Oct 4, 2013

සංකලනී - 2 වැනි කොටස


පලමුවෙනි කොටස

මිතුලට ඊට පස්සේ මොනවද උනේ කියලා මතකයක් තිබුණේ නෑ. පංසල් වත්තේ හිටපු ගමේ උදවිය බොහෝ දෙනෙක් තමන්ට බැන්නා කියලා මතකයි. ඒ වගේම තාරුකා එක්ක හිටපු යාළුවෝ කීපදෙනෙක් සංකී..සංකී කියාගෙන දුවලා තාරුකාගේ හිත හදලා අඬන එක නවත්තගෙන ගෙදර එක්කගෙන යනවා දැක්කා. තමන්ගේ යාළුවෝ ටිකත් තුෂ්නිම්භූත වෙලා ඉන්නවා මිතුල දැක්කා. කොහොමහරි ඒ වෙලාවේ තමන් අපවාද වලින් බේරගන්න ඉදිරිපත්වුනේ පොඩි හාමුදුරුවෝ කියලත් මිතුලට මතකයි. ඊට පස්සේ වැඩක් කරන්න තරම් මානසිකත්වයක් නොතිබුණ නිසා මිතුල ගෙදර ඇවිත් නිදාගත්තා. තමන් වැරැද්දක් කරන්න හිතාගෙන නොකරපු දෙයක් නිසා මිතුලට සෑහෙන්න හිතට අමාරුයි. වැඩියත්ම ඒ කෙල්ල දැකපු වෙලාවේ ඉඳන් හිතට දැනුන දේවල් දැන් අකමැත්තෙන් වුනත් අතුගාලා දාන්න වෙන නිසා.

    හවස් වරුවේ මිතුල ගෙදර ගේට්ටුවෙන් පාර දිහා බලාගෙන කල්පනාවක ඉන්න ගමන් ගමේ මිතුලගේ වයසෙම ගෑණු ළමයෙක් පාරේ යනවා. මිතුල දැකලා පාර මාරුවෙලා මිතුලගේ පැත්තට ආවා. පොඩි කාලේ ඉඳලම ගමේ ඉස්කෝලෙත් මිතුල එක්ක ඉගනගත්ත ඒ වගේම ගමේ ළමා සමිතිවල මිතුල එක්ක එකට වැඩ කරපු කෙල්ලෙක් නිසා ඒ කෙල්ල මිතුල ගැන හොඳට දන්නවා.

“මිතුල මොකද මේ දැන් පොඩි කෙල්ලන්ට බාල්දි පෙරලන්නේ?“


සචිකා හිනාවෙන ගමන් මිතුලට ටොක්කක් අණින විදියේ කතාවක් කිව්වා. මිතුලට තේරුණා සිද්ධිය ගමටම වාර්තා වෙලා කියලා.

“මම බාල්දියක් පෙරලුවේ නෑ ඕයි...ඒක වැරදීමක්..“

මිතුල පොඩි තරහක් මූණට අරගෙන සචිකාට කිව්වා. සචිකා හිනාව නැවැත්තුවෙම නැති නිසා මිතුලට තවත් තදවුණා.

“ හරි හරි මිතුල...මම දන්නෑ ඕවා..මට ආරංචිය ආවේ එහෙමයි..කොහොමත් සංකලනී දැක්කේ නෑ මම අද දවසටම“

මිතුලට මාර ප්‍රශ්නයක් කව්ද මේ සංකලනී.

“කව්ද ඔය දැන් කියන සංකලනී...මගේ අතින් අත්වැරැද්දකින් බාල්දියක් පෙරලුනේ තාරුකා කියලා කෙල්ලෙක්ටනේ...කව්ද දැන් ඔය සංකලනී..යකෝ මෙහෙමත් අමු බොරු කටකතා යවන එකා කව්ද..හරියට අර කපුටෝ හත් දෙනෙක් වමනේ කරපු කතාව වගේනේ..“

ඒ කතාවට සචිකට තවත් හිනහයි. මිතුල සෑහෙන්න පටලගෙන කියලා සචිකාට තේරුණා. වෙලාවකට මිතුල පව් කියලත් හිතෙනවා.

“හරි හරි හලෝ...ඔය තරුකා තමයි සංකලනී...ඔයාට ඔය නම කියපු කෙනා කියලා තියෙන්නේ ඒ කෙල්ලගේ මුල් නම...අනිවාර්යයෙන් සිසුරු වෙන්න ඇති නේද නම කියන්න ඇත්තේ...“

මිතුලට සිසුරුවා ගැන දුක හිතුනා. සිසුරු ගේ දත්ත ගබඩාව සෑහෙන්න කල්පැනලා කියලා මිනිහට හිතුනා.

“තාරුකා සංකලනී තමයි ඒ කෙල්ලගේ නම...ඒත් හැමෝම කියන්නේ සංකලනී කියලා...පුදුමයි ඔයා ඒක දන්නේ නෑ කිව්වම...“

“මම ඔය අංශෙට නෑනේ හලෝ...“

“හරි හරි මම දන්නවා මිතුල...“

“මේ ඒක නෙවෙයි...සංකලනිගේ ගෙදරට සිද්ධිය ගිහින්ද දන්නෑ නේද..කේස් එකක් වෙයිද දන්නෑ“

මිතුල බයවෙලා ඉන්න වෙලාවේ තව ටිකක් බය කරන්න හිතුනත් සචිකා අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නෑ.

“නෑ නෑ මම හිතන්නේ...මම දන්නෙත් නිම්මි පංසලේ ඉඳලා ඒ වෙලාවේ..එයා තමයි මටත් කිව්වේ...බයවෙන්න එපා හලෝ...“

“මම බය නෑ හලෝ...“

“මම යනවා මිතුල...කඩේට යනවා“

“එල එල...තව ටිකක් ප්‍රචාරේ දෙනවා හොඳේ“

සචිකා හිනාවෙලා යන්න ගියා. මිතුලගේ හිතට පුංචි සහනයක් දැනුනා. ඒත් තමන්ගේ හිතේ එක මොහොතකින් පැලපදියම්වුණු සංකලනිගේ නැත්නම් තාරුකාගේ මූණ බලලා කතාකරන්නේ කොහොමද කියලා මිතුලට හිතාගන්න බැරිවුණා. තමන් ඇරෙන්න වෙන කව්රුවත් මේක අත්වැරැද්දක් කියලා විශ්වාස කරන්නේ නැති බව මිතුල දන්නවා. අඩුම තරමේ තමන්ගේ යාළුවෝ ටිකවත් විශ්වාස කරන්නේ නෑ කියලා මිතුලට තේරුණා. ඒ තමන්ගේ ඉතිහාසේ එච්චර හොඳ නැතිනිසා බව නොතේරෙනවා නෙවෙයි. මිතුල හැමදාම හිතනවා අද ඉඳන් හැදෙනවා කියලා. ඒත් වැඩට ගිහින් ආපු වෙලාවේ ඉඳන් ඔලුවට එන්නේ නරුම අදහස්ම තමයි. ඒක මිතුලට කරුමයක්ම වෙලා.

                                     * * * * * * * * * *

    පස්සේ දවසේ වැඩට ගිහින් ඇවිත් නාගෙන කාමරේට එනකොටම ජංගම දුරකතනෙට කෙටි  පණිවඩුයක් ඇවිත් තිබුණා. ඒ මිතුලගේ නරුම යාළුවෝ කණ්ඩායම ගමේ ප්‍රජා ශාලාව ඉදිරිපිට රැස්වෙනවා කියලා. මිතුලත් හිතේ අමාරුව හොඳ කරගන්න කියලා හිතාගෙන ඒ පැත්තට ගියා.

      යනකොටත් ඉෂාර, ඕෂධ, සිසුරු හා ඉසුරු තමන්ට වෙච්ච විනාසේ ගැන කතා කර කර හිටියේ. මිතුලගේ මූණ දැක්ක හැමෝටම තේරුණා මිනිහා අප්සට් එකේ ඉන්නේ කියලා. මේක හිතලා කරපු වැඩක්නම් මිතුල කවදාවත් මෙහෙම ඉන්නේ නෑ කියලා යාළුවෝ දන්නවා.

“අපෝ මොකද බං අස්පයා මැරිච්ච ජොකියා වගේ...තොගේ මොනවද නැතිවුනේ..“

මිතුලගේ මූඩ් එක දැකපු ඉෂාර එහෙම කිව්වට මිතුලට මොකුත්ම දැනුනේ නෑ. අඩුම ගානේ තරහක්වත්.

“උඹ මේ කෙල්ලෙක්ට බාල්දියක් පෙරලලා මූණ කුන්ද හට්ටියක් කරගෙන හිටියම හරිද?“

ඒ පාර ප්‍රශ්නේ ඇහුවේ ඉසුරු.

“හිතලා බාල්දියක් පෙරලුවනම් දුක නෑ බං...ඒත් යකෝ සුරංගනාවියක් වගේ කෙල්ලෙක්ට එහෙම කරන්න පුළුවන්ද...ඒකයි යකෝ මට දුක..“

යාළුවෝ ටික මූණට මූණ බලාගත්තා. මොකද මෙහෙම වාක්‍ය මිතුලගෙන් ඉතිහාසෙට පිටවෙලා නැති නිසා.

“මොකක්...සුරංගනාවියක්...යකෝ බාල්දිය පෙරළුනේ අර කෙල්ලටද නැත්නම් මූටද..මටනම් මුගේ කතාව ඇල්ලුවේ නෑ..“

සිසුරු ඇස්දෙක ලොකු කරගෙන කිව්වා. මිතුලගේ මූණට දවස් දෙකකට පස්සේ පුංචි හිනාවක් ආවා.යාළුවෝ ටික තවත් අවුල් වුණා. මිතුලයට අප්සට් එකට පිස්සු හැදිලවත්ද..නෑ නෑ එහෙම වෙන්න  බෑ.

“සිසුරුවෝ...උඹ ඒකිගේ නම තාරුකා කිව්වට හැමෝම එයාව දන්නේ සංකලනී කියන නමින්...සංකී..සංකී තමයි ආදරේට කියන නම...ඒත් මම එයාට කරේ වැරැද්දක්..“

යාළුවෝ ටික හොඳටම විකාර වුණා. මිතුල මෙහෙම විකාර කියවනවා ඇහුණමයි.

“හරි හරි බං..අපි වැඩේ ෂේප් කරපු..හෙට පන්සලේ කඨිනේ..අනිවාර්යයෙන් උඹේ ඔය හංකි ද සංකි ද පිංකි ද මං දන්නේ නෑ එයත් ඒවිනේ...අපි ෂේප් එකේ කතා කරලා සමාව ඉල්ලමු“

ඔන්න ඒක ඇහුවම මිතුලගේ මූණ මලක් වගේ පිපුණා. මිතුලට ඕන කරලත් තිබුණේ සංකලනිට කතා කරලා සමාව ඉල්ලලා පත්තුවෙන තමන්ගේ හිතේ ගින්දර නිවාගන්නයි.

“සිරා අයිඩියා එක ඕෂධයා..උඹ ඉඳලා හිටලා හරි ඔය වගේ ප්‍රඥාණවන්ත කතාවක් කියන එක කොච්චර වටිනවද..“

මිතුල ඕෂධගේ අතට අත දෙමින් කිව්වා. 

“එහෙනම් මචංලා හෙට අපි එකතුවෙලා මුගේ මේ මූඩ් එක හදලා දෙමු..“

ඉෂාර කට්ටියටම එකතු වෙලා වැඩේට කතා කලා. මිතුලට ඒක ලොකු හයියක් වුනා. ඒ අතරෙත් මිතුලට මැවිලා පෙනුනේ සංකලනීගේ ලොකු ඇස්දෙකයි හීන් හිනාවයි.




18 comments:

  1. එහෙනම් කඨිනේදි හමුවෙමු... :)

    ඔයාගේ කතා වල ලියන්නේ හරි අමුතු වෙනස් නම් නේද? සංකලනී හරි අමුතු නමක්!

    ReplyDelete
    Replies
    1. කව්රුත් කරන ඒවා කරලා වැඩක් නෑනේ බං නංගියේ

      Delete
  2. Replies
    1. ආ ඇත්තද? හෙට කියනෝකො බලන්න මට ඔක්කොම මුල ඉදලම..

      Delete
    2. අන්න හොඳයි අහගනින්කෝ දිනේෂ් මෙයාගේ රසබර මතක සටහන්..මෙයාත් සේරම පාස්කරලා වගේ

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  3. මූඩ් එක හදා ගන්න ගිහින් හිත් හදා ගන්න බැරි වෙන වැඩක් සෙට් වෙයි වගේ.. බලන් ඉමුකෝ අපි..

    ReplyDelete
    Replies
    1. ප්‍රේම කතා පටන් ගන්නේ හිත් රිදීම් එක්කනේ බං වැඩිහරියක්ම

      Delete
  4. ෂග් මරු කතාවක්නේ.මුල් කොටසත් කියවලම ආවෙ.නියමයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා

      Delete
  5. වෙනස්ම නම් භාවිතා කරන නිසා අමුතු ගතියක් තියෙනවා. දෙවනි කොටසත් හොදයි දැන් ඉතිං ඊලග එක එනකම් තමා බලන් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා..අනිත් කොටස අඟහරුවාදා දානවා

      Delete
  6. ජනරඟ විජඉඳු දෙව්සුරිඳු.......මම උඹේ කොස්කොලාලංකාරය කියෙව්වා.ටොප්නේ........උඹට හෙල හවුලට සම්බන්ධයක් තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. කොස්කොලාලංකාරය හුදෙක් නිර්මාණශීලීව ගහපු මඩක්..අපෝ නෑ මිත්‍රයා..හෙල හවුලට මගේ සම්බන්ධයක් නෑ.

      Delete
  7. මේ පැත්තට අද තමයි පලවෙනි වතාවට ගොඩ උනේ.හොද කතාවක් සහෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා

      Delete
  8. ඔන්න මඟ ඇරුණ ඒව කියවන්න පටාන් ගත්තා

    ReplyDelete
  9. මෙන්න කටිනෙ ගෙනාවො... ඇඳ ලඟටම ගෙනාවො... හිටින් next..... ?>>>

    ReplyDelete