Nov 18, 2014

මෛත්‍රීපාල සිරිසේනයන් දුටු සිහින 4


මෙත්පල් සිරිසේනයන් හිමිදිරියේම පිබිද දත කට විකාගෙන කඩිමුඩියේ නිදි සරම පිටින් නිවසින් පිටවන්නට විය. රථාචාරීතෙමේ නින්දෙන් අවදිකරවාගෙන සැනෙන් සැප රියට නැගී නික්මිණි. හෙතෙම කොහි යන්නෙහිද කියා කිසිවෙකුට නිනව්වක් නොවීය. සැප රිය දෙහිවල පුරවර නියම්ගම් පසුකර බෙල්ලන්තරට සැපත්වන්නට විය. එහිවූ සුරම්‍ය ප්‍රාසාදයක් මෙන් දිලෙන සත්මල් ප්‍රාසාදය, රත්න ප්‍රාසාදය පරයන ආරාමයට හෙතෙම ඇතුල්විය.

   එහි විසූ කසාවත තරව නොදැවටූ සිනාසර මුවින් පිරි වහන්දෑ තෙමේ වෙත මෙත්පල් සිරිසේනයන් ගොස් බිම දණගසා වැඳ නමස්කාර කොට මුනිවත බිඳින්නට විය.

“කිමෙක්ද මෙත්පල්..කඩිමුඩියේ මා සදහම් සෙවණට සැපැත්වුණේ?“

මෙත්පල් තෙමේ රෑ නිදිවර්ජිතව සිටි බව පෙනෙන්නට වන් වහන්දෑ සැකමුසු ලෙස හෙතෙම දෙස බැලීය. මෙත්පල් තෙමේ අඳෝනාවක් පරිද්දෙන් යමක් දෙසන්නට විය.

“අනේ ස්වාමීන් වහන්ස..මා පෙර දින රැයේ ස්වප්න මාලාවක් දුටුවෙමි..ඒවා විචාරන තුරු මා හට නිදිවර්ජිතවම හිඳින්නට සිදුවිය..“

වහන්දෑ එය අසා විස්මයට පත්ව තව තවත් තතු මෙත්පල් තෙමේ වෙතින් විචාරන්නට විය.

“කිමෙක්ද මෙත්පල් ඒ සිහින නම්..“

මෙත්පල් තෙමේ හරිබරි ගැසී සිහින දෙසා වදාරන්නට විය.


                                    **************

“ස්වාමීනි පලවෙනි සිහිනය නම් කත් අදින වඳුරු මාල්ලෙකි..ඌ සිය ස්වාමියාට කත් අදිනා ගමන් කිසි හිරිකිතයක් නැතිව ස්වාමියා උදේ සවස ශරීර කෘත්‍ය නිමකල පසු ජලයෙන් සේදීමට ඉඩ නොදී ස්වාමියාගේ පශ්චාත්භාගය ලෙවකමින් සිටීමයි..ස්වාමීනි මට මේ ස්වප්නය විචාරනු මැනවි“

උගුරු දඬු රැල් බුරුල් කල වහන්දෑ සිහිනය විචාරන්නට විය.

“මෙත්පල් උපාසක තැන මෙයින් කියවෙන්නේ වර්තමානය ගැනයි..මහජන ඡන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයන් යැයි කියනු ලබන ඇතමුන් මහා මන්දිර,ප්‍රාසාද,නිලතල,වාහන ලද පසු ස්වකීය විප්ලවීය සමාජගමන වෙනස්කොට ස්වඅභිමතය පරිදි කිසිඳු හිරිකිතයක් නැතිව වර දෙන්නාවූ නායකයන්ගේ ඕනෑම ලැජ්ජානැති කර්තව්‍යයක නිරත වෙන බවයි..මෙම සිහිනය මෙම දෙසට අදාල වන්නේය..“

                                 *******************

“ස්වාමීනි මා දුටු දෙවන ස්වප්නය වන්නේ මහළු සුනඛයෙක් ගැමිගෙයක පිලකට වැදී සිටින අතර ගෙහිමියන්,ගම්මුන් පැමිණ දිය,ගල්,මුල්,දඬු පහර පිට පහර දුන්නද එය නොදැනුණාක් මෙන් රිසිසේ නිදිවැද සිටින අයුරුයි.ස්වාමීන් මින් පෙන්වාදෙන්නේ කුමක්ද?“

“උපාසක තැන මෙයින් කියන්නේද මේ දේශයේ වර්තමාන සමය ගැනයි..ඇතැම් නායකයින් වාර ගණනාවක් මහ දන අභිමුව, සෙසු පිරිස් අභිමුව ප්‍රතික්ෂේප වෙද්දී පවා කිසිඳු තැකීමකින් තොරව බලලෝභීව තනතුරෙහි වෙලෙමින් කිසිඳු වෙනසකින් තොරව වෙසෙන අයුරුයි..මින් හෙතෙම මග යන කිසිවෙක්ට සරණක් නොවන්නකි..මෙයද මෙකල ඛේදවාචකයක් බව සිතාගත යුතුය“

                                *********************

“ස්වාමීනි මා දුටු තෙවන ස්වප්නය වන්නේ විසල් යන්ත්‍රයක් පොලව තුලට දිගු නල යවා පසෙහි සාරය උරාගන්නා අතර එහි වටවූ ඇතැම් පිරිස් හුරේ යන අනුසාරයෙන් එයට ආවඩන අතර සුළු පිරිසක් දුක්ඛදායක මුවින් යුතුව බලා සිටින අයුරුයි..මෙයද විචාරනු මැනවි“

“ මෙත්පල් උපාසක තැන මෙයින් කියන්නේද මෙකල්හි එක් පවුලක් විසින් දේසයේ සාරය එක තැනකට උරාගනිමින් රටතුල දනන් හට බර පටවමින් විවිධ සැණකෙලි පවත්වන අයුරුත් එය නොමනා බව දැන දැනත් එයට ආවඩන පිරිසක් සිටින බවත්, පෙරකී පවුල උරාගන්නා සාරයෙන් ඉතිරිවෙන රොඩු කොටස් අනුභවයට ආවඩන පිරිස් ලොබවී ස්වකීය හෘද සාක්ෂිය පවා පාවා දෙන බවත්ය..මෙය දේසයේ අභාග්‍යයටම වන්යැ“

                             ************************

“ස්වාමීනි මාගේ අවසන් ස්වප්නය වන්නේ අගමැති ඇඳුමින් සැරසී මා අගමැති මැදුරට ගොඩවන්නට පිරිවර සමග තනන සෑම වරම ගොරෝසු රැවුලක් ඇත්තෙක් අවඥාසහගත ලෙස සිනාසී මා අගමැති ඇඳුම් ගලවා නිරුවත් කොට මා පිරිස අභිමුව ලජ්ජාවට පත්කරන අයුරුයි..මෙය කිමෙක්ද හිමියනි“

එය ඇසූ වහන්දෑ මදක් සිනාසී මෙත්පල් තෙමේ අසලට ලංව හෙතෙම වෙත රහසේ යමක් දෙසන්නට විය.

“උපාසක තෙමේ...මා එය විචාල යුතුද..?“



   

7 comments:

  1. ලිවිල්ල මල් මසුරන්... මේ ඉතින් මගේ සබ්ජෙක්ට් එක නොවැ.. තව සිහින ටිකක් දාන්න තිබුනේ.. මේක මගේ අනාගත ළිපියක් වෙන්නත් පුළුවන්.. තැන්කූ අයිඩියා එකට.. මට ඒ බව සඳහන් කරන්න අමතක උනොත් මතක් කොරහන්...

    ReplyDelete
    Replies
    1. මේක සින්ඩියට දාමුද මාතල් අයියණ්ඩියේ.. පට්ට එකෙත් හොඳම එක.

      Delete
  2. මොනවා කරන්නද ඉතිං පස්සේ ආපු අඟ ලොකුයි ලු නේ

    ReplyDelete
  3. සිරා මචං.. අන්තිම හීනේ ගැන ඉතින් තනියම අපිට විචාරන්න තමයි වෙන්නේ..

    ReplyDelete
  4. අපරාදෙ බං තව සිහින ටිකක් දාන්න තිබ්බේ. පුදුම ආසාවකින් කියවගෙන ආවේ. ආයෙ කියල වැඩක් නෑ.

    ReplyDelete
  5. පොහ්ඃ ... කොසොල් රජ්ජුරුවොන්ට පෙනුන ඒව තව හොඳයි. අඩු ගනනෙ ඒ මනුස්සයට කරදර වෙන්න දෙයක් නෑ. අයියෝ ..... සිරිසේන ! බම්බුව තමා ... බම්බුව !

    ReplyDelete