Oct 17, 2017

ගහගනින් තොගේ කඩ්ඩ ජොකා අස්සේ


පුස්තකාලෙ පරික්ෂා කරන්න යන්න පෝලිම් ගැහෙන්න කියලා කිව්වම බයක් සැකක් නැතිව සයිඞ් බෑග් එකත් අරගෙන ගිහින් ගෑණු ළමයි දෙන්නෙක්ගේ පිටිපස්සෙන් පෝලිමට එකතුවුණේ හරියටම විශ්වවිද්‍යාල ජීවිතේ හතරවෙනි දවසේ. උදේ හතහමාරට විතර පෝලිම් ගැහිලා පුස්තකාලේ බලන්න හා හා පුරා කියලා යන්න හිටිද්දි සැණෙකින් වුනේ ඇගේ මයිල් කෙලින් වෙන වැඩක්. මෙච්චර දවසක් හරි අපූරුවට එකකුස උපන් සහෝදර සහෝදරියෝ වගේ සලකපු සීනියර්ලා මළයක්කු වගේ කුණුහරුප කියාගෙන කඩාගෙන පැනලා කොලර් එකෙන්, බෙල්ට් එකෙන් අල්ලගෙන අමු අමුවෙන් බැණගෙන යනවා.

"ගලවපිය තොගේ සපත්තු දෙක..ගලවපිය මේස් දෙකත්..මේස් දෙක ඉණේ ගහගෙන සපත්තු දෙක අත්දෙකේ දාගනින්..."

මහතග දානවා කියලා පාන්දර වරුවෙම සීනියර්ලා කලේ කැම්පස් එකට හා හා පුරා කියලා පයගහපු අලුත් කොල්ලෝ කෙල්ලෝ ටික බයකරලා අලූත් සංස්කෘතියට හුරුකරනවා කියලා කරපු මෙහෙයුමෙන් කොල්ලෝ හතර දෙනෙක්ට සහ කෙල්ලෝ හත් දෙනෙක්ට කලන්තේ දාලා තිබුණා. තඩි සයිස් දඩ කොල්ලෝ පවා හොටු පෙරාගෙන අඬන තත්ත්වෙකට පත්වෙලා තිබුණා.


"උඹලා දැනගනින්..මෙහෙම මහ තග දාන එකේ අරමුණ තමයි එක එක සමාජ මට්ටම්වල ඉන්න..එක එක මානසික මට්ටම්වල ඉන්න උඹලා එකම ස්ථරයකට ගේන එක..එතනදි අද මේක උඹලට අලූත්ම අත්දැකීමක් වුනත් කාලයත් එක්ක මේක උඹලට සාමාන්‍ය දෙයක් බවට පත්වේවි"

මහ තග දැම්මට පස්සේ හෙම්බත්වුණ ෆ්‍රෙෂාලට,ෆ්‍රෙෂීලට සීනියර් උත්තමයන්ගෙන් ඊට පස්සේ ලැබෙන තෑග්ග තමයි තෙල් සාත්තුව. උඩ කැන්ටින් එකේ එක බංකුවේ තිහ හතළිහ ළමයි එකා පිට එකා වාඩිවෙලා විකාරෙන් වගේ සීනියර්ලගේ තෙල අහගෙන ඉන්නකොට ඇත්තටම පොඞ්ඩක් හිත හැදෙනනවා. මොකද කුණුහරුප වලට වඩා ටිකක් වැදගත් විදිහේ කතාවලට හිත කැමති නිසා.

"තොගේ කඞ්ඩ වැඩියි..ගහගනින් තොගේ කඞ්ඩ ජොකා අස්සේ..දැනගනිං පරයා..."

නිතර අහන්න ලැබෙන්නේ මේ වගේ සුන්දර වාක්‍ය තමයි ඒ දවස්වල. පීඩාවට පත්වෙලා ඉන්න පිරිස ඒකාබද්ධ වෙන එකත්, අනික් එකාගේ දුක ගැන අවධානය වැඩිවෙන එකත් එක්ක රැග් එක හොඳයි කියන මට්ටමට හිත හැදුනේ ටිකක් පහුවෙලා. හැබැයි කුහක ගතිගුණ පැත්තක දාලා අවංකව එකාට එකා කැපවෙන පරපුරක් රැග් එක නිසා ඇති නොවෙනවා කියලා කියන්න බෑ.(තාවකාලිකව හෝ)

හැබැයි රැග් එක අස්සේ සීනියර්ස්ලා තමන්ගේ දේශපාලන අරමුණු, පුද්ගලික අරමුණු ඉටුකරගන්න දඟලන එක එක්ක රැග් එකේ තියන හොඳ ලක්ෂණ යටවෙලා හුදෙක්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මාරාන්තික ප‍්‍රශ්නයක් බවට පත්වෙන එක වලක්වන්න බෑ. කැම්පස් ළමයි කීදෙනෙක්නම් රැග් එක නිසා සරසවි ජීවිතය අතහැරලා දාලා ගිහින් තියද, කී දෙනෙක්නම් විවිධ වූ මානසික සහ ශාරීරික හිංසාවලට ලක්වෙලා ජීවිතය විඳවන තත්ත්වයට පත්වෙලා තියනවද. රැග් එක කියන දේ ඒ අයට සොඳුරු මතකයක් වෙන්නේ නැත්තේ ඒ නිසයි.
රැග් එක කියන දේ සහමුලින්ම තුරන්වෙලා ගියපු දවසක සරසවි සියල්ල ගුණාත්මකව සහ විනයානුකූලව ඉදිරියට යාවි කියලා කව්රුහරි හිතනවනම් ඒක එහෙම නෙවෙයි කියලා තර්ක කරන්න පුළුවන්. සහෝදරකම්, යාළු මිත‍්‍රකම් වලට එහා ගියපු බැඳීමක් සරසවිය තුල ඇතිවෙන්න මේ රැුග් එක සෘජුවම බලපෑම්කරනවා.

මාස ගණනක් තිස්සේ තිබුණ නවකවදය අවසන් වෙලා විශ්වවිද්‍යාලයට සහෝදරත්වයෙන් බාරවෙන බකට් එක දවසේ  එක පැත්තකින් හිතට සැනසීමක් සහ අනෙක් පැත්තෙන් දුකක් මතුවෙන්නේ කටුක සහ සුන්දර මතකවල අහිමිවීමක් හදවතට දැනුණ නිසා වෙන්න ඇති. අදටත් තියන බොහොමයක් මිත‍්‍රශීලී බැඳීම් රැග් එක අතරේ එකට පීඩා විඳපු ඒවායේ ප‍්‍රතිඵල කියලා විඳගන්න පුළුවන් එකත් එක්තරා විදියක වෙනස්ම අත්දැකීමක්.

මේ රැග් කියන සංකල්පය කාලයත් එක්කම විශ්වවිද්‍යාල පද්ධතියෙන් අතුගෑවිලා යාවි. ඒවායේ දේශපාලන මුහුණුවර එක්කම තුරන්වෙලා යන දවස වැඩි ඈතක නෑ කියලා පෙනෙන්න තියනවා. ඒත් රැග් එක නිසා ජීවිතේ අඩියක් හරි ඉදිරියට ගිය කිසිම කෙනෙක්ට රැග් එක නරකයි කියලා කතා කරන්න බෑ. ක‍්‍රියාවලියේ වෙනස්කම් තිබුණත් රැග් එකේ හරය වෙන්නේ එකම දෙයක් නිසා.

මෑත කාලීනව නවකවද විරෝධී කණ්ඩායම් ඉතාමත් සක‍්‍රීයවීමත් ඒවාට විවිධ පක්ෂවල සහය ලැබීමත් එක්ක නවකවදයට විරුද්ධ පොදු සමාජ මතයක් ගොඩනැගීමත් සිදුවුණා. රැග් කිරීම සිරගතවීම දක්වා බරපතල වරදක් දක්වා නීතිමය තත්ත්වය ප‍්‍රබලවීම එක්ක විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලෙම නවකවදය නවතාදැමිය යුතුයි කියලා මතයක් ගොඩනැගෙන්න පටන් ගත්තා. නමුත් තවමත් සරසවිතුල අඩු වැඩි වශයෙන් රැග් එක ක‍්‍රියාත්මක වෙනවා.

මිලිටරි වටපිටාවක නිර්මාණය වුණ රැග් සංකල්පය ලංකාව තුලදී දේශපාලනික මුහුණුවරක් ගත්ත නිසා බොහොමයක් දෙමව්පියන් අද තමන්ගේ දරුවා රැග් වෙන එකට දැඩිලෙස  විරුද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි විශ්වවිද්‍යාලයට නොයවා අතින් මුදල් වියදම් කරලා පුද්ගලික අධ්‍යාපන ආයතනවලට යවන්න පවා පෙළඹෙන්නේ රැග් එක නිසා කොන්ද කඩාගෙන රෝහල් ගානේ යන දරුවන් දැකපු නිසා වෙන්න ඇති.ඒත් පටු දේශපාලන සහ පුද්ගලික අරමුණු පැත්තකට දානවනම් අදටත් විශ්වවිද්‍යාල ඇතුලේ සංස්කෘතිය,කලාව,අධ්‍යාපනය,ක‍්‍රීඩාව ඉතාමත් හොඳින් ප‍්‍රගුණ කරන පිරිසක් බිහිවෙන්නට හොඳම ප‍්‍රවේශයක් විදිහට රැග් එක නම් කරන්න පුළුවන්. අවාසනාවකට ලංකාව ඇතුලේ හැමදේම උඩුයටිකුරු වෙද්දි රැග් එකට වුනෙත් නරක පැත්තටම ගිහින් නැතිම වෙලා යන්න.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර
( ජනයාගේ කොලම - "පිටු 8 අතිරේකය" ඉරුදින 2015.12.27)

පසු සටහන - මේ ලිපියට පදනම් වුණු කරුණු වෙනසක් නොවූවද අද වනවිට ලංකාව තුල නවකවදය සම්බන්ධයෙන් වන සමාජ ආකල්ප තවදුරටත් වෙනස්වී ඇත. යුනිවර්සිටි කොලේජියෙන් ඇරඹි ලංකාවේ නවකවද සංස්කෘතිය වර්තමානයේ මූලිකවම දේශපාලන පක්ෂ කිහිපයක ඔළුගෙඩි තරකිරීමටත් ඊනියා අරමුණු තෘප්ත කිරීම සඳහා භාවිතා කරමින් පවතී. නමුත් අදටත් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය දේශපාලන,සමාජ සහ ආර්ථික ක්ෂේත්‍රයන්ට සිදුකරන බලපෑම යම්තාක් දුරට හෝ පැවතීම විශේෂිත කරුණකි. පූර්ණ ලිබරල් සංකල්පයක් කෙරෙහි ඇදගෙන යන්නාවූ රාජ්‍යයක ඉන් මෙපිට කිසිවක් බලාපොරොත්තුවීමටද නොහැක.

2017.10.17

(Photo - www.dailymirror.lk) 

9 comments:

  1. මම නම් අධ්‍යාපනය ලැබුවේ NIBM සහ CINEC ආයතන වල. ඒවායේදී නම් කිසිම ලෙසකින් මෙවැනි අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවුයේ නෑ.

    මගේ සමකාලින පාසල් මිතුරන්/ මිතුරියන් තවම රජයේ වෛද්‍ය පීඨවල/ රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබද්දී මම උසස් අධ්‍යාපනය සහ රැකියා පරිවාස කාලයත් හමාරකොට බව නම් කියන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න පුළුවන්නේ ඉතින්..ඒක නිසා මේක කියවන එකත් හොඳ අත්දැකීමක් වෙයි.

      Delete
    2. You can buy education, you cannot buy class. Ha ha ha

      Delete
    3. # AnonymousOctober 17, 2017 at 2:43 PM

      රජයේ සිසුන් නම් ක්ලාස් එකක් තබා යාන්තමින් වත් ඩිග්‍රීය කම්ප්ලීට් කරගන්න බැරුව පාරවල් ගානේ ගුටි කකා ඉන්නේ. පව් ඉතිං එක අතකින් බැලුවම. මේ ලිපියේ තියෙනවා වගේ ඉංග්‍රීසිත් කතා කරන එක තහනම් කරගෙන, කිසිම සමාජ තත්වයක් නැතුව කොන් වෙනවා ඒ ළමයි.

      Delete
  2. වැඩ ඇරිලා මහපාරෙ යන මිනිස්සුන්ව රැග් කරන්න ෆ්‍රෙශර්ස්ලාව දක්කන් යාම?

    ReplyDelete
  3. අහෝ.. ලංකාව වැනි නොදියුනු තුන්වන ලෝකයේ රටවල ලොව පහළම මට්ටමේ විශ්ව විද්‍යාලවල පමණක් ඇති රැග් එක ගැන එවන් පහළම මට්ටමේ ආකල්ප ඇති කෙනෙකුගේ දැක්ම. කිසිදු හේතුවක් නිසා කිසිවෙකුට කායිකව හෝ වාචිකව හානිකිරීමට කිසිවෙකුට අයිතියක් නැත.
    ප.ලි. : මේක ලියන මමත් කැම්පස් ගියා

    ReplyDelete
    Replies
    1. //කිසිදු හේතුවක් නිසා කිසිවෙකුට කායිකව හෝ වාචිකව හානිකිරීමට කිසිවෙකුට අයිතියක් නැත.//
      ඔබ දැන් කර ඇත්තේද එවැන්නක්ම නිසා වැදි බණ දෙසීම වනාහි යල්පැන ගිය සංකල්පයක් බව කිව යුතුය. අඩුම තරමේ තමන්ගේ අනන්‍යතාවයවත් හෙළිකර තමන්ගේ මතය දැක්වීමට ඔබට ශක්තිය ලැබේවා යැයි පතමි.
      අන්න ඒකයි පුතේ රැග් එකෙන් ඔබට නොලැබුණ දේ :P :P

      Delete
    2. ඇයි රැග් එක නිසා හොඳ පෞරුෂයක් ගොඩනැගුණු ඔබගේත් මේ තිත්ත ඇත්ත නිසා සිත රිදුණාද? රැග් එක නිසා ඔබේ පෞරුෂය ගොඩනැගී නැති හැඩයි.රැග් ඇත්තේ ලංකාව වැනි දූපත් මානසිකත්වයක් ඇති නොදියුණු රටවල පමණි. දූපත් මානසිකත්වයෙන් ගොඩට එනු මැනවි.
      මෙහෙම තමාගේ අනන්‍යතාවය පෙන්නගෙන බ්ලොග් එකක් කරලා තමාගේ අනන්‍යතාවය පෙන්නගෙන කොමෙන්ට් කරන්න රැග් ඕනෙ නැහැ. එහෙමනම් එහෙම වෙන්න ඕනෙ ලංකාවෙ විතරයි. අම්මපා මෙහෙමත් සංකල්ප. :P :P.

      Delete
    3. මුලින්ම කියන්නට ඕන දේ තමයි මේ ලිපිය තිබෙන්නේ සිංහල භාෂාවෙන්. සරල සිංහලෙන් තිබෙන මේ ලිපියේ වචනාර්ථයෙන් කියන කතාව ටිකක් තේරුම්ගන්න. මොකද ඔබේ සිංහල භාෂාව සම්බන්ධයෙන් තියන නොදැනුවත්කමට නම් ඔබ ඉගනගත් උසස් අධ්‍යාපන ආයතනයේ වරදක් නොවෙයි. ඊළඟ එක //ඇයි රැග් එක නිසා හොඳ පෞරුෂයක් ගොඩනැගුණු ඔබගේත් මේ තිත්ත ඇත්ත නිසා සිත රිදුණාද? රැග් එක නිසා ඔබේ පෞරුෂය ගොඩනැගී නැති හැඩයි.// තර්කවලට හිත රිද්දගන්න තරම් සිඟිති පන්නයේ යනුවෙන් සිතිවිල්ලක් හදාගන්න තරම් ඔබගේ සිතුවිල්ල සිල්ලරනම් ඒක මගේ වරදක් නෙවෙයි. මම පිළිතුරු දුන්නේ ඔබ මතුකල අදහසේ න්‍යායාත්මක කොටසටයි. ලංකාව වැනි දූපත් මානසිකත්වයක් ඇති නොදියුණු රටක දියුණු පුද්ගලයින් වන ඔබට තර්කය සහ සැබෑව අතර වෙනස වටහාගන්නට බැරිවීම කණගාටුවක්. අනන්‍යතාවක් ඇතිව බ්ලොග් එකක් කිරීමට රචකයාට පෞරුෂයක් අවශ්‍යයි. ඒ පෞරුෂය නැති නිසා නෙවෙයිනම් ඔබ අඥාත පදයකට මුවාවෙන්නේ ඒක ඉතින් සිත නිවා ගැනීමට මරු.
      අනිත් එක මෙි ලිපිය පුරාවටම මම රැග් එක වෙනුවෙන් සියයට සියයක් පෙනීසිටිනවා හෝ රැග් එක සියයට සියයක් හොඳයි කියලා ලියලා තියනවා කියලා ඔබට හිතෙනවනම් ඉතින් කලින් කිව්වා වගේ ඒක ඔබේ අවබෝධයේ අඩුවක් මිස සිංහල භාෂාවේ අඩුවක් නෙවෙයි.

      Delete