Nov 3, 2012

ලද හැමදේටම වඩා නොලද එක් දෙයක් අගනා බව...


ගැලයිපෝස් අවන්හල නිතර යන එන යාවජීව සාමාජිකයන්ගෙන ගහන සුප්‍රකට තැනක්. සවස් යාමයට මධුවිතෙන් තොල් තෙමට බහුතරයක් පිරිමි අය.එයිනුත් බහුතරයක් උසස් රැකියාවල නියුතු මහත්මාවරුන්. එත් ඒ ඇත්තන් හවස හෝරා ගණනාවක් තිස්සේ ඇතිපදම් වෙරි වෙන්නේ කුමන කාරණයකටද කියලා ගැලයිපෝස් හි පුටු මේසවත් නොදන්නා කාරණයක්. ඒ හැමෝටම හේතු තිබුනා. සතුටට, දුකට, වෙනසකට, පීඩනයට, තිබහට. මේ හැමෝම විවිධ කාරණා මත අවන්හලේ යාවජීව සාමාජිකයන් වුනු අය. ඇතමෙක් රාත්‍රිය වෙනකම් මධුවිතෙන් මත්වෙලා නිවසට යාගන්න බැරිව අවන්හලේ සුඛෝපභෝගී කාමරයකම රෑ ගත කරලා බරවුණු හිසින් පසුවදා අවදිවන්නන්.

   ගැලයිපෝස් අවන්හලට එදා හවසත් හවස් වුනා. පුටු මේස අතරේ වීදුරු ඉහල ගණයේ මධුවිතෙන් පිරිලා පෙන දමමින් එහෙට මෙහෙට සද්දෙන් හුවමාරු වෙද්දි ඒ හැන්දෑව ගෙවිලා ගියා. ඒත් එක් මහත්මයෙක්. සම්පූර්ණ යුරෝපා ඇඳුමෙන් සැරසුනු තරුණ මහත්මයෙක් තවමත් සුරා භාවිතය නතර කරලා තිබුණේ නෑ.


“මහත්මයා...දැන් ඇති මං හිතන්නේ“

ඔහු ලඟට ආපු ගැලයිපෝස් වේටර්වරයා බොහොම ආචාරශීලීව ප්‍රශ්නකලා. මේසයෙන් යන්තම් ඔළුව උස්ස ගත්තා ජෙරම් හිනාවෙලා උත්තර දුන්නේ වෙරිමතට බමන හිස කෙලින් කරගන්න උත්සහ කරමින්

“මට ඇති කියලා තමුසේ කොහොමද නිශ්චය කලේ...“

වේටර්වරයටත් ඒකට හිනා ගියා. ඔහු මේ ආචාරශීලී බේබද්දට බොහොම හොඳින් ආමන්ත්‍රණය කලා.

“ඒක මට දැනුන විදිය මහත්මයා...අපි යමු නේද වාහනේට..යන්න අමාරුනම් අද ගෙදර මෙහේ සුව පහසු කාමරයක් සූදානම් කරන්නම් ඔබ තුමාට“

“මම හිතන්නේ තමුසෙගෙ දෙවනි විකල්පය වඩා ප්‍රායෝගිකයි..තමුසෙ කියනවනම් ඇති කියලා යමු එමෙනම්...“

ජෙරම් වේටර්වරයා එක්ක නැගිටලා අපහසුවෙන් ඔහුට වාරු වෙලා කාමරයකට යන්න වුනා. කාමරය වෙතට ඔහු ගෙන යද්දිත් වේටර් කල්පනා කලේ මෙච්චර සැප ජීවිත තියන මහත්වරු ඇයි මෙහෙම බීලා නහින්න හදන්නේ කියලා. ජෙරම් මහත්මයා ගතකරන්නේ කුමාර ජීවිතයක් කියලා ඔහු පැලඳි ඇඳුම් ආයිත්තම් වලින් සහ ඔහු වෙතින් මධු පුස්ඹ පරයා නැගී ආ ඉස්තරම්ම විලවුන් සුවඳින් තේරුම් ගත්තා.

   වේටර් වරයා ඔහු කාමරයට ඇරලාවා ඇඳ මතින් වාඩි කලා. ජෙරම් වට පිට බලා මදක් ඇලවුණා.

“මහත්මයා ඇයි මේ තරමටම බිව්වේ...මොකුත් ප්‍රශ්නයක්වත්ද?“

වේටර් එහෙම ඇහුවම ජෙරම් පුදුම වෙලා වේටර් දිහා බැලුවා.

“ඇයි තමුසෙට හිතෙනවද මම ප්‍රශ්නෙකට බොනවා කියලා...“

“නෑ මම උපකල්පනය කලා“

“තමුසෙ හරී අයිසේ...ප්‍රශ්නෙකට වෙන ගන්න පියවරක් මට නෑ“

දෙදෙනා අතර නිහඬතාවක් ඇතිවුනා. නැවත ජෙරම් කතා කරන්න ගත්තා.

“තමුසෙට ප්‍රශ්නයක් ආවම තමුසෙ බොනවද...“

අපෝ නෑ මහත්මයා. මම ඒකට එක එක දේවල් කරනවා. ඒත් බොන්නේ නම් නෑ.

“තමුසේ කරන දේවල් කියනවකෝ මට...ආ...ඒ ගමන් තමුසේ පුළුවන්නම් මගේ සපත්තු දෙයක් කෝට් එකයි ගලවලා දානවා කියන අතරෙම...මම ඒකට තමුසෙට ගෙවන්නම්...“
“සල්ලි වුවමනා නෑ මහත්මයා...මම කරන්නම්“

වේටර් වරයා බිම ඇණ තියාගෙන සපත්තුවල ලේස් ලිහන ගමන් කතා කලා.

“මට එහෙම ප්‍රශ්නයක් ඇති වුනාම මම ටිකක් හොඳට කල්පනා කරනවා මහත්මයා...ගොඩක් තරහා ගිහිල්ලනම් ගිහින් බෝල්ඩෝර් එකේ නාට්‍යයක් බලනවා..නැත්නම් සංගීතයක් බලන්න යනවා...එහෙමත් නැත්නම් විහිලු කතා පොතක් කියවනවා...වෙන ප්‍රශ්නයක් නම් කාට හරි කියනවා..එහෙමත් නැතිනම් කොහේ හරි ඇවිදින්න ගිහින් කල්පනා කරනවා“

ජෙරම්ට හිනා ගියා. ඒ සැහැල්ලු සහ අකම්පිත දිවි පෙවත ගැන ජෙරම්ට ලෝබ හිතුනා.

“ඒ දේවල් මටත් කරන්න තිබුණනම් හරි අගෙයි කොල්ලා...ඒත් මම තමුසෙට වඩා දුර්වලයි...“

“මහත්මයා කැමතිනම් මට ගැටළුව කියන්න...ඒක මහත්මයගේ හිතට නිදහසක් වෙයි“

ජෙරම් ඇඳේ වාඩි වෙලා ටිකක් කල්පනා කලා.

“තමුසේ කාටවත් පණවගේ ආදරේ කරලා තියද...“

“ඔව් මහත්මයා“

“අවුරුදු තුනක් පුරාවට..“

“නෑ මහත්මයා“

“ඒ කෙනාගෙන පැන්සෙකවත් ආදරයක් ලබන්නේ නැතිව...අඩුම ගානේ දයාබර ආදරණීය වචනයක්වත් ලබන්නේ නැතුව“

“නෑ මහත්මයා“

“ආ එහෙනම් තමුසෙට පුළුවන් නාට්‍ය බල බල ප්‍රශ්න විසඳගන්න..“

වේටර්වරයා පුදුමෙන් වගේ එක් මේස් එකක් අතේ තියාගෙන බලාගෙන හිටියා.

“ඒක මහ කරුමයක් අයිසේ...නැහීගෙන එක්කෙනෙක්ට ආදරේ කරනවා..ඒ ඇස්වල උතුරායන ආදරේ දැක දැක...ඒත් ඒ ආදරේ නොදෙනවනම්..ඒක මහ කරුමයක්...යක්ෂයා ගෙනාපු කරුමයක්...ඒ ආදරේ ඇස්වල දකින වාරයක් පාසා පිච්චෙනවනම්..ඒක මිහිපිට කරුමයක්“

“ඔව් මහත්මයා මට තේරෙනවා..ඇයි මහත්මයා මෙච්චර කාලයක් එහෙම ආදරේ කරද්දි ඒ කෙනා ආදරේ නොදෙන්නේ“
“තමුසෙට තේරෙන දේ ඒ කෙනාට නොතේරෙන නිසා...ඒ විතරක් නෙවෙයි මගේ ආදරය කියන එක නිකං ප යට පෑගෙන දූවිල්ලක් විතරක් නිසා“

“ඒත් ඇයි එහෙම වෙන්නේ...ඔබතුමාගේ වරදක් නැතිවත්“

“ඒක තමයි අයිසේ..නොලැබීම කියන්නේ...මම තරම් එයාට වෙන කිසිම කෙනෙක්ට බැරිවෙයි ලු එයාට ආදරේ කරන්න..ඒක දැන දැනත් මෙහෙම කරන්නේ කරුමෙ නිසා..“

“ඒකනම් පුදුම කතාවක් මහත්මයා...“

“අයිසේ මටත් පුදුම ඒකම තමයි...තව කොච්චර කාලයක් ඒ ආදරේ බලන් ඉන්නද...මොනවා ලැබුණත් ඒ බලාපොරොත්තුව නොලැබෙන්න මගේ ජීවිතය අසම්පූර්ණයි අයිසේ...ඒ හිතට ඒවා තේරෙන්නේ නෑ..නැත්නම් නොතේරුනා වගේ ඉන්නවා“

“මහත්මයා මට ගොඩක් කණගාටුයි...මහත්මයාගේ අසරණභාවය ගැන“

“මම අසරණයි කියලා තමුසෙට තේරෙනවා..ඒත් එයා කියන්නේ එයා අසරණයිලු...අහේතුකව අසරණයිලු...ආදරය හිතේ තියාගෙන අසරණයිලු...තමුසෙම කියනවා මමද මේ පිච්චි පිච්චි ඉන්න අසරණ නැත්නම් එයාද කියලා“

“අනේ මන්දා මහත්මයා...“

“ඔව් අයිසේ මට ඒකට උත්තරයක්...අර බ්‍රැන්ඩි බෝතලේවත් තාම දුන්නේ නෑ...දැන් මාස ගාණක් තිස්සේ“

7 comments:

  1. “ඒක මහ කරුමයක් අයිසේ...නැහීගෙන එක්කෙනෙක්ට ආදරේ කරනවා..ඒ ඇස්වල උතුරායන ආදරේ දැක දැක...ඒත් ඒ ආදරේ නොදෙනවනම්..ඒක මහ කරුමයක්...යක්ෂයා ගෙනාපු කරුමයක්...ඒ ආදරේ ඇස්වල දකින වාරයක් පාසා පිච්චෙනවනම්..ඒක මිහිපිට කරුමයක්“
    මේක තම මන් කතාවේ කැමතිම කෑල්ල.

    “මහත්මයා කැමතිනම් මට ගැටළුව කියන්න...ඒක මහත්මයගේ හිතට නිදහසක් වෙයි“ මේ කල්ල මේ කියන තරම් සරල නැ.අපට හමුවන හැමෝටම අපි අපිට තියන ප්‍රශ්න කියා කියා යන්න බැ. ඒ තියන නොහැකියාවට අද මම ලෙඩෙක්...

    ReplyDelete
    Replies
    1. ඔබෙන් පිළිවදන් උගහට බැව් මතක් වී ආපසු යමි.:)

      Delete
  2. මොනා කියන්නද හිතා ගන් බැ සිරා පොස්ට් එක

    ReplyDelete
  3. නියම කතාව.. :)

    ReplyDelete
  4. ආසාවෙන් රස වින්දා අදමද මන්දා මේ පැත්තට ආවේ දැන් එන්නං දිගටම.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete