May 20, 2015

බොදු බලේ මුල සිඳුණු හැටි


බොදු බල සේනා නැමති බෞද්ධ පදනමක් ගත්තාවූ සිවිල් සංවිධානයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කලේ පූජ්‍ය කිරම විමලජෝතී හිමියන්ය. නැදිමාල බෞද්ධ සංස්කෘතික නිකේතනයේ නිර්මාතෘ හිමියන් වන විමලජෝති හිමියන් ඉන්ද්‍රීය සංවර, දැනුමෙන් පෝෂිත, දර්ශනයක් ඇති බෞද්ධ යතිවරයෙකි. පසුගිය සමයේ ලංකා ජන සමාජයේ වැසියන්ට ගැටළුක් පැවතිනි. එයනම්,

X = තැන්පත්, විද්වත් කිරම විමලජෝති හිමි
Y = ආවේගශීලී, සඟ විනය නොරකින ගලගොඩඅත්තේ ඥානසාර හිමි
Z = බහුතරයක් අන්තවාදී මත දරණ අනුගාමිකයින්
B = බොදුබල සේනා සංවිධානය


B = X + Y + Z වීම තුල ලංකා ජන සමාජයට ඇතිව තිබූ ගැටළුව B යන සාධකය තුල X යන සාධකය සිටින්නේ කෙලෙසද යන්නයි. බොදු බලසේනා සංවිධානය නැමති සංවිධානය තුල X නැමති සාධකයට ඉඩක් ඇත්ද? එනම් විමලජෝති හිමියන්ගේ මතයට එම සංවිධානය තුල ඉඩක් ඇත්ද යන්න ගැටළුවක් විය. සැබවින්ම විද්‍යමානවූ කරුණ වන්නේ පසුගිය සමයේ බොදු බලසේනා නැමති සාධකයට වැඩි බලපෑමක් එල්ලවූයේ Y සහ Z මගින් බැවින් B නැමති සාධකය වැඩිපුරම ප්‍රදර්ශනය කලේ Y සහ Z යන සාධකවලට හිමි පොදු ලක්ෂණයි.

   “ගෝර මරසෙන් රැගෙන බලසෙන් යලිත් ඇවිදින් පෙරහැරේ - මාර බල බිඳි බුදු පියාණනි ඔබ දෙසූ ධර්මය අනතුරේ“ යනුවෙන් සුනිල් එදිරිසිංහයන් විසින් ගැයූ බොදු බලසේනා තේමා ගීතයේ “සසුන රකින්නට බලසේනා බැඳ බොදු බලසේනා පෙරහැරේ“ යනුවෙන් සඳහන් වෙන සමයේ විමලජෝති හිමියන් විසින් නිමවූ බොදුබලසේනා තුල එහිමියන් ගාමක කාර්යභාරයක් ඉටුකරන ලදි. එහෙත් ගලගොඩ අත්තේ හිමියන් එහි මහලේකම් ධූරය තුලින් මාධ්‍ය සංදර්ශන අරඹන විට බොදුබල සේනා සැබෑ දර්ශනය මෙන්ම විමලජෝති හිමියන්ද පල්ලම් බසින් ආකාරයක් පෙනෙන්නට තිබුණි. සැබෑ ලෙසම බොදු බල සේනාවේ ආධ්‍යාත්මක හරය මෙන්ම අවිහිංසක කමද තිබුණේ විමලජෝති හිමියන් සමගය. උන් වහන්සේ බොදු බලය අතහැර පටිසෝතගාමී වෙද්දී බොදු බලය ඥානසාර හිමියන් සමග පිස්සු නටන්නට පටන් ගත්හ. අවසානයේ බොදු බලසේනා මුල සිඳී ගියේය. විමලජෝති හිමියන් බොදු බලයෙන් ඉවත්වුනේ ඉමහත් කලකිරීමද සමගය. එහිමියන්ට ඇල්ෆ්‍රඩ් නොබෙල්ට න්‍යෂ්ටික බල ශක්තිය තුලින් දැනුන ඉච්ඡාභංගත්වය දැනුනේනම් පුදුම විය නොහැක. කෙසේ වෙතත් උන් වහන්සේ ගිලෙන බෝට්ටුවෙන් යන්තම් පැනගත්හ. 

   බොදු බලයේ දේශපාලන මුහුණුවර කෙසේ වේවිදැයි තවම කිව නොහැක. එය තවත් එක සිහළ උරුමයක් වන බව නියතය. එහෙත් සිහළ උරුමයට නොතිබුණු දරුණු බවක් එයට ඇත. එහෙත් එය අල්කයිඩාවක් වීමට පෙර නවතා ගත යුතුය. කෙසේ වෙතත් දේශපාලන ප්‍රවාහය තුලින් බොදු බලයට සාසනය රැකිය හැකිනම් “අනිත්‍ය - දුක්ඛ“ යන සංකල්ප අහවල් මගුලටදැයි ඇසිය යුත්තේද බෞද්ධයන්ගෙන්මය.

2 comments:

  1. ඡන්දේ දවස් වල අන්තිමට පැන්නේ බළලා මල්ලෙල් ඒළියට... තවත් මොන කතාද??

    ReplyDelete
  2. //බෞද්ධ පදනමක් ගත්තාවූ සිවිල් සංවිධානයේ// ඒකට මෙහෙම පදනමක් තිබුණද හැබෑට? සමහරවිට එහෙම තිබුණය කියල ඔය හිමියන්ට(මම පේධිලිකව නොදන්න ඔබ හඳුන්වන) හිතෙන්න ඇති.

    ReplyDelete