

    ReplyDelete
  7. අෆ්ෆා.. මාතර කෙල්ලෙක්ම හොයා ගන්ටොන :D :D

    ReplyDelete
  8. අපිටත් බෙන්තර ගගෙන් එහාට සම්බන්ධක් තියෙනවා හරිය..
    මේ ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න

    ReplyDelete
  9. කතාවනම් ලස්සනයි කොටස් 4ම කියවලා කමෙන්ට් කරන්න හිටියේ ඒකයි ඉක්මනටම ඉතුරු කොටස් ටිකත් දාන්න අයියා

    ReplyDelete
  10. හපොයි... ජනරඟගේ ඉරූ...!!! ට්‍රැඩජියක් වෙයිද ? ඔයත් සුජීව වගේ හොඳම ටිකේ නවත්තනවා නේද ? නෝටියා...

    ReplyDelete
  11. අපෝ දේව්දාස් නම් කින්ග්ස්වත්ත පැත්තේ නිකමට ගියත් ෆ්ලොරන්ස් ඒක පැත්ත බලන්නේවත් නෑ... මොකද ෆ්ලොරන්ස් එකේ බිල දේව්දාස් ට අකැපයි... තවත් ලකුණු 10 දේව්දාස් ගෙන්...

    දේව්දාස්...

    ReplyDelete