May 19, 2015

මහින්ද රාජපක්ෂ තවමත් ප්‍රබලයි


මහින්ද රාජපක්ෂ යනු මෙරට දේශපාලනයේ අදූරදර්ශීම ජනාධිපතිවරයාය. තම පාලන කාලය තුල මෙන්ම පාලන කාලය අවසාන සමයේ අන්ත ආකාරයට පිරිහුණු චන්ද්‍රිකා බණ්ඩාරණායක හිටපු ජනපතිනියත් වසර 11 ජනපතිකම් කරද්දී තමන්ගේ ධූරකාලය තුල දශක තුනක යුද්ධය අවසන් කිරීමටද හැකිවූ මහින්ද රාජපක්ෂට වසර 09 කින් ගෙදර යන්නටවීම තරම් ප්‍රබල සාක්ෂියක් තවත් එයට වේද. ඒ කෙසේවතත් ජනතා තීන්දුව මත මහින්ද රාජපක්ෂට ජනපති ධූරය අතහරින්නට විය. මෛත්‍රීපාල සිරිසේන නව ජනපතිවරයා බවට පත්විය. බොහෝ දෙනෙක් සිතුවේ මහින්ද රාජපක්ෂ චරිතය එතනින් අතුගෑවී යාදෝ කියාය. ඒ මන්දයත් ශ්‍රී ලංකාවේ පරාජයට පත්වූ එකම ජනපතිවරයා ඔහු වීම, සියළු රාජ්‍ය බලය භාවිතා කර මැතිවරණය සිදුකිරීම වැනි කාරණාත් නිසාවෙනි. එහෙත් මහින්ද රාජපක්ෂ යනු මෙරට දේශපාලනයේ දක්ෂ නළුවෙක් බව ඔහු අදටත් පෙන්වා දෙමින් සිටියි.


   ජනවාරි 8 රෑ කුමන්ත්‍රණයක් සිදුවීද නැද්ද යන්න පිළිබඳ සොයාබැලීමටත් වඩා 9 වෙනිදා පාන්දර මහින්ද රාජපක්ෂ අවසන් ප්‍රතිඵල එන්නටත් පෙර අරලියගහ මැදුර හැරයාමේ සිද්ධිය ඔහුගේ සාර්ථක පරීක්ෂණයකි. එය ජනතාවට කොතරම් වැදුනේද යන්න ඔහු පසුව වටහාගත්තා විය යුතුය. මහින්ද සමග සහ ඔහුගේ ක්‍රමය මෙන්ම වටේට සිටි බඩගෝස්තරවාදී වන්දිබට්ටයින් සමග උරණව මෛත්‍රීට ඡන්දය දුන් ඇතැම් අයද මහින්ද යන්න ගිය ආකාරය බලා සිටියේ යාම්තාක් දුරට හිත් වේදනාවෙන්ය. කොතරම් වැරදි කලත් මහින්දගේ පෞරුෂය, නායකත්වය, දැක්ම දේශපාලන සිතියමෙන් මැකීයාම ඔවුන්ට දරාගත නොහැකිවූවා වන්නට ඇත. කෙසේ වෙතත් මහින්ද දැන් ගසමින් සිටින්නේ නොම්මර එකේ ගේම් එකකි. එය එක් පැත්තකින් එකඳු ආසියෙක් වත් අතේ නැතිව ආසියන් හතර දෙනාම අතේ ඇති බව අඟවමින් ගසන ඕමී අතක් වැනිය. මහින්ද රාජපක්ෂ තවමත් ප්‍රබලයි කිව් පමණින් ඇඟට කඩාගෙන පනින්නට බලාගෙන සිටිනා පිරිසක් ඇත. එහෙත් පක්ෂ පාට, මතිමතාන්තර පැත්තකින් තව නිර්ව්‍යාජව, පියවි සිහියෙන් මෙම මාතෘකාව දෙස බැලිය යුතුය. 

   මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ අයතා මූල්‍ය හා පරිපාලන කටයුතු ගැන රටට අමුතුවෙන් කිව යුතු නැත. නීතියට, ආරක්ෂක සේවයට පමණක් නොව හැම අස්සක් මුල්ලක් නෑරම රාජපක්ෂ පාලනය බූවල්ලෙක් මෙන් ඇඟිලි ගසා බලය කේන්ද්‍රගත කරගත් බවත් සත්‍යය, එසේම පවුල් පාලනය වැනි කාරණා නිසාවෙන්ද පාලනය දැඩිසේ පිරිහුණු බව සැබෑය. පලිගැනීම්, මර්ධන, කඩාකප්පල් කිරීම් වැනි දේ බහුලව පැවති බව සැබෑය. එහෙත් මේ සිදුවීම් සියල්ල අවසන් කරමින් මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කිරීමට පමණක් නොව සමස්ත රජයම වෙනස් කිරීමට හැටදෙලක්ෂයකට වැඩි ජනතාවක් තීරණයක් ගනු ලැබීය. එහෙත් එවන් වූ දැවැන්ත පාරාජයකටත් පසුව මහින්ද රාජපක්ෂ වටා පිරිස එක් වන්නේ ඇයි? එය විමසා බැලිය යුතු කරුණකි.

   මහින්ද නැවත අගමැති කරන්නට දතකන පිරිස අතරින් අති බහුතරයක් මහජන නියෝජිතයින් සහ නිලධාරීන් ඔහුගේ පාලන සමයේ ඇති පමණ කා බී දිරවාගත නොහැකිව සිට දැන් දින සීයක් ඇතුලත ඇතිවූ බඩගින් ඉවසාගන්නට බැරිව සිටිනා පිරිසක් බව සහතිකය. එසේම ඔහු වටා රැස්වී සිටින මහජනතාව අතරින් අති බහුතරයක් ආණ්ඩු මාරුවේ පස්ස බිම ඇනී අභිමානය සහ අධිපත්‍ය අහිමිව කනස්සලෙන් පසුවන පාක්ෂිකයන්ය. එහෙත් මේ සියලු දේ පිටුපසින් මහින්ද තවමත් ප්‍රබලයයි කියාපෑමට සාධක කීපයක් ඇත.

  • කඩා වැටුණු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ප්‍රමුඛ සන්ධාන පාක්ෂිකයන්ගේ නායකත්වය ගෙන කටයුතු කිරීමට මහින්ද හැර ආසන්න බලාපොරොත්තුවක් නොමැතිවීම. මෛත්‍රීට පක්ෂය තුලද එතරම් ප්‍රසාදයක් නොවීම. (මෙය මහින්ද රාජපක්ෂ සින්ඩ්‍රෝමය නිසාම පාක්ෂිකයන්ට සිදුවූ විපර්යාසයකි)
  • දේශපාලනික වශයෙන් අනාතභාවයට පත්ව ඇති ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, මහජන එක්සත් පෙරමුණු, ශ්‍රී ලංකා මහජන පක්ෂය වැනි පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බිම්මට්ටම තුල වැදගත් සාධකයක් වූ කුඩා පක්ෂවල සහය ස්වකීය වර්ධනය උදෙසාම තවමත් මහින්ද සමගවීම.
  • 30 වසරක යුද්ධය පොරොන්දුවූ පරිදිම සිය පාලන සමයේ අවසන් කිරීම. (මෙය රාජ්‍ය නායකයින් ගණනාවක් ලබාගන්නට සිටි පට්ටමක් වූවත් එය ලබන්නට පින තිබුණේ මහන්දටය) තනි ප්‍රයත්නයක් නොවූවත් නිසි පරිදි සියළුදේ සිදුකල නිසාවෙන් යුධ ජයග්‍රහණයේ වැඩි ගෞරව ලැබුණේ මහින්ද රාජපක්ෂටමය.
  • අවිධිමත් ක්‍රමවේද යටතේ ණය ලබාගැනීමෙන් වුවත් වෙනත් රාජ්‍ය නායකයින්ට කල නොහැකි සංවර්ධනයක් ලංකාව තුලට ගෙනඒමට මහින්ද රාජපක්ෂ පාලනයට හැකිවිය. පියවි මනසින් පක්ෂපාතී නොවී බැලූවද එම සංවර්ධනය මෑත කාලීනව නව අවස්ථාවන් ගණනාවක් මතුකර ඇත. ඒවා සීයට සීයක් සාර්ථක නොවූවත් කැපී පෙනෙන සංවර්ධනයක් සිදුකරන ලදි.
  • පුද්ගලික පෞරුෂ්‍ය, ජන ආකර්ෂණය, නායකත්ව ලක්ෂණ, හැසිරීම්, පෙනුම වැනි කාරණා නිසාවෙන්ද තවමත් මහින්ද රාජපක්ෂ ජනතාව අතර වැඩි බලයක් හිමිකරගෙන ඇත.
  • එසේම තවමත් බහුතරයක් වැඩවසම් මානසිකත්වයෙන් දිවිගෙවන ප්‍රජාවක් ජීවත්වන රටක ප්‍රජාවට අවශ්‍යවන්නේ මොලයට දැනෙන නායකයෙක්ට වඩා ඇඟට දැනෙන නායකයෙක්ය. එසේ ඇඟට දැනෙන ලෙස හැසිරෙන්නට මහින්ද හොඳාකාරව දනී.
  • පූජ්‍ය පක්ෂය වැඩි පිරිසක් සිටින්නේ මහින්ද සමගය. අද මහින්දගේ දේශපාලන වේදිකාව පන්සල බවට පත්ව ඇත්තේද එහි ප්‍රතිඵලයක් ලෙසය. පන්සලක බෝධි පූජාවකට මහින්ද එනවායැයි ආරංචියක් ලැබුණු සැනින් මිනිසුන් ගව් ගණන් ගෙවමින් පන්සල් වෙත එන්නේ මහින්ද ගොඩනගා ඇති ජන ආකර්ශණය නිසාය.
  • බිම් මට්ටමේ සන්ධාන පාක්ෂිකයන් වැඩි පිරිසක් මෙන්ම පළාත් පාලන නියෝජිතයන් බහුතරයක් සිටින්නේ මහින්ද සමගය.
අනෙක් පැත්තෙන් සලකා බැලූ කල්හි අස්ථාවර රජයක් සහ පක්ෂ නායකත්වයකට වැඩි ලොබකමක් දක්වන ජනපතිවරයෙක් නිසාවෙන් මහින්ද රාජපක්ෂට ප්‍රබලත්වට වැඩි ඉඩකඩක් වෙන්කර ඇත. 

   කළමණාකරණ න්‍යායන් තුල බොහෝවිට භාවිතයට ගන්නා SWOT විශ්ලේෂණය සරලව යොදාගෙන මහින්ද රාජපක්ෂ තවමත් ප්‍රබලය යන තර්කය තව දුරටත් සලකා බැලිය හැක.

S - Strengths (ශක්තීන්) 
  • දේශාපලන අත්දැකීම් සහ පන්නරය
  • සුළු පක්ෂ ගණනාවක සහය ලැබීම
  • පලාත් පාලන ආයතන නියෝජිතයන් වැඩි පිරිසක් තමන් සමග සිටීම.
  • පූජ්‍ය පක්ෂයේ දායකත්වය
  • සන්ධාන පාක්ෂිකයන් වැඩි පිරිසක් මහින්ද පිළිබඳ ඇල්මකින් සිටීම.
  • යුධ ජයග්‍රහනයේ වාසිය.
  • පෞරුෂය හා ජන ආකර්ෂණය
W - Weaknesses (දුර්වලතා)
  • පාලන සමය තුල සිදුවූ දූෂණ,වංචා,අපරාධ
  • ජනාධිපතිවරණය පරාජයට පත්වීම
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම
  • චෝදනා සහ අත්අඩංගුවට පත්වීම් නිසා පක්ෂපාතී ප්‍රබලයින් අඩපණවීම.
  • සුළු ජාතීන් වෙතින් ලද සහය පහත වැටීම
O - Opportunities (අවස්ථා)
  • මහ මැතිවරණයකදී ජයග්‍රහණය ලැබීම සඳහා එ.ජා.ප ය හෝ රනිල් වික්‍රමසිංහ ප්‍රබලත්වයකට පත්ව නොමැතිවීම.
  • පක්ෂ නායකත්වයේ දුර්වලබව, විපක්ෂ නායකත්වයේ දුර්වලබව
  • අගමැති අපේක්ෂකත්වය සඳහා සන්ධානය පාර්ශවයේ නායකයෙක් නොමැතිවීම.
  • සෘජු හා වක්‍ර ප්‍රතිලාභ ලෑබූවන් ගණන ඉතා විශාලවීම.
T - Threats (තර්ජන)
  • ජනපතිවරයාගේ ස්ථාවරය.
  • ජාත්‍යන්තර සහය නොලැබීමේ අවදානම.
  • මහින්ද විරෝධී සිවිල් සංවිධාන, පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන ප්‍රබලවීම.
  • පක්ෂය තුලම විරුද්ධ පාර්ශව සිටීම.
  • පාලන සමය තුල අගතියටපත් පාර්ශව ප්‍රබල හඬක් නැගීම.
ඉහතින් සලකා බලා ඇත්තේ සාධක ඉතා සීමිත ප්‍රමාණයකි. කොතරම් දේශපාලනික වශයෙන් එඟ නොවුනත්  අපක්ෂපාතීව සලකා බැලීමේදී මහින්ද රාජපක්ෂ යන හෙට දිනයේ වුවත් පවතින රාජ්‍ය පාලනයට බලපෑමක් කල හැකි චරිතයක්,සාධකයක් ලෙසින් සැලකිය හැක. එම ප්‍රබලත්වය ලැබූ ආකාරය සර්ව සාධාරණ හෝ විධිමත් නොවූවත් හෙතෙම ලෙහෙසින් දේශපාලන සිතියමෙන් අතුගාදැමිය හැකි චරිතයක් නොවන බව භාවිතාවෙන් පෙන්වාදී ඇත.

5 comments:

  1. M R IS A CLEVER ACTOR NOT A CLEVER POLOTICIAN

    ReplyDelete
  2. මහින්ද කියන්නේ මේ වන විට විහිළුවක් කියලයි හිතන්නේ. ඔහු දේශපාලනිකව බලවත් බව හැබැයි. ඔහුගේ අඬුපඬ ශ්‍රිලනිපය තුලත් රාජ්‍ය යාන්තණය තුළත් තියෙනවා. එහෙත්රටවටේ යන අපට දැනෙන්නේ මහින්දට නම් අගමැති වෙන්න බැරි බවයි. විපක්ෂයෙන් දේශපාලනයට ආවත් වසර දහයක් බලයේ ඉඳලා ඔහුගේ ඔළුවට ගහලා තියෙන මෝඩකම නිසා විපක්ෂයේ ලොකු දෙයක් කොරගන්න බැරි වෙයි.
    මට හිතෙන්නේ මිනිහ දැන් විහිළුවක්. ඊයෙ පෙරේදා අර මෝඩ පහනක් පත්තු කරනව දැක්ක වෙලෙත් මට හිතුනෙ ඒක.
    බලය එක්ක දැකපු තේජවන්ත කෙනෙක් බලය නැතිව දකිද්දී ඔහු විහිළුවක් විදියට තමා පේන්නෙ

    ReplyDelete
    Replies
    1. මහින්ද විහිළුවක් විදියට දකින පිරිසක් ඉන්නවා..ඒත් බිම් මට්ටමේ පිරිස් බොහොමයක් මහින්දගේ උපක්‍රමශීලී රඟපෑම තුලින් තවමත් ඔහු ගැලවුම්කරුවා භූමිකාවේ තබාගෙන ඉන්නවා.

      Delete
  3. වටේ ඉන්න කාලකන්නි ටික අයින් කරල ආයිත් ඉල්ලුව නම් මෙයා අනිව දිනනනවා.

    ReplyDelete