“සර් සර්...දන්නවද වැඩක්...සසිනි යාළුයිලු නිශාන් එක්ක...“
පන්තියට ගොඩවෙද්දිම උණුසුම් ප්‍රවෘත්තියක් කියන්න වගේ දුවගෙන ඇවිත් කේලමක් කිව්වේ ශාලිකා. එහෙම කියලා මොකුත් නොදන්නවා වගේ ගිහින් පන්තියෙන් වාඩිවුණා. පන්තියේ තිබුණ මහ සද්දේ මම ඇතුල් වෙනවත් එක්කම අඩුවෙලා නැතිමවෙලා ගියා. ඒත් පන්තියට ගොඩවෙද්දිම කණට ගොඩවෙලා හිතට මහා යගදාවකින් පහර දීපු ප්‍රවෘත්තිය නිසා පන්තියට ගොඩවුණාද කියලවත් මතකයක් තිබුණේ නෑ.
සසිනි,...පුදුම කෙල්ලෙක්..තමන්ගේ පාඩුවේ වැඩකරගෙන හිටපු පන්තියේ එකම කෙල්ල..අනිත් අයගේ කතාවලට සම්බන්ධ වෙන්නේ නැතුව තමන්ගේ වැඩ බොහොම උනන්දුවෙන් කරගෙන හිටියා. සසිනි ගණන් වලට බොහොම දක්ෂයි. ඒ නිසාම පන්තිය පටන් ගත්තු දවසේ ඉඳලම සසිනි කියන නම මගේ කටින් දස දහස් වාරයක් පිටවෙලා ඇති..සසිනි ගෙදර වැඩ කලාද?...සසිනි හදපු ගණන ටිකක් දෙන්න...සසිනි මේක මෙහෙම නෙවෙයි මෙහෙම හැදුවම වැඩිය ලේසියි...සසිනි බොහොම හොඳයි දරුවෝ... මේ වගේ සසිනිගේ නම නිතරම මුවට හුරුවෙලා තිබුණා.
නම විතරක් නෙවෙයි සසිනිගේ රූපයත් හොඳට හිතේ ඇඳෙන රූපයක්. අහිංසක බෝල ඇස්දෙක, හීනි කැරලි ගැහුණ දිග කොණ්ඩය, සුන්දර හීන් හිනාව, ලැජ්ජාශීලී මුහුණ. මේ හැමදේම සසිනිගේ ආකර්ශණීයබව වැඩිවෙන්න වගේම ඕනම තැනක මතක හිටින රූපයක් වුනා. ඒත් නිශාන් ගැන එහෙමට කියලා කියන්න විශේෂ දෙයක් නෑ..හිතුනොත් වැඩ කරනවා හිතුනොත් නෑ..හිටපු ගමන් කරන මදාවි වැඩ වලට බැණුම් අහනවා ඉවරයක් නෑ.
මොහොතක් පන්තියට ඇවිත් පොත් ටික මේසේ උඩින් තියලා වාඩි වෙලා ඉන්න මොහොතේ කල්පනා වුණා..වෙනදා පන්තියට ඇවිත් ඉක්මණට පොත්ටික මේසේ උඩ තියලා රායිට්...අපි වැඩ පටන් ගනිමු කියලා වැඩ කරන මම පරක්කු ඇයි කියලා වගේ ලමයි සේරම බලන් හිටියා.. දිග හුස්මක් අරගෙන වැඩ පටන් ගත්තා.
“හරි ළමයි...අපි අද පටන්ගමු වීජීය ප්‍රකාශන...මෙන්න මේ විදියට අපි ප්‍රවේශය ගමු....“
එහෙම කිව්වට පාඩම පටන් ගන්න කියලා හිතන් ආවේ මේ විදියට නෙවෙයි නේද කියලා මට මතක් වුනා. එතකොටත් නෝට් එකේ කොටසක් දීලා ඉවරයි...අද පාඩම පටන් ගන්න හිටියේ උදාහරණයක් එක්කයි. ඒත් ඒක වෙනස් වුනා...මට මම ගැනම තරහක් හිතට ආවා..
“සර්...ආයෙත් පොඩ්ඩක් කියනවද අන්තිම වාක්‍යය..“
ඉස්සරහම පේලියේ හිටපු රශ්මිකා එහෙම කිව්වම කවදාවත් නැතුව හිතට තරහක් ආවා.
“ඇයි කියනකොට කොයි ලෝකෙද හිටියේ...හා ලියාගන්න එහෙනම්“
රශ්මිකාගේ මූණ කළුවෙලා ගියා. ඒ අතරේ අහම්බෙන්ම පෙනුණේ සසිනිගේ මූණ. ඒ මූණේ වෙනදා නැති පෙම් පාටක් තියනවා වගේ පෙනුනා..එතකොටත් මතක් වුනේ ශාලිකා කියපු එක...සර් සසිනි නිශාන් එක්ක යාළුයි...ආයෙත්ම ඒ කතාව ඇහෙනවා වගේ වුනා. හිතාගන්න බැරිවුනා ඇයි සසිනි වගේ කෙල්ලෙක් නිශාන් වගේ කෙනෙක් එක්ක සම්බන්ධයක් හදාගත්තේ..? කොච්චර හොඳට ඉගනගන්න පුළුවන් දරුවෙක්ද..හිත පුදුම විදියට ඒ ගැන වෙහෙසුනා.
“වීජීය ප්‍රකාශන වල එක එක පද විසඳීමේදී ඇතිවෙන ගැටළු වලට විසඳුම් ලෙස....“
ආයෙත් නෝට් එක දෙනකොට සසිනි යාළුවෙක් එක්ක හොඳට හිනාවෙනවා දැක්කා. ඒ හිනාවේ ලස්සන දැක්කත් හිතට සතුටක් දැනුනේ නෑ අද වෙනදා වගේ. ටික වෙලාවකින් ලමයින්ට ගණන් ටිකක් හදන්න දීලා හරි වැරදි පරික්ෂා කරන්න ගත්තා. වෙනදා මුලින්ම ඉල්ලල බලන්නේ සසිනිගේ පොත, අද ඒ වෙනුවට පිරිමි ළමයින්ගේ පැත්තේ ඉස්සරහින්ම හිටපු චන්දීශ ගේ පොත පරික්ෂා කරලා, පුංචි වැරැද්දක් තිබුණා ඒකත් චන්දීශට හොඳට තේරුම් කරලා දුන්නා..එයත් බොහොම දක්ෂ ළමයෙක්, කවදහරි හොඳ තැනකට යාවි. පුරුදු විදියට නැතුව පොත් බලාගෙන ගිහින් සසිනි ලඟට යනකොට හිතේ මොකක්දෝ වෙනසක් වෙනදට වඩා දැනුනා.
සසිනිගේ වෙලාවද මගේ වෙලාවද මන්දා සසිනි බොහොම ලේසි ගණනක් උත්තරේ වරද්දගෙන. ඒත් අමාරු ගණන් ටික සේරම පෙර වැඩ එක්කම පිළිවෙලට කරලා තිබ්බා. ඒත් වැරදුණු ගණන නිසා ඇතිවුණ තරහා එක්කම ටිකක් කෑගැහුණා සසිනිට කවදාවත් නැතුව.
“මේ මොකක්ද කරගෙන තියෙන්නේ....ලේසිම ගාණක් වරද්දගෙන...මොලේ මැටිද තියෙන්නේ...මොන ලෝකෙද ඉන්නේ...සිහි කල්පනාව ඇතුව වැඩකරනවා එක එක මල විකාර හිතන්නේ නැතුව..“
සසිනිට හිතාගන්න බැරිවෙන්න ඇති කවදාවත් නැතුව මෙහෙම බැන්නම. පුංචි ඇස් දෙකෙන් කඳුළු කඩාගෙන වැටෙද්දි පොත අරගෙන වාඩිවුණා. එතනින් එහාට පොත් බැලුවෙත් නෑ සසිනිගේ කඳුළු බැලුවෙත් නෑ හිත උණුවේවි කියන බයට. ආයෙත් බෝඩ් එකේ ගණන් ටිකක් හැදුවා. ඈතම පේලියක හිටපු නිශාන් රවාගෙන මගේ දිහා බලන් ඉන්න හැටි පෙනුනා. ඇදලා අරන් කණට දෙකක් ගහලා පන්තියෙන් එලියට දාන්න තරම් හිතුනත් එක සැරයක් පාලනය කරගන්න බැරිවුණ හිත ආයෙත් පාලනය කරගත්තා.
“හරි...අදට පන්ති ඉවරයි...ගෙදර වැඩ සේරම කරගෙන එන්න...“
එහෙම කියලා පන්තිය ඉවර කරා. ඉවර කරලා බෝඩ් එක මකලා පොත් පිලිවෙලට සකසන අතරේ සේරම ළමයි ගියා. අන්තිමටම නැගිට්ටේ සසිනි..හිමින් හිමින් මගේ ලඟට ආවා...දණ ගහලා වැන්දා..
“මට සමාවෙන්න සර්...මගෙන් එහෙම කවදාවත් වරදක් වෙලා නෑ...ආයෙත් කරන්නෙත් නෑ...“
සසිනිගේ ඔලුව අතගාලා සමාව දෙන්න තරම්වත් හිත හැදුනේ නෑ. සසිනි නැගිටලා කඳුළු පිහදාගෙන මූණ දිහා බැලුවා.
“ඔය දරුවා යන්න...ඔය දරුවගේ වරදක් නෙවෙයි ඒක...මගේ වරදක් වෙන්න ඇති...මගේම වරදක් වෙන්න ඇති..“
ඒ කියපු කතාවට සසිනි පුදුම වෙලා වගේ බලන් ඉඳලා යන්න ගියා. සසිනි එනකන් නිශාන් මග බලන් ඉන්නවා ඇති...සසිනි නිශාන් ලඟට ගියාම නිශාන් මම කරපු දේ ගැන හොඳටම බැනලා සසිනිගේ හිත හදාවි...සසිනිට ආදරෙයි කියලා කඳුළු පිහදාලා ආයෙමත් මූණට හිනාව දේවි..මොහොතකට හිතුනේ ඒ වගේ දේවල්.
පොත් මිටියත් අරගෙන පාළු සොහොන් පිට්ටනියක් වගේ මොහොතකින් නිහඬවුන පන්තියෙන් එලියට බැහැලා ගිහින් මෝටර් රථයට නැග්ගා. පොත්ටික ඉදිරිපස හිස් අසුනෙන් තියලා සුක්කානමට අත් දෙක තියාගෙන ටිකක් කල්පනා කලා. එතකොට මතක් වුණේ මීට අවුරුදු තුනකට විතර කලින් විද්‍යාපීඨයේ අවසන් දවසේ කල්පිකා කියපු කතාවක්.
“ආදරේ කියන්නේ ආදරේ අහිමිවුණාම දැනෙන දෙයක් පහන්...ඒ දේ දැනෙන්නේ ඒ වෙලාවට විතරම වෙන්න ඇති...“
- නිමි -
පහනුත් නොදැන පහන් සසිනිට ආදරේ කරලා.
ReplyDeleteහ්ම්ම්ම්. ගොඩක් හිතට දැනුන කතාවක්.
සංකලනි ඊලග කොටස ඉක්මනට දාන් නැත්ද?
කල්පිකා ගෙ කතාව හරියට ම හරි. සින්දුවකත් තියනවා නේද මේ වගේ අදහසක්? මට හරියට ම මතක නෑ.
ReplyDeleteසැහෙන්න දැනුන විදියට ලිව එකක්
ReplyDeleteලස්සන කෙටි කතාවක් :)
ReplyDeleteපරණ තුවාලයක් පෑරිලා වගේ
ReplyDeleteප්ලාස්ටර් එකක් ගෙනත් දියං
Deleteඕනම පංතියක ඉන්නව ඔහොම ලව් එකක් කඩන්න කේලම් කියන හාල් කෑලි.. යකෝ ලවකට සප්.එකක් දීල හරිගියාම දැනෙන සතුට විදින්න උං පින් කරල නෑ. මගේ ලියුමක් නෝන්ඩි කරල මම නං දුන්න රිටන් එක ආයෙ නොකරන්න.. වැඩේ කියන්නෙ ඕක වැඩි හරිය කලේ කොල්ලොනෙ උදවු එපා කට වහං හිටපිය. කෙල්ලො මරු.. කියන් නෑ මලාට.
ReplyDeleteඊරිසියාව.... කෝ අර සංකලනී කතාවේ ඊළඟ එක
ReplyDeleteප්‍රමාදය ජනා ප්‍රමාදය.. හැබැයි ඉතින් ගුරු ගෝල ප්‍රශ්ණයක් හන්දා මෙතන ප්‍රමාදයට සමාවක් දෙන්න පුළුවනි..
ReplyDeleteතෙවන කොටස කියවන්න
ReplyDeletewww.kathakaru.blogspot.com