Feb 29, 2012

සිතුවම පමණක් නොවේ හදවතද ඇඳි බැවින් එහි මත..


දුඹුරු පැහැ හා තද කළු පැහැ පැන්සල් දෙක වේගයෙන් කැන්වසය මත දඟලන්නට වූ කාල පරාසය තුල කුමක් සිදුවූයේද යන්න නොදත්තේය. නමුත් අවසානයේදී ඒවාට අධික මහන්සියක් දැනුන නිසාදෝ හෙමි හෙමින් තම කටයුත්තේ පශ්චිම භාගයට පැමිණ ඇති අයුරකින් හැසිරෙනු දක්නට ලැබිණි. ඇය සිටියේ මා ඉදිරිපිටය. ගල්බංකුව මත වැතිර සිහිලැල් පාෂාණ කඳමත මටසිළුටු කම්මුල තබාගෙන ප්‍රායෝගික සුවය විඳින අතර ඇයව සිතුවමට ප්‍රස්තුත වෙමින් තිබිණි. අවනත නොවන පරිදි හැසිරෙන කළු හා දුඹුරු පැන්සල් ඇයව කැන්වසය මත මවමින් සිටියහ.

    ඇගේ නෙත් දෙකෙහි රැඳුනු බැල්ම කියා පෑවේ කුමක්ද. එය පැන්සල් තුඩු වලට නොදැනුනත් මට දැනුනි. බොහෝ කල්ක් ගතවීත් ලඟ නොදැවටී දුරින් හිඳ සුසුම්විඳ පවරාගත් ආදරය. එය ආදරයක්මද නැතිනම් වෙනයම් හැඟීමක්ද යන්නවත් නොදැන තිබූ බැඳියාව සිතුවමකින් කෙලවර වන්නට තිබුණි. නමුත් ඇය ඇයගේම වන්නට තිබූ තැන පටන් ඔහුගේම වන්නට තිබෙන ලක්ෂ්‍යකට මාරුවෙමින් පැවති සංක්‍රාන්ති සමයකය. මගේ සිතුවමේ ඇය ඇඳෙමින් තිබිණි.


    ඇගේ නෙත්වල කාන්තිය,ඡවි වර්ණ දේහ ප්‍රභාවද පරයමින් නැගෙන චිත්ත සංකල්පනා මැවෙමින් පමණක් නොව ඒවා මවෙත් මුදාහරිමින් සිටින ඇය කරනා ආරාධනය මට දැනෙන්නට විය. මා කලාකරුවෙක් පමණක් නොව, ඇය ආදරය කල කලාකරුවෙක්ද වීමම ඒ ආරාධනාවට ප්‍රධාන හේතුව විය. නෙත් යුග කරන ඇරයුම හද පිලිගත්තද පැන්සල එයට ඉඩනොදී තවමත් කටයුත්තේ යෙදේ.

   අවසානයේ සිතුවම අවසන් විය. එක් අතකින් කැනවස් රෙද්ද මත සියුමැලිව ගමන්කල පැන්සල් කුඩු සුමට කර දැමීය. චිත්‍රය අවසන්ය. ඇය ගල්බංකුව මතින් නැගිට එක්වරම මවෙත බැලීය. මම ඇගේ සිතුවම පෙන්වීය. ඇය එක්වරක් පමණක් ඒ දෙස බැලීය. දෙවන වර මාදෙස බලා නැගිට ලාලිත්‍ය විහිදවන දක්ඛිණ හස්තයෙන් දිගු හා පුළුල් කර ඇති ලතින් විලාසිතාවට හුරු දිගු ගවුමේ කර උරෙන් පන්නා දැමීය. එය ඕලාරිකව ඇගේ සිරුරේ හැඩහුරුකම් විදහා දක්වමින් තත්පර කීපයක් ඇතුලත මා නෙත් අභිමුව බිමට වැටිනි...

*************************************

ඉන් පසු දින ඇගේ විවාහයයි. ගැලන්මයිටර්න් දේවස්ථානයට මා යායුතුය. මා කෙසේ සැරසිය යුතුද යන්න නිශ්චිත අදහසක් මා සතුව නොවීය. මා කෙලෙසින් යා යුතුද හා යා යුතුද යන්නද සිතුවිලි අතර සිරවී තිබිණී. අවසානයේ සුපුරුදු ඇඳුමින් සැරසී යන්නට සූදානම් විය.

  ඇගේ විවාහයට සුබ පතා පැමිණිය යුතුය. මාගේ අතින් ඇඳි ඇගේ සිතුවම තෑග්ගක් ලෙසින් ඈ අතට දිය යුතුව ඇත.

14 comments:

  1. අය්යෝ අය්යේ මම බලාපොරොත්තු වුනේ මේ වගේ අවසානයක් නෙවෙයි නෙ.සිතුවමට නැගුන එයා ඔයාගේ වේවි කියලනෙ මම හිතුවෙ.

    ReplyDelete
  2. සිතුවමක් නොවි
    හිමිකමක් උනා නමි

    ReplyDelete
  3. @හිම හංසි - සිතුදේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි ලෝදම් කැරකෙනවා

    @ජිංජිබිරිස් - සිතුවමක් වී හිමිකමක් නොවන දේවල් අනන්තයි..

    ReplyDelete
  4. තෙලි තුඩව ඔබ සිතුවමක් මයි
    සිතට වෙනසක් ගෙනෙනු ඇයි
    මගේ තෙගි තුඩ ගෙන ගියාදෝ
    මනාලයේ නෙතු සැලෙනු ඇයි


    ඇන්දේ එක පින්තූරයයි නේද... :D

    ReplyDelete
  5. ඩාවින්චි ලොක්ක කරපු හරියක්වත්ද මේ ????

    ReplyDelete
  6. @සුදු හංසි - ඔව් ඔව් එක පින්තූරයයි මම හිතන්නේ

    @ඕනයා - ඒකනම් දන්නේ නෑ ලොක්කා..

    ReplyDelete
  7. තමන් ආදරේ කරපු කෙනෙක්ගේ මංගල දවසට යන තරම් තීරණාත්මක දවසක් තියෙනවද? මමත් මේ ගැන ලිපි දෙකක්ම ලිවුවා..

    ReplyDelete
  8. එය සිදුවිය යුතු හොඳම විදියට තමයි වෙලා තියෙන්නෙ. ඇය ඔහුගේ වුනානම් ඔහුගේ සිතුවම් නිර්මාණය එතනින්ම ඉවරයි.
    ඔහුට "ඇය"වරුන් "හිමි" නොවිය යුතුයි, ලැබිය යුතුයි.

    ReplyDelete
  9. @දිනේෂ් - ඇත්තටම ඉතාමත් සංවේදී අවස්ථාවක්..හිතාගන්න බැරි තරම්

    @සුමිත් - පැහැදිලිවම..හැමදෙයක්ම හොදින් සිද්ධවෙනවා කියන්න පුළුවන් අර්ථකතනයක් දෙන්න හැකි සිදූවීම් දාමයක් විදියට ඉදිරිපත් කලෙත් ඒ නිසයි

    ReplyDelete
  10. මම මේ විදියෙ කතාවක් කොහෙදිහරි කියෝල තියනව ඒකයි ඇහුවෙ ඩාවින්චි ලොක්කගෙ වැඩක්ද කියල

    ReplyDelete
  11. ඒකත් එහෙමද..මමනම් කොපි කලේ නෑ හොදද..මේක හිතලමයි ලිව්වේ

    ReplyDelete
  12. මටත් එක පාරටම හිතුන පරිවර්තනයකද කියල.

    හොඳ නිර්මාණයක්.

    ReplyDelete
  13. හ්ම්ම් හොදයි.. ලස්සනයි. ඒ වගේම දුකයි

    ReplyDelete
  14. මං තාම ආසයි මේකට..

    ReplyDelete