Mar 29, 2017

ලෝකේ හොඳම මුදල් ඇමති..අපේ ලංකාවේ මුදල් ඇමති


ආසියානු පැසිෆික් කලාපයේ 2016 අවුරුද්දේ හොඳම මුදල් ඇමති ලංකාවේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වන රවී කරුණානායකයි කියලා දැනගත්තම උඩ පැනලා අත්පුඩි ගහන්නද නැත්නම් අනේ අපොයි කියන්නද කියලා හිතාගන්න බැරි මට්ටමකට සමහරු පත්වෙලා. ඒත් කලබල නොවී  බොහොම සාපේක්ෂව හිතලා බැලුවම මේකට අදාල කරුණු ගණනාවක් මතකයට පැමිණියා. එහෙම ටිකක් විශ්ලේෂණාත්මකව බැලුවම රවී දකුණු ආසියාවේ නෙවෙයි ලෝකෙම හොඳම මුදල් ඇමති විදිහට සම්මාන ගත්තත් පුදුම වෙන්න දෙයක් නෑ කියලා හිතුනා.

සම්මානය පිදුම, "ද බෑන්කර්" සඟරාව

බ්‍රිතාන්‍යයේ ද බෑන්කර් සඟරාව පරිශීලිනය කරපු අයෙක් හොඳින් දන්නා කාරණය තමයි මේ සඟරාව විසින් ප්‍රමුඛතාවය දී කටයුතු කරන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණවාදයයි. ඒ වචනයේ අභ්‍යන්තරයේ තියෙන්නෙම ලෝකයේ ආර්ථිකය සංවෘත තැනක සිට පූර්ණ විවෘත ආර්ථිකයක් බවට පත්කිරීමේ ක්‍රමය මීට වසර හැට හැත්තෑවකට පෙර ආරභවුණ ආකාරයයි. ආර්ථික ප්‍රතිසංස්කරණවාදයට කත්අදින සඟරාවක් එවැනි ප්‍රතිසංස්කරණවල නූතන මුහුණුවර අකුරක්වත් වෙනස් නොකර ලංකාව ඇතුලේ ක්‍රියාත්මක කරන රවීට සම්මානයක් නොදෙනවනම් වෙන කාට දෙන්නද කියලා ටිකක් හිතලා බලන්න පුළුවන්. 


ද බෑන්කර් සඟරාව ධනවාදී ආර්ථිකයන් විසින් ජනතාව දැඩිලෙස පෙළමින් ආර්ථික වර්ධනය කියන සළුපටෙන් වසා ලෝකෙන් වසන් කරන දරීද්‍රතාව සහ බිම් මට්ටමේ ජනතාව සූරාකෑමේ සංකල්පය ලංකාව තුල මීට දශක කිහිපයකට පෙර ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. එදා ඇන්.එම් පෙරේරා වැනි මුදල් ඇමතිවරු මේ රටේ මූල්‍ය ප්‍රතිපත්ති,බදු ප්‍රතිපත්ති හරහා අඩු ආදායම්ලාභී ප්‍රජාවට ප්‍රතිිලාභ අත්වෙන විදිහට නිර්මාණය කරලා "සරදියෙල්" න්‍යාය හරහා ධනවතුන්ගෙන් වැඩි බදු මුදලක් අයකරමින් ඒවා හරහා ජනතාවගේ සුභ සාධනය සංවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති නිර්මාණය කරමින් තිබුණා. නමුත් ජේ.ආර් ජයවර්ධන රජය මූලිකවම මෙම ප්‍රතිපත්ති වෙනස් කරමින් තමන් නියෝජනය කරන ධනේෂ්වර පැලැන්තියේ වුවමනාවන් සන්තර්පනය කිරීමේ අරමුණින් කටයුතු කලා. පසුව පැමිණි චන්ද්‍රිකා රජය, මහින්ද රජය වගේම වෙනසක් නැතිව අද මෛත්‍රී-රනිල් ආන්ඩුවත් අනුගමනය කරන්නේ දුප්පත් ජනතාවගේ මුදල් සූරාකමින් ධනවතුන්ට බදු සහන ලබාදී පන්ති ක්‍රමය අපූරුවට පවත්වාගෙන යන පූර්ණ “කැපිටාවාදී“ ප්‍රතිපත්තියක්ය.

කෝ සමාජවාදය?

අපේ රටේ ව්‍යවස්ථාවට අනුව “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය“ වුවද මෙහි සමාජවාදය ඇත්තේ කොතනද යන්න ගැටළුවකි. හිඟන්නාගේ රුපියලෙන් පවා අවම සත 40ක් රජයට බදු අයකරගනිමින් කිසිඳු ගුණාත්මක නොවන පොදු පහසුකම් ලබාදීමෙන් එය සමාජවාදී රාජ්‍යයක් ලෙස හැඳින්විය නොහැකිය. කලින් කී ආකාරයේ මිශ්‍ර අර්ථ ක්‍රමයක්ද නැති ලංකාවේ දැන් ඇත්තේ සුළු ධනේෂ්වර ආර්ථික ලක්ෂණයන්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝකයේ ආර්ථික සංවර්ධනය යන නාමයෙන් ප්‍රාග්ධන කොල්ලකෑම්වලට හවුල්වෙන සංවිධානවල වුවමනාව වන්නේ ලංකාව වැනි කාලාන්තරයක් තිස්සේ ආර්ථික සහ සමාජයීය වශයෙන් එකතැන පල්වෙන රටවල් පූර්ණ ධනවාදී ගොඩට ඇද ගැනීමය. ඒ සඳහා ආර්ථික වර්ධනය, විවෘත ආර්ථික ගිවිසුම් වැනි උපාංග ගණනාවක් හඳුන්වාදී ඇත.

රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකී අරමුණ වෙත ලංකාව රැගෙන යාමට සෑහෙන්න උත්සහයක් ගනිමින් සිටින බව පෙනෙන්නට ඇත. ද බෑන්කර් කිසිඳු ලෝබකමක් නැතිවම රවී දකුණු ආසියාවේ හොඳම මුදල් ඇමති කරන්නේ ඒ නිසාය.

ලෝකයේම හොඳම මුදල් ඇමති.

දකුණු ආසියාවේ හොඳම මුදල් ඇමති ඉන්නා රටේ ජනතාවගේ වුවමනාවක් වෙනුවෙන් ප්‍රශ්න කලහොත් ඒ මුදල් ඇමති කියන්නේ පසුගිය ආන්ඩුවේ ණය නිසා ජනතාවට සහන දිය නොහැකි බවය, එහෙත් ප්‍රවෘත්තිවල වැඩිපුරම ඇසෙන්නේ මැති,ඇමතිවරුන්ට සැප වාහන ගෙනෙන්නට රජයේ මුදල් වෙන්කිරීමේ පුවත්ය. එවැනි මුදල් ඇමතිලා ගැන කතාකරන එවුන්ට ගැසිය යුත්තේ මඩු වලිගයෙන්ය.

පැහැදිලම කරුණනම් රවීට මේ සම්මානය පුදකිරීම පිටුපස ඇත්තේ රවී විසින් මෙරට මුදල් ඇමති තනතුර හරහා සීඝ්‍ර ලෙස බදු ප්‍රතිශතයන් වැඩි කරමින්, රටේ පොදු සම්පත් පුද්ගලීකරණය කරමින්, දේශපාලන වෛරයන් පිරිමසාගැනීම උදෙසා දීර්ඝකාලීන ආයෝජනයන් විකුණාදැමීම, පොදු පහසුකම් දරුණු ලෙස කප්පාදුව සහ ගෝලීය නිර්බාධක ආර්තික ගිවිසුම් නැවති මර උගුල්වලට කැමැත්තෙන්ම ලංකාව ඇදගෙන යාම වැනි ක්‍රමෝපායන් සිදුකරමින් ලංකාව ආර්ථිකමය අගාධයකට ඇදගෙන යනවා සේම ලෝක ආර්ථිකයේ පාලනය හිමිකරගෙන සිටින සංවිධාන කිහිපයකට අවශ්‍ය ආර්ථිකමය වෛශ්‍යා වෘත්තියේ නිරත වෙන බවය. ඒ අනුව බැලූ කල රවීට දකුණු ආසියාවේ නොව ලඟදීම ලොව හොඳම මුදල් ඇමති සම්මානය ලැබෙනවා සත්තය.

එහෙත් රවී කරුණානායක ලෝකයටම හොඳම මුදල් ඇමති වුනත් ලංකාවටනම් නිකම්ම නිකන් පංචස්කන්දයක් පමණක්මය.



2 comments:

  1. බැංකුකරුවන් වශයෙන් වශයෙන් අපි පිලිගන්නා දෙයක් තමයි Banker සගරාව මගින් තෝරන ලංකාහෛාදම බැංකුවට හිමි සම්මානයට නිර්දේශවීම බැංකුවට ලොකු කීර්තීයක්ය යන්න මට දැන් තියෙන ප්‍රශ්ණය තමයි එහෙවු නිර්දේශිත බැංකුවත්වත් දැන් රටිටු පිලිගනීද කියන එක

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. එතනදි බැංකුවක කාර්යභාරය ලාභ ඉපයීම සහ ආර්ථික දායකත්වය කියන ක්‍රියාවලිය නිසා හොඳම බැංකුව තේරීමේදී “ද බෑන්කර්“ සලකා බලන සාධකයන් වෙනස්. රටක මුදල් ඇමතිවරයෙක් තෝරන නිර්ණායක තවත් විදිහක්. ඒක නිසා මේ දෙක සමපාත කරන්න බෑ. නමුත් ඔබ කිව්වා වගේ රටේ මිනිස්සු මේවා ඒ තරම් දුරට විශ්ලේෂණය නොකරන නිසා සමහර විට ඔබ හරි වෙන්න පුළුවන්

      Delete