Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Jul 13, 2013

දෑවැදි මල්ල සියතින්ම වියන යුවතිය


ඇය මට මුණ ගැසෙන්නේ ගාල්ල නගරයට නුදුරු අවන්හලකදීය. ඒ සිය ජීවිතය ගැන මා දැනගන්නට රිසි වූ සියල්ල මා හට පැවසීම උදෙසා පමණක්ය. ඇය රැකියාව කලේ ගාල්ලට නුදුරු කර්මාන්ත පුරයක පිහිට කම්හල් ගොන්නේ එක් කම්හලකය. ඇයගේ රැකියාව වායුසමනය කල කාර්යාලයක සැප පුටුවක් මත හිඳ සුරතල් ඇඟිලි තුඩින් කරන යමක් නොවීය. දහඩිය පෙරාගෙන පිට කොන්දේ වේදනාව ඉවසාගෙන යන්ත්‍රයක් සමග ඔට්ටු වෙමින් ඇය පාවහන් මසන්නීය. ඒ සමගින් ඇය ජීවිත කඩතුරාවද සෙමෙන් මසන්නීය.

"නංගිගේ ගම්පලාත කොහේද...ඇයි මෙහෙට ඇවිත් මෙහෙම රස්සාවක් කරන්න ගත්තේ"

මගේ පැණයට ඇය පිලිතුරු දුන්නේ දිගු හුස්මක්ද ගෙනය. ඒ සුසුම් පොද ඇගේ ආවර්ජනයට උත්තේජනයක් සැපයුවාද නැතිනම් සිතේ ද්වාරය විවර කිරීමට උත්සුක වුවාද මම නොදන්නෙමි.


"මම වැල්ලවායේ...පුංචි ගමක...අම්මයි තාත්තයි දළු කඩනවා..මම ගොඩක් හොඳට ඉගනගත්තා අයියේ...මට මල්ලියෙකුත් ඉන්නවා...මම සාමාන්‍ය පෙල හොඳට  පාස්වුනා..රිසාල්ට්ස් ආපු දවසේ මම උඩපැනලා සතුටු වුනා..ඒත් ඒ සතුටට පැවැත්මක් තිබුණේ නෑ...මොකද ඊට පස්සේ මගේ කල්පනාවට ආවේ උසස් පෙල කරන්නේ කොහොමද කියලා..දළු කඩලා අම්මටයි තාත්තටයි දවසටම ලැබෙන්නේ රුපියල් දාහකට ලංවෙන්න..උසස් පෙල කරන්න මගේ ආසාව තිබුණේ ජීව විද්‍යා පැත්තෙන්...ඒත් පන්ති යන්න වැල්ලවායට එන්න ඕන..ඒ පංතිවල ගාස්තු ගෙවන්න මට විදියක් තිබ්බේ නෑ... උසස් පෙල අදහස හිතින් අතෑරියා...අම්මලාට කියන්න දෙයක් තිබුණේ නෑ...මොකද ඒ ගොල්ලෝ මටත් වඩා අසරණ නිසා"

එහෙම කියපු ඇය ටික වෙලාවක් ඇස්දෙකේ කඳුළු පුරවගෙන බිම බලන් හිටියා. ඒ සංවේදීකම බලන් ඉන්න අපහසු එකක්.

"ඊට පස්සේ"

"ඊට පස්සේ මම ජොබ් එකක් හෙව්වා...වැල්ලවාය පැත්තෙන් හොයාගන්න ගොඩක් අමාරුවුනා..මගේ පොඩිකාලේ ඉඳන් යාළුවෙක් ගාල්ලේ ෆැක්ටේරියක් වැඩකරනවා.එයා තමයි මට මේ රස්සාව හොයලා දුන්නේ. දැන් අවුරුදු පහක් වෙනවා මම මෙහෙට ඇවිත්...දැන් මේ ජීවිතේ මට හොඳට හුරු වෙලා අයියේ"

ඇයි හුරුයි කිව්වේ ජීවිතයටද නැත්නම් පුරුදු දුක තවත් වැඩිවුන එකටද කියලා මට හිතාගන්න අමාරුවුනේ නෑ. ඒත් ඒ හිතේ ලොකු හයියක් තියෙනවා කියලා මට තේරුනා.

"කන්නේ බොන්නේ කොහොමද...එතකොට හම්බවෙන පඩිය ඇතිද නංගි"

ඇය මම කියපු එකට හිනාවුනා.

"මට හොඳට උයන්න පුළුවන්...මේ ලඟ පොඩි බෝඩිමක ඉන්නේ..පුංචි කාමරයක අපි දෙන්නෙක් ඉන්නවා කෙල්ලෝ..අවුරුද්දක් විතර යනකං භූමිතෙල් ලිපකින් උයාගත්තා..පස්සේ පුංචි ගෑස් ලිපක් අරගෙන උයනවා..උදේට දවල්ට එක්කම උයාගෙන අරගෙන යනවා...හවස එද්දි ගොඩක් අමාරුයි..ඒත් ටිකක් හාන්සි වෙලා ඉඳලා රෑට පොඩි දෙයක් උයාගෙන කනවා.. පඩිය මුල්ම කාලේ සතියට දවස් හයක් මහන්සි වෙලත් රුපියල් දහදාහක් වත් තිබුණේ නෑ අයියේ...ඒත් දැන් යන්තම් රුපියල් පහලොස්දාහක් විතර ලැබෙනවා...ඒත් හොඳ පණ ඉවරයි.."

ඇය හිනාවුනාට ඒ හිනාවුනේ තමන්ගේ ජීවිතය දිහා උපේක්ෂාවෙන් කියලා මට හිතුනා

"ගෙදරට යවන්න සල්ලි ඇතිද?"

"ඔව් අයියේ...මුල් කාලෙනම් මාසෙට රුපියල් තුන් දාහක්වත් යවාගන්න බැරිවුනා..බෝඩිමට දීලා වියදම් පියවන කොට..ඒත් දැන් රුපියල් පන්දාහක් විතර යවනවා කොහොමහරි..මල්ලි හොඳට ඉගනගන්නවා..මට ඕන එයාව ඉස්සරහටම යවන්න.."

"කොල්ලෙක් එහෙම ඉන්නවද?"

මම එහෙම ඇහුවම මූණේ හරි අපූරු නිර්ව්‍යාජ හිනාවක් ඇඳිලා ගියා.

"ඔව් ඉන්නවා අයියේ...ඒ ආදරේ වෙනුවෙන් කරන කැපකිරීමක් තමයි මේක..එයත් පොඩි රස්සාවක් කරන්නේ ටේලර් සාප්පුවක..ඒත් එයාලගේ අම්මලත් අපේ සම්බන්ධේ දන්නවා..කවදහරි කසාදයක් කරන්නයි දෑවැද්දටයි සල්ලි එකතු කරගන්න තමයි අයියේ මම රැයක් දවාලක් නොබල මහන්සි වෙන්නේ..මගේ දෑවැද්ද මමම හොයනවා.."

මගේ හිතට දැනුනේ පුදුම දුකක්. ඒ විතරක් නෙවෙයි සමාජය ගැන පිලිකුලක්. දෑවැද්ද කියන සංකල්පේ වෙන්න ඕන මෙහෙමද. ඇත්තටම මේවගේ කෙල්ලෝ දෑවැද්දට වඩා කොච්චර වටිනවද. දෑවැද්දක් වෙනුවෙන් මෙහෙම ධෛර්යවන්ත කෙල්ලෝ ලඝු කරන්න සමාජෙට පුළුවන්ද..මෙහෙම දරුවොම කොච්චරනම් ලොකු දෑවැද්දක්ද.

"ඉතිං එහෙම දෑවැද්දක් බලාපොරොත්තුවෙන තැනකට හිත දීලා හරියනවද..ඉතිං නංගි ඔයාගේ කොල්ලා දෑවැද්ද ගන්නවද?"

"ඒක මම හරියටම දන්නේ නෑ අයියේ...ඒත් කවදහරි එහෙම ඉල්ලොවොත් එදාට අසරණ වෙන්නේ මමයි මගේ අම්මලයි..ඒක නිසා මම මේ කැපකිරීම කරනවා..පුංචියට හරි ඉතිරි කරලා ඒ අඩුවත් හදාගන්නවා...ගේ පොඩ්ඩත් පිලිවෙලක් කරන්න ඕන අයියේ"

ඒ හිතේ තියන බලාපොරොත්තු කන්ද බර වැඩිද කියලත් මට හිතුනා. ඒත් තාම අවුරුදු විස්ස පහුවුණ ගමන් මේ කෙල්ල කොච්චර ධෛර්වන්තද කියලා මට ලොකු පාඩමක් කියලා දුන්නා. ටික වෙලාවක් නිහඬව ගෙවිලා ගියා.

"මට ටික කාලෙකට කලින් හිතුනා කොච්චර පවක්ද මම මේ ගෙවන්නේ කියලා...මට හිතුනා මේ රස්සාව කරලා මල්ලිව පිලිවෙලක් කරලා එයාට අම්මලව බලාගන්න කියලා කවදහරි මම සිල්මෑණි කෙනෙක් වෙන්න..මට එහෙම හිතුනේ මේ ලඟපාත ඉන්නවා සිල්මෑණියෝ කෙනෙක්...සමහර වෙලාවට මම මෑණියෝ මුණගැහෙන්න යනවා..මෑණියෝ ජීවත්වෙන විදිය ගැන මට පුදුම ආසාවක් ඇතිවුනා..දුක අමතක කරලා ආගම ගැන හිතලා ගෙවන ජීවිතේට මම ගොඩක් ආසකලා..මට එහෙම වෙන්න ඕන වුනා..ඒත් අර මම කියපු අයියා මට බලපෑම් කලා..මට ආදරෙත් කවදහරි දුකක් වෙයි කියලා හිතුනා..ඒත් එයා බලපෑම් කලා මම එහෙම තීරණයක් ගත්තොත් එයා වස බොනවා කියලා...බයට මම ඒ තීරණේ වෙනස් කලා..ඒත් මම අදටත් ආසයි සිල් මෑණියෝ කෙනෙක් වෙන්න.."

මේ වගේ ජීවිත ආධ්‍යාත්මික සැපත දිහාවට ඇදිලා යන එක පුදුමයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ හිටපු කාලෙකනම් මේ අහිංසක ජීවිතය නිවනින් සැනසෙන බව මට විශ්වාසයි.

"හිතේ හීනවලට මොනවා වෙයිද දන්නෑ අයියේ..දවසින් දවස ජීවිත වෙනස් වෙනවා..ඒත් මම දැන් කිසිම දෙයක ඇලිලා ගැලිලා ඉන්නේ නෑ..ලැබෙන දේවල් ගැන වගේම නැතිවෙන දේවල් ගැනත් එක විදියට හිතනවා...මේ රස්සාව වුනත් කරන්නේ බොහොම අමාරුවෙන්..අපිට ඉහලින් ඉන්න හැම සර් කෙනෙක්ම බලන්නේ කොහොම හරි අවස්ථාවක් අරගෙන අපේ ජීවිත හූරන් කන්න..බලන විදියෙන්ම තේරෙනවා..වයස භේදයක් නැතිව ඒ හැම සර් කෙනෙක්ම අපිව ගොදුරු කරගන්න බලන් ඉන්නව..අතරින් පතර රත්තරං සර්ලා ඉන්නවා අයියේ..ඒත් මේ ජීවිතේ හරි අවදානම්.."

"නංගි ඉතිං ඉස්සරහට මොනවද කරන්න හිතන් ඉන්නේ"

ඇය ඈත බලලා අනාගතය ගැන කිව්වා.

"තව ගොඩක් කල් මේ රස්සාව කරන්න හිතක් නෑ අයියේ..තව අවුරුදු කීපයක් කරලා පුළුවන් තරම් සල්ලියක් එකතු කරගෙන ගමට යනවා..කසාද බඳින්න පුළුවන් තත්වයක් තිබුණොත් බඳිනවා..දෑවැද්දට එකතුකරපු සල්ලිත් දෙනවා..එහෙම නොවුනොත් පුංචි කඩ පොඩ්ඩක් දාගෙන හරි ජීවත් වෙනවා..අඩු වයසින් ජීවිතේ එක්ක හැප්පෙන්න කිලෝමීටර් දෙසීයකට වැඩි දුරක් ආපු මට ඒක පුළුවන් වෙයි අයියේ..."

මම හිනාවෙලා ඇයට හිනාවකින්ම සුබ පැතුවා. ඒ වගේම මම හිතුවා මේ ලෝකේ පාලනය කරන දෙවිවරු ඉන්නවනම් මේ පුංචි අහිංසක ජීවිතය දිහා බලලා සාධාරණව ඒ හීන හැබෑකරගන්න උදව් දෙන්න කියලා.

"ගොඩක් ස්තූතියි නංගි මේ හැමදේම කිව්වට"

"අනේ ඒක මොකක්ද අයියේ...අයියා මට විස්තර කියන්න කිව්වම මම පුදුමත් වුනා..ඒත් අයියේ මගේ මේ ජීවිතෙන් ගන්න පාඩමක් තියනම් කාටහරි ඒක වැදගත් වෙයි..මොකද මම පාඩම් ඉගනගත්තෙත් මේ ජීවිතෙන්...මම යන්නම් අයියේ.."

එහෙම කියලා ඇය සමුගෙන ඉක්මනින් අඩිය තියලා බෝඩිම තියෙන ඉසව්වට යන්නට ගියා. ඇය පිටවෙලා  යන දිහාව මම බලන් හිටියා. තමන්ගේ අතින්ම තමන්ගේ දෑවැද්ද එකතු කරන මේ අහිංසක ජීවිතේ වෙනුවෙන් දෙයක් කරන්න තරම් හයියක් මට තිබුණේ නෑ. ඒත් ඒ කතාව තව කීපදෙනෙක්වත් දැනගත්තොත් ඒකෙන් සමාජෙට පොඩි හරි දෙයක් වෙයි කියලා මට හිතුනා.           

    

12 comments:

  1. රුපියල් 15000කට මිනිස්සුන්ගෙන් වැඩ ගන්න උන් ටිකට මොනවා හරි කරන්නෙ නැතුව හරියන්නෙ නෑ.ශ්‍රමය හූරං කනවා මදිවට ජීවිතත් හූරං කන එක තමයි ඉවසන්ඩ බැරි.

    ReplyDelete
    Replies
    1. කොතනත් තියෙන්නේ ඔය දේම තමයි මිත්‍රයා..විදේශ ආයෝජකයන් මේ රට දිහා තොලකට ලෙවකකා බලන්නේ මේ රටේ ආර්ථික පරිසරයේ ස්ථායීතාවය නිසාවත් සමාජ තත්වයේ උසස් භාවය නිසාවත් නෙවෙයි අඩුපිරිවැය ශ්‍රම සැපයුම නිසා. විදේශ ආයෝජකයන් අපේ සුළු ශ්‍රමිකයන්ට වැඩිපුර ගෙවාවිද අපේම අයෝජකයොත් සොච්චමක් ගෙවලා කන්දක් වැඩ ගනිද්දි..මිනිස්සු නැතිබැරි කමටයි මෙහෙම දුක් ගන්නේ

      Delete
  2. බොහොම සංවේදී විදියට ලියා තිබෙන කතාවක්. ඒත් අපි මේ කතා ආරෝපනය කරන්නේ මේ ගාමන්ට් චරිතවලට විතරයි. ඒත් කවුරුත් දන්නවා බොහෝ තැන්වල තත්ත්වයත් මෙහෙම්මම තමා. විශේෂයෙන්ම ඔය ලස්සන යුනිෆෝම් දාගනෙ යන අකුරු හතරේ බැංකුවේ වැඩ කරන කෙල්ලොන්ගේ තත්ත්වය මෙයිට අන්තයි. සමාජ මට්ටම කියන කඩතුරාවෙන් එවන් තැන්වල ප්‍රෝඩා වැහිලා තියෙන්නේ. මං ඒ ගැන පොඩි සමික්ෂණයක ඉන්නේ මේ දවස්වල.
    ඒත් ඒ තැන්වල කෙල්ලන්ගෙන් නිවැරදි තොරතුරු ගන්න ටිකක් අමාරැයි. ඒ තරමට උන්ව අන්දලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම මිත්‍රයා. බොහෝවිට අද අපි දකිනවා බොහොම ජැන්ඩියට අන්දවලා ගෙවල් ගානේ යවන තරුණ තරුණියන් පුංචි පුංචි අලුත් නිෂ්පාදන අලෙවි කරන්නට. ඔවුන් ගෙවල් වලට ඇවිත් කියන්නේ ටාගට් එක කවර් කරගන්න එයාලා වෙනුවෙන් මොනවහරි මිලට ගන්න කියලා. ගිනි අවුවේ යුරෝපීය ඇඳුම් ඇඳගෙන දෙකොණින් දාඩිය දාගෙන ගියත් මේ දරුවන්ට ලැබෙන්නේ රුපියල් 5000. මෙහෙමයි ලංකාවේ ශ්‍රම සූරාකෑම. බොහෝවිට තනතුරු නාමය බොරුවට විදහා දක්වල ශ්‍රමිකයන්ට දෙන්නේ කම්කරු වැඩ. මේවා ප්‍රෝඩා විතරක් නෙවෙයි මිනිස්කමටත් නිගාවක්

      Delete
  3. “කවදහරි කසාදයක් කරන්නයි දෑවැද්දටයි සල්ලි එකතු කරගන්න තමයි අයියේ මම රැයක් දවාලක් නොබල මහන්සි වෙන්නේ..“  ඔබේ මුළු ලිපියේම මගේ හද සසල කළ කතාව මේ , අපි කොයිතරම් ශිෂ්ඨයි , සදාචාරසම්පන්නයි , නවීන චින්තනයෙන් හෙබියි කීවත් , සමාජයේ සැඟවිලා තිබෙන අඳුරු ඇත්තමේ . අද කාළේ ගෑණියෙක් දෑවැද්දක් දිය යුතුය කියන සංකල්පයට මම නම් එකඟ නැහැ , හේතුව ඇය මිල කරන්න බැරි දෑවැද්දක් , එදාට වඩා අද වූ වෙනස්කම් එක්ක , රැකියාව කරමින් මුදල් උපයමින් , දූ දරුවන් රැකබලාගැනීමට එකවීමෙන් ,ගේදොර නිසි ලෙස පවත්වා ගැනීමේ වගකීමේ ඉහළම කාර්යයක් ඉටු කරමින් විටෙක් සියළු දුක් දෝමනස්සයන් මැදහත් සිතින් දරා ගනිමින් පිරිමි අපටද ශක්තියක් වන ඇගෙන් “දෑවැද්දක් ඉල්ලීම“ අනුමත කළ නොහැකි ඒත් අද සමාජයේ සිදුවන ව්‍යාපාරික සංකල්පයක් යනු මගේ අදහසයි.
    ස්තුතියි මේ අඳුරු පැතිකඩ , සංවේදීව දැනෙන ලෙසින් ලියා අප හා බෙදා ගත්තාට .

    ReplyDelete
    Replies
    1. මහේෂ් මහත්මයා ඔබ සමග එකඟයි මම. අද අපි හිතනවා දෑවැද්ද කියන සංකල්පය බමුණු මතයක් ලෙස පිලෙකෙව් කරන බුද්ධිමත් පිරිසක් සහ එය ලැබිය යුත්තක් ලෙස සලකන නූගත් පිරිසක් ඉන්නවා කියලා. නෑ මිත්‍රයා අපි බුද්ධිමත් උගත් කියලා හිතන ඉංජිනේරුවෙක් දෑවැද්ද මදි කියලා කසාදය නවත්තපු අවස්ථා මම දැකලා තියනවා ඒ වගේම ගෙනාපු දෑවැද්ද මදි කියලා තමන්ගේ බිරිඳට අවුරුදු ගාණක් දුක්දීපු දොස්තරලා මම දැකලා තියනවා..ඉතින් මේක සමාජයට පොදු ප්‍රශ්නයක් වෙලා. කුල ගෝත්‍රවාදය කෙමෙන් යට යනවා වගේ මෙයත් යටයා යුතු සංකල්පයක්

      Delete
  4. Geek.lk Blog Geek Awards හොදම ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් අඩවිය 2013
    ඔබගේ අඩවියත් දැන්මම එකතු කරන්න.
    http://geek.lk/plugin/webgeek/bloggeek

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා..මේ ඉහල අදහස් ලෙස සඳහන් වෙලා තියෙන්නේ මට ලැබුණ සම්මාන තමයි..මට වෙන සම්මාන අවශ්‍ය නෑ මිත්‍රයා

      Delete
  5. අපේ රටට වැඩියෙන්ම විදේශ විනිමය ගෙන අය වෙච්චි මේ දිරිය දියණියන්ගේ ඇත්ත තත්ත්වේ මේක තමයි... අපේ වැරැද්ද... කට ඇරියොත් කියන්නේ "ජුකී කෙල්ලෝ!!"

    ReplyDelete
    Replies
    1. අපේ රටට විදේශ විනිමය ගලන්නේ හූරන් කන ඔවුන්ගේ දාඩිය මහන්සිය..ඒකට හරි මිලක් ලැබෙනවනම් විදේශ විනිමයට වඩා එහා ගිය හිතේ සතුටකු ඔවුන්ට ලැබෙනවා නාඩියා..

      Delete
  6. මටත් ඕන දෑවැද්දක් එක්ක කෙල්ලෙක්.............

    ඒකිගෙ දෑවැද්දෙන් මට වැඩක් නෑ.. ඒත් කවද හරි මට මොකුත් උනොත් ජීවිතේ ඉතුරු ටික තනියම කාටවත් අත නොපා ජීවත් වෙන්න ඒකිට ශක්තිය තියෙන්න ඕන....

    ReplyDelete
    Replies
    1. ඒ ශක්තිය ඉබේම ලැබෙනවා යහපත් පවුල් වටපිටාවක් නිර්මාණය වුනාම. ඒක බිහිවන්නේ මූල්‍යමය වටිනාකමකින් නෙවෙයි ජීවිතේ සුන්දරත්වය එක්ක. යසිත්ගේ අදහසෙත් තියනවා ගන්න විටන යමක්. බොහොම ස්තූතියි

      Delete