Nov 4, 2012

ඔබාමා සහ රොමේනි..නැතිනම් දෙදෙනාම..


මෙම ලිපිය ලිවීමට අදහස් කලේ මීට ටික දිනකට පෙරයි. නමුත් කාලීන හේතු සාධක සහ ලෝක පොලිස්කාරයාගේ මැතිවරණ උණුසුම ඉක්මවා ලාංකේය ජන සමාජය තුල හටගත් විවිධ කාලීන සාධක හේතුවෙන් ප්‍රමුඛතාව දෙක දක්වා මෙම ලිපිය වැටීම හේතුවක් විය. කෙසේ වූවත් මෙම ලිපිය නැවත රචනයට ප්‍රධානතම හේතුවක් වූයේ රාජගේ ඔබාමාට ලියුමක් මැයින් රචිත අපූරු ලිපියත් සමගය. එබැවින් නැවතත් ජාත්‍යන්තර දේශපාලනය දෙසට මා නැවතත් තල්ලු කිරීම වෙනුවෙන් රාජ්ට මගේ කෘතඥතාව පිරිනැමිය යුතුය. එසේම මේ දිනවල ඇමරිකානු ඡන්ද සටන පිළිබඳව නිරතුරුවම මගේ මතය විමසන මාගේ සහෘදයන්ටද මා ලෙංගතු ප්‍රණාමය පිරිනැමිය යුතුය.

   මා කතාකල යුත්තේ ඇමරිකාව පිළිබඳව හෝ ඇමරිකානු දේශපාලනික තත්වය පිළිබඳව නොව. එහි දේශපාලනික විචල්‍යයන් මගින් ලංකාවට එල්ලවන බලපෑම කුමක්ද යන්න පිළිබඳවය. අප කෙලෙසින් දුරස්ථ භාවය හෝ ලංකාවේ භූමි ප්‍රමාණය හා ආර්ථික තත්වය සලකා එක්සත් ජනපදය වෙතින් ලංකාවට සෘජු බලපෑමක් එල්ල නොවෙතියි උපකල්පනය කලත් විමලසිරි ගම්ලත්ගේ(විමල් වීරවංශ) කෝකටත් තෛලය “ආධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ“ සංකල්පයෙන් බැහැරව මේ පිළිබඳ අර්ථ ගැන්විය යුතුය.


   පැහැදිලිවම ද්වී පක්ෂ මැතිවරණ ක්‍රමයක් සහිත ඇමරිකානු දේශපාලන ක්‍රමයේදී පක්ෂ සහ ජනතාව මතය පලකිරීම ලොව දියුණු රටක ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයකට සහ සාධාරණ ජනමතයකට ප්‍රබල නිදසුනකි. ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල් නොදියුණු යැයි කියන්නේ ආර්ථිකයෙන් පමණක් නොවන බවට එය හොඳ උදාහරණයකි. ඒ මන්ද ඇමරිකාව ආර්ථිකයෙන් පමණක් නොව උසස් සහ බලවත් මැතිවරණ සහ දේශපාලනික අර්ථ ක්‍රමයකින් සහ ජනතා ආකල්ප වලින් සමන්විත බැවිනි. එහිදී අප සිටින්නේ ගව් ගණනක්  පහලින් බව ලැජ්ජාශීලීව සිතාගත යුතුය.

    ලංකාවට ඇමරිකානු ඡන්ද සටනේ උණුසුම වඩාත්ම දැනෙන්නේ තාක්ෂණය ඉතාමත් ප්‍රබල අවදියකය. විශේෂයෙන්ම ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ප්‍රථම වර ඡන්ද සටනට පැමිණි අවස්ථාවේ එය තදින්ම ලංකාවට දැනිනි. බුෂ් සුද්දෙක් වූ නිසාත් පියාගේ කෙරුම් දන්නා නිසාත් බුෂ් ජයග්‍රහණය කලවිට ඇමරිකානු පොදු ලෝක ප්‍රතිපත්තිය අඩුනැතිව ක්‍රියාත්මක වන බව ලෝකය තේරුම් ගත්හ. නමුත් ඇමරිකානු ජනාධිපතිවරණ ඡන්ද  සටන උණුසුම්වම ලංකාවට මෙන්ම ලෝකයටම දැනෙන්නේ කළු ජාතික මිශ්‍ර සම්භවයක් ඇති බැරක් ඔබාමා ජනාධිපති පදවියට තරඟ කිරීමත් සමගය. "Change...Yes we can" තේමා පාඨය සමග වෙනසක අරමුණින් ඔහු තරඟයට පිවිසියේ හිටපු ජනාධිපතිවරයෙක්ගේ බිරිඳ සමග පක්ෂය තුලම තරඟයකින් අනතුරුවය. ලොව බහුතරයක් සිතා සිටියේ ඔබාමා ජනාධිපතිවූ පසු ඇමරිකානු ප්‍රතිපත්ති වෙනස් වේ යයි කියාය. තවදුරටත් ලෝක පොලිස්කාරයා හෝ අධිරාජ්‍යවාදී න්‍යායෙන් බැහැරව සාධාරණ ප්‍රතිපත්තියකට යාවි කියාය. නමුත් ලෝකය නිවැරදි නොවීය. වසරින් වසර ඔබාමා පාලනය දිග්ගැස්සෙද්දී පෙනී ගියේ හිටපු සුදු ජනාධිපතිවරුන්ටත් වඩා කළු ඔබාමා සුද්දෙක් වූ බවය. ඔහුගේ ප්‍රතිපත්ති ඇමරිකානු අන්තගාමී ප්‍රතිපත්ති තවත් ඉහලට ගෙන ගියහ.

   එසේනම් උපකල්පනය කල යුතු එක් දෙයක් ඇත. එනම් ඇමරිකානු ජනාධිපති යන පුටුවේ කව්රුන් ඉඳගත්තත් ඔහුට ආවේශවන්නේ සුපුරුදු ඇමරිකන් ගතියම මිස ස්වතන්ත්‍ර චින්තනය නොවන බවය. කව්රුන් ඇමරිකානු ජනාධිපති වූවත් ඔහු තමන්ගේ මතයකට වැඩ කල නොහැකි නායකයෙක් මෙන්ම රූකඩ පාලකයෙක් පමණක් වන බව සිතාගත හැක. එබැවින් ඇමරිකානු ජනාධිපති ඇඳුම් ඇඟලාගත් කිසිවෙක්ගෙන් ලෝක දේශපාලනයට යහපත් හෝ අන්තගාමී නොවන යමක් බලාපොරොත්තු වීම අපහසුය. එසේම ඇමරිකානු ආර්ථිකය සවිමත්වන තරමටම ලෝක ආර්ථිකයේ පැවැත්මද රඳාපවතින බව මතක තබාගත යුතු බැවින් ඕනෑම ජනාධිපතිවරයෙක්ට සිය ආර්ථික ප්‍රතිපත්ති ඇමරිකානු නව ලිබරල්වාදී ප්‍රතිපත්ති බවට අකමැත්තෙන් හෝ පත්කිරීමට සිදුවනු ඇත.

   එබැවින් මෙවරද ඔබාමා සිය තනතුරේ දිගුවක් ලබාගත්තද නැතිනම් රොමේනි ජයග්‍රහණය කලද අමුතු වෙනසක් හෝ ඇමරිකානු අන්තගාමි සහ ලෝක දේශපාලනයට හොට දැමීමේ න්‍යාය වෙනස් වේයයි බලාපොරොත්තු විය නොහැකිය. එබැවින්ම මෙවර ලංකාව තුල ඒ උණුසුම බිඳ වැටීමට හේතුවී ඇත. එහෙත් අගය කල යුතු දෙයනම් මැතිවරණයෙන් කව්රුන් පරාජය වුවද නිහතමානී ලෙස පරාජය බාරගෙන ජයගත්තා තමන්ගේද ජනාධිපති බැවින් ඔහුට උපරිම ශක්තිය දෙන බවත් කකුලෙන් නොඅදිනා බවට පොරොන්දුවීමත්ය.

3 comments:

  1. බොහොම ස්තුතියි මගේ ලිපියටත් ලින්ක් එකක් දැම්මට.
    ඇමෙරිකාවෙ ජනාධිපති කවුරු උනත් ලොකු වෙනසක් නොවෙනව කියනදේ මමත් පිලිගන්නව. හේතුව ජනාධිපති කවුරු උනත් රටක් විදියට හරි හෝ වැරදි ප්‍රතිපත්තියක් තිබීම. අන්න ඒවගේ හොඳ දේවල් අපි ගන්නෙ නෑනේ.

    ReplyDelete
  2. ඇත්ත වශයෙන්ම..එයට හේතුව වන්නේ ඔවුන් පුද්ගලික න්‍යායපත්‍ර වලින් බැහැර වෙලා රටේ පොදු ප්‍රතිපත්තිය (කාලීන) තමන්ගේ ප්‍රතිපත්තිය බවට පරිවර්තනය කර ගැනීම නිසාවෙන්

    ReplyDelete
  3. ඔබ ඉදිරිපත් කරන්නේ පැහැදිලි සත්‍යයකි. අමෙරිකාවේ ජනපති කවුරු වුවත් ප්‍රතිපත්ති වෙනස්නොවේ. හොඳ ලිපියකි
    මම සමකය වටේ (samakaya wate) දුවන එකා

    ReplyDelete