Mar 10, 2017

අයි අයියෝ ලෙනින්..ඔක්තොම්බර් විප්ලවේ සුන්


කොල්ලුපිටියේ හංඳියට චුට්ටක් එහා එක දිගට මාර ට්‍රැෆික්. උදේ වරුවේ දෙහිවල ගුවන් පාලම පහුකරං යන එක සක්කරයටත් ටිකක් අමාරු නිසා දෙහිවල යාන්තමට පැයක් විතර දුක්විඳලා පහුකරගෙන සමුද්‍ර මාවතට දාගත්තා. සමුද්‍ර මාවත දිගේ ඇවිත් ආයෙත් කොල්ලුපිටියෙන් මතුවෙන්න ගාලු පාරට අතුරු පාරකින් එද්දි කවුදෝ හොඳට කෝට් එකක් එහෙම ඇඳගත්ත පොරක් තාප්පයකට අත්දෙකයි ඔළුවයි තියාගෙන හේත්තුවක් දාගෙන ඇඹරෙනවා. හිතුනෙම ඊයේ රෑ රම්පෙට පොරි හැලෙන්න අඩිය ගහපු පොරක් තාප්පෙකට වාරුවෙලා කබරයා දානවා ඇති කියලා.


පොර පහු කරද්දිම ඇහුනේ මර විලාප තියලා අඬන සද්දයක්. අපි වෙනස්ම ජාතියක් නිසා මිනිහෙක් මරවිලාප තියලා අඬනකොට හිත සනසනවා වෙනුවට අදාල කාරණේ හොයාගෙන කුණුරහක් විඳින ගතියක් අපිටත් ප්‍රවේණි ජානවලින් ලැබිලා තියන නිසා බයිසිකලේ ෂේප් එකේ නතර කරලා පොර ඉන්න තැනට ගියා. දැන් ෂුවර් පොර කබරයා දානවා නෙවෙයි අඬනවා තමයි කියලා. ටිකක් ලංකරලා බැලුවා, තොප්පියක් එහෙම දාලා, ටයි පොල්ලක් දාලා, නිකටේ එළු රැවුලකුත් තියාගෙන ඉන්නේ හොඳට දැකලා පුරුදු පොරක්..

"මේ ලොකු උන්නැහේ මොකක්ද ප්‍රශ්නේ..මොකේ නිකං මේ වළහෙක් වගේ තාප්පයක් බදාගෙන අඬන්නේ.."

මේ යකා මගේ දිහා ඇස් ලොකු කරගෙන බලලා ආයෙත් මර විලාප තියලා අඬන්න පටන්ගත්තා. 

"මේ හලෝ...ඔහේගේ ගෑණි මලාද,නැත්නම් වෙන එකෙක් එක්ක පැනලා ගියාද.. එහෙම වුනා කියලා ගණන් ගන්න එපා. ඔහේට තාම 75 පැනලා නෑනේ..දේපල එහෙමත් තියන පාටක්නේ තියෙන්නේ. ඉතින් ලංකාවේ චාන්ස් තියනවා ඔහේට ආයෙත් ගොඩයන්න..ආයෙත් අහලා?"

ඒ පාර පොරට මම අහපු එකට මල පැන්නා. පොර මට කඩාගෙන පැන්නා

"නැ ඕයි..තමුසෙ කියන උලව්වක් නිසා නෙවෙයි මම මේ අඬන්නේ"


මමත් අතෑරියෙම නෑ. මාර ප්‍රශ්නයක් දැන් මටත් තියෙන්නේ මේ පොරගේ ප්‍රශ්නේ දැනගන්න.

"හරි..එහෙනම් කියනවකෝ බලන්න ඔහේ කවුද කියලා.."
"මම ලෙනින් යකෝ.."

ඒ පාර මට ප්‍රශ්න තොගයයි.

"ලෙනින් කිව්වේ..ලෙනින් දිවාකරද? අහා නැත්නම් අර උසාවිය නිහඬයි සීන් එකේ ලෙනින් රත්නායකද..අපෝ හරි චානේ ඔහේ... ඒත් නැත්නම් අපේ සිංදු කියන සමන් ලෙනින් පුතාද මේ.."

ඒ පාරනම් මේ යකාට මළම පැන්නා.

"නෑ ඕයි..මම වී.අයි. ලෙනින්...රුසියාවේ ලෙනින් යකෝ..සමාජවාදේ බාප්පා.."

අම්මද බොල කිව්වලු. ඇත්ත නේන්නම්. පෙනුම හුරුයි වගේ දැනුනේ ඒක තමයි මට. එහෙනම් කොමිනිස්ට් කාරයොයි ජෙප්පොයි එකතුවෙලා ලෙනින්ට සිංහලත් උගන්නලා. මට නිකන් ඇඬෙන්න වගේ වුණා.

"ඉතින් ලෙනින් උන්නැහේ මොකෝ මේ තාප්පයක් බදාගෙන ලතෝනි දෙන්නේ"

ඒ පාර ලෙනින් උන්නැහේ සාක්කුවට අතදාලා ගුලිකරලා තිබුණ ලොකු කොලයක් ගත්තා. ඒකේ හොටු පිහදාලා හොටු බේරෙනවා. අප්පිරියාවේ බෑ..ඒත් කිසි හිරිකිතයක් නැතිව ගුලිකරලා තිබුණ කොලේ දිගෑරලා මට පෙන්නුවා.

"මෙන්න මේක දැක්කම නොඅඬා ඉන්න පුළුවන්ද කියලා කියපිය යකෝ"

පෝස්ටරේ තිබුණේ
ඔක්තොම්බර් විප්ලවයේ සියවස් සැමරුම
ප්‍රධාන ආරාධිතයෝ
මෛත්‍රීපාල සිරිසේන
රනිල් වික්‍රමසිංහ

ඒ පාර මමත් ලෙනියා එක්ක තාප්පේ බදාගෙන හොටු පෙරාගෙන අඬන්න පටන්ගත්තා.



4 comments:

  1. ආපහු දිගටම ලියපන්!!!!

    මම හිතුවේ උඹ ලියන්නේ වෙනින් කවුරුත් නෙමේ ලෙනින් මොරායස් ගැන කියලා :D

    ReplyDelete
    Replies
    1. සිරාවට..ලෙනින් මොරායස්ගෙන් වුනත් මීට වඩා වෙනස් උත්තරයක් බලාපොරොත්තු වෙන්න බෑනේ බං දකින දේවල් එක්ක.. ජයවේවා

      Delete
  2. ලෙනින් කිව්වම මම වෙන එකක් හිතේ තියාගෙන කියෙව්වේ ...
    මරු

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඕකනේ..හිතේ තියන ඒවත් එලියට එනවා ලෙනින් ගැන කිව්වම

      Delete