Feb 21, 2012

මා හදබැඳි සිංහල ගීත දහය



සිංහල ගීතය කියන්නේ විවිධ කාලවලදී විවිධවූ විපර්යාසවලට බඳුන්වූවත් තවමත් නොනැසී පවතින ගීත කලාවක්.එහිලා සුවිශේෂී මතක සටහන් තැබූ හදබැඳගත් ගීත අනන්තවත් ඒ අතර ඇත. පුද්ගලයන්ගේ රුචිකත්වය, වින්දනීය පරාසය හා රසඥතාව යන සාධක මත විවිධ වූ පුද්ගලයන් විවිධ මට්ටමේ ගීත තමන්ගේ කැමතිම ගීත ලෙස තෝරාගනිමින් ඒවා නිතර රසවිඳිනවා සේම බොහෝ දෙනෙක් ඒ කැමැත්ත පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නටත් පැකිලෙන්නේ නෑ.

සමහර ගීත එක්වරම අසීමිත ජනප්‍රියත්වයක් ලබලා නැත්තටම නැතිවී යන අවස්ථාත් අනන්තයි. අද මම ඔබට කියන්නේ මගේ හද ඇද බැඳ තබාගැනීමට සමත්වූ ගීත දහය ගැනයි. මම කැමතිම ගීත දහස් ගණනක් සිංහල ගීත අතර ඇතිමුත් එයින් දහයක් තෝරාගැනීම වනාහි ඉතාමත් සංකීර්ණ කර්තව්‍යයකි. නමුත් එකී කටයුත්තට මා පිවිසෙන්නේ මා නිතර ශ්‍රවනය කරන එසේම නිතර මාගේ මුවග රැඳෙන ගීත දහය මා කැමතිම ගීත දහය ලෙසින් ඔබට ඉදිරිපත් කරන්නෙමි. 

බොහෝ විට මගේ කැමැත්ත සහ ඔබේ කැමැත්ත අතර ඉතා පුළුල් වෙනසක් තිබිය හැක.එය පුද්ගලානුබද්ධව වෙනස්වන්නේ එහෙයිනි. මින් සමහරක් ගීත අද ගුවන් විදුලියේ හෝ ග්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවල නොඇසෙන නොවැයෙන බැවින් ඇතමෙක් අසාවත් ඇත්දෝ යන්න සැක සහිතය. කෙසේ වෙතත් මා කැමතිම ගීත දහය මෙසේය.


  1. පටු අදහස්නම් පවුරෙන් ලෝකය - පුනර්ජීවනයේ ගීතය
    (පණ්ඩිත් අමරදේව/ සුනිල් එදිරිසිංහ)


    - පණ්ඩිත් අමරදේව ශූරීන් හා සුනිල් එදිරිසිංහ ශූරීන් යුගලය විසින්  මනරංජනීය සංධ්වනි ආකාරයෙන් ගයන මේ ගීතය මා සිංහල ගීත අතර වඩාත් ප්‍රියකරන ගීතයයි. කුඩාකල පටන් මගේ මුවග රැඳි ගීතයක් වුන මෙහි ඇතැම් වචන උච්ඡාරනයට පවා හුරුවුනේ බොහෝ කල් ගතවූ පසුය. ඉන්දියානු නිදහස් සටනේ කූටප්ප්‍රාප්ති මොහොතේ මහා කාව්‍ය ශූරී රඛීන්ද්‍රනාත් තාගෝර් ශූරීන්ගේ කවියක් මහගමසේකර ශූරීන්ගේ දස්කමින් ඉතා අභිමානවත් ගීයක් බවට පත් වූයේ මෙලෙසින්ය.

    “සත්‍යය පතුලින් ගලනා පරිසිදු වචන කොහිද ඇත්තේ
      ගතානු ගතිකව පැවතෙන සිරිතෙහි මරු කතරට වැදිලා“

    රළු වචන වලින් සොදුරු ස්වර මත ගැයෙන මේ ගීය රටක් අවදිකල හැකි ගීතයකිනි. “එහෙව් නිදහසේ ස්වර්ගරාජයට මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ“ ලෙසින් සේකර ආමන්ත්‍රණය කරන්නේ බුදුරජාණන් වහන්සේය.
  2. බුද්ධානුභාවේන සිත් මෙත් පහන් වී - සසර මත ගැයෙන ගැයුම
    (නන්දා මාලනී)

    - මාගේ මතකය පරිදි මෙම ගීතය රචනා කර ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න ශූරීන්ය. ඉතා  ගැඹුරු මෙන්ම අර්ථවත් පදමාලාවකින් හා මන්මත් කරන බොදුආරක සංගීත ගෙතුමකින් විචිත්‍රවත් මේ ගීතය ඉතාමත් ඉහලින් මා අගය කරන ගීතයකි. නන්දා මාලනී මැතිණියගේ මධුර ස්වරය ප්‍රතිරාව නංවන ගීයකි

    “හෙලදෙරණ ජන ජයතු ජය මංගලානී“ කොතරම් නිර්ව්‍යාජ ආත්මීය පැතුමක්ද.

    3. මේ අහස මේ වගේ ගන නිල් - සොඳුරු මතකයක දිගහැරුම
     (කරුණාරත්න දිවුල්ගනේ)

    - මේ ගීතය ඇහෙන වාරයක් වාරයක් පාසාම නොහැගෙන මතකයකට හිත දිවයන ගීතයක්. මගේ ප්‍රියතම ගායකයා ලෙසින් දිවුල්ගනේ ශූරීන්ගේ මේ ගීතයට මා ඉතා කැමැත්තක් දක්වන්නේ ඇයිද යන්න මටවත් නොහැගෙන කාරණයක්. නමුත් ඉතාමත් සොඳුරු පද බැදුමක් නිසාවෙන් මේ ගීතයට මා ඉතා කැමැත්තක් දක්වනවා.

    4. නවදැලි හේනක - අතීත වෘත්තාන්තයක් නිවැරදි කල මිනිස් හිත
      (සෝමතිලක ජයමහ)

    - බුදුරදුන් හා නන්ද කුමාරයා අතර ජනපද කළ්‍යාණියගේ සිදුවීම හා බැඳුනු ගීතයක් වන මෙයින් නන්ද කුමාරයාගේ චරිතය ප්‍රේමය අරඹයා අවංක හා නිවැරදි තීරණ ගන්නා පෙම්වතෙක් බවට සංශෝධනය කර ඇති එක්තරා ආකාරයක රැඩිකල් ගීතයකි. සෝමතිලක ජයමහ ශූරීන් විසින්ම රචනාකර ගායනා කල මේ ගීතය මා ඉතා ආසාවෙන් නිරතුරුවම රසවිඳින ගීතයකි.මෙහි එන

    “මා හද හඳුනන ජනපද කලණිය - මට නුදුරුයි සුරඟනට වඩා“
    මෙම පද පෙලින් මේ ගීතයේ අනර්ඝ අර්ථ  රසය රසගන්වා ඇත.

    5. දිගුනෙත් හසරැල්ලේ - සොඳුරු යුවතිකයට...
      (දයාරත්න පෙරේරා)

    - මා ඉතා ප්‍රියකරන හඬක් ඇති දයාරත්න පෙරේරා ශූරීන් ගායනා කරන මෙම ගීතය අනූව දශකයේ මුල භාගයේ ඉතා ජනප්‍රිය වූ ගීතයකි. වර්තමානයේ ප්‍රසිද්ධ වේදිකාවල වාදනය නොවුනත් තවමත් කොහේදී ඇසුනත් මා නැවතී මුළු ගීතයම රසවිඳ යන ගීතයක් ලෙස මෙය නම්කල යුතුමය. මෙය මටනම් කිසිදිනෙක එපා නොවෙන ගීයකි

    6. හන්තාන කඳුවැටිය - සරසවියේ අතීත මතකයට ඇවිද යමු...
       (අමරසිරි පීරිස්)

     - “හන්තාන කඳුවැටිය එදාවාගෙයි අදත් - මහවැලිය පුරුදු සේ ගලා යාවී හෙටත් - සරසවියෙ තුරු වදුලු මිලින වී නෑ තවත් --එහෙත් අද කුමරියේ..ඔබ කොහිද මා කොහිද“ 

    පේරාදේණිය විශ්වවිද්‍යාලය හා හන්තාන පාදක කරගෙන ලියූ ගීත අතරින් මා වඩාත් ම ඇලුම්කරන ගීතය මෙයයි. සංවේගජනක හැගුම් පලකරන ගීතයක් වූවත් භාවනාවක් ලෙසින් රසවිඳිය හැකි ගීතයකි. ජීවිතයේ සරසවි කාලය කොතරම් සුන්දරද යන්න හා ඒ අතර බැඳ ආදරයේ සොඳුරු මතක නැවත  හිතට ගෙන එන අපූර්ව ගීතයකි. අමරසිරි පීරිස් ගාන්ධර්වයාගේ හැඟුම්බර ගායනයම මේ ගීතය රසවත් වීමට ප්‍රමාණවත්ය

    7. අර සඳ පලුවෙන් - මතකයෙන් සංජානිකව බැඳෙන ප්‍රේමය
       (සේනානායක වේරලියද්ද)

     - යමුනා මාලනී ශූරිය අතින් ලියවුනු ගීතයකට පෞර්ශය පිරුණු සැබෑ පිරිමි හඬකින් ගී ගයන වේරලියද්ද ශූරීන්ගේ ග්‍රාම්‍ය හඬට මේ ගීතය කොතරම් ගැලපේද යන්න ඉතා කදිම නිදසුනකි. නගරයේ කල් ගෙවන පෙම්වතා සඳ පලුවෙන් පෙම්වතිය දැකීමේ සංවේදී සිදුවීම මූලික කරගෙන ලියූ ගීතයට මා බෙහෙවින් ආදරය කරන බව කිව යුතුමය. ඔබත් ඇසිය යුතුම ගීතයක් වන මෙය “කන්ද පිරිමැද“ ගීත ඇල්බමයේ අඩංගුවේ.

    8. ප්‍රේමයේ අස්වැන්න - ආදරයේ සොඳුරු ඵලය නෙල්ලනට පෙර..
      (කරුණාරත්න දිවුල්ගනේ)

     - මෑත යුගයේ ගීත නිර්මාණ රාශියක් ඉතාඉහල අර්ථවත් මෙන්ම ජනප්‍රිය ගීත බවට පත්කල රත්න ශ්‍රී විජේසිංහ ශූරීන්ගේ පද බැඳුමකට එක්වූ දිවුල්ගනේ ශූරීන්ගේ හඬ කියාපාන්නේ සුපිරි සංයෝජනයකි.

    “සොරොව්වෙන් ගලායන දියරක් සේ ඇදී - නුඹේ සිත මට යමක් කියනවා“

    මෙහි පද ඉතාමත්  රසවත් මෙන්ම හැඟුම් උපදවන සුළු සියුම් රසාලිප්තය. මා බෙහෙවින් ප්‍රියකරන ගීතයකි. බොහෝ කලක් මාගේ ජංගම දුරකතනයේ තේමා නාදය වූයේද මෙම ගීතයයි.

    9. නලල වියලවා විගසින - ජාති ආගම් කුල මල ආදරයට කොහිද..
       (සේනානායක වේරලියද්ද)

    - රාජිනී නැමති ද්‍රවිඩ තරුණියකගේ හැම ඉරියව්වකටම හැම ක්‍රියාවකටම අවංකව පෙම්බඳින සිංහල පෙම්වතෙක්ගේ චිත්තාභ්‍යන්තරයෙන් වැයෙන් වැයුමක් වැනි මෙම ගීතය සැබෑවක් වන දිනය බෙහෙවින් සතුටු වන දිනයක් වනු නොඅනුමානය. 

    “කතාකරන ඇස්වහගෙන අගය පෙන්නනා විටකදි - 
      නුඹ තරම් සොදුරු කවියක් නැහැනෙ රාජිනි“

    බෙහෙවින් රසවිඳිය හැකි වදන් හා සැබෑ ගීත ලාලිත්‍ය අඩංගු ගීතයක් ලෙසින් මෙය හැඳින්විය හැක.

    10. ලක් වැසියන් කෙරෙහි නැමී - වැටුනු රට අවදි කල වදන් රැස...
        (සුනිල් එදිරිසිංහ)

     - සිංහලයෙකුටත් වඩා ජන්මයෙන් ලද ලෙසින් කාව්‍යයෙන් හෙල ජන සමාජය අවදිකල ටිබේට් ජාතික සිකීම් මහින්ද හිමියන් විසින් රචිත කාව්‍ය පන්තියක් ගීයට හරවා සුනිල් එදිරි සිංහ ශූරීන් ගයන මේ ගීයට ජාතික හැඟීම මෙන්ම නිදාවැටෙන දැය සමය අවදිකල හැකි ගීතයකි.

    “ජාතිය රන්විමනක් වේ - ආගම මිණි පහනක් වේ
      එය රැකගන්නට මෙලොවේ - සමත් වෙතොත් පුත නුඹවේ“

    තවත් වදන් නොකියම මා හදවතින් වැලදගත් ගීතයකි.


    ඒ මා හද බැඳගත් ගීත දහයයි. මේ සිංහල ගීත දහය මාගේ හෘදස්පන්දනය හා බැඳී පවතී. එබැවින්ම මා මියෙන තුරු මා මේ ගී  දහයට සැබැවින්ම පෙම් කරාවි.

17 comments:

  1. පටු අදහස් ගීතයත් එක්ක බැඳිලා තියෙන අත්දැකීමක් මතක් උනා... මම ලියන්නම් ඉක්මනටම මල්ලි... අපූරු ගීත කිහිපයක්...

    ReplyDelete
  2. හා හා ලියමුකෝ අයියා

    ReplyDelete
  3. තවමත් රසවිඳින්න පුළුවන් මට්ටමක තියෙන්නේ මම දකින විදියට නම් මේ පැරණි ගායක ගායිකාවන්ගේ ගීතම තමයි.. දැන් එන බොහොමයක් ගීත රැල්ලට එන ගීත.. කාලයක් රසවිඳලා රසිකයාටත් ගායකයාටත් දෙන්නටම ඒ ගීතය අමතක වෙලා යනවා. ඒත් මේ පැරණි ගීත අදටත් රසවිඳින්න පුලුවන්..
    මමත් ගොඩක් ආසයි කරුණාරත්න දිවුල්ගෙනේ ශූරින්ගේ සහ අමරසිරි පීරිස් මහත්මයාගෙ ගීත රසවිඳින්න.. :)

    ReplyDelete
  4. පලවෙනි ගීතය හැර අනික් කිසිම එකක් මගේ සිත් අරගත්ත ඒවා නෙවෙයි , ඒ ගිතයේ පසුබිම දැනගත්තේ ඔබෙන් ස්තුතියි

    ReplyDelete
  5. පලවෙනි ගීතය,හතරවෙනි ගීතය සහ හයවෙනි ගීතය මම පිස්සුවෙන් අහන ගීත !:)

    ReplyDelete
  6. @ප්‍රාර්ථනා - පැහැදිලිවම..නොමැරෙන ගීත කුමන විපර්යාසයන් මත වුනත් නැගි නැගී නැගී සිටිනවා..ඔව් ඔබේ කැමැත්තත් මගේ කැමැත්තත් බොහෝ දේවල් වලදි සමානයිනේ...ගොඩක් ස්තූතියි සහෝදරී

    @බුවා - ඔව් සහෝදරයා..ඒක ඔබගේ පුද්ගලික කැමැත්ත..දාමුකෝ දවසක ඔබේ හිතගත් ගීත ටික..

    ReplyDelete
  7. @නුවන් - ඔබ කැමති ගීත තුන මගේ හිතෙත් ඉහලම තැනක තිබෙන තුනක් තමයි...

    ReplyDelete
  8. http://buwagesithuvili.blogspot.com/2011/12/2011.html?utm_source=BP_recent

    මේ 2011 වසරේ හිතට වැදුනු ගීත ගැන ලියවුන ලිපියක් , ඔබේ රසාස්වාදයට අනුව ඒ ගීත ගැලපේවිද නම් දන්නේ කැමති නම් ගිහින් බලන්න

    ReplyDelete
  9. බොහොම ස්තූතියි සහෝදරයා..මම ඒ ගීත ලයිස්තුවෙන් භාතිය සහ ආශා බෝස්ලේ ගායනා කරන ගීතයටත්,දිල්ලි බෙල්ලි චිත්‍රපටයේ පසුබිම් ගීතයටත් ගොඩක් කැමතියි

    ReplyDelete
  10. කාලය කොච්චර ගෙවුනත් රසය අඩු නොවෙන ගීත කීපයක්...

    ReplyDelete
  11. අහන්නත් සංතෝසයි. දැං මේවගේ සිංදු නැහැ. වැඩිපුර බිහිවෙන්නෙ තියෙන්නෙ පල්හෑලි. හොද පදමාලවන් සහිත සිංදු හැදුනත් ඒවත් අපිට පුරුදු නැති රොක් සංගීතයෙන් කරපුව.

    ReplyDelete
  12. හොඳ අර්ථයක් ඇති පද මාලාවක්, හොඳ රසයක් / භාවයක් තියෙන සංගීතයක් වගේම සංවේදී සොඳුරු කටහඬකුත් කියන තුනම එකතු වුනාම තමා හොඳ ගීතයක් බිහිවෙන්නේ. පද රචකයා නිර්මාණය කරන සිතුවිල්ල සංගීතයෙන් දැකලා තනුව නිර්මානය වෙලා, ඊට පස්සේ ඒ විදියට සංගීතයෙන් ජීවය කවපු පද මාලාව ඇතුලේ ගායකයා ජීවත් වුනොත් විතරයි හොඳ ගීතයක් එළියට එන්නේ. අද වෙලා තියෙන්නේ හොඳ ගීත තිබුණත් ඔය තුනෙන් මොකක් හරි අඩුයි...!!! පැවැත්මක් නැත්තේ ඒ නිසායි...

    මට නම් රස විඳින්න අළුත් / පරණ, සිංහල / ඉංග්‍රීසි වෙනසක් නෑ. මට ගීතය දැනෙනවා නම් මම විඳිනවා... අපි හැමෝම එහෙමනේ...

    ReplyDelete
  13. මේ සිංදු ටික ගන්න පුලුවන් ලින්ක් ටිකත් දුන්නා නං පංකාදුයි .......

    ReplyDelete
  14. @දිනේෂ්- ඔව් කාලයේ වැලි තලාවෙන් වැසී නොයන ගීත පර්වත

    @රාජ් - වර්තමාන පරපුරටත් වෙච්ච අභාග්‍ය ඔය ගීත වලින් මනාවට පෙන්වනවා..මොනවා කරන්නද රාජ් සහෝදරයා

    ReplyDelete
  15. @චතුරංග - ඔව් සහෝදරයා..රසවිඳින්න පුළුවන්නම් ඒකට පරාසයක් නෑ..ගොඩක් ස්තූතියි අදහසට

    @පන්සල් හන්දිය - අනිවාර්යයෙන්ම කොහොමහරි දෙනවා.

    ReplyDelete
  16. මේවායේ ඩවුන්ලෝඩ් ලින්ක් ටිකත් දාන්න පුලුවන් නම් අගේ තවත් වැඩි වෙනවා !

    ReplyDelete
  17. මේ සෙට් එකෙන්ම මං අහල තියෙන්නෙ නොම්මර දෙක [නන්දා මාලිනීගෙ] ගීතය විතරයි වගේ...ඒක නං මං බොහොම කැමති එකක්.

    ReplyDelete