Jul 14, 2011

මරණානුස්සතිය...

මරණය..සමහරු ඇහුණත් බය මාතෘකාවක්. මරණය ජීවිතයෙ කෙළවර. හැමදේම දමායන්නට සිදුවන නිමේශය. වස්තුව.දේපල.බැදීම් හැමදේම මරණයෙන් කෙළවර වෙනවා. ඒ නිසා මරණයට බියක්  දැක්වීම සාමාන්‍ය කාරණාවක්වෙලා. ඇයි අපි මරණයට බය. මේ හැමදේම දාලා යන්න වෙන නිසා විතරක්මද ? නෑ මරණයේ වේදනාවටත් බයයි. ඇත්තටම අපි බියක් දක්වන්නේ මරණයටමද?

  අපි මරණයට බියක් දක්වන්නේ නෑ. මරණය කියන සංකල්පය අපට දැනෙන්නේ නෑ. එය පුද්ගලිකව විදදරාගන්නා විට අපතුල ප්‍රාණයක් ඉතිරිවන්නේ නෑ.එනිසා එය පුද්ගලිකව අත්දකින්නට බැහැ. එහෙනම් හිතවතු‍න්ගේ අවමගුල් අවස්ථාවලදී වත් මරණය නිසියාකාරව අභ්‍යන්තරයට ගොස් අත්විදින්නට බෑ. එහෙනම් අපි බියවන‍්නේ මරණයට නොවෙයි. අපි බියවන්නේ මරණය සිදුවන ආකාරයටයි. එය වේදනාකාරී අවස්ථාවක් හෝ සංසුන් අවස්ථාවක් වේවිද යන්න අපට පූර්ව නිගමනයක් කල නොහැකි හෙයින් අප එම අවස්ථාවට මුහුණ දීමට බියකින් පසුවෙනවා. සිහියකින් යුතුව මරණයට මුහුණ දෙන අය සන්සුන් මරණයක් අත්විදිනවා. නමුත් වේදනාකාරී හා අතිබිහිසුණු මරණයන් හිමිවන අයත් අනන්තයි.
  එසේනම් අප මරණයට සන්සුන් සිතින් යුතුව මුහුණ දිය හැක්කේ කෙසේද? එයට අප මේ ජීවිතකාලයේ කරන කුසල කර්ම මෙන්ම පෙර භවයන්හීද කරන ලද කුසල කර්ම හේතු සාධක වනවා. එහෙයින් අප මරණයට බියවීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් වේද? නැත. අප මරණයට බියවූවා හෝ සැගවී සිටීමෙන් හෝ මරණය සිහිවීම වැලැක්වීමෙන් මරණය පමාකිරීම හෝ වැලැක්වීම කල නොහැකිය. එය කාටත් පොදු ධර්මතාවකි. වෙනස වන්නේ පෙරකී මරණය සිදුවන ආකාරය යහපත් හෝ අයහපත් වීමයි.


  ථේරවාද බුදුදහමට අනුව මරණය මොහොතේ ඇතිවන සිත මරණය සිදුවන ආකාරයට මෙන්ම ඊළග ආත්ම භවයටද පදනම් සපයයි. මරණය මොහොතේ අවසාන චිත්ත අවස්ථාව චුති සිත නම්වේ. මෙන්න මේ චුති සිත යහපත් ආකාරයේ සිතුවිල්ලකින් පැවතුනහොත් යහපත් හා සිහිකල්පනාව සහිත මරණයකටද චුති සිත අයහපත් සිතුවිල්ලක පැවතීම අයහපත් වේදනාකාරී මරණයකටද හේතුවේ. එපමණක් නොව චුති සිතේ යහපත් අයහපත් තත්වය අනුව ඊළග භ‍වයේ ඉපදෙන ආකාරයද තීරණය වනු ඇත. 


  යහපත් සිහියකින් ජීවත් වීම සිදුකල හොත් මරණය සිදුවන මොහොතේ චුති සිත යහපත් වීම නිර්ආයාසයකින්ම සිදුවේ. එබැවින් යහපත් සිහියකින් ජීවත් වීම හා මරණය සිදුවන බව නිතර සිතමින් කල්ගත කිරීමෙන් මේ අවසන් චුති සිත යහපත් තත්වයකට පත්කල ඇත. ඔබට අත්දැකීම් ඇති සමහර වයෝවෘද හෝ රෝගී පුද්ගලයන් අවසන් හුස්ම හෙලන අවස්ථාවේ පිරිත් සජ්ජායනය කරන්‍ නේ මේ චුති සිත යහපත් කිරීමටය.


  යහපත් සිහියකින් ජීවත් වීමටනම් භාවනා කරමින් විදසුන් වැඩිය යුතුය. බුදුදහමේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන පිරිසට විදසුන් වැඩීමට එතරම් අපහසු නැත. එමගින් මනා සිහිය වර්ධනය කරගැනීම කල හැකිය. එසේනම් මරණය සිහයේ තබාගන්නේ කෙසේද? එයත් තරමක් දුෂ්කර කාර්යකි. ඒ මන්ද අප උපතින්ම මරණ භය සංකල්පයත් කරපින්නාගෙන පැමිණ ඇත.


  හිතන්න මරණයට ඔබ බිය මරණය ඔබ හොදින් නොහදුනන නිසාය. මරණයට අපි බිය මරණයේ එක් පැත්තක් විතරක් අප දන්නා නිසාය. අපිට මරණය හදුනගත හැකිවුවහොත් අපට මරණය ඇසුරුකල හැකිවුවහොත් අප මරණයට බියවෙයිද? උදාහරණයක් ලෙස අපි තනිවම ගෙදර සිටින මොහොතකට නාදුනන පුද්ගලයෙක් ගෙදරට ආරාධනා රහිතව පැමිණියහොත් අප කොතරම් බියවනු ඇත්ද? ඒත් අප හොදට දන්නා කෙනෙක් තනියම සිටින විට පැමිණියත් අප බියනොවී ඔහුට සංග්‍රහ කර අල්ලාප සල්ලාපයට පිවිසෙනු ඇත. මෙම වෙනස් සංග්‍රහ ක්‍රම වලට හේතුව අප හදුනන නොහදුනන බවයි. මෙය මරණයට ආදේශ කලහොත්. 


  අප ජීවත්වෙන කාලයේ මරණය ගැන අවබෝධකරගෙන ජීවත්වීම. මරණය වන බව දැ‍නගෙන කල්ගත කිරීම මගින් මරණය අවබෝධ කරගැනීම මරණය හදුනාගැනීම අපට කල හැක. තරමක් අපහසු වුනත් කල්ගත කිරීම කල හැක. මරණය පෙනිපෙනී විවිධ සංදර්ශණ කරන ක්‍රීඩකයන් මරණයට එතරම් බිය නොවන්නේ මරණය ඔවුන් යම්තාක් දුරට ඇසුරු කර ඇති හෙයිනි. එසේනම් සිහිකල්පනාවෙන් ජීවත් වීමත් මරණය අනුස්මරණය කරමින් යහපත් ලෙස ජීවත්වීමත් යහපත් මරණයක් හා චුති සිත යහපත් වීමෙන් යහපත් භවයක්ද උරුමකරගත හැක.


   මම මරණයට බිය නොවෙමි..මරණයට මම හුරුවෙමි..එය මෙලොව මෙන්‍ම ඊලග භවයටද ගෙනයන්නාවූ යහපත් ජීවිතයකට පදනම් සපයන බව සිහිපත්කරගෙන කල්යවමි..මෙන්න මේ ප්‍රතිපදාව මගින් අපට මරණයට බියනොවී යහපත් සිතින් කල්ගත කලහැකිය. එය ජීවිතයට තවත් වැදගත්වෙන්නේ අප අපේ මරණය ගැන අවබෝ‍‍ධයෙන් පසුවන විට අන්කෙනෙක්ගේ ජීවිතය පිළිබදවත් අවබෝධයෙන් යුතුව පරපණ නැසීම තබා එම සිතුවිල්ලවත් ඇතිකර නොගනී.

1 comment:

  1. හප්පා අද පෝය ධර්මදේශනාව

    ReplyDelete