දැන් සති දෙකක පටන් සරසවි ඇදුරුතුමන්ලා වර්ජනයේ නිරත වෙමින් සිටී. ඉල්ලීම වැටුප් වර්ධනය කිරීමයි. පලමු පියවර ස්වේච්ඡා තනතුරු වලින් ඉල්ලා අස්වීමයි. දෙවැනි පියවර සියලු අධ්‍යයන කටයුතු වලින්ද ඉවත් වීමයි. එය අදටත් එසේමය.උසස් අධ්‍යාපන ඇමතිතුමන්ද මේ ආරවුල ලිහන්නට මැදිහත් වන පාටක් ඇස් මානයේ නොමැත. අවුලෙන් අවුලට පත්කරනවා මිසක් තවමත් නිසි විසදුමක් නැත. මගේ මතය නම් අතීසාරයට අමුඩ ගසා වැඩක් නැත. ඒ අතර රජය මැයි මස වැඩ නොකල ආචාර්යවරුන්ට පඩි නොගෙවන බවද කියා ඇත. එසේනම් මේ මාසේ ආචාර්යවරුන් තවත් කුපිත වන බව නම් සහතිකය. එහෙත් තවමත් සංවාද මිස ක්‍රියා නැත. හරියටම කියනවානම් විසිල් පමණය...බල්ටි නැත..
පසුගිය වසර ගණනාවක් තුල සරසවි සිසුන් ඉහේ කෙස් ගණනට පිකටින් කලහ. සත්‍යග්‍රහ කලහ.පන්ති වර්ජන විභාග වර්ජන කලහ. ඒ සිසු අයිතිවාසිකම් දිනාගන්නා අටියෙනි. පුරුද්දක් ලෙස ඔවුන් එම සියලු ක්‍රියාමාර්ග ගැනීමට පෙර ආචාර්යවරුන්ද දැනුවත් කලහ. බහුතරයක් ආචාර්යවරුන් පවසා තිබුණේ හරියට ඉගන්ගත්තොත් ඉබේම අයිතිවාසිකම් ලැබෙන බවත් පිස්සු නටන්නේ නැතිව ඉගන් ගනිල්ලා යන්නත්ය. සරසවි සිසුන් කරබාගෙන යන්නට ඇත. පුරුදු පරිදිම තම අයිතීන් වෙනුවෙන් දේශපාලන අතකොලු ලෙස හෝ ස්වාධීන මතාධාරීන් ලෙස වර්ජන හෝ උද්ඝෝෂණ කරන්නට ඇත. ආචාර්යවරුන් දේශනශාලාවලට පැමිණ ළමයි නොමැති බැවින් විසිල් පාරකුත් ගසාගෙන කැන්ටිම දෙසට හෝ තම කැබින් එකට යන්නට ඇත. එසේ ගොස් වාර්තා පොතේ තඩි අකුරින් මේසේ ලියන්නට ඇත "සිසුන් දේශනයට සහභාගී නොවුණු බැවින් දේශනය නොපැවැත්වුණි" එසේ ලියා පාඩුවේ ඉන්නට ඇත.
අද සරසවි ඇදුරනට පඩි මදි විය. එවිට අයිතිවාසිකම් සිහිවිය. අහුමුලුවල මකුළු දැල් බැදී තිබුණු පරණ බෝඩ් ලෑලි ටික ප්‍රතිසංස්කරණය කරගෙන මළකඩකමින් ජරාජීර්ණව තිබූ නිදහස් සරසවි ඇදුරු මතය හිතට අරගෙන දැන් සිය අයිතිවාසිකම් වෙනුවෙන් රටටම කෑ ගසති. දැන් සිසුන් දේශන ශාලාවලට එනවා ඇත. දේශන ශාලා පිරී ඉතිරී ගියත් ගුරු අසුන හිස් බැවින් මද වේලාවකට පසු ශාලාවෙන් පිටව යනවා ඇත. කැන්ටිමට ගොස් හෝ බැම්මක් මතට ගොස් හිතනවා ඇත. ලොග් සටහන් තබන්නට නැත. විවේචනත් නැත. ඇදුරු අයිතිවාසිකම් කොතරම් ඉහලද සිසු අයිතිවාසිකම් වලට වඩා.
සරසවි සිසුන් අරගල කරන්නේ දේශපාලන අතකොළු ලෙසය. ඔවුන් සිටිය යුත්තේ දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉස්කොලේ දරුවන් ලෙසය. එය ඇත්තය එසේ නොකලොත් දඩුවම සැරය. අධ්‍යාපන ධවල පත්‍රිකාවෙන් නොවැසුනු පුද්ගලීකරණ අවතාරය නැවතත් භෞතිකමය ලෙසින් පැමිණ ඇත. සරසවි ඇදුරන් අයිතිවාසිකම් දිනාගත්තාවේ. සරසවි සිසුන් ඉගන්ගත්තාවේ. සරසවි ඇදුරන් ද සහභාගීවන පෞද්ගලික පාඨමාලා වැජඹුනාවේ. අයිතිවාසිකම් පැත්තක තබා තරගයට දුවනවා හැරෙන්නට කරන්නට යමක් නැත. අනාගත පරපුරේ අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන්නට ගියොත් වන්නේ වර්තමානයේ තමන්ගේ අධ්‍යාපනය නැතීවීම හා දුවන මැරතන් එකේ අන්තිමයා වීමය. එම කැපවීම කර වැඩක් නැත. ගුරුවරුන් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන කල බලා ඉදීම ඇර සරසවි සිසුන් වෙන කුමක් කරන්නද?
No comments:
Post a Comment