Feb 9, 2012

“භවතු සබ්බ මංගලම්“ සහ රැඩිකල් බෞද්ධයා


මේ දිනවල ප්‍රධාන මාතෘකාව ලංකාවේ එක්තර සංගීත කණ්ඩායමක් විසින් ගායනා කරන ලද එක්තරා ගීතයක බොදු දහම හා බැඳුන සිංහල චාරිත්‍ර හා බැඳුනු පාලි ගාථා පාඨයක් වන “භුවතු සබ්බ මංගලම්“ පාඨය ගීතයක රැප් සංගීතය සමග යොදාගැනීමයි. ප්‍රථමයෙන්ම කිව යුතු වන්නේ මෙම පාලි ගාථා පාඨයෙන් කියවෙන්නේ තිසරණ සරණයේ ආශිර්වාදයෙන් මගුල් කරුණක් යෙදුන මොහොතේ සියලු දෙවි දේවතාවුන්නේ රැකවරණයත් අදාල පාර්ශවයන්ට ලැබේවා යන පැතුමයි. එය හුදෙක් විවෘත සිතකින් කරන නිර්ව්‍යාජ පැතුමකි. එය විවාහ මංගල අවස්ථාවකදී පමණක් යොදාගන්නා එකක් නොවේ.

මෙම ගීතයට එරෙහිව කරුණු දක්වන්නාවූ පිරිසක් මෙන්ම මෙම ගීතය සාධාරණීකරණය කරමින් මෙම ගීතයෙන් සිදුවන හානියට වඩා වැඩි හානියක් සිදුවන පාර්ශව බෞද්ධාගම තුලම පවතින් බවට මත පලකරන පිරිසක්ද වේ. මේ දෙපිරිසේම තර්ක හා ප්‍රස්තුත කරුණු නිරපේක්ෂව මෙන්ම සාපේක්ෂවද සත්‍ය බව පිළිගත යුතුය.


අදාල ගීතය තුලින් බොදු දහමට හානියක් සිදුවේයැයි පලවෙන්නේ අදාල ගීත කොටසට යොදාගත් පාලි පාඨය හේතුවෙන් බව පවසන පිරිස කියා සිටින්නේ අදාල ගායකයාට බොදු දහම පිළිබඳ කැක්කුමක් නැති නිසා බෞද්ධයන් වැඳුම් පිදුම් වලට යොදාගන්නා දේවල් පවා සුකුරුත්තම් දේ සඳහා පහසුවෙන් භාවිතාකල හැකි බවයි. එසේනම් එය ලංකා සීමාව තුල තහනම් විය යුතු බවත්ය. ලෝක ප්‍රසිද්ධ ගායක “අකොන්“ ට ලංකාවේ ප්‍රසංගයට පැමිණීමටත් පෙර එය අහෝසි වූයේ ඔහු ගායනා කල ගීතයක අඩුංගු එක්තරා දසුනක එන බොදු විරෝධී කොටසක් හේතුවෙනි.

අනෙක් පිරිස කියා සිටින කරුණු වන්නේ මෙයින් බොදු දහමට හෝ ලංකාවේ සංස්කෘතියට හානියක් නොවන බවත් මෙය හුදෙක් සාමාන්‍ය දෙයක් බවත්, බෞද්ධ යතිවරයන්ගෙන් හා බෞද්ධ පාලන අධිකාරීත්වයන්ගෙන් මීට වඩා හානියක් සිදුවන බවත්ය. මෙය හුදෙක් ක්‍රිස්තියානුවෙක්ගේ නිර්මාණයකට දක්වන විරෝධයක් පමණක් බවත්, මෙලෙසින් විරෝධ දක්වන්නාවූ පිරිස් අන්තවාදී ආගම්වාදීන් බවත්ය.

පාර්ශව දෙකේම කාරණා සත්‍යය. මෙය හුදෙක් සාමාන්‍ය සිදුවීමක් ලෙස අත්හැර දැමීමට හැක. නමුත්ලොව කිසිම ආගමකට ගරහන හෝ ආගම් දර්ශනයක උපුටනයක් විකෘති භාවිතයකට රැඩිකල් ප්‍රතිපදාවක් ලෙසින්
ඊනියා නම්නීකරණයකට ඉඩතැබීම සාධාරණයයි පැවසීම ප්‍රායෝගික තත්වයක් නොවේ. සල්මන් රුෂ්ඩිට සිය නිර්මාණයක් හේතුවෙන් සිය පුරවැසිභාවය පවා අහිමි වෙද්දී ඔහු රැඩිකල් හෝ සාමාන්‍ය ආගමික දර්ශනය විවෘම මනසකින් දකින්නෙක් ලෙස දැකීමට ඉස්ලාම් ලෝකය ඉඩලබාදුන්නේ නැත.මන්ද රුෂ්ඩි විකෘති කලේ ඔවුන්ගේ සර්වබලධාරී දෙවියන්ගේ ප්‍රවාදයන් වීම නිසාය.නමුත් රුෂ්ඩිව පිළිගන්නට නයිට් නාමයක් සමග මහරැජින බලාසිටීම ලෝකයටම ප්‍රායෝගික සත්‍ය ප්‍රදර්ශනය කරන කාරණයක් විය.

 බුදුරජාණන් වහන්සේ බුදුදහම දර්ශනයක් ලෙස හුවා දක්වමින් “ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ...“ ලෙසින් එහි විනිවිද භාවය හා ආගමික දර්ශනයේ නිදහස හුවා දැක්වීම සිදුකලහ. කැමතිනම් හා වැටහීමක් මෙන්ම නිසි දිශානුගතවීමක් ඇත්නම් අදහන්න නැතිනම් යන්න යන්නෙන් එහි නිදහස කොතරම් දක්වන්නක්ද. එම නිදහස ඊනියා නිදහසක් හෝ විසිවැනි සියවස මුල්භාගයේ පියදාස සිරිසේන ශූරින් පැවසූ පරිද්දෙන් “වල්බූරු“ නිදහසක් කර ගැනීම පිලිගත නොහැක්කකිය. වර්තමනයේ මේ ගීතය සම්බන්ධ සිදුවීම වෙනත් රටක වෙනත් ආගමක් වෙතට සිදුවූයේනම් ඔවුන් ක්‍රියාකරන ආකාරය ඔබම උපකල්පනය කරගැනීම වඩා වටී.

එබැවින් තායිලන්තය වැනි රටවල ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ගාථා සංගීත සංධ්වනියක් ලෙසින් මෙන්ම ඔපෙරා මාදිලියෙන් ගායනා කරති. එය එම රටවල සංස්කෘතිය හා බැඳී පවතී. නමුත් සිංහල සංස්කෘතියේ එවැන්නක් කිරීම  අපි දකින්නේ රැඩිකල් ප්‍රතිපදාවකට වඩා විකෘතියක් ලෙසින්ය. විකෘතියට නිදහසක් ඇත, විවේචනයටද නිදහසක් ඇත. එහෙත් ආධ්‍යාත්මිකව අදහන්නාවූ දේ යනු මිනිසාගේ මනස සහ ආධ්‍යාත්මය පෝෂණය කරන්නාවූ කාරණාය. එවැන්නක් විකෘතිය උචිත වන්නේ නැත. 

ශ්‍රී ලංකාවේ බුදු දහම භික්ෂූන් වහන්සේ විසින් වනසයි යන්න පිලිගත යුතුය. එහෙත් එය සියයට සියයක්ම එසේ නොවන බවත් මතක තබාගත යුතුය. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ අපේ විහාරස්ථානවල විනය කර්ම පවා සිදුනොවීමෙන් අවසන ඉතිරිවූයේ කහ පැහැති නූලක් පමණක් පැලඳ දරු පවුල් සමගින් විහාර දේපල භුක්ති විඳිමින් ජීවත් වූ “ගනින්න්සේලා“ නැමති පිරිසකි. එතැන්හි සිට මේ දක්වා නැවත් සඟ සසුන පෝෂණයට ලාංකේය සමාජය දිරිදුන් අතර එහිලා යම්තරමින් වත් සඟ සසුන සාර්ථකව පැවතීම අගය කල යුතුය. ඒ මන්ද එය විවේචනය කරන පිරිසට සාධාරණද හේතු ඇති බැවින්ය. එසේම දළදා මාලිගාවේ හා අනෙකුත් බෞද්ධ පරිපාලන වල අක්‍රමිකතා සිදුවන බවත් එහිලා බෞද්ධයාගේ ආධ්‍යාත්මය වඩවන සංකල්ප හා ප්‍රවාද විකෘති කිරීම සාධාරණ බවත් පැවසීම හුදෙක් සීනිබෝල කතා පමණි. එබැවින් විවෘත මනසික් මේ කාරණය දෙස බලද්දී අනෙක් සාධකද සලකා බැලිය යුතුය.

අවසානයට කිව යුත්තේ එකම දෙයකි. “වයධම්මා සංඛාරා - අප්පමාදේන සම්පදේත“ මේ සියලු දේ කෙදිනක හෝ විනාශ වෙති. එදිනට රැගෙන යන්නේ කලකී දේ මිස නොකල නොකී දේ නොව. එබැවින් කරනා කල්හි සිහි නුවනින් කටයුතු කිරීම විනා අස්සයා ගිය පසු ඉස්තාලය වසා පලක් නොමැතිය.

11 comments:

  1. ජාලය තුල දැක්ක ලිපි කිහිපයක් අතරින්, දෙපැත්ත ගැනම කරුණු දක්වල සමබරව සහ වඩාත් සාර්ථකව මේ කාරණාව ගැන ලියපු එකම ලිපිය මේක.
    මේ සිංදුව සහ මෙවැනි කලා සහ වෙලද නිර්මාණ ගැන මගේ අදහස;
    1.බුදු දහමට/දර්ශනයට මෙවැනි දේ වලින් සිදුවන මහලොකු හානියක් නැත.
    එහෙත්,
    2.මෙවැනි දෑ කරන්නන් බංකොලොත් නිර්මාණකරුවන්ය.
    3.හොද නිර්මාණයක් කිරීමේ අදහසින් (එය ආගම වෙනුවෙන් කරන සේවයක් ලෙස හදුන්වන්නන්ද ඇත) මෙවැනිදේ කිරීමේ අවශ්‍යතාවයක් සැබෑ කලාකරුවන්ට(හෝ ව්‍යාපාරිකයන්ට) නැත.
    4.ආගමට සම්බන්ධ කාරණා ලෝකයේම ඇත්තේ සුළු ප්‍රමාණයක් වන අතර ඉන් පරිබාහිරව නිර්මාණ බිහිකිරීමේ හැකියාව සැබෑ කලාකරුවාට තිබිය යුතුය(භාෂාවක් වශයෙන් "සිංහල" කොතරම් පොහොසත්ද, ගාථාවක් නොමැතිව හොද නිර්මාණයක් බිහිකල නොහැකිද?)
    5.හරවත් නිර්මාණයක් කිරීමේ හැකියාවක් නැති, තමන් රැඩිකල් පොරවල් බව පෙන්වීමේ අදහසින් මෙවැනි දෑ කරන්නන් බොහෝය.
    6.මෙවැනිදේ තහනම් කිරීම මෙන්ම නිර්මාණය කිරීමද අන්තගාමී වීමකි.

    ReplyDelete
  2. 1000% ක් එකඟයි මල්ලී. පහුගිය ටිකේ කියවපු දේවල් වලින් මට දැනුනෙත් මේ ටිකම තමයි.. ඒත් බොරුවට වර්චුවල් වචන හරඹ කරලා තේරුමක් නැති නිසා නිහඬව හිටියා. බුදු දහම ආගමක් නොව උතුම් ජීවන දර්ශණයක් එය ප්‍රඥාවන්තයින් උදෙසාමයි යන්න ගැන කිසිම තර්කයක් නෑ. ඒත් අපි පශ්චාත් නූතනවාදී, රැඩිකල් බෞද්ධයින් කියලා ශ්‍රී ලාංකික සංස්කෘතියත් එක්ක සමාන්තරව ගමන් කරන බෞද්ධ සංස්කෘතියට පයින් ගහන්න හදනවා නම් අනාගත පරම්පරා වලට ""දෙවියන්ගේ ම පිහිටයි"". ඒ බෞද්ධ සංස්කෘතිය හරහා අපට ලැබුණ හොඳ සිරිත්, ගතිගුණ වලටත් එසේමයි. බෞද්ධයන් අතරින් වැඩි දෙනෙක් නියම බෞද්ධයෝ නෙමෙයි. එහෙම වෙලා තියෙන්නේ මෙහි තිබෙන විවෘත භාවයත්, නිදහසත් නිසා... ඒ වගේම බෞද්ධයොම තමයි බුදු දහම විනාශ කරන්නේ කියාගෙන වෙන හැම දෙයක්ම රැඩිකල් විදියට ඕනෙ කෙනෙකුට ඇවිත් පතේ පහරලා යන්න අත ඇරලා දානව නම්, ... ආයෙත් "දෙවියන්ගේම පිහිටයි...."

    ගොඩාක් වටින ලිපියක්....

    ReplyDelete
  3. රැඩිකල් උන්ට බනින්න එපා බන්... උන් රැඩිකල්නෙ :) උන් තමයි ලෝකෙ වෙනස් කරන්නෙ

    හොඳ ලිපියක්

    ReplyDelete
  4. ඔය රැප් එක අහල නැති නිසා ඒ ගැන අදහස් දක්වන්න අමාරුයි... හැබැයි “අකොන්“ ට ලංකාවේ ප්‍රසංගය අහිමි උන හැටි නම් කියන්න පුළුවන්.... “අකොන්“ ගෙ ලංකා ප්‍රසංගයට මාධ්‍ය අනුග්‍රහය ගන්න රජ පුතෙකුට අයිති රේඩියෝ නාලිකාවක් දතකෑව කියන එක ප්‍රසිද්ද රහසක්.... නමුත් අදාළ ප්‍රසංග සංවිධායකයන් නවක නාලිකාවක් වූ එයට මාධ්‍ය අනුග්‍ර අයිතිය නොදී ජනප්‍රිය මාධ්‍ය ජාලයක් ඒ සදහා තෝරා ගැනීම අවසාන උනේ ලංකාව පුරා “අකොන්“ විරෝදී බොදු රැල්ලක් ගොඩ නගල... කොහොමද අපේ බෞද්ධ සදාචාරය??? මාරයි නේ???? අර මෝඩ සංවිධායකයෝ රජ පුතාගේ නාලිකාව තෝර ගත්ත නම්???.... එහෙනම් ඔය කියන බෞද්ධයෝ රෙදි නැතිව “අකොන්“ ට කඩේ යන හැටි බලන්න තිබ්බ ලස්සනට....:D

    ReplyDelete
  5. සහෝගේ විචාරයට මමත් එකඟයි... ඒ වගේම ගයාන් කියන්නේ මුල ඉඳන්ම රැඩිකල් සංගීත ශිල්පියෙක්... යන්තන් අකුරු අහුලන පොඩ්ඩෝ හිටන් “පලයාන්“ කියද්දි හිතට දුකකුත් ආවා තමයි. ඒත් ගයාන් වෙනසක් කලා. මම හිතන්නේ මේ කියන ගීතය කරද්දිම බැනුම් අහන්න වෙන බව නොදැන හිටියා වෙන්න බෑ. මේක මේ ගීතය සුප්‍රකට කර ගැනීමට වඩා කුප්‍රකට කර ගන්න යොදා ගත්ත උපායක් කියලයි මට හිතෙන්නේ. එහෙම බැලුවොත් ගයාන් සාර්ථකයි.

    ආගම තියෙන්නේ ඕනේ තමන්ගේ හිතේ. විතරාගී බෞද්ධයෙක් නම් මේ කාරණය ගැන හිත් අවුලක් ඇති කරගන්නේ නෑ. මොකද බුද්ධ ශාසනය වුනත් සදාකාලික නෑ. පන්දහසක් කල් පවතිනවා කියලනේ කියන්නේ. ඒත් අපි තවම සෝවාන් වෙලාවත් නෑ නොවැ. ඒකයි මේ කැක්කුම...

    //“වයධම්මා සංඛාරා - අප්පමාදේන සම්පදේත“ // ඇත්ත තමයි.

    ReplyDelete
  6. සෑහෙන්න හොඳ විග්‍රහයක්...

    ReplyDelete
  7. පක්ෂ විපක්ෂ කරුණු එකතු කරන් කරපු හොද විග්‍රහයක්..

    ReplyDelete
  8. මේ සම්බන්ධයෙන් දැකපු හොඳම විග්‍රහය...... :)

    ReplyDelete
  9. මේව කියවනකොට “ඇම්ඩන් සහ බකමූණා” මතක් වෙනව.

    ReplyDelete
  10. ගයාන් රැඩිකල් වෙන්න කලාය උඹලම හිතාගෙන රැඩිකල් වීමට බනිනවා . දැනටමත් ලංකාවේ පවතින සංස්කෘතික අංගයක් වෙච්ච මංගල කටයුතු වලදී භාවිතා කරන ගීතයක් ඒ වැඩේටම සින්දුවක භාවිතා කලාම ඒක රැඩිකල්ද ? , ගයාන් ක්‍රිස්තියානි කාරයා නිසාත් උගේ රොක් ස්ටයිල් එක දිරවන්නේ නැති නිසාත් කරන මඩ ගැහිල්ලකට වඩා දෙයක් ඔතන නැ . බෙග් මහත්තය බුද්ධං සරණං කියන්නෙත් , අමරදේම මහත්තය නමෝ තස්ස කියන්නෙත් සංගීතමය වටිනාකමක් එකතු කරල , එතනදි හොඳයි මෙතනදි නරකයි ? .

    ReplyDelete
  11. @සෝඩා ගුණේ - ස්තුතියි ඒ කථාව හෙලි කලාට ලංකාවේ මහ ලොකු බෞද්ධ ප්‍රබෝධයේ තරම තමයි ඒ . ඒකොන්ට එන්න දුන්නේ නැ , ෂාරුක් ආවාම හාමුදුරුවරු සිවුරු කරට අරන් පාරට බැහැල අන්තිමට බෝම්බත් ගැහුවා . සිංහල බෞද්ධ තලෙයිබාන් වැඩ . දැනට අන්තවාදීයා විග්‍රහ කරන්න ඔක්ස්වර්ඩ් ඩික්ශෙනරියේ මුස්ලිම්ලා උදාහරණයට අරන්ය කියල ශකීර් නායක් කාරයා උඩ පනිනවා , මේ විදිහට ගියොත් අන්තවාදී උදාහරණයට "ශ්‍රි ලංකාවේ බෞද්ධයින්" කියලත් එකතු කරයි

    ReplyDelete