මා විසින් සයිබර් අවකාශය සහ දේශීය මෙන්ම විදේශීය සිංහල මුද්‍රිත මාධ්‍ය ප්‍රකාශන කීපයක් අරඹයා ලේඛනයේ යෙදෙමින් සිටි සිරිලංකාවේ වත්මන් තත්වය අලලා ලියවුණු “ඇත්තකියන්නන්ට ගල් ගැසීමේ න්‍යාය“ නැමති ලිපිය ප්‍රසිද්ධියට පලකිරීමට පෙරාතුව නිවස තුලින්ම මතුවූ දැඩි විරෝධය සහ වාරණය හේතුවෙන් අකුලාගන්නට සිදුවිය. එසේ කුටුම්භය තුලම වාරණයකට හේතුවූයේ අන්කවර කරුණක්වත් නොව තවදුරටත් නිවැසියන්ට මා යහතින් ජීවත්වනු දැකීම අවැසි වූ නියාවෙන්ය. ඔවුන්ගේ පොදු මතය වන්නේ රටේ අතිබහුතරයක් දෙනා මෙන් දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටීමේ න්‍යායට අනුගතවන ලෙසයි. එය සඳහා උත්සහයක නිරතවීමේ පොරොන්දුව මත ලේඛනයකට නැවත අවස්ථාව සම්පාදනය කරගත්තේ බලධාරීන් විසින් කපාදැමූ මාතෘකා සීමාවෙන් පිට රචනයේ යෙදෙන පරිද්දෙන්ය.
නමුත් මගේ මතය වූයේ සහ වන්නේ අයාලේ යන ගොනෙක්ට “ජහ් බහ්“ ගහ නියම පාරට ගන්නට වරක්, නැතිනම් කෙවිට පාර දී දෙවන වරක් හෝ නැතිනම් නාස් ලණුවෙන් ඇද තුන්වන වරක්ද උත්සහ කල යුතු බවයි. මන්ද ගොනා පාර වරද්දා ගන්නේ තනිවම නොවය අපේ සබ්බ සකල මනාවම ඇති කරත්තය මෙන්ම එහි ලැග තුෂ්ණිම්භූතව බලා සිටිනා අපද සමගින්ම වන නිසාවෙනි. “ඇත්ත කියන්නන්ට ගල් ගැසීමේ න්‍යාය“ ලිපියෙන් මා කියන්නට අදහස් කල කාරණය (සැබෑ ලෙසම පුරෝකථනය කරන්නට සූදානම් වූ කාරණය) නුදුරු දිනකදී සමස්ත ජන සමාජයට ඇහින් දැකගන්නට ලැබෙනු ඇත. එදාට මගේ ලේඛනයට මෙන්ම අදාල සිද්ධියටද වලංගු රහිත සත්‍යතාවක් ලැබෙනු ඇත.
පොලවේ කෙලින් සිට ගැනීමේ අයිතිය පිලිබඳ ගැටලුවක් මතුවීමට පෙරාතුව කෙලින් සිට ගැනීමට සමත්විය යුතුය. අපි සිටගෙන සිටින්නේද යන්න ගැටළුවකි. මෙහෙම ගියොත්නම් අපිට වෙන්නේ හිටගෙන හුස්ම හිරකරගන්නටය යන මතයට රට යාමට පෙර මේ සාවූ වැරදි සහගත තැන් පෙන්වාදිය යුතුය. නමුත් එයට පෑන හෝ හඬ හැසිරවීමට සමාජය තුලට යාමටත් පෙර නිවසින්ම බාධා එන්නේ ඒ සඳහා රටතුල පවතින නිදහස ගැන මහා නිදර්ශන ඉදිරිපත් කරමින්ය. නිවැසියන් සාධාරණය, මගේ ලිපියද සාධාරණය නමුත් රටේ නිදහස් අදහස් වලට ඇති ඉඩකඩ අසාධාරණය..ඒ මන්ද යත් නිදහසේ ලිවීම සහ පලකිරීම කල හැකි වුවත් ඉන් මොහොතකට පසු වන්නේ කුමක්ද යන්න පිලිබඳ නිනව්වක් නැති හෙයිනි.
හිස අතගා ටොකු ඇනීම.මරු මරු මරු
ReplyDelete