May 21, 2015

කපුගේ නැමති සංගීතය


කපුගේ මියයන විට මම පොඩි කොල්ලෙකි. ඔහුට අදටත් කපුගේ කියා කියන්නට මට කිසිඳු අවසරයක් නැත, ඔහු විශාරද ගුණදාස කපුගේ මහතාමය. ඒ ගෞරවයේ කිසිඳු අඩුවක් නැත. එහෙත් මම ඔහු කපුගේ කියා සහෝදරත්වයෙන් අමතමි. කපුගේ නැමති සංගීතය පිළිබඳ ලංකාවේ පත්තර පිටු පිරෙන්නට ලියා තිබෙනු දැක ඇත්තෙමි. ඒත් කපුගේ යන සංගීතය දැනෙන සමාජ ස්ථරය තුල සිට කපුගේ දකිනවා මිස සැපපහසු කාමර තුල සිට කපුගේ ස්පර්ශ කල සමාජය දැකීම පට්ටපල් බොරුවකි. 

   කපුගේ මියගිය දවසේ මගේ පොඩි අයියා පොඩි දරුවෙක් මෙන් හඬාවැටෙන අයුරු මම අත්වින්ඳෙමි. යන්තම් අවුරුදු දහයක් දොළහක් වූ මට උසස් පෙළත් පැන්නූ පොඩි අයියා හඬා වැටෙන්නේ ඇයිදැයි ගැටළුවක් විය. විශේෂයෙන්ම අඩුම තරමේ අපේ ගමේ සංගීත සංදර්ශනයකටවත් අඩිය නොතැබූ කපුගේ අභාවය ගැන පොඩි අයියා විස්සෝප වීම හරස්පද ප්‍රහේලිකාවක් විය. මොහිදීන් බෙග් සැත්කමකට භාජනය කරන්නට සිහිනැති කොට අවසානයේ සිහිය ගන්නට නොහැකිව මියගිය දවසේ අපේ ආච්චි හඬා වැටුණු අයුරු තාත්තා කියා ඇත. එයට ප්‍රධාන හේතුව වූයේ බෙග් ගැයූ බොඳු බැති ගීත වලට ආච්චි ගැලරියේ සිට සාදුකාර දුන් රසිකාවියක් වීම නිසා වන්නට ඇත. ඒත් පොඩි අයියා කපුගේ අභාවය නිසා අඬාවැටීම මා හට පෙනුනේ කැමිලස්ගේ කොමඩි කාටුන් එකක් ලෙසටය.

   ඊට කෙටි කලකට පසු පොඩි අයියා කාමරයේ දොරේ කපුගේ රුව රැගත් පෝස්ටරයක් අලවා තිබුණි. මම කලක් තිස්සේ හිතේ හිරකරගෙන සිටි පැනයක් පොඩි අයියාගෙන් ඇසුවෙමි. 

“පොඩි අයියේ..ඇයි කපුගේට ඔච්චර මැරෙන්න හදන්නේ?“

හීන් හිනාවක් දමා අභිමානවත් බැල්මකින් කපුගේ රුව රැගත් පෝස්ටරය දෙස බැලූ පොඩි අයියා යමක් කීය.

“ජැමෙයිකාවට බොබ් මාලි යනු කෙසේ ද යත්, කපුගේ ලංකාවට ඊටත් වඩාය.. කපුගේ ගැයුවේ පීඩිත පන්තියේ ගීතයයි..“

පොඩි අයියාගේ දරුණු සහ ගැඹුරු පිළතුර අතිරින් තෝරාගත හැකිවූයේ වචන කීපයකි. බොබ් මාලි සහ පීඩත පන්තිය ඉන් මතකේ රැඳුනු දෙකකි. හන්දියේ ත්‍රීවීල් පාක් එකේ රංජි අයියාගේ ත්‍රීවීලර් එකේ පිටුපස පුරාවට වර්ණ තුනකින් සිතුවම් කල බොබ් මාලිගේ විශාල රුවකි. බොබ් මාලි යනු කවුද කියා පොඩි අයියාගන් තවත් හතරබීරි උත්තර අහනවාට වඩා බොබ් මාලි ගැන රංජි අයියාගෙන් ඇසීව වඩාත් යෝග්‍ය යයි මට සිතුනි..

“මල්ලි බොබ් මාලේ කියන්නේ එළකිරි පොරක්..මිනිහා අපිටත් වඩා ගංජා ගහලා තියනවා..ඒකයි මිනිහා සුපිරි පොරක් වෙන්නේ..“

පොඩි අයියා විසින් බොබ් මාලේ ජැමෙයිකාවට පොරක් වන බව කිව්වේ ගංජා වලින් නම් කපුගේ ලංකාවට පොරක් වන්නේත් ගංජා වලින්ද කියා මා හට පැනයක් නැවත ඇතිවන්නට විය. අවසානයේ ඒ ප්‍රශ්නාවලිය අතර කපුගේ, බොබ් මාලේ සහ ගංජා සිරවිය.

                                      * * * * * * * *

කපුගේ ගැන අද කව්රුන් හෝ මාගෙන් ඇසුවහොත් මා කිසි විටකවත් පොඩි අයියා පරිද්දෙන් ඔහු ජැමෙයිකාවට රැගෙන යන්නේ නැත. බරපතල නිර්වචන වලට වඩා සරල නිර්වචනයක් තෝරාගනිමි. කපුගේ යනු සරල චින්තකයෙකි, ඔහුගේ චින්තන ව්‍යාප්ති මාධ්‍ය සංගීතය විය. එනිසාවෙන් මා කපුගේ නැමති සංගීතයට අදටත් ආදරය කරමි.  ඒ මන්දයත් අදටත් සිතට දැනෙන බොහෝ හැඟීම් පිට කිරීමට කපුගේ හඬ සහයට සිටී. සහෝදරත්වයට, මිත්‍රශීලිත්වයට මෙන්ම ආදරයටද කපුගේ සිටියි. එවන්වූ ආවේණික හඬක් සහ දර්ශනයක් නැවත ලද්දෙක් තවමත් ලංකාව තුල නොමැත. එනිසාම කපුගේ නැමති සංගීතය අදටත් වලංගුය


6 comments:

  1. කපුගේ මහත්මයා නැතිවුනේ ප්ලේන් එකෙක් බහිනකොට වැටිලා නේද​? මමත් පොඩි කාලේ. යාන්තම් මතකයි. මමත් ආස ගායකයෙක්.

    ReplyDelete
    Replies
    1. මට මතක විදිහට ප්ලේන් එකෙන් බහිනකොට නෙවෙයි, ප්ලේන් එකෙන් බැහැලා මගී පර්යන්තෙට එන බස් එකේ දොර අරිද්දි වැටිලා මියගියා කියලා තමයි මතක. කොහොම වුනත් කපුගේ තමන්ගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතපු මනුස්සයෙක් නෙවෙයි කවදාවත්

      Delete
  2. කපුගේ ලංකාවට තරමට වැඩි ගායකයෙක් කියලයි මට හිතෙන්නේ.ඒ නිසාමයි ඔහුගේ අගයක් මේ රටට තාමත් නැත්තේ.ඒ අප්‍රමාණ මිනිසාගේ අගය මේ රටට වැටහෙන්න තව කොච්චර කාලයක් යයිද කියලා දන්නේ දෙවියෝම විතරයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කපුගේ දර්ශනය ලංකාවට වැඩියි. තව ඒ වගේ මිනිස්සුන්ට ලංකාව අගයක් දෙන්නෙත් නෑ

      Delete
  3. උඹේ ලියැවිල්ලනම් පට්ටයි.......... අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.... ඒක උඹේ හැකියාව......

    ගංජා බොබ්මාලේ වගේ ම තමා කපුගේ සහ කපුගේගේ බීමත්කමත්.... හොද මිනිහෙක් වුණාට කපුගේට පොවලා මිනිස්සු ඔ්නේ තරම් නිකං සින්දු කියවාගත්තා.... දුප්පතාගේ දුක දැනුණ ගායකයෙක් තමා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං..කපුගේට තමන් ගැන වටිනාකමක් තිබුණේ නෑ. ඒක මිනිහගේ ලැබීම. මිනිහව රටට සහ සංගීතයට වටින තරම මිනිහා දැනගෙන හිටියේ නෑ. ඒකම තමයි මිනිහගේ අභාග්‍යය. කිව්වා වගේ බොහොමයක් මියුසිකල් වලදි සින්දු තුනක් කියන්න ඇවිත් පහක් කියලා යනවා බීලා වැනි වැනි. සමහර වෙලාවට අවුට් කියන්නේ..

      Delete