Mar 13, 2012

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය දේශපාලනයේ මළගම...



ලංකාවේ දේශපාලන වින්‍යාසයේ කලක් පැවතියේ කොට්ඨාශ ක්‍රමයට මන්ත්‍රී සභිකයන් තෝරාගන්නා ආකාරයටයි. අත්තනගල්ලනම් බණ්ඩාරණායකය, දැදිගම නම් ඩඩ්ලිය, වැලිගමනම් මොන්ටෙගු ජයවික්‍රමය, අකුරැස්සනම් දොස්තර එස්.වික්‍රමසිංහය මෙවැනි ප්‍රදේශයට වගකියන හා ප්‍රදේශයේ ජනතාව අතර රැඳෙමින් ජනතා සිත්සතන් මතින් සභාවට ගිය ජනතා නියෝජිතයන් මත අතීතයේ සුන්දර මෙන්ම රටට හා ජනතාවට වැඩක් කෙරුණු මැතිවරණ ක්‍රමයක් විය. බොහෝ විට මේ කොට්ඨාශ ක්‍රමය නිසා තේරී පත්වුණේ අදාල ප්‍රදේශයේ ජනතාව බෙහෙවින් හඳුනන මෙන්ම,ජනතා විශ්වාසය දිනාගත් කෙනෙකි. ඒ විතරක් නොවෙයි තමන්ට මැතිවරණ කටයුතු සිදුකල යුත්තේ දැනට ආසනයක් යනුවෙන් හඳුන්වන කොටස වැනි උපරිම විශාලත්වයකින් යුතු කොටසක බැවින් අඩුම පිරිවැයක් දරමින් පාගමනින් මැතිවරණ කටයුතු කල සුන්දර ආකාරයෙන් මෙන්ම විටක ඉතාමත් දැඩි තරඟකාරිත්වයක් යටතේ ජයගත හැකි වටපිටාවක් විය. අද වැනි විෂම හා අප්‍රියජනක වටපිටාවක් එම ක්‍රමය යටතේ නොවීය.


    නමුත් ලංකා දේශපාලනයේ ප්‍රතිසංශෝධනවාදියා හා උපක්‍රමශීලී දේශපාලඥයා ලෙසින් නම් ලද ජූලියස් රිචඩ් ජයවර්ධන මහතාගේ මැතිවරණ ප්‍රතිසංශෝධන පනත බලාත්මක කිරීම නිසා කොට්ඨාශ ක්‍රමයේ අභාවය සිදුකරමින් කරලියට එන්නේ සමානුපාතකි මැතිවරණ ක්‍රමයයි. මෙම ක්‍රමය ලංකා ඡන්දදායකයින්ට මෙන්ම අපේක්ෂකයන්ටත් අලුත් ක්‍රමයක් වූවත් මෙම මනාප බලුපොරයට ලංකාවේ දේශපාලඥයන් පිවිසෙන්නේ මුදල්, මැර බලය, අප්‍රියජනක උපක්‍රම වැනි බොහෝ දේ භාවිතා කරමින්ය. බල්ලෝ මරා හෝ සල්ලි හොයන සමාජ ක්‍රමයක් තුල එකෙක් දෙන්නෙක් මරා හෝ ඡන්දය දිනන වටපිටාවකට මේ රට පත්වීම සිදුවුනි. මනාප බලුපොරයට පිවිස අහිමි වූ ජීවිත ගණන ඉතා විශාලය. ආණමඩුව මැතිවරණය, 2001 මැතිවරණය, පසුගිය පලාත්පාලන මැතිවරණය වැනි අවස්ථාවලදී නැවත නැවත මතුවූයේ මේ දෙයමය.

       රටේ අවාසනාව ඵලදරමින් මේ ක්‍රමය ප්‍රාදේශීය දේශපාලනයට අරක් ගත්තේ අද ඊයෙක නොවේ. එහෙත් එය කූටප්‍රාප්තිය සිදුවූයේ පසුගිය පලාත් පාලන මැතිවරණයේය. අතීතයේ දේශපාලනයට පිවිසියේ  සමාජයේ වැදගත් නමක් හා උගත්කමක් තිබූ දේශපාලන දැනුමකින් මහජන සේවයට උත්තරීතර වරමක් අපේක්ෂාකල ඇත්තන් පමණි. වර්තමානයේ එය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් දේශපාලනයට අවශ්‍ය සුදුසුකම් ලෙස මුදල්, මැර බලය හා විලිලැජ්ජා නැති කම වැනි අංග ඉදිරියට පැමිණ ඇත. මුදලාලි කෙනෙක්නම් අනිවාර්යයෙන්ම මැතිවරණය ඉහලින්ම ජයගත හැකි මට්ටමකට පත්ව ඇත.

   එහෙත් පසුගිය පලාත් පාලන මැතිවරණයෙන් පසු ප්‍රාදේශීය දේශපාලනයේ මලගම සිදුවන්නේ ඉතාමත් අවාසනාවන්ත අයුරින්ය. ප්‍රාදේශීය දේශපාලන අධිකාරීවල ප්‍රධානීන් විදේශිකයන් ඝාතනය, ස්වදේශිකයන් ඝාතනය හා පැහැරගැනීම්, සභිකයන් ඉතා ඉහල ගණයේ අපරාධවලට හවුල් වීම (කහවත්ත සිදුවීමේදී පවා) ඉතිහාසයේ කිසිඳු දිනක සිදුනොවූ අභාග්‍යසම්පන්න සිදුවීම් දාමයකි. මෙය කෙළවරක් වේයයැ සිතිය නොහැකි මට්ටමක වේගයකින් වර්ධනය වෙමින් පවතී. තම පලාත් පාලන ආයතනයේ ප්‍රධානියාගේ මුහුණට ලිපිගොනුවෙන් ගසා යන මට්ටමට ප්‍රාදේශීය දේශපාලන ආයතන වලපල්ලට ගොස් ඇත.

     මෙයට ප්‍රධානතම හේතුව ලෙස දකින්නේ අධම දේශපාලන හෙන්චයියන්, මුදලාලිලා සහ දේශපාලන පැරිෂූට් කාරයන් සභිකයන් ලෙස එකතු වීමයි. ජනතාවගේ ඡන්දයෙන් කුමන හෝ අයුරකින් අද වැඩි වශයෙන් පාලන අධිකාරීවලට එක්වන්නේ ඉහත සඳහන් කල පාර්ශවයන්ය. දේශපාලන බුද්ධිය හා විනය අතින් සෘණ මට්ටමේ පසුවන මේ බහුතරයක් දෙනාට අවශ්‍ය වන්නේ කොන්ත්‍රාත් සහා සමාජ තත්වය පමණක්ම වේ. එපමණක් නොවේ මොවුන් සමාජයේ විවිධ තරාතිරම්වල නිලධාරීන්ටද අතපය දික්කරන්නේ මේ අධම නිනිදිත ගති විදහා දක්වමින්ය. පසුගිය දිනක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් එක්තරා ප්‍රධාන නගරයක ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දෙන්නටද යන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

    රටේ දේශපාලනය යන්නේ මේ අතටනම් පාලකයන් මෙන්ම ජනතාවද මෙය වටහාගෙන කටයුතු කල යුතුය. නොඑසේනම් මේ මළගම සිදුවන්නේ රටේ ජනතාවද සමූල ඝාතනය කරමින්ය යන තත්වයට පැමිණීම වැලැක්විය නොහැකිය.

8 comments:

  1. කෙසේවෙතත් දේසපාලනය යනු අපේ මළගම!

    ReplyDelete
  2. කතාව ඇත්ත.

    [ජේ.ආර්. ජුලියස් නෙමේ ජූනියස්]

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහත්මයා මාව නිවැරදි කලාට

      Delete
  3. ප්‍රාදේශීය දේශපාලකයා මෙතරම් පිරිහීමට හේතුව මම දකින විදියට මෑත කාලයේ ඔවුන්ට ලැබුනු වරප්‍රසාද. මට මතකයි ඉස්සර මන්ත්‍රී කෙනෙකුගෙ වැටුප රු.750යි. දැන් ඔවුන්ට ලැබෙන වරප්‍රසාදටික බලන්න,
    සභාපතිට වාහනයක් සහ අසීමිත බලය.
    මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත්.
    බොහෝදෙනා එන්නෙ කොන්ත්‍රාත් ටික බලාගෙන. ඔවුන් ඒ වැඩේ වත් හරියට කරන්නෙ නෑ. සල්ලි ගන්න ගියාම ප්‍රාදේශිය ලේකම්ලගෙ ඇගට ගොඩවෙනව. ඔක්කෝටමත් වැඩිය ඉහල තලයේ දේශපාලකයන්ගෙ සුරතලුන් වීම තුල ප්‍රාදේශීය දේශපාලකයාට පලිහක් හැදෙනව. ඉතිං මේවගේ වැඩ කරනඑක පුදුමයක්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිගේ වැටුප රු 10000 ක් හා මන්ත්‍රීගේ වැටුප රු 4000 යි නමුත් ගැටළු තියෙන්නේ ඒකේ නෙවෙයි.මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත් කිරීමට හැකිවීම හා තම සහචරයන්ට කොන්ත්‍රාත් ලබාදීම.එපමණක් නොවෙයි ඉහල දේශපාලඥයන්ගේ සුරතලුන් වීම හා ඔවුන්ගේ තේජස බලයෙන් පත්වීම හේතුවෙන් ඔවුන් දන්නවා ඔවුන්ට විරුද්ධව කිසිම පාර්ශවයක් එන්නේ නෑ කියලා. දැන් තනිකරම ඇඟේ හයියෙන් තමයි දේශපාලනය කරන්නේ.

      Delete
  4. දේශපාලනේ . . . තිත්ත සබ්ජෙක්ට් එකක් බං කතා කරන්න

    ReplyDelete
    Replies
    1. තිත්තයි කියලා නිශ්ශබ්දව හිටියොත් මේ නරුමකම්වලට විරුද්ධව පොදු මතයක් ගොඩනැගෙන්නේ නෑ සහෝදරයා.ඕනෑම විශාල මන්දිරයක් ඉදිවෙන්නේ එක උදලු පහරක ආරම්භයෙන්

      Delete