ඔබ ඇතැම්විට අද මම මේ ලියන කතා කොටස දන්නවා ඇති, නැතිනම් මම මේ ලියන සිදුවීම මීට වඩා වෙනස් ආකාරයකට ඔබ දන්නවා ඇති. ඒ කෙසේ වුනත් මම මේ කතාව ඉදිරිපත් කරන්නට හේතුව වන්නේ ඥාතීත්වය කියන එක කොතරම් ප්‍රබල බන්ධනයක්ද හා ඥාතීත්වය යන සංකල්පයේ අරුථ බුද්ධකාලීනව සමාජය පිළිගත් ආකාරය මෙන්ම බුදුවරයෙක් පවා ඥාතීත්වයට ගරුකල ආකාරය හා ඥාතීත්වය පිළිගත් ආකාරය මේ කතාවෙන් ඔබට පැහැදිලි වේවි.
කතාව මේකයි..බුද්ධ කාලීනව ජීවත් වුනු විඪූඩභ කියන කුමාරයාට කපිලවස්තුවේ ශාක්‍ය වංශික ජනයා සමග ජන්මාන්තර වෛරයක් පැවතුනා. එයට හේතු සාධක වුනේ විඪූඩභගේ මෑණියන්ට ශාක්‍යයන් කල මහා නින්දාවක් හේතුවෙන් තමයි. ඒ විඪූඩභගේ මෑණියන්ට ශාක්‍ය වංශිකයෙක් යැයි හඟවා අඩු කුලයක පුද්ගලයෙක් අවාහකර දීමයි. කෙසේ වෙතත් මෙම වෛරය පිරිමැසීමට පෙලඹුනේ විඪූඩභයි. ඔහු නිරතුරුවම සැලසුම්කලේ සේනා සංවිධානය කර කපිලවස්තු පුරය ඇතුලු ශාක්‍ය දේශය වන කිඹුල්වත්පුරයට පහරදී ශාක්‍යයන් පන්නාදමා බලය සියතට ගෙන සිය මාතාවට සාධාරණය ඉටුකිරීමටයි.
මෙලෙසින් සේනා සංවිධානය කල විඪූඩභ කුමාරයා ඉතා විශාල සේනාව සමග දිනක් කපිලවස්තුවට පහර දීමට පිටත්වුනා. කෙසේ වෙතත් ශාක්‍යයන් අතරින් ලොව ජනයාට විමුක්ති මාර්ගය පෙන්වා දීමට ලොව පිනට පහලවූ ශාක්‍ය සිංහ, අසරණ සරණ, අනාථ නාථ,තුන්ලෝකාග්‍ර,තිලෝතිලක බුදුරජාණන් වහන්සේ මෙම සිදුවීම දැනගත්හ. උන් වහන්සේ මේ මොහොතේ ඥාතීන්ගේ ගැලවුම උදෙසා ඉදිරිපත් වන්නට තීරණය කලේ විඪූඩභ අතින් වන්නට යන පාපය වැලැක්වීමට මෙන්ම මානුෂික හේතූන් මත ශාක්‍යයන් බේරා ගැනීමටත්ය. උන්වහන්සේ තනිවම කපිලවස්තුව ආසන්නයට වැඩම කර විඪූඩභ එන මග බලා සිටියහ.
විඪූඩභ සේනාවත් සමග එන මග වනසමින් හා ජනයා බිය වද්දමින් පැමිණෙන්නට විය. කපිලවස්තුවට ලංවත්ම විඪූඩභ හා සේනාව දුටුවේ ලොව්තුරු බුදුරදුන් තම ගමන් මග අසල පිහිටි විශාල අතු රහිත කුණාටු ලුණු මිදෙල්ල ගසක් යට සන්සුන් සුවයෙන් එරමිණියා ගොතාගෙන සුපුරුදු සිංහ සෙයියාවෙන් වැඩ සිටින ආකාරයයි. බුදුරදුන් නිතර අගයන හා බුදුරදුන්ගේ දහම අගයන ශ්‍රවකයෙක් වූ විඪූඩභ තම සේනාව නවතා මේ අරුම පුදුම දසුන නරඹන්නට විය. සාමාන්‍යයෙන් කිසිවෙකු අතුරහිත ගහක සෙවණේ රැඳී සිටීම අභව්‍ය සිදුවීමකි. ඇරත් බුදුරජාණන් වහන්සේ මෙවන් වූ තැනක වැඩ සිටීම ඉතාමත් විරල දෙයකි.විඪූඩභ වහා බුදුරදුන් අසලට ගොස් උන්වහන්සේට වැන්දේය. අනතුරුව බුදුරදුන්ගෙන් විමසන්නට වූයේ එක් කරුණකි
“බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ ඇයි මෙතරම් අතුවලින් ගහන හා විශාල සෙවණ හා සිසිල අධික වෘක්ෂ රාජයන් පිහිටි ඉසව්වක කොල රහිතව දිරාගිය ලුණු මිදෙල්ල ගසක් යට වැඩ සිටින්නේ...මට එය මහත් ගැටළුවක් ස්වාමීනී“
විඪූඩභගේ පැනයට බුදුරදුන් මදක් සිනාසී පිලිතුරක් දුන්හ.
“විඪූඩභ...මේ පෙදෙසේ විශාල සෙවණ හා සිසිල අධික වෘක්ෂ ඇති බවත් මේ ගස දිරා පත්ව කොළ රහිත සෙවණක් නැති ලුණු මිදෙල්ල ගසක් බවත් සත්‍යයි...“
“එසේය ස්වාමීනි..එසේනම් ඇයි ඔබ වහන්සේ මෙම ගස යටම වැඩ සිටින්නේ?“
“විඪූඩභ..මෙම ගස යට සෙවණ නැතිවුනත් මෙතනට කපිලවස්තුව දෙසින් හමන සුළඟ දැනෙනවා..ඒ සුලඟ තවමත් මට සමීපයි විඪූඩභ...“
බුදුරදුන්ගේ මෙම ප්‍රකාශය විඪූඩභට වහා වැටහිණි.බුදුන්වහන්සේ කපිලවස්තුවේ සුලඟ මතින් තම ඥාතීත්වයේ වටිනාකම යන්තම් හෝ සැලකර සිටීම හේතුවෙන් ශාක්‍යයන්ට පහරදීමට හිත හදාගැනීමට විඪූඩභ ට අපහසු විය. විඪූඩභ බුදුරදුන් පාමුල නමස්කාරය කර සේනාව සමග පිටත්ව යන්නට විය.
බුදුරදුන් පවා ඥාතීත්වය නිර්වචනය කල අන්දම හා ඥාතීත්වය වෙනුවෙන් කල කී දෑ බුද්ධකාලීනව හා පාලි අටුවා පරිශීලනයෙන් වඩාත් අධ්‍යයනය කල හැක. එහෙත් මේ කතාවේ පසුව කීපවරක්ම විඪූඩභ ශාක්‍යයන්ට පහරදීමට උත්සහ කිරීමත් බුදුරදුන් එය වැලකූ බවත් එහෙත් පසුව ශාක්‍යයන්ට විඪූඩභ අතින් විනාශවීමේ දරුණු කර්මයක් ඇති බැවින් බුදුරදුන් එයට ඉඩදුන් බවත් සඳහන් විය.එසේ අවසන් වූවත් එය බුද්ධකාලීන ඥාතීත්වය ගැන කියවෙන අපූරු කතාවක් බවනම්
සත්‍යය.
ඔබ නොකියා කියන්නේ බුදුන් වහන්සේත් එහෙමනම් වර්තමානයේ දක්නට ඇති එක පවුලක් කේන්ද්‍ර කරගෙන යන පාලනයත් යුක්ති සහගත බවයි යන්නද?
ReplyDeleteඑවැනි පටු අර්ථයකින් මේ අදහස ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ නෑ.මෙතනින් මම අදහස් කලේ ඥාතීත්වය කියන සංකල්පය සියලු බැමි අතහැරීමට ආසන්න බුදුවරයෙකුට පවා දැනුන ආකාරය පෙන්වා දීමට පමණයි.ඒ හේතුවෙන් තමයි මෙහි සඳහන් කලේ ශාක්‍යයන් ගලවාගැනීමට මානුෂික හේතුමත බුදුන්වහන්සේ ඉදිරිපත් වූ බව. එයින් පවුලක් කේන්ද්‍රකරගත් පාලනය යුක්ති සහගත බව හෝ බලය මධ්‍යගතකරණය සාධාරණබව කියවෙන ආකාරයක් මමනම් දකින්නේ නෑ.
Deleteඒ කාලෙත් සෑහෙන දුරට ඥාති සංග්‍රහය තිබිල තියෙනව එහෙනං
ReplyDeleteප්‍රේමතී ජායති සෝකෝ කියවුනෙත් ඒ කාලෙමනේ මහත්මයා..
Deleteඇත්ත නේන්නම්
Deleteමේ කතාව මෙහෙම තමයි වුනා කියන්නේ.
ReplyDeleteකෝසල දේශයේ අධිපති පසේනදී කෝසල රජතුමාට ශාක්‍ය වංශිකයන් එක්ක නෑකමක් හදාගන්න අවශ්‍ය වුනා. මොකද එතකොට තමනුත් බුදු හාමුදුරුවන්ගේ නෑයෙක් වෙන නිසා. ඒ අනුව ශාක්‍ය කුමරියක් තමන්ට විවාහ කරදෙන්න කියලා ඉල්ලුවත් ශාක්‍යයන්ගේ තියෙන මානය නිසා තමන්ගේ කුලයෙන් පිට විවාහෙකට ඔවුන් කැමත් වුනේ නැහැ.
ඒත් කොසොල් රජතුමා බලවත් අයෙක් නිසා ඔවුන් කලේ මහානාම කියන ශාක්‍යයාට දාව දාසියෙක්ගෙන් උපන් වාසභඛත්තියා කියන කුමරිය කොසොල් රජතුමාට සරණ පාවාදීම. මේ දෙදෙනාගේ පුතා තමා විඩූඪභ.
එයා තරුණ වියේදී තමන්ගේ මවගේ පාර්ශවයේ නෑයෝ බලන්න ඇවිත් ආපසු යද්දී එයාගේ භටයෙක් කඩුවක් අමතක වෙලා දාලා ඇවිත් ඒක ගෙනියන්න ආපහු ආවා. ඒ වෙලාවේ භටයා දැක්කා විඩුඪභ වාඩිවුණු පුටුව දාසියක් කිරිවලින් හෝදනවා "දාසියගේ පුතා වාඩිවුණු පුටුව" කියලා ඇනුම්පද කියමින්.
මේ සිද්ධියත් එක්ක කරුණු හොයලා බලලා කෝප වුණු විඩූඪභ කරන්නේ ශාක්‍යයන්ගේ ලේවලින් මේ පුටු හෝදනවා කියලා හිතා ගන්නවා.
පස්සේ දීඝකාරායනගේ කුමන්ත්‍රණයකින් තමන්ගේ තාත්තා වුණු කොසොල් රජතුමාව බලයෙන් පහ කරලා රජවුණු විඩූඪභ සේනා අරගෙන එද්දී තමා බුදු හාමුදුරුවන්ව හමුවෙන්නේ.
එතන ඉදන් කතාව හරි. මේ විදිහට බුදුන් වහන්සේ කීප වාරයක් සමූල ඝාතනය වැලැක්කුවත් අන්තිමට තුන්වෙනි වතාවේ ඒක කරන්නේ නැහැ.
ඒකට හේතුව තමා පෙර භවයක ධීවරයන් විදිහට කටයුතු කරලා ශාක්‍යයන් කරගත්තු අකුසලය නිසා. අන්තිමට විඩූඪභ ශාක්‍යයන් සමූලඝාතනය කරලා ලේවලින් පුටු හෝදනවා.
විඩූඪභ ආපහු එද්දී කරපු අකුසලයේ තරම පෙන්වන්න ගල්තලාවක් මතදී කරත්ත මඩේ එරුණා හා සමානව එරුණා කියලා තමා කියන්නේ. ඒ පාරවල් තාමත් තියෙනවා. අන්තිමට ගං ඉවුරක කඳවුරු බැන්ද විඩූඪභ සහ සේනා ගඟේ ඉහළට වැහැලා ඇතිවුනු ගංවතුරට හසුවෙලා මියයනවා.
මේ කතාවේ තව කොටස් තියෙනවා. සරලව කිව්වොත් ඕක තමා කතාව.