Nov 19, 2011

මොටාගෙදර කවි මඩුව (පොදුරද මඩුලු උළෙල)


ස්ථානය - මොටාගෙදර ග්‍රාම සංවර්ධන සමිති ශාලාව
මුලසුන- උඩඅපරැක්කේ චන්ද්‍රානන්ද ස්ථිවිර

මුලසුන:

තිසරණ සරණ ලැබගෙන සිරිමත් කවි පබඳ
අද සැම පිළිගනිමි බැතියෙන් පිරුණ හද
පසුගිය දිනක නොලැබුණු සිරිලක වෙතඳ
පොදුරද මඩුලු තරඟය ලැබුණානම් හොඳද

මොටාගෙදර දොන් ජනරබෙල් කවියා:

සිටියානම් හොඳයි හම්බන්තොට බිමෙහි
දිනුවානම් හොඳයි තරඟයෙ ලංසු එහි
කෙරුවානම් ජයයි පොදුරද මඩුලු මෙහි
ලැබුණානම් සිරිය පරදයි කැන්ගරු බිමෙහි


වෙහෙරහේන් කරුණාවතී කිවිඳිය:

කෝටි ගණන් වැය කරමින් මහජන පවට
තව තව වැයකරනු පොදුරද මඩුලු තරඟට
දෙවියන් බැලු නිසා මහදන දෙස නිසි කලට
ලැබුණානම් වෙන්නේ කබලෙන් පැනුමට ලිපට

මාකාවිට සිරිසේන කවියා:

වැයකර මුදල් මිස බැහැ හදනට මෙමග
පොදුරද මඩුලු තරඟෙද සුබ නිමිති අග
අභිමන් ලබා තැබුවානම් එය තෙඳඟ
දන්නෝ දනිති රට හඳනා ගමන් මග

මාළගොඩ රත්නවීර කවියා:

කරුණා කිවිඳි කිව් ලෙස අප රට ගැන එලෙස
දන්නෝ දනිති ගහනා ගැහිලි හැමලෙස
තව තව ගසා කන්නට ගෙනැවිත් මෙලෙස
පැරදුණු එක හොඳයි පොදුරද පිල්ලි ගස

මොටාගෙදර දොන් ජනරබෙල් කවියා:

කන්නේ ගසා හැමතැනකින් රජය නොවේ
රත්නවීර දනි එය පන්සල කෑව බවේ
තම මිම්මෙන් මනිනු නොහැකිය රටේ සුවේ
සංවර්ධනය එක රැයකින් පහල නොවේ

මාළගොඩ රත්නවීර කවියා :

පන්සල කෑවේ මා නොවේ නුඹ එය දැනගන්
දොන් ජනරබෙල් ඇබිත්ත කොලුවා එමගින්
රට ගොඩගන්න සටනට බැස අප සමගින්
එරෙහිවව් එක හඬකින් මෙන් අප අභිමන්

මුලසුන:

පොදුරද මඩුලු තරඟය ලැබුමෙන්  වාසි
වෙයිදෝ දනී රට තුල සිටිනා හැම වාසි
පාඩුත් වේය මුදලින් කියනා වෙහෙසි
පාරෙන් පිට නොපනිනු හිතවත් කවි දෝසී

වෙහෙරහේනේ කරුණාවතී කිවිඳිය:

කෝටි ගණන් වැයකර සංදර්ශන තබනු කෙසේ
බඩවියතත් නැතුව දනන් කෑමොර සන් දෙද්දි මෙසේ
ලොකු රටවල් කරනා සේ ඒ වැඩ අප කරනු කෙසේ
පැන්ෂන් ගෙවන්නට බැරි මුන් මේවා අද කරනු කෙසේ

මාකාවිට සිරිසේන කවියා:

පොඩි බව අමතක කර නැගිය යුතුය නගේ
මේවන් තරඟ වලිනුත් රට වැඩිය අගේ
සිරිලක් හදින් එකලෙස ආසිරි පතමු මගේ
හදනට රටක් පියවර මෙය විය යුතුය නගේ

මුලසුන:

පොදුරද මඩුලු තරඟය දැන් එය අමතක කරමු එසේ
කවියෙන් පමණි හටනක් එය නිතර සිතේ රඳමු තොසේ
මොටාගෙදර කවි සංසඳ නගන ලෙසින් යලිත් මෙසේ
හමුවෙමු ලඟදි දිනකදි කවි පොකුරු අරන් පුරුදු ලෙසේ

7 comments:

  1. දේස පාලුවන් නම් මළ අැණයක්ය
    කලොතින් යමක් එයනම් ගිනි ගෙඩියක්ය

    ReplyDelete
  2. kalakin honda kavi pada tikak asuna

    ReplyDelete
  3. හිටිවන කවිවලත් හරි අපූරු සංස්කෘතියක් තියෙනවා නේද? මං හරි ආසයි.. :)

    ReplyDelete
  4. @තනි අලියා-ඇණයක් විලස කෙලෙසින් සිටියත් මිතුර
    ඹවුනුත් හොඳය ගෙතුමට කවිවැල් නිතර

    @ඇනොනිමස්-බොහොම ස්තූතියි යාළුවා..දිගටම යයි මේක

    ReplyDelete
  5. @අයේෂා - ඔව් ඔව් නංගි..හරි අපූරු අනන්‍ය සංස්කෘතියක්..වර්තමානයේ විරල වුනත්

    ReplyDelete
  6. කවි පද ගෙතුම විතරක් කරනට හැකිය
    ගිණි ගෙඩි හැරණු කොට උන් කල වැඩ නැතිය

    ReplyDelete