Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Oct 21, 2012

රෑ සමනලියකගෙන් පාර අසාගෙන..


දුර ගමන් සේවා රාත්‍රී බස් රථයේ මගීන් තරමක ප්‍රමාණයක් අසුන්ගෙන සිටියහ. කීපදෙනෙක් හැරෙන්නට අන් සියල්ලම පසුවූයේ නින්දේය. නින්ද නොයන අය අතර මා මෙන්ම මගේ මනසද විය. පසුවන වීදි පහන්  ආලෝකය සහ නිවෙස්වල මන්දාලෝකය හැරෙන්නට සිතිවිල්ලකට පාදක වන යමක් අවට නොවීය. අධික වේගයෙන් ගමන් ගන්නා බස් ර ථ යේ අඩක් විවෘත කවුලුවෙන් ගලන සීතල වාත ධාරාව හිරගඬු පිපෙන තරමට දරුණු විය. බස් රථය නිසොල්මනේය. මා අසුනේ අනෙක් පස වූයේ යුවතියකි. පැහැපත් රුවකින් හෙබි විචිත්‍රවත් ඇඳුම් ආයිත්තමින් සැරසි ඇය කොහි යන්නේදැයි නොදන්නෙමි. මා බසයට ගොඩවන විට ඇය අසල අසුනින් වාඩිවූ බව පමණක් මතකයේ  රැඳී ඇත. ඇයද නිසොල්මනේ මද දුරක් ගමන් කල අතර අවධානය රැඳුනේ කවුළුවෙන් පිටතටය.

   බසයේ සිටි ඇතැම් පිරිමින් ඇය දෙස වුවමනාවටත් වඩා බලන අයුරු දුටුවේ එක් වරක් දෙවරක් නොවේ. බොහොමයක් පිරිම කාර්යාල සේවය නිමවී අගනුවරින් නික්මෙන පිරිස් බවට අනුමාන කල හැකි විය. මෙම බස් රථය ඔවුන්ට හුරුපුරුදු බව පෙනුනේ ඔවුන්  අසුන්ගෙන සිටිනා අයුරින්මය. මෙම බසය තුල සිටි එකම කාන්තාව ඇය නොවුණි එසේම එකම තරුණියද ඇය නොවුණි. නමුත් ඔවුන් ඇය දෙස වරින් වර බැල්ම හෙලන අයුරු නෙත් කොණෙන් මාද දුටිමි. මට එය කුකුසක් ඇ ති කල හැකි කරුණක් විය. 


   බස් රථය තවමත් නිසොල්මන් ගමනේය. මා අසල සිටි ඇයට නින්ද ගොසින්ය. ඇය ශරීරය පාලනයකින් තොරව එහෙට මෙහෙට වැනෙන්නට විය. එක්වරම බ ස් රථය ගැස්සෙන විට අවදිවන ඇය නැවත නිදි වර්ජිතව ඉන්නට උත්සහ දරයි නමුත් සැනකින් නැවතත් නිදි සුව කැන්දන ඇය කොහේට හෝ බරවී නින්දට යයි. එසේ එහෙට මෙහෙට හැරි හැරී සිටි ඇය එක් වරම මා උරහිසට  බරවිය. හදවතේ ගැස්ම මදක් වර්ධනය විය. අවධානයෙන් මා වට පිට බැලුවේ කව්රුන් හෝ බලාසිටීද යන්නයි. කිසිවෙකුගේ අවධානයට නතුවෙන්නට පෙර තරුණිය නින්දෙන් අවදිකරන්නට ක්‍රමයක් කල්පනා කලෙමි. මදක් ඇඟ එහෙට මෙහෙට කලද ඇය අවදිවන පාටක් නැත. තව තව ඇය උරහිසට තුරුලුව නිදන්නට විය. ගැහැණුන් ලස්සන නින්දේ සිටින විටයි යන්න කොතරම් සත්‍යද යන්න මට එවිට දැනෙන්නට විය. ඇය සැබවින්ම සුන්දරය. ඒ අවිහිංසක නිදිසුවයට බාධා කරන්නටද මට හිතක් නැත.

    මොහොතකින් බයස නතර විය. ඒ ගැස්මට ඇයද අවදි වී සිටින්නේ මා උරහිසේ බව වැටහී සිහින් සිනාවක් පා මවෙතින් ඈත්විය. දුරගමන් සේවා බසට රාත්‍රී තේ පානයට මදක් නවතා තිබිණි. ඇය බසයේ සිටිද්දී මම තේ කඩයට වී ඉඟුරු තේකක් බොන්නට විය. උගුරෙන් උගුර තේ කෝප්පය හිස්විය.

“මොකද මල්ලි අද රෑ වාසියි වගේ“

බස් රථයේම පැමිණි මැදිවියේ පුද්ගලයෙක් තේ කෝප්පයක් අතැතිව මවෙතට පැමිණ ඇසීය.

“ ඒ කිව්වේ?“

මම විශ්මයක්ද කැටිවූ ප්‍රශ්නාර්ථයක් ගොනු කෙරීය.

“ඇයි ඔය එලකිරි බඩුවක් එක්කගෙන යන්නේ....කොහේටද මල්ලි..අද රෑ නම් බුදු සැප නේද?“

ඔහු කියන කාරණය වැටහෙන්නේ එවිටය. එපමණක් නොව මෙතෙක් වෙලා ඇය ගැන කුකුසක් ඇතිකල කරුණු සියල්ල නිරාවරණය විය. එසේනම් ඇය දෙස එලෙසින් බැලුවේ එබැවිනි.

“ඒ කෙල්ල කව්ද?..මමනම් දන්නේ නෑ..“

“එහෙමද මලයා...එයා හොඳ ප්‍රසිද්ධ කෙනෙක්...හැබැයි ෆීල්ඩ් එකට අලුත්...ගාණත් ටිකක් සැරයි...දැනටත් ඔය කොහේ හරි දුර ඕඩර් එකකට යනවා ඇති...“

හිතපුරා මහා හිස්බවක් ඇතිවිය. ඇය දෙස ඇගේ සුරූපී බව දෙස මා බැලුවේ කොතරම් නිකැලැල්වද..නමුත් ඇය කැලැල් ඉතිරිකරගෙන අවසන්ය.

“මලයා පොඩි වචනයක් දාලා බලන්නකෝ..බැරිවෙන එකක් නෑ“

එසේ පවසා පිටට තට්ටුකල අමුතුම තාලේ හිනාවක්ද සමගින් ඔහු පිටත් විය. බසයද පණ ගැන්විනි. මම පුරුදු තැනම වාඩිවිය. ඇය කැඩපතක් අධාරයෙන් හිස පීරමින් සිටියාය. මම දුටුව පසුව ඇය ඒ ආම්පන්න සියල්ල ගමන් බෑගයට දමා මදක් එහාට විය.

   මැදිවියේ මිනිසා කියූ දේ මම ඇය දෙස බලා සංසන්දනය කරන්නට විය. ඇය ගැන අමුතුම විදියේ හැඟීමක් මසිත මෝරන්නට විය. මට ඔහු කියූ දේ සිහිවිය.

“ආ...“

මා අත තිබූ හකුරු කෑල්ලක් ඇය දෙසට දික්කෙරූ මා ඇගේ නෙත් දෙස බැලීය. එහි අධික විශ්මයාර්ථයක් විය.

“මොනවද?“
ඇය මදක් සැකයෙන් මෙන් ඇසීය.

“කිතුල් හකුරු කෑල්ලක්..කැමතිනම් කන්න“

ඇය සැකයෙන් මෙන් එය අතට ගෙන ස්තූතියි කීය.අප දෙදෙනා අතර කතාවක් නොවීය. ඇය  නිහඬවම හකුරූ කෑල්ල සපන්නට විය. ඇගේ මුදු දත් අතර සිහින් ස්වරයකින් එය බිඳී ගියහ.

“කොහේටද යන්නේ?“

මම ඇසුවේ ඇගේ දෙස බලා නොව වේගයෙන් ඉදිරියට යන පාර දිහා බලාගෙනය.

“නිමක් නැති අනාගතේ දිහාවට“

ඇය දුන් පිලිතුරට මම පුදුම විය. එහි ගැබ්වූ අර්ථය තවත් වටහාගනු වස් කතාව දිගටම සිදුවිය.

“නිමක් නැති  ගමනක යන්නේ ඇයි...අනාගතේට වුනත් නිමක් නැත්නම්?“

“නොගිහින් බැරිකමට...වර්තමානයේ නැවතුනොත් අතීතය විසින් ආපස්සට ඇදලා ගන්නවා“

ඇගේ පිලිතුරු අපූර්වජනක විය. ආශ්වාදජනක විය.

“නොගිහින් බැරි කමට යනවට වඩා හොඳ නැද්ද කැමති ගමනක කැමති විදියට නිදහසේ යන එක“

ඇය මගේ මූණ දෙස එ ක එල්ලේ බැලුවාය.

“නිදහසේනම් තමයි යන්නේ...ඒත් කැමති ගමනක් නෙවෙයි...කැමති ගමන් යන්නට අපේ ගමනාරම්භය ඉඩදීලා නෑ...“

“ගමනාර්ම්භය දැන් අතීතයේ...ඔයා වර්තමානයේ...අනාගත ගමන ගැන තීරණයක් ගන්න ඔයාට පුළුවන්“

මගේ පිලිතුරට සැබවින්ම ඇය අවනත විය.

“ඇත්ත...පුළුවන්...ඒත් ඒ පුළුවන්කම නැමති දොරටුවට එහා තියන මහා කටුක යථාර්ථයට ජීවිතය බයයි...“

සැබෑ ලෙසම ඇයට  පමණක් නොව ඇය වැනි සමාජයටම පොදු තේමාව ඇය විසින් ඉදිරිපත් කෙරිණි. එයට විකල්ප පිළිතුරක් මාසතු නොවීය. මම ඒ ගැන ලැජ්ජා විය යුතුද? එසේනම් මටත් වඩා සමාජය ලැජ්ජා විය යුතුය. ඒ ඇයට පිළිතුරක් නොදී මෙතෙක් කල් රඳවා තබාගැනීම නිසාවෙනි.

“ඔව් මට තේරෙනවා...අනාගත ගමන වෙනස් විදියකට යන්න සුභ ප තනවා“

බහින්නට මොහොතක් තබා මම සුබ පැතීය. ඇය මා දෙස තේරුම්ගත නොහැකි බැල්මක් හෙලීය.

“ස්තූතියි..හකුරු කෑල්ලට...වගේම වචන ටිකට...එකම වගේ වචන මාලාවක් ඇහෙන ජීවිතේ වෙනස්ම විදියේ වචන ටිකක්  ඇහුනේ ඔයාගෙන් විතරයි“

ඇය කීවේ හදවතින්මය.

“ඔයාටත් ස්තූතියි..මටත් එකම වගේ වචන මාලාවක් ඇහෙන ජීවිතේ වෙනස්ම විදියේ වචන ටිකක් ඇහුනේ ඔයාගෙන්....“


- නිමි -

   

14 comments:

  1. ලැම පමණක් ලොවට පෙනෙන
    ළය නො පෙනෙන ළඳුනේ..

    kanishka

    ReplyDelete
  2. හැම දේකම පේන දේට එහා ගිය ලොකු දෙයක් තියනවා..

    ReplyDelete
  3. අපූරු වචන ගෙත්තමක්.....

    ReplyDelete
  4. ඇඩෙනවානේ ඉතින්!

    ReplyDelete
  5. හ්ම්... ලොකු කතාවක් හැංහිලා තියෙනවා මේ කතාවෙ..

    ReplyDelete
  6. ම්ම් හුඟ දෙනෙක් නොහිතන දෙයක් ගැන අපූරුවට ලියලා තියෙනවා..

    ReplyDelete
  7. අඩේ..මේක තමයි ඇත්ත! හැබැයි කවුරුත් දකින්නේ නෑ!

    ReplyDelete
  8. අපූරුවට ලියලා තියෙනවා... හිතට වැදුනා...

    ReplyDelete
  9. අහිංසක කෙල්ලන්ට බනින, ගරහන, සමච්චල් කරන අය කවදාවත් හිතන්නේ නෑ උන් මේ ජීවිතය විනාශ කරගත්තේ උන්ගේ කැමැත්තෙන්ද නැත්නම් අකමත්තෙන්ද කියලා. අමු ගෙඩියක් ගහෙන් කඩලා අරන් අමුයි කියලා විසික් කරන ලෝකයක් මේක.

    ලස්සනට සිද්ධිය අකුරු කරලා තියෙනවා.

    ReplyDelete
  10. ගැරහිම ප‍සෙකලා මානුෂීය විය හැකිනම් හැ‍මෝටම............. ‍නොවන්‍නේත් එයයි... :(

    ලස්සනට ලියැවිලා.....

    ReplyDelete
  11. හැමදේකම හැංගිච්ච කතාවක් තියනවා..අනේ මන්ද..හැමෝටම තියෙන්නේ හිත්..වෙලාවකට හරි ඒ හිත්වලට වචනෙකින් හරි පිහිටක් වෙන්න පුලුවන්නම් එච්චරයි..

    ReplyDelete
  12. මේක උඹට වෙච්ච සින් එකක් ද...? මට ඔහොම්ම සීන් එකක් උනානේ ගිය සතියේ.... මාර කේස් එක..

    ReplyDelete
  13. ලස්සන කෙල්ලෙක් එක මහතෙකුගේ බිරිඳ වී සිටින්නට මේ සමාජය ඉඩ දෙන්නේ නැත. එය බලෙන් හෝ උදුරාගෙන ජනසතු කරයි. මෙසේ වීමට අර කාන්තාවගේ බුද්ධි මට්ටම බලපායි. කුමන ආකාරයේ වර්ණනා කලද, මම කවුද? මා කල යුත්තේ කුමක්ද? යන්නට ස්ථිර පිළිතුරු ඇති අය මෙම උගුල් හඳුනා ගනී. එහෙත් බහුතරය මෙම උගුලට හසු වෙල් හරියට ගින්න දෙස ඇදී යන පළඟැටියකු මෙනි. පසුව ඉහත කී නිදහසට කාරණා කියා ලෝකයා ඉදිරියේ තමා නිවැරදි යයි තම හිත රවටා ගනී.

    ReplyDelete