May 12, 2015

බෞද්ධයා අන්තවාදී විය යුතුද?


අන්තවාදිත්වය පිළිබඳව ලොව අතීතය මෙන්ම වර්තමානය දෙස බලද්දී අපමණ උදාහරණ දැකගත හැක. එහෙත් ලොව දරුණතම ත්‍රස්තවාදීන් අතර ආගමික අන්තවාදීන් සිටීම තුලින් ආගමක් බැතිමතෙක් හට ප්‍රදානය කර ඇත්තේ යථාර්ථයද යන්න පිළිබඳ ගැටළුවක් ඇත. ඉස්ලාමීය අන්තවාදී කල්ලි නිසාවෙන් ලොව රටවල් ගණනාවක් කෝටි සංඛ්‍යාත ජනතාවක් අදටත් දුක් විඳිති. මේ ලිපිය ලියන මොහොතේ පවා එවැනි ආගමික අන්තවාදය පදනම් කරගත් සංවිධානයක් කුමන රටක බෝම්බ පුපුරවනවා ඇත්දැයි අපි නොදන්නෙමු. එහෙත් එය වර්තමානයේ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබීම ඛේදවාචකයකි. එය හරියටම මීට දශක ගණනාවකට පෙර වසූරිය නිසා මිනිසුන් ලක්ෂ ගණන් මිය යන විට අවසානයේ වසූරිය නිසා මියයාම සාමාන්‍ය සිදුවීමක් බවට පත්වුනා වැනිය.

   එහෙත් බෞද්ධයා අන්තවාදී විය යුතුද? මෙය දැඩි ලෙස විවාදයට බඳුන් වූ සහ බඳුන් වන කරුණකි. ලංකා ජන සමාජය තුල මීට වසර කිහිපයකට පෙර ඇරඹි බෞද්ධයා පදනම් කරගත් බොදුබල සේනා, සිංහල රාවය, රාවණා බලය වැනි සංවිධානවලට බෞද්ධ අන්තවාදී ලේබල් ඇලවුනේ කුමක් නිසාද යන්න රටට අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඉස්ලාමීය අන්තවාදී සංවිධාන ලෙස ආගම අරඹයා මරා ගැනීම, මරා දැමීම බෞද්ධයා විසින් කල යුතුද යන්න ගැඹුරු ඇසින් බැලිය යුතු කාරණයක් නොව සරලවම තේරුම්ගත හැකි කරුණකි.


   ගෞතම බුදුහිමියන් දේශනා කල ධර්මය ආගමක් ලෙස හඳුන්වනවාට වඩා දර්ශනයක් ලෙස හැඳින්වීම තුලින් එහි සැබෑ හරය උද්දීපනය වනවා මෙන්ම එයට වඩා වැඩි අගයක්ද එකතු වේ. ධර්මයක් තුල මිනිසුන් බැගෑපත් බැතිමතුන් වන අතර දර්ශනයක් තුල මිනිසුන් ප්‍රාෙයෝගිකව ජීවත් වේ. එසේම ලොව ආගමික දර්ශනයන් අතර ඉතාම නිර්මල, ගැඹුරු, ස්වාධීන මෙන්ම නිදහස් චින්තනයක් ලෙස ලොවම අවිවාදයෙන් පිළිගන්නා දර්ශනයක් තුල අන්තවාදිත්වයට ඉඩක් තිබිය නොහැක. අන්තවාදිත්වය (Extremism) අර්ථ දැක්විය හැක්කේ යම් මතවාදයක් වෙනුවෙන් සාමාන්‍ය සීමාව ඉක්මවා ක්‍රියාත්මකවීම හැඳින්විය හැක. ආගමික අන්තවාදයට බිහිසුණු ඉතිහාසයක් ඇත. 7 වැනි සියවසෙන් අැරඹි වර්තමානයේ පවතින ආකාරයේ ආගමික අන්තවාදය Kharijites සංවිධානයෙන් අැරඹුනත් ඊට පෙරාතුව අධිරාජ්‍යවාදය හා පැමණි අන්තවාදී ආගමික ක්‍රියාකාරකම් කරන සංවිධාන පැවතීය. එහෙත් වර්තමානය වනවිට ලොව පුරා පැතිර ඇත අල්කයිඩා, අල්-නුස්රා, තලේබාන්,අන්සාර් අල්-ඉස්ලාම්, බොකෝ හරාම් වැනි සංවිධාන තුලින් ආගමික අන්තවාදයේ කූටප්‍රාප්තිය නිර්මාණය කර ඇත.

   බොදු බල සේනා වැනි සිවිල් සංවිධාන වලට අන්තවාදී ලේබලය ඇලවෙන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ බෞද්ධ භික්ෂුවකට ත්‍රිපිටකය තුල විනය පිටක සම්ප්‍රදාය තුල පැවති හැසිරීම් රටාව පැත්තකට දමා සිදුකරන ලද දේ නිසා බව පැහැදිලිය. එසේම එවැනි සිවිල් සංවිධාන සිවිල් බලය ඉක්මවා පොලිස් බලතල සහිතව (නිල නොලත්) කඩා පැනීම් සහ කෝලාහල තුලින් අන්තවාදිත්ව ප්‍රදර්ශනය කරනු ලැබීය. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහයද ලැබුණ බවට තිබෙන සැක සංකාද සධාරණය. 

  එහෙත් එවැනි සංවිධානවලට චීවර ධාරීන්ට සහ අනුගාමී ගිහියන්ට තර්ක ඇත. ඉන් ප්‍රධානතම තර්කය අතීතයේ මිගෙට්ටුවත්තේ හිමියන්, කුඩාපොල හිමියන්, සරණංකර සංඝරාජ හිමියන් මෙන්ම මෑත කාලයේ දිඹුලාගල හිමියන් (කිතලගම සීලාලංකාර හිමියන්) වැනි සංඝ සමාජය තුල විප්ලවීය චරිත ලෙස අදහන හිමිවරු පංසිල් දෙන්නට, පාංශකූලයට, කඨිණයට සීමා නොවී ඉන් එහා ගිය කාර්යභාරයක් සිදුකලේ ධර්මයෙන්ම පමණක් නොවන බවය. එසේම ‍උන්වහන්සේලාද ආවේගශීලිව රළු ආකාරයෙන් කටයුතු කල හිමිවරු ලෙස උදාහරණ දක්වමින් ස්වකීය සාධාරණබව විදහා දැක්වීම සිදුකරති. එසේම වර්තමානය තුල ඉස්ලාම් සහ කතෝලික ප්‍රවාහයන් විසින් බුදුදහම වැනසීමට, සිංහල බෞද්ධයන් නැති කිරීමට උත්සහ ගන්නා බව දෙවැනි කියවුමයි. මේවා සාධාරණ තර්ක විය හැක. එහෙත් නැවත ඇසිය යුත්තේ මෙවැනි කාරණා වෙනුවෙන් බෞද්ධයා අන්තවාදී විය යුතුද යන්නය.

   සියළු සංස්කාර ධර්මයන් නැසෙන බව දේශනා කල බුදු හිමියන් සිය ධර්මය සදාකාලික බව කොහේ හෝ දේශනාකර නැත. එය සර්වකාලීනය, නමුත් සදාකාලික නැත. එයද විපරිත සමයක නැසීයනු ඇත. එසේම පුද්ගලික මතයනම් ධර්මයක් හෝ දර්ශනයක් රැකිය හැකි වෙන්නේ වට කොටු බැඳ, අවි ආයුධ ගෙන එය භෞතිකව රැකීමෙන් නොව එය මනා ලෙස අනුගමනය කර ඒ තුලින් සාක්ෂාත් කරගත හැකි උතුම්ම විමුක්තිය අවබෝධකර ගැනීමෙන්ය. බෞද්ධ දර්ශනය භෞතික යමක් නොවන බැවින් එය භෞතිකව ආරක්ෂා කරනවා වෙනුවට සංකල්පයක් වන එය නිසි ලෙස අනුගමනය තුලින් ආදර්ශනයක් සැපයීම වඩාත් ප්‍රායෝගික බව බුද්ධ දර්ශනය නිසිලෙස හදාරන ඕනෑම අයෙක්ට අවබෝධවනු ඇත. එසේම ආගමක් උදෙසා තවත් පුද්ගලයෙක්ගේ හෝ සත්වයෙකුගේ ජීවිතයක් නැසීම, අලාභහානි කිරීම තුලින් රැකිය හැක්කේ ප්‍රචණ්ඩත්වය සහ හිංසාකාරී මානසිකත්වය මිස සෑම ආගමකටම පොදු යහපත් චින්තනය නොව. ඕනෑම ආගමක් තුල ඇත්තේ හොඳ සහ නරකයි. හොඳ දේ තුලින් සුගතියත්, නරක දේ තුලින් දුගතියත් ආගම තුලින් පෙන්වා දේ. එවැනි ආගමක් හෝ දර්ශනයක් සිය අනුගාමිකයින් අන්තවාදයක් වෙත කිසි කලෙක තල්ලු කර නොදමනු ඇත.

   ප්‍රධාන වශයෙන් බෞද්ධයා අන්තවාදී නොවිය යුතුය. විශේෂයෙන්ම දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් බෞද්ධ සංවිධාන බෞද්ධ කොඩියේ පාට වෙනස්කල යුතු නොවේ. පන්සිල් පද රකින සමාජයක්, ප්‍රතිපත්තිගරුක අනුගාමිකයින් පිරිසක් සහ නිදහස් චින්තනයක් තුලින් පමණක් ආගමක් හෝ දර්ශනයක් රැකගත හැකිවනු ඇත. වර්තමානයට වඩා අන්‍යාගමීකරණය, ආගම් විනාශය අතීතයේ සිදුවුණ බවට සාක්ෂි ඇත. මෝගල්වරුන්, සොලීන් නිසා බෞද්ධ අධිරාජයයන් පවා බිඳවැටී බෞද්ධයන් වඳවීගිය වකවානු පැවතුනි, උපසම්පදාව පවා අහිමිව තිබූ කාලයක් තිබුණි, ආගම වෙනස් නොකරන්නේනම් මරණය හිමිවන අවධි පසුකරනු ලැබීය, එසේම තනතුරු ලාභ සඳහා ආගම් වෙනස්කල කාල වකවානු තිබිණි, අවසානයේ කහ නූල පමණක් ඉතිරි ගණින්නාන්සෙලා බෞද්ධ දර්ශනයේ හිමිකාරිත්වය දැරූ වකවානු පසුකරනු ලැබීය, එහෙත් බුදු දහම නැතිවීද? බෞද්ධ දර්ශනය වල පල්ලට ගියාද? නැත එයට කුමක් හෝ ආශිර්වාදයක් සහිතව ඉතිරිව පැවතිනි. එය බෞද්ධ අන්තවාදය නොවන බව සඳහන් කල යුතුමය. 

   අන්තවාදය තුලින් බෞද්ධ දර්ශනයට හානි මිස ලාභ නොලැබේ. අටලෝදහම ගැන මනාලෙස කියාදෙන බෞද්ධ දර්ශනය තුල ජීවත්වන අනුගාමිකයා අන්තවාදීන් පිටුපසින් පෝලිම් ගැසීම ඛේදවාචකයකි. තේරුම් ගත යුතු එකම කරුණ වන්නේ යම් පාර්ශවයක් බෞද්ධ අන්තවාදය පෝශණය කරයිනම් ඔවුන් ඔවුන්ගේ උදර රකිනවා මිස බුද්ධ දර්ශනය නොරකින බව පමණි.


10 comments:

  1. වරක් ඇඩොල්ෆ් හිට්ලර් ලෝකයේ සියලුම ආගමික
    නායකයන්ගේ පින්තූර ගෙන්වා ගත්තේය .සියල්ල දෙස බලා සිටි ඔහු
    බුදුහිමියන්ගේ රුව තෝරා ගත්තේය. හිට්ලර් වැනි අයෙකු බුදුහිමියන්ගේ
    පින්තූරය තෝරා ගනු දැක පුදුම වූ ඔහුගේ අනුගාමිකයන්ට ඔහු
    පැවසුවේ කුමක්ද ...?

    මේ ගුරුවරයාගේ අතේ දණ්ඩක් නෑ .අවි ආයුධ නෑ.
    මේ තමයි නිර්භීතම නිවරදිව තමා පිළිබඳව ගැඹුරු
    ආත්ම විශ්වාසයක් සහිත පුද්ගලයා ...

    ඒකට අපේ අන්තගාමී ඇත්තෝ.. අතේ මුගුරු වලට එහා ගිය තුවක්කු...

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳ උදාහරණයක් සෑම්..විශේෂයෙන්ම ලෝකයේ කාලයක් තිබුණා වෛරීය දර්ශනයන්ට වැඩි නැඹුරුවක් තිබුණු. පසුව බටහිර සමාජය තුලින්ම පෙරදිග ආගමික දර්ශනයන් වෙත වැඩි නැඹුරුවක් දැක්වූයේ ඒවා අතරින් සාමාකාමී ආගම් වෙතයි. බුද්ධ දර්ශනය, ජෛන දර්ශනය, සෙන් වැනි දර්ශනයන් ඉතා ප්‍රචලිත වුනෙත් ඒ හේතුවෙන්

      Delete
  2. // අන්තවාදය තුලින් බෞද්ධ දර්ශනයට හානි මිස ලාභ නොලැබේ//

    සහතික ඇත්ත ජනා.. ඒත් ඕක ගැන කාටත් තේරුමක් එන්නේ නෑ.. තමන් හරිහැටි නොදන්න දෙයක් ගැන උනත් කවුරු හරි ඇගිල්ලෙන් ඇනලා කිවුවොත් ඒ ගැන කෑ ගහන්නයි දැන් සමහරු පුරුදු වෙලා ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අන්තවාදිත්වය විවේචනය කිරීම පවා සාහසික ක්‍රියාවක් විදියට දකින පිරිසක් අතර සිටයි අපි බොරදිය තුලින් පැහැදිලි දිය සොයන්න උත්සහ කරන්නේ..අවාසනාවකට බොහෝ දෙනෙක් අන්තවාදිත්වයට ඇබ්බැහි වෙලා

      Delete
  3. muslim kiyanne mona wage agamakda kiyala me video eken balla teernya kranna. https://www.youtube.com/watch?v=fgsrnmzxEUY

    ReplyDelete
  4. ඇත්තටම බුද්ධ දර්ශනය මිසක් බුද්ධාගම නෙවී නෙ බුද්ධා ආගමක් දේෂනා කලේ නෑ නෙ...
    ආගම කියන්නෙ භක්තිය කියන කන්සෙප්ට් එකත් එක්ක යන දෙයක්... භක්තිය කියන්නෙ බය කියන එකට තවත් වචනයක් වගේ ඒ තරං ළගින් ඒ දෙක යනව...
    ඒත් දර්හනය ඇසීමෙන් වටහා ගැනීමෙන් සිත පහදවා ගැනීම නිසා හටගන්න අවබෝධයත් එක්ක යන්නෙ අපි ඒකට ශ්‍රද්දාව කියනව
    දැං කාලෙ අයට තියෙන්නෙ ශ්‍රද්ධාව නෙවී සර්දාව අන්න ඒම අය තමා අන්තවාදය වපුරන්නෙ ඒක ලේසි කරල තියෙනව බුද්ධ දර්ශනය ආගමක් බවට පත් කිරීමෙන්

    ReplyDelete
  5. චීවරදාරී බිස්නස්කාරයෝ බඩවඩා ගැනීම පිණිස අන්තවාදය පතුරවයි ,තවත් මෝඩයෝ එය සතුටින් වැලද ගනියි

    ReplyDelete
  6. අාගම තියෙන්නේ මොකට ද කියලා නොදන්නකම තමයි ගැටලුව.....

    ReplyDelete
  7. බොහොම කාලෙකින් තමා මේ විදිහට බුදු දහම දකින ලිපියක් දුටුවෙ. ලියවෙනන අන්තවාදී කොමෙන්ටු විතරක් නෙවෙයි අඩවි රාශියක් අතරෙත් බුදු දහම අතරමංවෙලා තියන වෙලාවක ලියැවුන වටිනා ලිපියකි

    ReplyDelete