Aug 15, 2013

මට අවනත නැති මගේ කැමරා නෙත් ආපු ගියපු තැන්


ඡායාරූපකරණය කියන්නේ ලෝකයේ ප්‍රචලිත් වෘත්තියක්, කලාවක් මෙන්ම හොඳ විනෝදාංශයක් ලෙසද පිළිගන්න පුළුවන්. පුද්ගලිකවම මම ඡායාරූපකරණයට ඇල්මක් දක්වන්න පටන්ගත්තේ කලාවක් ලෙස ලොව සුප්‍රකට ඡායාරූප ශිල්පීන් වගේම දේශීයව ප්‍රචලිත ඡායාරූප ශිල්පීන් විසින් ගත්තාවූ බොහොම සොඳුරු සහ ආකර්ශණීය ඡායාරූප දැකීමෙන් පසුවයි. විනෝදාංශයක් වශයෙන්ම මමත් වසර තුනක් හතරක් තිස්සේ ඡායාරූපකරණය සිදුකරමින් ඉන්නවා. විධිමත් පුහුණුවක් හෝ තාක්ෂණික දැනුමක් නැතිවුනත් මම මට පුළුවන් උපරිමෙන් ඇත්තම කිව්වොත් දන්න විදියට ඡායාරූපකරණයේ නිරත වෙනවා. බොහොම දුප්පත් විදියට මගේ ජංගම දුරකතනයේ කැමරාව ආධාරයෙන් තමයි ඡායාරූප ගැනීම සිදුකරන්නේ.

   Sony Ericsson Xperia Mini Pro වර්ගයේ ජංගම දුරකතනයකින් 5mp තරම්වන කැමරාවකින් ගත්තු ඡායාරුප බොහෝ ගණනක එකතුවක් මගේ ලඟ දැන් එකතුවෙලා තියනවා. ඒ අතරින් තෝරගත්තු මගේ හිත ගත් ඡායාරූප කිහිපයක් මම මෙලෙසින් ඉදිරිපත් කරන්න හිතුනා. ඡායාරූපය පමණක්ම නැතිව එයට වස්තු බීජය වුණ කරුණුත් දක්වන්න අමතක කලේ නෑ. (ඡායාරූප විශාල කරලා බලන්න ඒ මත ක්ලික් කරන්න)

   ඉහලින්ම තියෙන ඡායාරූපයේ පේන්න තියෙන කෝපි මල් අහුර බොහොම හිතගත්ත දසුනක්. මේ ඡායාරුපය ගත්තේ අඹේපුස්සෙදි. කෝපි මල් පිපිලා මැලවිලා යන කාලෙක ගත්තු එකක්. බොහොම කාලයක් මම මේක මගේ පුද්ගලික පරිගණකයේ පසුබිමට යොදලා තිබුණා.


 මේ මානෙල් මල පිපිලා තිබුණේ බෙලිඅත්ත, අඟුල්මඩුව මගේ නැන්දාගේ ගෙවත්තේ කෘත්‍රිමව ඉදිකරපු පොකුණක. පිපීගෙන එන මල් පොහොට්ටුවේ වැඩියෙන්ම දිගඇරුණ පෙත්ත මත තියන පිණි බිංදුව දැක්කම හිතුණේ ඡායාරූපයක් ගන්න. අන්තිමට ඒක මේ ඡායාරූපය බවට පත්වුණා


මේක සීනියාස් මලක් වෙන්න ඕන. මල් පිළිබඳව මගේ දැනුම බොහොම අඩුයි. අඩුම ගානේ මල් වවන්නේවත් නැති නිසා. මේකත් තිබුණේ බෙලිඅත්ත අඟුල්මඩුව මගේ නැන්දාගේ ගෙවත්තේම තමයි. සහෝදරියන්ගේ දැඩි නඩතුත්ව සහ උනන්දුව නිසා මේ මල් බොහොම අගේට පිපිලා තිබුණා. හම්බන්තොට කට්ට අව්ව මැද්දේ අගේට පිපුණ මේ මල මගේ කැමරා කාචයේ සටහන් වුනේ මෙහෙමයි.


මකුළුවෙක් බොහොම පරිස්සමට වියා ඇති මකුළු දැලට පිණි වැටුණම කොච්චර අපූරු නිර්මාණයක් වෙනවද කියලා මේක දැක්කම ඔබට හිතේවි. මකුළුවට ඒක හිරිහැරයක් වුනත් සොබාදහමට ඒක කොච්චර අගේ ඇති නිර්මාණයක්ද. මේ ඡායාරූපය ගත්තේ අපේ ගෙදර පිටිපස්සේ තියන පුංචි අගලක් අසබඩ පුංචි ගස් කීපයක් අතරයි.


මේ පුංචි දූ සිඟිත්ත මානෙල් මල් දෙකක් පෙති දිග ඇරලා පරිස්සමට තියන් ඉන්නේ පුංචි අත්දෙකෙන්ම දළදා හාමුදුරුවන්ට පූජා කරන්නයි. මගේ පියාගේ කාර්යාලයේ වාර්ෂික චාරිකාව අතරතුර කාර්යාලයේ සේවක මහතෙක්ගේ දියණියකු දළදා මාලිගාවට යන මග බස් රථය ගමන් කරද්දි දළදා වතාවත් සිදුකරන් සූදානම් වුනේ මෙහෙමයි. මගේ ඡායාරූප එකතුවේ තිබෙන බොහොම හිතවත් ඡායාරූපයක් එය.


 මේ කොහෙද කියලා ඇතැම් අය හඳුනාගනීවි. විශේෂයෙන්ම මාතර අය. මේ සුන්දර මාතර වෙරළ උද්‍යානයේ සැඳෑ රිවිමඩල බැසගෙන යන මොහොතක ගත්ත ඡායාරූපයක්. කම්කරු උසාවිය ඉදිරිපිට වෙරළේ සිට මාතර නගරය දිහාව බලද්දි හැන්ඳෑවට පේන්නේ මේ විදියටයි.

මේ ඡායාරූපය ගත්තෙත් අඹේපුස්ස ප්‍රදේශයේ පුංචි ඇලපාරක්ආසන්නයේදියි. හැකරැල්ලෝ යුවලක් ආලයෙන් වෙලිලා ඉන්න වෙලාවක පුංචි කරදරයක් කරලා ගත්ත මේ ඡායාරූපයත් බොහෝ ලෙස මගේ හිතගත්ත ඡායාරූපයක්.


පරිස්සමට බැලුවොත් දකින්න පුළුවන් මේක පුංචි හතුවර්ගයක් කියලා. වැස්ස දවසක මගේ නිවස ඉදිරිපිට ඉද්ද පඳුරක් මුල පිපුණු මේ හතු ටික මගේ කැමරා ඇහැ හොරාගත්තේ නොදැනුවත්වමයි. බොහොම ලස්සන ඡායාරූපයක් කියලා මටම හිතුනේ ඡායාරූපය පරිගණක තිරයේ දැක්කටත් පස්සෙයි.


මේ ඕකීඩ් මල මෙහෙම පිපෙනකම්ම දැඩි ලෙස සාත්තු කලේ මගේ පියාණන්. මල් වවන්න බොහොම කැමැත්තක් දක්වන  තාත්තා මේක පිපිලා තියනවා දැකපු ගමන් දුවලා ඇවිත් මට කිව්වේ පොටෝ එකක් ගන්න කියලා. කලින් මම ලියපු කඩුපුල් මල් පිපෙන ලිපිය සඳහා ඡායාරූප ගත්තෙත් තාත්තගේ ඉල්ලීමටයි.


මේ ඡායාරූපය මම ෆේස්බුක් මගේ ගිණුමේ ඉදිරිපත් කලේ “නින්දෙයි සැප නින්දෙයි වෙනස“ ලෙස සඳහන් කරමින්. මේ ඡායාරූපය ගත්තේ මගේ විශ්වවිද්‍යාලය රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන සංකීර්ණයේ එක් පසෙක කොරිඩෝවකදී. මෙතැන හොඳට හුරුපුරුදු බලු රාල මම පොටෝ එක ගන්නව කියලවත් කණක් වත් හොලවන්නේ නැතිව පොටෝ ජෙනික් ලිලාවෙන් හිටියේ මෙහෙමයි.


රුහුණ විශ්වවිද්‍යාලයේ හිතවතුන් මේ තැන හොඳින් හඳුනනවා. වැල්ලමඩම සංකීර්ණයේ එලිමහන් රංග පීඨය කියන්නේ බොහොම සුප්‍රකට තැනක්. නාට්‍ය, සංවාද, අවුරුදු උත්සවය බොහොමයක් කටයුතු සිදුකරන්නේ මෙතන තමයි. බොහොම සරුවට තණකොල වැවිලා තියෙන කාලෙක ගත්ත සුන්දර දසුනක් මේ. සරසවිය මතක් වෙනකොට කඳුළු උනන නෙතට මේ ඡයාරූපය මතක සටහනක් වේවි.


මේ කව්රුත් හොඳින් දන්න දියවන්නා ඔය ආසන්න මාර්ගය. දැන් බොහොම අගේට ප්‍රතිසංස්කරණය කරලා තියනවා දැකලා ගත්ත ඡායාරූපයක්. බොහොම නිස්කලංක බවක් දැනෙනවා මේ ඡායාරූපය දකිද්දි මටනම්. ඔබටනම් කොහොමද දන්නේ නෑ.


රතු රෝසමලක පෙති මත පිණි බිංඳු කියන්නේ කවියට, කතාවට වගේම ගීතයට කොතරම් ප්‍රබල නිමිත්තක්ද. මම ඒක ඡායාරූපයට නිමිත්තක් කරගත්තා. මෙහෙම මල්වල ඡායාරූප ගන්න මට තියන ආසාව නිසාම ගත්ත එකක්. දකිද්දි ආදරේ හිතෙන රෝස මලකට මගේ කැමරා ඇහැත් ආදරේ කරලා.


දකුණේ තක්කාලි වවන එක එච්චර ලේසි නෑ. ඒත් අපේ තාත්තයි, ලොකු අක්කයි වැඩේ අතඇරියේ නෑ. මේ එහෙම හැදුන මුල්ම තක්කාලි පොකුරේ ඡායාරූපය. හොඳ මතක සටහනක් වගේම අපේ පවුලේ අයගේ හිතගත්ත ඡායාරූපයක්.

   ඉතින් මේ මගේ ජංගම දුරකතනයේ දුප්පත් කැමරා කාචයෙන් ගත්ත සැමරුම් ඡායාරූප අතරින් කීපයක් විතරයි. ඉඩක් ලැබුණොත් තවත් වෙනස් විදියේ ඡායාරූප ටිකක් ලිපියකින් පලකරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට අවනත නැති මගේ කැමරා නෙත ගැන ඔබේ අදහසුත් කියන්න එහෙනම්

18 comments:

  1. අඩේ මේ පිංතුර ෆෝන් කැමරාවෙන් ගත්තේ කියලා හිතන්නත් අමාරුයිනේ. නියම උත්සාහයක්

    ReplyDelete
    Replies
    1. ඒකනේ..ජංගමේ හොඳකම තමයි ඉතින් දෙයියනේ කියලා

      Delete
  2. අඩේ පස්ටයි... ඒක නෙවේ අය්යණ්ඩියා, මූණු පොතේ ජනතාව ඔබතුමා කොහිද ගියේ කියලා හෙයානවා..

    ReplyDelete
    Replies
    1. අහා ශම්මියා..විභාගේ දවස් ටිකේ මූණු පොතට සමුදුන්නා බං..ඉවරවුණාම ආයේ ජාලගත වෙනවා..උඹලා ඉතිං යහතින් ඉන්නව නේද

      Delete
  3. කාචයට ලොල් මාගේ සිත්ගත් ඔබේ ඇස හරිම අපූරුයි මලේ....

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි රාජ් අයියා..කාචයට ලොල් නොවේවිද දුටුවාම නෙක නෙක අත සොඳුරු දසුන්..සූම් කල හැකි මෙව්වා එකක් ගත් දිනකා සොඳුරු ලඳුන් රුව පටවමි සමරු අතරට..ජයවේවා

      Delete
  4. මකුළු දැලේ ෆොටෝ එකනම් සුපිරි! මම ආසම පින්තුරේ ඒක!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නාඩියා..මමත් බොහොම කැමති ඡායාරූපයක් ඒක

      Delete
  5. උඹ රුහුණෙ හිටියෙ කොයි කාලෙද?

    ReplyDelete
    Replies
    1. තාම රුහුණෙම තමයි ලොක්කා..අවසන් වසරේ සරසවියේ..

      Delete
  6. සිරාවටම 4n එකෙන්ද... මේවා ඵස්සටයි....පට්ටයි පාට පාටයි....

    ReplyDelete
    Replies
    1. මම කිව්වම ඉතිං විශ්වාස කරපං යකෝ..මගේ දුප්පති ජංගමෙන් ගත්ත ඒවා තමයි..තැන්කූ මචං කොහොම වුනත්

      Delete
  7. නියමයි මචං ලස්සනයි ..

    ReplyDelete
  8. මටනම් ෆෝන් කැමරා එකකින් තියා හරි හමන් කැමරා එකකින් වත් ගන්න බැහැ මේ විදිහට

    ReplyDelete
    Replies
    1. උත්සහ කරලා බලන්නකෝ මිත්‍රයා..මමත් මේ කාලයක් තිස්සේ උත්සහ කරලා ගත්ත ඒවල ප්‍රතිඵල තමයි..ස්තූතියි අදහසට

      Delete
  9. වඩාත්ම සිත ගියේ හතු තියන පින්තූරෙට. පින්තූර ගැනිල්ලත් හිතට සැනසිල්ලක් ගෙන එන හොඳ විනෝදාංශයක් නේද..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම..ඒ ගත්ත පින්තූර බලද්දි ඒ වගේම තවත් අය ඒවා රසවිඳිද්දි දැනෙන්නේ පුදුම සතුටක්..ඒ සතුටට වැයකරන්න ඕන වියදම බොහොම අඩුයි..ස්තූතියි අදහසට චන්දන

      Delete