Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Sep 27, 2011

ජාතික ගීය ජාතියේම හදගැස්ම බැවින්..

මින් පෙර ලක්බිම ඉරිදා සංග්‍රහයට පරාක්‍රම කොඩිතුවක්කු මහතා විසින් "හද බසින් ජාතක ගීය ගැයීම වරදක්ද?" මැයෙන් ලියූ ලිපියට පිළිතුරු ලිපියක් ලිවීමට අදහස් කලේ කරුණු කීපයක් පාදක කරගෙනය. වර්තමානයේ මාධ්‍යවල තාක්ෂණික ක්‍රමවේදයන්ට පින්සිදු වෙන්නට පුවත් ලොවපුරා ව්‍යාප්තවීමට ගතවන්නේ ඉතා සුළු කාලයකි. මේ දිනවල ශ්‍රී ලංකාවේ ජාතික ගීය නැමති මාතෘකාව වසර කීපයකට පසු නැවතත් විවාදයට බඳුන්වන ලෙසින් කල එළි බසින්නේ ජාතික දේශපාලන වටපිටාවත් උණුසම් මොහොතකය. වර්තමාන ජාතික ගීය සම්බන්ධ ගැටළුවට හේතුව ලෙස දකින්නේ ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනය කල යුතු බවට රජය සම්මත කරගැනීමට උත්සහ කරන පනතත් සමගය. පුරුදු පරිද්දෙන්ම මේ සඳහා පක්ෂ, විපක්ෂ මෙන්ම මධ්‍යස්ථ මතධාරීන් පිරිසක් මේ වනවිට දස්කම් පාමින් සිටිති. කෙසේ වෙතත් මහා පරිමාණ ප්‍රශ්නයක් වූ ත්‍රස්ත උවදුර අවසන් කිරීමෙන් පසු විසඳුම් සොයන ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීමේ නිරතවන රජයක් විසින් කලයුතු දේවල් හා නොකල යුතු දේවල් පිළිබඳව පරාක්‍රම කොඩිතුවක්කු මහතාගේ ලිපිය ඇතුලුව අනෙක් පෙර ලිපිවල සඳහන් විය.


   ද්‍රවිඩ හෝ මුස්ලිම් වැනි සුළු ජාතික කොටස් ලවා ජාතික ගීය වරද්ද වරද්දා හෝ සිංහලෙන් ගායනයට යොමුකර මානසික වින්දනයක් ලැබීමට රජයට හෝ වෙනත් කිසිඳු පාර්ශවයකට අවශ්‍යතාවක් ඇතැයි විශ්වාස නොකරමි. ශ්‍රී ලංකා මාතා අප ජාතික ගීය යනු අපේ රටේ ප්‍රධාන අනන්‍යතාවකි. ලොවපුරා එය වයන විට ඇසෙන්නේ අප හදවතේ රිද්මයයි. එම රිද්මයෙන් එය වැයෙන විට භාෂාව අපට අදාල නොවේ. ආනන්ද සමරකෝන් ශූරින් මේ ගීතයේ අන්තර්ගතය මගින් සිරිලක් බිමේ සියලු ලකුණු සම්පිණ්ඩණය කර එක් ගීයකට මුසුකර ඇත්තේ ඒ අනන්‍යතාවයි. සිංහලෙන් ගැයුවද, දෙමළෙන් ගැයුවද, ඉංග්‍රීසියෙන් ගැයුවද ඒ හඬෙන් පිටවන්නේ ලාංකීයඅභිමානය මිස කොඩිතුවක්කු මහතා කී ලෙසම භාරතයේ හෝ බිරිතානියේ අභිමානය නොවේ. එය පිළිබඳව සිතා බැලුවත් මේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන්ම සොයාගත හැක.

   නමුත් පරිවර්තිත ජාතික ගීයක් නිර්මාණය වන විට එය මේ රට තුල තිබෙන අනෙක් සෑම භාෂාවකටම පරිවර්තනය වියයුතුයි යන ප්‍රති තර්කයද නැගිය යුතුමය. අතීත ගැටළුවම ඇතිවේයයි බියෙන් හෝ සැකයෙන් එක් භාෂාවකට හෝ දෙකකට පමණක් එය පරිවර්තනය කිරීම පිළිගත නොහැක. එය පරිවර්තනය කරන්නේනම් අනෙක් භාෂා භාවිතා කරන්නන්ට සාධාරණයක් ඉටුවිය යුතුය. අමාත්‍ය වීරවංශ මහතා උපහාසයට මෙන් පැවසූ පරිදි ආදිවාසී ජනයාට හිමි වැදිබසටද පරිවර්තනය කල යුතුය. නොඑසේනම් සංඛ්‍යාත්මක වශයෙන් කුඩා වූවත් ඔවුන්ට කරන්නේද අසාධාරණයකි. සැමවිටම තමන්ට අනන්‍ය ආදිවාසී බස්වහර භාවිත කරන ඔවුන් වැනිම තවත් සුළු ජනකොටස් විශාල ප්‍රමාණයක් ලංකාව තුල වෙසෙන බව අප අමතක නොකල යුතුය.

  ජාතිකත්වය යන්නට හදවතින් අර්ථකථන දිය යුතුය. හදවතින් ජාතික ගීය ගයන්නටනම් තමන්ට හුරුපුරුදු බස මිස නුපුරුදු අන්බසක් කෙලෙස යොදාගත හැකිදැයි අසන පැනයට පිළිතුර නම් තම බසින් තබ රටේ ජාතික ගීය ගායනා කල යුතුය යන්නයි. අවාසනාවකට හෝ වෙනයම් හේතුවකට ලෝකයේ බහුතරයක් රටවල මෙය සිදුනොවේ. විශේෂයෙන්ම භාෂා අතිවිශාල සංඛ්‍යාවක් භාවිතා වන ඉන්දියාවේ පවා ජාතික ගීය වැයෙන්නේ එකම භාෂාවකිනි. බුදුන් නූපන් මුත් බුදුන් වැඩි දේශයේ උපන් අපි ..නමෝ තස්ස භගවතෝ...ලෙසින් ගාථා කියමින් නමස්කාරය කරන්නේ ලොව්තුරු බුදුන්ටය. මෙය සිංහලට පරිවර්තනය නොවුනා කියා එම භක්තියේ අඩුවක් නොමැතිවන්නා සෙයින්ම ජාතික ගීයේ ස්වරයටද එම බැතිබර භාවිතයම යෙදෙන්නේය. එම නිසා ...නමෝ නමෝ මාතා...කිව්වත්....නමෝ නමෝ තායේ...ලෙසින් ගායනා කලත් ගැයෙන්නේ එකම රටක අභිමානයයි. ගරුකරන්නේ එකම රටක ධජයකටයි. එය නීතියකින් සීමාකිරීම යහපතක් අත්වෙන පියවරක්දැයි දෙවරක් නොව කීපවරක්ම සිතාබැලිය යුතුය.

   උදානි ජයසුන්දරගේ ලිපිය සැබවින්ම ප්‍රශ්නාර්ථයක් මතුකරන්නේ ජාතික ප්‍රශ්නය නිරාකරණයනට ගන්නාවූ විවිධ පියවර සාර්ථක මෙන්ම අසාර්ථක වන සමයකය. තමන් සතු චින්තන පරාසය මත ගැටෙන්නාවූ යථාර්ථය නැමති කිරණ තුලින් ඇය දකින්නේ තවමත් මහජාතිය හා සුළු ජාතීන් යන සංකල්පය අතුගා දැමීමේ උත්සහයක් සිදුනොවන බවය. එය මා දකිනා අයුරුයි. නමුත් අපේ ජාතිකත්ව සංකල්පයට පහර දෙන බටහිර  රටවල් කිසිදිනෙක සිය රටවල් අභ්‍යන්තරයේ සමජාති සංකල්පය ක්‍රියාත්මක කර නොමැතිවීම අරුමයකි. 

   හද බසින් ජාතික ගීය ගැයීමට වරම් අහිමි නොකරනු යන මතය මෙන්ම ජාතික ගීය විවිධාංගීකරණය නොකරනු යන මතයත් තුලාවක දමා මිනුම් කිරීමක් යෝග්‍ය නොවේ. අප සතුටු විය යුත්තේ තමන් දන්නා හෝ හදවතට ලඟම නෑකම් දක්වන්නාවූ බසකින් ජාතික ගිය ගායනයට සමස්ත සිරිලක්වාසීන් සූදානමින් සිටීමයි. කලෙක පටන් අපතුල පැවති සිහිනය යථාර්ථයක් වීමට භාෂාව හරස් කර නොගත යුතුය. කෙදිනක හෝ ජාතික නිදහස් දිනයක සිහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඇතුලු සියලුම ජාතින් එකම තැනක සිට එක හඬකින් ජාතික ගීයේ අභිමානවත් නාද රටාවට ගීය ගායනා කරාවි ඔවුන්ගේ හදබසින්. භාෂාව කුමක් වූවත් එහිදී ගැයෙන්නේ අපේ ලංකා ජාතික ගීය මිස ජනවර්ගයක ප්‍රශස්තියක් නොවන බැවින් අපට දකුණත ළය මත තබා එයට අත්වැල් ඇල්ලිය හැකිවනු ඇත.

- මා විසින් ඉරිදා ලක්බිම පුවත් පතට ලියූ ලිපියක්  ඇසුරින් - 

4 comments:

  1. මගේ අදහස නම් ජාතික ගීය සිංහල බසින් ගැයීම හොදයි.අනික ජාතික ගීයෙ අර්ථය හොදින්ම අපිට තේරෙන්න අපේ මව් භාශාවෙන් ගයන කොටනෙ.අනිත් රටවල එහෙම වෙන වෙන භාශාවලිනුත් ජාතික ගීය කියනවද කියල නම් මම දන්නෙ නෑ.

    ReplyDelete
  2. අදහසට බොහොම ස්තූතියි නංගි. අපේ හදබස සිංහල නිසා එය අපට ලඟයි. ඉන්දියාවේ ජාතික ගීය තිබෙන්නේ උර්දු බසින්..උර්දු බස ඉන්දියානු ජාතික බස නෙවෙයි..මා දන්නා පරිදි

    ReplyDelete
  3. අද කුමක් සිදු වුයේද?

    ReplyDelete
    Replies
    1. අද සිදුවූයේද මීට වසර 59 කට පෙර, වසර 43කට පෙර සහ වසර 4කට පෙර සිදුවූ සිදුවීම් කීපයක දිගුවක් පමණි..නමෝ නමෝ මාතා හෝ නමෝ නමෝ තායේ නොව එක කොඩියක් යට හිටගෙන එක් ජාතික ගීයක් තමන්ට තේරෙන භාෂාවකින් ගැයීමට හැකි ජනතාවක් තුල මතුවන්නේ ජාතිවාදයද නැතිනම් බෙදුම්වාදයද යන්න තීරණය ඔබට බාරයි

      Delete