Oct 12, 2017

කෘත්‍රීම බුද්ධියකට පෙම් බැඳ... (Her)



අතීතයේ ඉඳලම මානව සම්බන්ධතා අතරේ ආදරය කියන හැඟීම,බැඳීම සම්බන්ධයෙන් තිබෙන්නේ බොහොම මටසිළුටු ආකල්පයක්. ඒ වගේම තමයි ආදයර කියන දේ ඇතිවෙන්න පුළුවන් ජීවීන් දෙදෙනෙක් අතර කියන සාමාන්‍ය සංසිද්ධිය පුරාතන,මධ්‍යතන වගේම පුනරුදය පසුකරලා එන නූතන යුගය තුලත් සාමාන්‍ය දෙයක් බවට පත්වුණා. ඒ අතරේ විවිධ සංකල්ප එක්ක, සත්ත්ව කොට්ටාශ එක්ක, ද්‍රව්‍ය එක්ක ආදරය බෙදාහදාගත්ත මිනිස්සු නොහිටායම නෙවෙයි. ඒත් කෘත‍්‍රීම බුද්ධියක් (Artificial Intelligence) සමග මිනිසෙක් පෙමින් බැඳීම කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතන්දරයක්.

2013 වර්ෂයේදී තිරගතවුණ අමරිකානු චිත‍්‍රපට අධ්‍යක්ෂක ස්පයික් ජෝන්ස් අතින් ලියැවිලා ඔහු අතින්ම සිනමා පටයක් බවටත් පත්වුණ Her චිත‍්‍රපටය පුරා දිවෙන්නේ කලින් කතාකරපු කෘත‍්‍රීම බුද්ධියක් හා මිනිසෙක් අතර ආදර කතාවයි. ඔස්කාර් සම්මාන උළෙලේ වසරේ හොඳම චිත‍්‍රපටය ඇතුළු සම්මාන ගණනාවක් මෙන්ම රටවල් ගණනාවක සම්මාන ගණනාවක් දිනාගන්නට සමත්වුණ මේ චිත‍්‍රපටය මානවයාගේ අභ්‍යන්තරයේ සැඟවුණු නොනිම් ආදරය ගැන කියාදෙන්නේ බොහොම අපූරු කතාවක්. තියඩෝර් කියන්නේ වෘත්තීයමය ලියුම් ලියන්නෙක්. ඒ කියන්නේ තමන්ගේ හිතවතුන්ට ලියුම් ලියන්නට,සැප දුක විමසන්නට කාලය අඩු පුද්ගලයින් වෙනුවෙන් ලියුම් ලිවීම සම්බන්ධයෙන් වෘත්තීය සිදුකරන පුද්ගලයෙක්. තමන්ගේ කුඩා කාලේ මිතුරිය එක්ක විවාහවෙලා අන්තිමේදී ඒ විවාහය දෙදරලා ගිහින් දික්කසාදයේ කෙළවර ඉන්න තියඩෝර් තමන්ගේ පුද්ගලික කටයුතුවල පහසුව වෙනුවෙන් මිලදී ගන්න අලූත්ම උපකාරක පරිගණක මෙහෙයුම් පද්ධතිය බොහොම තාක්ෂණයෙන් ඉහළ එකක්. සමන්තා කියලා තමන්ම හඳුන්වාදෙන ආකර්ෂණීය කාන්තා කටහඬක් හිමි මේ මෙහෙයුම් පද්ධතිය තියඩෝර්ගේ හැඟීම් අවබෝධකරගන්න පුළුවන් මට්ටමේ දියුණු පද්ධතියක්.


කෙටි කාලයක් ඇතුලත අදහස් හුවමාරු කරගැනීම එක්ක නොදැනුවත්වම තියඩෝර් කියන මනුෂ්‍යයා සහ සමන්තා කියන පරිගණක පද්ධතිය අතර ආදරයක් ගොඩනැගෙනවා. සමන්තාගේ ඇසුර,හඬ නැතිව ඉන්න බැරි තරමටම බැඳීම වර්ධනය වෙද්දි සමන්තා තියඩෝර්ට උපදෙස් දෙන්නේ නැවතත් හිටපු බිරිඳ එක්ක සමාදාන වෙන්න කියලා. නමුත් ඒ ප‍්‍රයත්නය අසාර්ථක වෙද්දි තියඩෝර් සමන්තාගෙන් තව තවත් ආදරය සෙනෙහස බලාපොරොත්තු වෙනවා. ඇමී නැමති තියඩෝර්ගේ යෙහෙළියත් විවාහය දෙදරා යාම නිසා දුකින් හිටිද්දි තියඩෝර්ගේ යෝජනාවක් අනුව සමන්තා වගේම පිරිමි හඬක් හිමි පරිගණක පද්ධතියක් ආශ‍්‍රය කරන්න පටන් ගන්නවා.

කාලයත් එක්කම සමන්තාට සහ තියඩෝර්ට මේ තත්‍ය සමාන බැඳීම (Virtual Relationship) කායික හා මානසික බැඳීමක් අවශ්‍ය වෙනවා. සමන්තා එයට පිළිතුරක් විදිහට වෙනත් තරුණියක් හරහා තියඩෝර්ට කායික බැඳීමක් ගොඩනගා ඇය හරහා සමන්තා තියඩෝර්ට ලංකරන්න උත්සහ කරනවා. නමුත් ඒ බැඳීමේ තිබෙන ආගන්තුක බව නිසා තියඩෝර්ට සමන්තා ගැන ඇතිවෙන්නේ තරහක් සහ කළකිරීමක්. තියඩෝර් ටික කාලයක් සමන්තාගෙන් ඈත්වෙලා ඉන්න උත්සහ කරනවා. පරිගණක පද්ධතිය එක්ක පවත්වපු ඇසුර නැතිව ඉන්න බැරි තරමට පත්වුණ තියඩෝර්ගේ උදව්වට එන්නේ ඔහුගේ යෙහෙළිය ඇමී, ඒ නිසා නැවත සමන්තා එක්ක සතුටින් කාලය ගතකරන්න පටන්ගත්ත තියඩෝර් සමන්තා තමන් එක්ක සම්බන්ධවෙන ජංගම පරිගණක උපකරණත් අරගෙන දුර පළාතක විනෝද චාරිකාවක් යනවා. ජීවිතේ කියන්නේ වෙනස්ම අත්දැකීමක් කියලා තියඩෝර් ඒ අතරේ තේරුම්ගන්නවා.

හදිසි යාවත්කාලීන කිරීමක් නිසා සමන්තාගේ මෙහෙයුම් පද්ධතිය තාවකාලිකව ක‍්‍රියා විරහිත වෙනවා. ඒ වෙන්වීම තියඩෝර්ට දරාගන්න බෑ. නැවත සම්බන්ධවෙන සමන්තාගෙන් ඒකට හේතු අහන තියඩෝර්ට ලැබෙන පිළිතුර වෙන්නේ සමන්තා වැනි කෘත‍්‍රීම බුද්ධියක් ඇති පරිගණක පද්ධති මේ විදිහට කාලෙන් කාලෙට යාවත්කාලීන කරන්නේ ඒවා පරීක්ෂණ මට්ටමේ තිබෙන නිසා කියන එකයි. සමන්තා එක්ක වෙන් වෙන්න බැරි තරමට තදින් බැඳීමක් නිර්මාණය කරගෙන ඉන්න තියඩෝර්ට තමන්ගේ සතුට සැනසිල්ල ගැන එතන ඉඳන් දැනෙන්නේ අවින්ශ්චිතතාවක්, නැතිනම් තවත් පැත්තකින් අහිමිවීම ගැන බියක්. දවසක් තියඩෝර් ගමනක් යමින් හිටිද්දි විසන්ධිවෙන සමන්තාගේ හඬ නැවත ඔහුට ඇහෙද්දි සමන්තා තියඩෝර්ට කියා සිටින්නේ තමන් තියඩෝර් වගේ තවත් දහස් ගණනකට සේවය සපයමින් ලඟින් ඇසුරු කරන බවත්, එයින් සිය ගණනක් එක්ක ආදරය කරනවා කියන එකයි. මේ කතාවෙන් බරපතල විදිහට කම්පනයට පත්වෙන තියඩෝර් පාරේ වාඩිවෙලා ඔළුවේ අතගහගෙන ඒ වේදනාව ඉවසන්න උත්සහ කරනවා.

කොහොමවුනත් තියඩෝර් විශ්වාසකරපු විදිහටම ටික කාලෙකින් සමන්තාට සිද්ධවෙනවා තියඩෝර්ට සදහටම ’යන්නම්’ කියලා මැකිලා යන්නට. සමන්තා වැනි උපකාරක පරිගණක මෙහෙයුම් පද්ධතිවල සංවර්ධන කටයුතු නවත්වන්න එහි නිර්මාණකරුවන් තීරණය කරපු නිසා සමන්තා නැති පාඩුව දරාගෙන ජීවිතේ ඉදිරියට ගෙනයන්න තියඩෝර්ට වෙනවා. ඒත් සමන්තා යන්න කලින් තියඩෝර් විසින් ලියපු හොඳම ලිපි රැසක් එකතු කරලා පොතක් මුද්‍රණය කරන්න පවා කටයුතු සූදානම් කරලයි යන්නේ. සමන්තා සහ තියඩෝර් අතරේ බිහිවෙන සීමා බන්ධන ඉක්මවූ ආදර කතාවේ කෙළවර තියඩෝර් බොහොම සංවේදී පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඒ වගේම Her චිත‍්‍රපටය කියාදෙන අපූරුම පාඩම තමයි ආදරය යනු ජීවීන් දෙදෙනෙකු අතර ඇතිවෙන බැඳීමක් නොව හැඟීම් සමග කරන සංවේදී ගනුදෙනුවක් බව.

ඇමරිකානු ඩොලර් මිලියන 47ක වාර්තාගත ආදායමක් ලෝකය පුරා තිරගතවෙමින් උපයපු මේ චිත‍්‍රපටය බොහොම සරල කතාන්තරයක් ඇතුලේ සංකීර්ණ බැඳීම් සමුදායක් ගැන කතාකරන්න ගත්ත උත්සහයක්. ඒ වගේම බොහොම තියුණු රංගනය, නිවුණු සංගීතය වගේම ආකර්ශණීය රූපරාමු එක්ක පරිපූර්ණ සිනමා නිර්මාණයක් කියලා බය නැතිවම කියන්න පුළුවන්.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර
("ඉවුර" අතිරේකය ඉරුදින පුවත්පත 2015.07.17)

2 comments:

  1. මම ෆිල්ම් එකක් බැලුවා නම මතක නෑ. ඒකෙදි රොබෝ කෙල්ල කෝම හරි කොල්ලව රවට්ටල ආදරය කරනව කියල පෙන්නල ගුහාවෙන් පැනල ලෝකෙට යනවා. ඒකේ දෙවෙනි කොටසකුත් ඒවි කියල හිතෙනවා. නම මතක නෑ නේ අම්මප.. ඒකේ..

    ReplyDelete