Mar 10, 2012

රසවින්ඳනයේ කුංකුම විල මත පිපි කාව්‍යමය අරවින්දය “ සඳැස “


පුද්ගල රුචිකත්වය වෙනස්ය. එය අවස්ථානුකූලව,ජීවිතානුබද්ධ අත්දැකීම් අනුව සහ පුද්ගලික විඥානය යනාදී නෙක්විද හේතුමත විවිධත්වයකින් සැදුමලත්ය. කවියට ඇති රුචිකත්වයද සඳැස් කවිය හා නිසඳැස් මෙන්ම ලොව විවිධ රටවලට අදාල කාව්‍ය සම්ප්‍රධායන් හා බැඳී රුචිකත්වයක් බිහිවී ඇත. එහිලා වත්මනේ සඳැසට වඩා නිසැඳසට යොමුවන පිරිස් වැඩි  බව සඳහන් කල යුතුය.

කවියේ සඳැස් නිසඳැස් වෙනස්කම හඳුනාගත යුතුමයැයි මා තීරණය කලේ මීට වර්ෂ 12 කට පමණ පෙර මාකාවිට පෙදෙසේ පැවති කවි හටනකදී කාව්‍යශූරී කිරගහවෙල මාටින් ජයවර්ධන මහතා කල ප්‍රසිද්ධ අභියෝගය නිසාවෙනි. ඔහු කල අභියෝගය නම් ඕනෑම නිසඳැසක් තමන් මොහොතකින් සොඳුරු හා අර්ථ සම්පන්නව සමානවන සඳැසක් බවට පත්කරන බවයි. එම අභියෝගය කව්රුන්හෝ බාරගෙන ඔහුට සඳැසක් කල නොහැකි නිසඳැසක් ඉදිරිපත්කලාද යන්න සැක සහිතය. නමුත් එම කවි හටනින් අනතුරුව මා පුද්ගලිකව සඳැස් කවියට ආදරය කරන්නට පටන් ගත් අතරම කවිය ගැන හදාරන්නටද ලොබ බැඳිනි. 


එහවූ ප්‍රතිඵලයක් ලෙස මාතර නිල්වලා හරසර උළෙලේදී පවා ඇගයීමට පත්වූ මාගේ “ මගෙ මාතර “ නම් පැදි පෙල නිමකිරීමට හැකිවීම ආත්ම තෘප්තියට ඉමහත් දායකත්වයක් දුන් යමකි. එහිවූ

පුරවර සුසැදි මාපුර සුර වන් පවර
දෙනවර තෙදැති එඩිබල මහ බඹු සුනෙර
ඇතිතර සිතැති මිනිසුන් වසනා මෙපුර
සුරපුර සදිසි මාතර මිස අන් කවර

තවමත් බොහෝ විට මා මුවඟ රැඳෙන මෙන්ම අන්තර්ජාලය තුල බොහෝ සෙයින් ජනප්‍රිය වූ කවියකි. මෙවන් වූ කවි ගෙතුම පසු කලෙක කාලය සමග කරන හටනක්ම විය. එහෙත් මාගේ හිත මිතුරියගේ කෙරුමකට අනුව ෆේස්බුක් සමාජ ජාල අඩවියේ “සඳැස“ නම්වූ  මිතුරු හවුලකට මා එක්වන විට එහි වූ සාමාජික සංඛ්‍යාව 400 ක් තරම් විය. එහෙත් දින කීපයක් ඇතුලත මා නිතර යන එන තොටුපලක් බවට පත්වීමට තරම් ආකර්ශණීය කලා රසයක් එහි විය.

හේමදාස ලියනගේ, නයෝමි සිරිනාලි නවරත්න, චතුර විජේකෝන් වැනි  කවි කිවිඳියන් හා තවත් බොහොමයක් කවීන්ගේ ශක්තිප්‍රමාණයෙන් සුපෝෂිතවන එයට මාගේ කවි එක්කෙරුම හා ඒවා ඇගයුම මෙන්ම කවි හරඹ, ඔවදන් සංවාද වැනි බොහොමයක් අංග සමග එය කොතරම් සුන්දර මිතුරු හවුලක්ද යන්න ඉක්මණින් වටහාදුනි. විශේෂයෙන්ම අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවියක් තුල සඳැස් කවිය ප්‍රචලිත කිරීම මෙන්ම කවියේ දොස් නසා සදොස් කවි නිදොස් කවි ලෙස මෙන්ම කාව්‍ය රීති හා සම්ප්‍රදායන් පිළිබඳ හැදැරීමට වෙසෙසින්ම වැදගත් තැනක් ලෙස අංකුර කවීන්ට මා එය යෝජනා කරමි. සමාජ ජාල මඩගොහොරුව වැදගත් තැනක් කිරීමට එයින් ලැබෙන දායකත්වය අගය කල යුතුය.

වර්තමානය වන විට සඳැස සමාජිකයන් 2100 කට ආසන්න පිරිසක් සහිත ප්‍රබල කවි මඩුවක් බවට පත්ව තිබීම අගය කල යුතුය. එසේම එය මගින් කවි හවුල් ගණනාවක් ඒකාබද්ධ කිරීම හා භෞතිකව මුද්‍රණය වන සඟරාවක් දක්වා පෙරට පැමිණීම අගය කල යුතු තත්වයකි. කලාවකින් තොර ජීවන දර්ශනයක හර සම්පන්න බවක් නැති සේම එවන් තත්වයකට සමාජය අතහැරීම ඉතා තදබල වරදකි. කලාවට ලොල් තැනැත්තා ජීවිතය සුන්දර අන්තයක සිට බලනවා මෙන්ම ලෝකය දෙසද එසේ බලන තාක්කල් ලෝකයට එය ආරක්ෂාවක් බවට පත්වීම සිදුවේ.

එසේනම් කවියේ නැග්මට සඳැසේ දායකත්වය අගය කලයුතුය. වෙනදා කා සමග හෝ කදයක් දාගන්නට මූණු පොතට එක්වූ බොහෝ දෙනෙක් අද කවි  රස විඳින්නට මෙන්ම අගනා කවි ලෝක සයිබර් අවකාශයට මුදා හරින්නට එක්වී ඇත. එය පැහැදිලිවම විදග්ද සමාජයකට පදනම් සපයන්නකි. එබැවින් තවත් චිරාත්කාලයක් එවන් වු මෙහෙ කරන්නට “සඳැස“ ට දිරි පැතිය යුතුමය.

 එසේම අවසානයේ කිව යුතු යමක් ඇත. ලොවට විකල්ප බිහිවේ, එම විකල්ප සාර්ථක වනවා මෙන්ම අසාර්ථක වේ. යමක් සාර්ථක වන්නේ එය විකල්පයක් හෝ නවතාවයක් වූ පමණින්ම නොවේ. එය කරන්නාවූ කාර්යභාරය සමාජය වටහාගන්නා තරමටයි.

3 comments:

  1. හ්ම්ම් වටිනා ලිපියක්. අර අවසානෙට කියලා තියෙන දෙටනම් ගොඩාක්ම එකගයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝදරී

      Delete
  2. අන්තිම පරිච්චේදෙන් කියල තියෙන දේ තමා වැඩියෙන්ම හිතට වැදුනෙ

    ReplyDelete