Oct 11, 2017

ලෑන්ඩ් සේල් සමාගම් වලට පිංසිද්ධ වෙන්න...!


පහුගිය දවසක බණ්ඩාරගම පැත්තේ ලෑන්ඞ් සේල් එකකට හොඳ රබර් යායක ගස් පෙරලලා දාලා ගොඩ කරනවා. තාමත් කිරි කපන්න පොත්ත පළුදු කරපු තැන්වල ඔට්ටපාලූ ඉතිරිවෙලා තියන මහා රබර් ගස් එක එක පෙරලිලා බිමට වැටෙනවා. අක්කර ගණනක රබර් යායක් හෙට අනිද්දා පර්චස් එක ලක්ෂ ගණනකට විකිණිලා යනවා. දවසින් දවස වැඩිවෙන ජනගහනයට හරියන්න ඉඩම් කට්ටි ප‍්‍රධාන නගර ආසන්නයෙන් විතරක් නෙවෙයි ගම්පළාත්වලින් පවා වෙන්වෙනවා. ඒ බිම්කට්ටි බවට පත්වෙන්නේ කලින් කිව්වා වගේ ලක්ෂ ගණන් මිනිස්සු බඩවියත රැකගත්ත, කෝටි ගණන් සල්ලි රටට හම්කරලා දීපු වටිනා බව භෝග තිබුණු ඉඩකඩම්. එහෙව් ඉඩකඩම් එළිකරලා කට්ටි කරලා විකුණන සංකල්පය ලංකාවට එන්නේ මීට දශක කිහිපයකට කලින්. ඊට පස්සේ පඳුරකට ගැහුවම දහයක් පහළොවක් විසිවෙන තරමට ලෑන්ඞ් සේල් සමාගම් බිහිවෙන්න පටන්ගත්තා.


මේ ලෑන්ඞ් සේල් මුලින්ම ආක‍්‍රමණය කරන්න ගත්තේ පාරම්පරිකව තිබුණු හවුල් ඉඩම් ටික තමයි. අක්කර ගණන් පැතිරිලා තිබුණු වලව්වල පරවේණි ඉඩම් ඒ පැලැන්තිවල දරු මුණුපුරෝ විකුණලා දාද්දි වැඩි මුදලකට ගත්ත ලෑන්ඞ් සේල් සමාගම් ඒ ඉඩම්වල තිබුණු කොස්,තේක්ක,හල්මිල්ල,බුරුත ගස් ටික කපලා ඒවත් සල්ලි කරගෙන ඉඩම් කට්ටි කරලා විකුණලා දැම්මා. මෙහෙම වැඩිකාලයක් ලංකාවේ මිනිස්සුන්ගේ අක්කර ගණන්වල ඉඩම් ඉතිරිවුණේ නෑ. ඊටත් පස්සේ මේ සමාගම් අත තිබ්බේ පොල් ඉඩම් වලට සහ පුරන් කුඹුරු යායවල් වලට. පස් ට‍්‍රැක්ටර් වලින් ගොඩකරලා කුඹුරු යායවල් ගොඩකරලා ඉඩම් විකුණලා ගෙවල් හදද්දි මුලින්ම වුනේ ජල පෝෂක ප‍්‍රදේශවලින් එන වතුර පාරවල් හරස්වෙලා වාර්මාර්ග පද්ධතිය අකර්මණ්‍ය වුණ එක. අන්න ඒ වගේ අන්ත අඥාන වැඩ නිසා තමයි ලංකාවට මහා ගංවතුරක් ඇතිවෙලා මාස තුන හතරකට පස්සේ වතුර පොදක් නැතිව ලතවෙන තත්ත්වයකට අපේ වාරි පද්ධතිය කඩාගෙන වැටුණේ. ඒ වගේම තමයි සරුවට තිබුණ අක්කර සිය දහස් ගණන්වල පොල් ඉඩම් පියවරෙන් පියවර ලෑන්ඞ් සේල් සමාගම් විසින් අත්පත් කරගෙන වාරෙකට ගෙඩි තුන් හාරසීය පොල් ඵලදාව තිබුණු ගස් පෙරලලා දාලා ඒ ඉඩම් ටිකත් කට්ටි කරලා විකුණලා දැම්මා. ඒවයේ ගෙවල් හදාගත්ත මිනිස්සුන්ටත් ටික කාලෙකින් පොල් ගෙඩියක් රුපියල් 60 කට සල්ලිවලට ගන්න වුණාම කලේ ආන්ඩුවට බැන බැන හිටපු එකයි. ඇත්ත ආන්ඩුත් මේවට වගකියන්න  ඕන.නැත්නම් රටේ ආර්ථික බෝග වගාවට මෙච්චර හානියක් වෙන ලෑන්ඩ් සේල් කෙරුවාවට විධිමත් වැඩපිළිවෙලක් නියම නොකෙරුවේ වෙන කව්රුවත් නෙවෙයි. ඒකටත් හේතු වෙන්න ඇත්තේ සාක්කුවලට වැටුණු කොමිස් කුට්ටි තමයි.

පස්සේ පොල් ඉඩම් ටික පොල් ත‍්‍රිකෝණෙට විතරක් සීමා වෙද්දි ලෑන්ඞ් සේල් සමාගම් ඊලඟට අත තිබ්බේ මේ රටේ ඉතිරිවෙලා තිබුණු අනිත් ආර්ථික බෝග වැවුණු ඉඩම් ටිකට. තේ ඉඩම් තිබුණු කඳු ගැට හෝටල්වලට සහ ගෙවල් හදන්න විකුණලා දැම්මේ හරි ලස්සන වෙළඳ ප‍්‍රචාරණ දැන්වීම් එහෙමත් පලකරමින් තමයි. ඒ වගේම රබර් ඉඩම් ටිකත් අත්පත් කරගෙන කුට්ටි කරලා විකුණද්දි අපේ රටේ තේ,පොල්,රබර් නිෂ්පාදනය සීඝ‍්‍රයෙන් පහල වැටිලා තිබුණා. ඒ කර්මාන්ත නිසා බඩවියත රැුකගත්ත අහිංසක මිනිස්සුන්ට,ව්‍යාපාරිකයන්ට යනඑන මං නැතිවෙලා තිබුණා. පොල් මිල අහස උසට යද්දි, තේ රබර් නිෂ්පාදනය පහළ වැටිලා ලෝක වෙළඳපොලේ අපේ රටට තිබුණ කෝටාව හීනවෙද්දි ඒකේ අමාරුව ලෑන්ඞ් සේල් සමාගම්වලට සෘජුවම දැනුනේ නෑ. මොකද ඒ මොනවා හීනවුනත් ඉඩමක පර්චස් එකක මිල වැඩිවුණා මිසක් අඩුවුණේ නෑ. ඔබටත් මිහිතලයෙන් සොඳුරු බිමක් කිය කිය වගුරුබිම් පවා ගොඩකරලා විකුණ්නා. කොච්චරනම් ජලජ පරිසර පද්ධති විනාශකරමින් ලෑන්ඩ් සේල් සමාගම්වල බැකෝ යන්ත‍්‍ර දුවන්න ඇතිද. ඒ විනාශවල හානිය දැන් දැන් පරිසරය පෙරලා මිනිස්සුන්ටම එල්ල කරන කාලයක් තමයි මේ. මහා ගංවතුරක් නිසා අපේ‍්‍රල් මැයි මාසවල මිනිස්සු කොච්චර දුක් වින්ඳද, දැන් ලබන අවුරුද්දේ මාර්තු වෙනකල් දරුණු නියඟයක අවදානමක් තියනවා කියලත් කාලගුණ විද්‍යා පර්යේෂකයෝ අනාවැකි පලකරමින් ඉන්නවා. ’ඔබ මේ ලොවට ආදරේ නම් - මුළු ලොවම ඔබ හට ආදරෙයි’ කියලා රත්න ශ‍්‍රී ලියන්නේ ඔය කතාවම කියන්න තමයි.


ඒත් තවමත් මේ මහ විනාශය ඉවර නෑ. අපේ රටේ ජන ව්‍යාප්තියේ බරපතල විෂමතාවක් තියනවා. උතුරු පළාතට, නැගෙනහරි, ඌව වගේ පළාත්වලට ගිහින් බැලූවම බොහොමයක් තියෙන්නේ හිස් ඉඩම්. එහෙම තියෙද්දි ඒ පළාත්වල මිනිස්සු පවා ප‍්‍රසිද්ධ නගර සීමාවලින් පර්චස් පහක් හයක් ගන්න හීන දකින්නේ මේ රටවල පාලකයෝ පහසුකම් ව්‍යාප්තිය කියලා කරලා තියෙන්නේ ප‍්‍රධාන නරග කිහිපයක් ආසන්නයේ පහසුකම් ඇතිකරලා ගම්පළාත් දුෂ්කරභාවයට පත්කරලා  තිබීම නිසා මිසක් වෙන දෙයක් නිසා නෙවෙයි. ගම්වල මිනිස්සු අක්කර පහ හය විකුණලා ගන්න සල්ලිවලින් ටවුන්වල පර්චස් හතර පහ සල්ලිවලට අරගෙන ණයවෙලා ගෙවල් හදලා හිරකාරයෝ වගේ දහදුක් විඳිනවා, ඒත් ඒ ජනප‍්‍රිය පාසල්, රෝහල්, කඩ සාප්පු වල නාමයෙන්. ඒ පැත්තෙන් බැලූවම ලෑන්ඩ් සේල් සමාගම් කරන්නේ මිනිස්සුන්ගේ අසරණකම් සල්ලි බවට පත්කරගන්න දේශපාලඥයන්ගේ සාක්කුවලට සල්ලි මිටි දාලා ගහකොළ සතා සීපාවා ගැන නොහිතා කරන දේවල්වල කෙලවර බොහොම බරපතලයි කියලා විතරයි කියන්න  ඕන.

(ජනයාගේ කොලම - පිටු 8 අතිරේකය "ඉරුදින" 2016.10.23)

No comments:

Post a Comment