Nov 3, 2014

අපිට මෝටර් බයිසිකල් නිෂ්පාදනය කරන්න බැරිද?


ඉස්සර අපේ ගම ආශ්‍රිතව ජීවත්වෙලා තියනවා සයිමන් කියලා මනුස්සයෙක්. මේ පුද්ගලයගේ වෘත්තිය තමයි කම්මලක් පවත්වාගෙන යාම. 71 කැරැල්ල කාලේ මේ පුද්ගලයා පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන කොළඹ මූලස්ථානය දක්වාම රැගෙන ගිහින් තියනවා. එච්චර බරපතලෙට සිද්ධිය මතුවෙන්න හේතුවක් තියනවා. ඒ හේතුව තමයි 71 කැරලිකාර කණ්ඩායම් වලට තුවක්කු නිෂ්පාදනය කර දීමේ වරදයි. ඒ සමයේ තිබුණ වාතාවරණය එක්ක ඒක විශාල වරදක්. ඒ වගේම පරීක්ෂණ සිදුකරලා අන්තිමට ටික දවසක් බන්ධනාගාර ගතවෙලා සයිමන් උන්නැහේ ගෙදර ඇවිත් තිබුණා. පරික්ෂණ පවත්වගෙන යන නිලධාරීන් අතට පත්වුණු සයිමන් විසින් හදපු තුවක්කු කීපයක් තිබුණා. නිලධාරීන්ගේ ඇස් උඩයන මට්ටමට ඒවායේ නිමාව ඉහල මට්ටමක තිබිලා තියනවා. ඒ විතරක් නෙවෙයි ඒ තුවක්කුවල බටේ කෙලවර හිල් කීපයක් විදලා තියනවා දැකපු නිලධාරියෙක් සයිමන්ගෙන් අහලා තියනවා ඒ ඇයි කියලා.

“එතකොට සර් තුවක්කුවේ සද්දේ අඩුවෙනවා සර්..මොකද මේ බටේ කෙළවර තමයි උණ්ඩෙ පිටවෙද්දි පීඩනේට වැඩියෙන්ම සද්දේ ඇති කරන්නේ කියලා..“

හරියටම කියනවනම් අද නවීනතම ස්වයංක්‍රීය තුවක්කුවල භාවිතාවන සයිලන්සර් වැනි තාක්ෂණයක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන් මිනිස්සු අපේ රටේ හිටියා, අදත් ඉන්නවා. පුරාවෘත්යක් වුනත් දඬු මොණරය වගේ සංකල්පයක් එන්නෙත් ලංකාවේ ශිෂ්ටාචාරයේ බොහොම ඈත අවධියක. රාවණා දඬු මොණරෙන් උඩින් යද්දි ඉන්දියාවට පිළිගන්න වුණා රාම ආවේ මුහුද මැද්දෙන් ගල් පාලම් හදාගෙන හති දාගෙන පයින්ම කියලා. ඒ විතරක්ද නූතන තාක්ෂණික ඉංජිනේරුවන් පවා විමතියට පත්කරන ජය ගඟේ බැස්ම, දැදුරු ඔයේ පැරණි සොරොව්ව, සීගිරි පව්ව ඉහලට ජලය ගෙන යන තාක්ෂණය, සීගිරියේ වතුර මල්. අතීතය ගැන පාරම් බාන්නට බොහෝ දේවල් අපිට තිබෙනවා. ඒත් වර්තමානය ගැන.


ඇත්තටම අපිට අපේ කියලා මෝටර් බයිසිකල් හදන්න බැරිද?

බැරිවෙන්න විදියක් නෑ. ඒත් එහෙම නොවෙන්න හේතු තියනවා. මේ මාතෘකාවට පිවිසෙන්න ප්‍රධානම කාරණය වුනේ මේ දිනවල රජය විසින් රාජ්‍ය සේවකයන්ට බුරුතු පිටින් මෝටර් බයිසිකල් සහන මිල පදනම යටතේ ලබාදෙනවා. සහනලාභීන්ට ගෙවන්නට ඇත්තේ වටිනාකමෙන් හතරෙන් පංගුවක් විතර වුනාට රජය ඉතිරි කොටස මහජන මුදලින්ම දරණවා. මේ දවස්වල බොහොමයක් නගරවල ක්‍රීඩාංගනවල දහස් ගණන් මෝටර් බයිසිකල් ගෙනැත් ගාල් කරලා තියනවා රාජ්‍ය සේවකයන්ට ලබා දෙන්න. ඒ සියළුම බයිසිකල් ඉන්දියානු නිෂ්පාදන. බජාජ්, ටී.වී.එස්, හොන්ඩා, යමහා (ජපන් සන්නාම වුණත් ඉන්දියානු නියෝජිතයන් හරහා වරලත් ලෙස නිෂ්පාදනය වන), මහේන්ද්‍ර වැනි ඉන්දියානු සන්නම් තමයි. අද පාරක ගත්තත් ධාවනය වන බයිසිකල් වලින් 90% ක්ම ඉන්දියානු නිෂ්පාදන. රජය මෙහෙම බුරුතු පිටින් බයිසිකල් ප්‍රධානය කරන මොහොතක අපේ රටේ මෝටර් බයිසිකල් නිෂ්පාදකයෙක් හිටියනම් ඒ බයිසිකල් දෙන්න බැරිකමක් නෑ කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්.

   ඉන්දියානු දේශපාලඥයන් අදටත් භාවිතා කරන්නේ ඉන්දියානු මෝටර් රථ. ඒත් අපේ රටේ තත්වය හාත්පසින්ම වෙනස්. අපේ රටේ වාහන සම්පූර්ණ වශයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් වුණානම් අානයන වියදමෙන් කොතරම් මුදලක් අපිට ඉතිරි වෙනවද. අපිට වඩා දුර්වල ආර්ථිකයන් තිබෙන, අවම සම්පත් තිබෙන, පුහුණු ශ්‍රම පිරිවැය අපිට වඩා ඉහල රටවල් කොතරම් ස්වදේශීය රථවාහන, යන්ත්‍ර සූත්‍ර නිපදනවනවද. එහෙනම් ඇයි අපිට බැරිවෙන්නේ?

අපිට වැරදුනේ කොතනද?

අපිට කොතන හරි වැරදුනා. අපි ස්වයංපෝෂිතව සිටි රටක්. වර්තමාන විවෘත ආර්ථිකය සහ ගෝලීයකරණය තුලින් සමස්තයක් ලෙස ස්වයංපෝෂිත වෙන්නට බැරිවුණත් බොහොමයක් රටවල් ආනයන ආදේශක බිහිකිරීමෙන්, දේශීය ඉල්ලුමේ වැඩි ප්‍රතිශතයක් රටතුල නිමවුමෙන් ස්වයංපෝෂිත වෙනවා. ඒත් අපි ඉදිකටුවේ සිට මහා නැව් දක්වා ආනයනය කරනවා. ඒත් ඒ වෙනුවට අපි අපනයනය කරන්නේ තවමත් සාම්ප්‍රදායික අපනයන බෝග සහ රෙදි පිලි මෙන්ම ඉතා සුළු ප්‍රතිශතයක් වන දේශීය නිෂ්පාදනය වර්ග කීපයක් විතරයි. ගෙවුම් ශේෂය අතර ඉහල පරතයක් පවතින්නට මෙයත් එක හේතුවක්. 

   ඇත්තටම කියනවනම් අපි මෑත කාලීනව පිටරටවලට පාත්තරය දික්කරගෙන ජීවත්වන පිරිසක්. ආනයන වලට යන පිරිවැය අඩුවීම සහ දේශීයව ඒවා නිපදවන්න යන පිරිවැය වැඩිවීම එක හේතුවක්. ඒත් පරිමාණානුකූල ඵල (ඒකක ප්‍රමාණය වැඩිවීමේදී ඒකකයක පිරිවැය අඩුවීම) නිසා ඒක සමනය කරගන්න පුළුවන් කියලා බොහොමයක් රටවල් ඔප්පු කරලා තියනවා. ඒත් අපේ රටේ බොහොමයක් උත්සහ කරන්නේ ආනයන මත යැපීම මිස ස්වදේශීයව නිෂ්පාදනය කිරීම නොකිරීමටයි.

අතීතයේ කල කී දේ

   ඇත්ත වශයෙන්ම අපේ රටේ බොහොමයක් නිෂ්පාදන නිපදවන්න උත්සහ කලා. විශේෂයෙන්ම ඕදිරිස් ව්‍යාපාරය, ජිනසේන සමූහ ව්‍යාපාර, උපාලි සමූහ ව්‍යාපාර වැනි ආයතන හොඳින් මතක හිටින දේ කලා. ඒත් ඒවායේ පැවැත්මට තුඩු නොදුන්නේ රජයක් මගින් ලැබිය යුතු සහන නොලැබීම, දේශපාලනික හැල හැප්පීම්, සම්පත් සම්බන්ධ ගැටළු වැනි කාරණා නිසාවෙන්.

අද අපිට බැරි ඇයි?

   විශේෂයෙන්ම මයික්‍රෝ ආයතනය එකලස් කිරීම මගින් හෝ ලංකාවේ නිෂ්පාදනයක් කියලා වාහන එලිදැක්වීම ඉතා අගය කල යුතු කාරණයක්. දේශීයව ඒ වාහන වලට සැලකිය යුතු ඉල්ලුමක් තිබීම අගය කල යුතුයි. කාලයක් රණතුංග මෝටර්ස් ආයතනයත් එකලස් කර්මාන්තයක් විදියට මෝටර් බයිසිකල් නිෂ්පාදනය සිදුකල අතර එයටත් තිරසාර සංවර්ධනයක් දකින්නට නොහැකි වුණා. එහෙත් අද වනවිට ලංකාව ගුවන් යානා ටයර්, රුවල් ඔරු, විශාල ප්‍රමාණයේ නැව් වැනි සංකීර්ණ නිෂ්පාදනයන්හි නිරත වෙන නිසා තවදුරටත් අානයනයන්ගේ මිල සමග තරඟකල හැකි මෝටර් බයිසිකලයක් නිපදවන්න බැරි ඇයි කියලා ගැටළුවක්.

   බොහෝවිට ඉන්දියානු හෝ ජපන් යතුරු පැදියක් මෙරටට ලඟාවෙන මිල වගේ කීපගුණයක් මිල වැඩිවෙන්නේ ආනයන බද්ද එක්ක. දේශීයව නිපදවන මෝටර් බයිසිකලයක් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලකට මිලකල හැකිමට්ටමට නිපදවන්න පුළුවන්නම් දැනටමත් ආනයන සමග තරඟකල හැකි මට්ටමකට එන්න පුළුවන්. ඒත් මිල පමණක් නොව ගුණාත්මකභාවය, අමතර කොටස්වල සුලභතාවය, ආයුකාලය, ඉන්ධන පිරිමැස්ම, සුව පහසුව, නිමාව සහ හැඩය වැනි කාරණාත් සලකා බලන නිසා වඩාත් සැලකිය යුතු ආකාරයකින් නිෂ්පාදනය කල යුතු වෙනවා.

අනාගතයට බලාපොරොත්තුවක්

   ඇත්තටම අනාගතය දිහා බලද්දි අපි ඉක්මවා වේගයෙන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ හිනිපෙත්තට යන රටවල් අතරේ සුබ සිහිනයක් පමණක් දකින්නට ලැබේවා යන ප්‍රාර්ථනය පමණක් ඉතිරි වෙනවා. ව්‍යාපාර සඳහා රටතුල තිබෙන වාතාවරණය එතරම් සුභ නොවුනත් නුදුරු අනාගත දිනයක එකලස් කර්මාන්තයකින් ඔබ්බට ගිය 100% දේශීයව නිපදවුනු යතුරු පැදි නිෂ්පාදනයක් ගැන බලාපොරොත්තුවක් තබාගත හැකි මට්ටමේ නිෂ්පාදන ආයතන ගණනාවක් මේ වනවිටත් සිය සංවර්ධන කටයුතු සිදුකරමින් ඉන්නවා. 

18 comments:

  1. මෙ පට්ට පඳුරු දේසපාලුවො දෙයිද ඉඩ ඕවට? කෝ එතකොට උංට කොමිස්?

    ReplyDelete
    Replies
    1. ඇත්ත මිත්‍රයා ඒකත් එක හේතුවක් තමයි. නමුත් එකම හේතුව ඒක විතරක් නෙවෙයි

      Delete
  2. ප්‍රධානතම ගැටළුවක් වෙන්නේ තරගකාරී මිලකට දෙන්න බැරි එක.නිෂ්පාදන වියදම ඉන්දියාවේදී හදන්න යන වියදටත් වැඩ ලංකාවේ tax එක වැඩි.ඒ මිලට හදනවනම් මහා පරිමාණයෙන් හදන්න ගන්න ඕනේ.අනික තාම මම දන්නා තරමින් හොඳ මට්ටමේ වාහන එන්ජින් නිපදවලා නෑ.

    micro එක කරන්නෙත් චීනෙන් ගෙනල්ලා ලංකාවේදී එකලස්‌ කරන එක.මට මතකයි ඒ දවස වල පත්තරයක තිබ්බා පිටරටින් ගෙන්න සාමාන්‍ය දුම්රිය මැදිරියක මිලට වඩා අඩු මිලක "ac කරපු මැදිරි" ලංකාවේ හදන්න පුළුවන් කියලා දාලා තිබ්බා.එත ඒවා උනේ නෑ නේ.

    ලංකාවේ හදන්න බැරි කමක් නෑ.ඒකට අනිවාර්යෙන්ම රජයේ අනුග්‍රහයනම් අවශ්‍ය වෙයි

    ReplyDelete
    Replies
    1. වර්තමාන රජය යම්තාක් දුරකට දේශීය නිෂ්පාදන වලට යම් අනුග්‍රහයක් ලබාදෙනවා. විශේෂයෙන්ම මයික්‍රො එක උදාහරණයක්. එකලස් කර්මාන්තයක් වුනත් ඒක හොඳ ප්‍රවේශයක්. විදේශ ආයෝජකයන් ඇවිත් රටතුල නිෂ්පාදනය ආරම්භ කිරීම තුලින් ඒ ලාභය රටට ඉතිරි නොවන නිසා දේශීය නිෂ්පාදකයන්ගේ දායකත්වය ඉතා වැදගත්. කාලයත් එක්ක පිරිවැය අඩුකරගන්න පුළුවන්. විශේෂයෙන්ම අනුපූරක භාණ්ඩ නිෂ්පාදනයත් පටන් ගත්තම. උදාහරණ විදියට මෝටර් සයිකලයේ එංජිම සහ ටයර් වැනි කොටස් වෙනම් ව්‍යාපාර විදියට නිපදවෙද්දි පිරිවැය තවත් අඩු කරගන්න පුළුවන්.

      Delete
  3. honda article ekak...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා

      Delete
  4. බොහොම හොඳ අරමුණකින් ලියන ලද ලිපියක් හැටියට මෙය අගය කරනවා.

    ලංකාවේ තුවක්කු, මෝටර් බයිසිකල්, මෝටර් වාහන, අනෙකුත් විවිධ විදුලි සහ විද්‍යුත් උපකරණ හදන්න පුළුවන්. ඒ කර්මාන්ත දියුණු කරගන්න මතුවන ප්‍රධාන බාධක හැටියට මම දකින්නේ මෙන්න මේ කරුණු.

    1. පිටරට එක හොඳයි අපේ රටේ එක බාලයි කියන ඍනාත්මක ආකල්පය.

    2. පිටරටින් බඩු ගෙන්වීම නිසා, ලාභ, කොමිස්, බදු, ආදියෙන් ලබන ආදායම් අහිමිවීම කෙරෙහි ඇති ආත්මාර්ථකාමී අකමැත්ත.

    3. අමුද්‍රව්‍ය පිටරටින් බදු රහිතව ගෙන්වාගැනීමට දේශපාලුවන්ගේ ඇති අකමැත්ත.

    4. අපේ රටේ නිමි භාණ්ඩ පිටරට වෙළඳපොලේ නොවිකිනෙතැයි යන අනියත බිය. (අපි පුංචි කාලේ එංගලන්තේ හදපු මෝටර් සයිකල් විතරයි ජනප්‍රිය. ජපන් මෝටර් සයිකල් දිහා කවුරුවත් බැලුවේවත් නැහැ. ඉන්දියන් මෝටර් සයිකල් ආවම කිව්වා අපෝ මොනවද ඒ ජරාව කියලා. අද කොහොමද)

    5. තුවක්කු හැදීමට නම් අපි තවත් බොහෝදුර ටයුතුයි. එය ඉතා සුවිශේෂී ප්රාගුන්යයකින් කලයුතු දෙයක්. ඔබ කියා තිබෙන කාර්මිකයා තුවක්කුවේ බැටර අග හිල් විද්දේ ශබ්දය අඩුකර ගැනීමේ අදහසින් නම් එය අසාර්ථකයි. එසේ කිරීමෙන් තුවක්කුවේ හඬ අඩුවෙන්නේ ගණන්ගත නොහැකි තරම් සුළු ප්‍රමාණයකින්. එලෙස හිල් විදීමෙන් ඇතිවන ප්‍රතිඵල මෙසේයි. රාත්‍රී කාලයේදී නොකඩවා වෙඩි තබනවිට, තුවක්කු කටෙන් පිටවන එළියෙන්, වෙඩි තබන්නා ගිනිකන වැටීමෙන් වැළකෙනවා. තුවක්කුවේ සිරස් හෝ තිරස් ගැස්සීම්, තරමක් දුරට පාලනය වෙනවා,

    තුවක්කු නිෂ්පාදනය සඳහා අවශ්‍ය ලෝහ අනිවාර්යයෙන් ආනයනය කරන වෙනවා. එසේ කලත් අති සූක්ෂ්ම යන්ත්‍ර ලබාගැනීම ගැටළුවක්. නිෂ්පාදන පිරිවැය ඉතා ඉහලයි.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීම්:- 5. වැනි කරුණ 'බොහෝ දුර යායුතුයි', 'ප්‍රාගුන්‍යය', 'තුවක්කුවේ බටය අග හිල් විද්දේ',

      Delete
    2. ඉතාමත් කාලෝචිත අදහසක්. මෙහිදී ඔබ ඉදිරිපත් කල කරුණු හා සමගාමීව

      1. වර්තමානය වෙනකොට මේ ආකල්පය යම්තාක් දුරට වෙනස් වෙන්නට පටන් ගෙන තියනවා. විශේෂයෙන්ම ආනයන ආදේශක බහුලව බිහිවෙන්නට පටන් ගැනීමත් එක්ක.

      2. දේශපාලනික සහ පරිපාලනමය කර්තව්‍යයන් හි නිරත පාර්ශවයන් ස්වකීය කොමිස් කුට්ටි සහ අල්ලස් අහිමිවීමට ඇති බිය නිසා දේශීය කර්මාන්ත ආනයන ආදේශක ලෙස බිහිවීමට වලක්වනවා. යුගයේ ඛේදවාචකය මෙය තමයි.

      3. බොහොමයක් කොටස් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අප රට තුලම තිබෙන නමුත් ඒවා සැකසුම් සහ ගැලපුම් කර්මාන්ත හරහා නිමිද්‍රව්‍යක් ලෙස අමතර කොටසක් බවට පත්වෙන්නේ නෑ. විදේශීය නිෂ්පාදන වල බදු සහන සහ බදු රහිත ස්වභාවයන් නිසා බොහොමයක් නිෂ්පාදකයින් දුර්මුඛ වෙලා.

      4. ඔබ අදහස් දැක්වූ ලෙසම කාලයත් සමග ගුණත්වය, නිමාව, නවාංග යන කාරණා එක්ක විදේශීය ඉල්ලුම ඉහල යන එක අනිවාර්යයි. ප්‍රධානතම ගැටළුව වන්නේ අඩුම තරමින් දේශීය ඉල්ලුම හෝ සංතෘප්ත කරවන තරමට හෝ නිෂ්පාදනය කර ගැනීමයි.

      5. විශේෂීත ප්‍රාගුන්‍යය නිෂ්පාදන ක්‍රියාවලිය, කාලය, රැකියා විශේෂීකරණය වගේ කාරණා එක්ක බිහිවෙනවා. විද්‍යාත්මකව සහ ව්‍යූහාත්මකව උදාහරණයේ සඳහන් කාරණාව එතරම් සාර්ථක නොවුණත් අදාල පුද්ගලයා තුල තිබුණු නවෝත්පාදනය සහ අනුකරණ හැකියාව අසූව දශකය හා සසඳා බලන විට පැසසිය යුතුයි.

      Delete
  5. meee....SANKALANI kathave ithuru eeva ko....ikmanata dannako...hamadama avilla balala yanne daala athi kiyala... :(

    ReplyDelete
    Replies
    1. බොහොම කණගාටුයි මිත්‍රයා අපහසුතාවයට. සංකලනි ඊ-පුස්තකයක් විදියට මුළු කතාවම අවසන් කරලා පලකරන්නට බලාපොරොත්තු වෙනවා.

      Delete
  6. බැරි කමක් නෑ ජනා.. ඒත් කෙනෙක් ඒ වෙනුවෙන් ඉදිරිපත් වුනත් අත දෙන්න කවුද ඉන්නේ.. දැන් නිකමට හිතමු අර සයිමන් කියන මනුස්සයා ගැන.. තුවක්කු හදන වැඩේට එදා දඬුවම් කලා වුනත් පස්සේ ඒ මොළෙන් වැඩක් ගත්තනම් කොච්චර වාසියක් වෙන්න තිබුනද..

    ReplyDelete
    Replies
    1. උඹ කියනකොට මතක් වුනේ මචං රූපවාහිනියේ “ඇඟිලි සලකුණ“ ට එකපාරක් පෙන්නුවා පොලිස් අධිකාරී ඕලුගල අත්අඩංගුවට ගත්ත තුවක්කු හදන කොල්ලෙක්ගේ කතාව. මිනිහා මුලින්ම තුවක්කවක් හදලා තියෙන්නේ මියුසිකල් ෂෝ එකකදි අහම්බෙන් අහුවෙච්ච පිස්තෝලයක් ගෙදර ගෙනැත් ගලවලා ආයෙත් හදලා. පස්සේ මිනිහා තුවක්කු හදලා විකුණනවා. පොලීසියට අහුවෙලා හිරේ දැම්මට පස්සේ මිනිහා රජයෙන් ඉල්ලුවා පුළුවන්නම් හිරෙන් නිදහස් වුනාට පස්සේ ආරක්ෂක අංශවල විවිධ දෝෂ නිසා ඉවත්කරන ආයුධ අලුත්වැඩියා කරන්න ඉඩදෙන්න කියලා. මොකද පොඩි දෝෂයක් වුනත් ආයුධය පිටින් අයින් කරනවලු හදන්න පහසුකම් නැති නිසා. නමුත් ඒකට ඔහුට ඉඩක් ලැබුණද කියලා සැකයි

      Delete
  7. දැක්කද පහුගිය දවස් වල ලංකාවෙ කොල්ලො ටිකක් හදන කාර් එකක් ගැන නිවුස් එකක් ගියා දැනට තියෙන ලැම්බො ෆෙරා වලටත් වැඩිය හොද ඉන්ධන විදියට විදුලිය භාවිතා කරන කාර් එකක්... ඒ අය ට උදව්වක් දෙන්න වත් අපේ ගොං හැත්ත උනන්දුවයක් නැ...

    ReplyDelete
    Replies
    1. මමත් ඒ ලිපිය දැක්කා මහේෂ්..හොඳ උත්සහයක්..නමුත් මගේ අදහසනම් මුලින්ම සරල පියවරකින් පටන් ගැනීම ඥානාන්විතය. මුලින් මරුටියක් හැදුවනම් ඒක වැරදුනත් හදාගන්න තියන ඉඩකඩ සාපේක්ෂව වැඩියි. මරුටියක් වගේ එකක් හරියට හදාගත්තනම් ලැම්බෝගිනියක් වගේ එකක් හදන එක අමාරු වැඩක් නොවේවි ඔවුන්ට

      Delete
  8. මේ ඔක්කොම තීරනය වෙන්නේ කොමිස් මත කියලා තමයි මට හිතෙන්නේ. එහෙම දුර බලලා ක්‍රම සම්පාදනය කිරීමක් නැහැනේ.

    මේ ලිපිය අගය කරනවා!!

    ReplyDelete
    Replies
    1. අල්ලස් හා දූෂණ කියන සර්පයන් එක්ක රටතුල කිසිදෙයක් කරන්න බැරිබව අපි පිළිගන්න ඕන. නමුත් මම හිතනවා අපේ රට වෙනස් කරන්න තාම ඉඩක් තියනවා කියලා

      Delete
  9. අපේ ආතත් මෝටර් බයිසිකලයක් හැදුවා

    ReplyDelete