Aug 3, 2013

වැලිවේරිය, රූකාන්ත,චන්ද්‍රලේඛා සහ තවත් කතා

මාධ්‍ය තුල තිබූ සිරස්තලයකට එක්වරම අවධානය යොමුවිය.“වැලිවේරිය පුදුමාතලන් වූ හැටි“..මෙය ජීවිතයට අප අත්විඳින්නට බලාපොරොත්තු නොවූ සිරස්තරලයක් විය. අප බලාපොරොත්තු වූයේ අපේ ඇස් පියවෙන්නට පෙර “ශ්‍රී ලංකාව සංවර්ධිත රටවල් අතරට එක්වේ“, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය සිංගප්පූරුවද ඉක්මවයි“, “සියලු ජාතීන් එක්ව කටයුතු කරන සුන්දර රටකට ලංකාව ආදර්ශයක්“ වැනි සිරස්තලය. නමුත් වාසනාව මෙන්ම අවාසනාවද රජකරන කල්පයකට අප ඇතුලත්ව තිබේ. අපි වරක් සුනාමියෙන් පසු ලංකාව හැදෙයි කියා සිතුවෙමු, එයින් යමක් සිදුනොවූ තැන අප 2009 යුධ ජයග්‍රහණයෙන් පසු  ලංකාව හැදෙයි කියා සිතුවෙමු. නමුත් ඒ සියල්ල විසිරී බොඳව යන බව පෙනෙන්නට ඇත.

   රූකාන්ත, චන්ද්‍රලේඛා සහ වැලිවේරිය සම්බන්ධවන්නේ කෙසේද. රූකාන්ත සහ චන්ද්‍රලේඛාට නීතිමය බැඳිමකින් සම්බන්ධයක් ඇතත් පෙනෙන ආකාරයට වැලිවේරියට ඔවුන්ගේ ඇති සම්බන්ධතාවය ඔවුන් ජීවත්වන රටේ එක්තරා ප්‍රදේශයක් වීම හෝ ඇතැම්විට වැලිවේරියේ ප්‍රසංග වලට ඔවුන් සහභාගීවීම විය හැක. නමුත් එතනට එහා ගිය යමක් ගැඹුරින් සිතා බැලූකල්හි දක්නට පුළුවන්ය. නමුත් එය අවාසනාව කේන්ද්‍ර කරගත් සිදුවීම් මාලාවක තවත් සිදුවීම් දෙකක් පමණක් ලෙස මෙරට රජ්‍ය, ආරක්ෂක අංශ මෙන්ම ජනතාවද සැලකීය කරුමයකි.

   වැලිවේරියේ රතුපස්වල ජනතාව පිරිසිදු පානීය ජලය ඉල්ලා උපවාස උද්ඝෝෂණ කල අතර සිවිල් ගැටළුවකට එහා ගිය ප්‍රතිකර්මයක් වෙනුවෙන් හමුදාව යොදා ඔවුන් ඉවත් කිරීම සිදුකරන විට එය ගැටුමක් දක්වා දුරදිග ගිය අතර හමුදාවෙන් පොලු හා වෙඩි පහරවල්ද ජනතාවගෙන් ගල් මුල් බෝතල් එල්ල වෙද්දී එයට මැදිහත්වූ ජනතාව මාධ්‍ය වේදීන් මෙන්ම හමුදාවේදී අය තුවාල වන්නට ඇත. හමුදාව ප්‍රශ්නයට මැදිහත් වූයේ තනියම හිතා නොවන බව පොඩි එවුන් පවා දනී. නමුත් හමුදාව එසේ  පැමිණ සිවිල් ගැටළුවක් ගැටුමක් දක්වා දුරදිග යවා අවසානයේ එයට මැදිහත්වුනු පාසල් දරුවෙක් මියයාමට තුවක්කුව හැරවීම ඉතාම ඛේදවාචකයකි. ජනතාවට විරෝධතා දැක්වීමේ අයිතිය ඇත. ඔවුන් මහජන සාමයට බාධා කරනවානම් එයට කටයුතු කලයුතු විදියක් ඇත. කෙසේ හෝ හමුදාව මහජනයා දෙසට තුවක්කුව හැරවූයේ ඉහලින් ලැබුණු අණින්ය. කෙසේ හෝ වැලිවේරිය පුදුමාතලන් බවට පත්වීම දක්වා මාධ්‍ය අවධානය යොමු වුනි.

   රූකාන්ත හා චන්ද්‍රලේඛා මෙම සිදුවීමට සම්බන්ධවන්නේ මෙසේය. පසුගිය චන්ද්‍රිකා ආණ්ඩුව කාලයේ එජාපයට වැඩකල රූකාන්ත යුවලට හිරිහැර කිරීමට අදාල ජනාධිපති ආරක්ෂක අංශයේ සෙබළුන්ට දඬුවම් ලැබුණේ ගිය සතියේය. එදා ඔවුන් රූකාන්තලාට අඩම්තේට්ටම් කරන්නට ඇත්තේත් තනියම හිතලා නොව ඉහලින් ලැබුණ අණටය. නමුත් අද ඉහලින් අණදුන් ඇත්තන් තනතුරුවල හෝ ලංකාවේ නැති වෙන්නට පුළුවන්ය. එම නිසා අවසානයේ දඬුවම ලැබුණේ අණට නිලලත් චණ්ඩියන් වන්නට ගිය ආරක්ෂක අංශයේ සෙබළුන්ය. වැලිවේරිය හා රූකාන්තලා දැඩිලෙස සම්බන්ධ වන්නේ මෙතනදීය.

   එසේනම් අද අවි අතට ගෙන සිවිල් ගැටළුවලදී නිලලත් චණ්ඩීන් ලෙස හැසිරෙන ආරක්ෂක හමුදාව හදවතින් සිහකරගත යුතු සාධක දෙක එයයි. එනම් අද අණදෙන්නන් නොව දඬුවම් විඳින්නට සිදුවන්නේ අණ ක්‍රියාත්මක කලවුන්ටය. එබැවින් ඉහල අණ ඉක්මවා කටයුතු කිරීමේදී වර්තමානයේ ලැබී ඇති උදාහරණ සිතාබලා කටයුතු කිරීම වඩාත් වටි. එසේම වැලිවේරියේ දී පොලු පහරවල් වදිනවිට මිනිස්සු දෑත් ඉහලට ඔසවා කල ප්‍රකාශ කීපයක් අප පහතින් ඉදිරිපත් කරමු.

“අනේ පුතේ...උඹලා ඇයි අපිට ගහන්නේ..මේ අත් වලින් තමයි උඹලා  කොටියගෙන් බේරන්න කියලා බෝධි පූජා තිබ්බේ පොල් ගැහුවේ..“

“අනේ මල්ලියේ...තව ගහපල්ලා උඹලා අපිට...මේ මගේ ලේ යකෝ...මේ ලේම තමයි උඹලා වෙනුවෙන් මම විසි සැරයක් දන් දුන්නේ..තව ගහපන් ලේ යන්න“

“උඹලා අපිට වෙඩි තියලා මදි යකෝ...කොටියා වෙඩි  තියලා මලානම් අපිට දුකක් නෑ යකෝ..ඒත් අපිට වෙඩි තියන්නේ අපේම එවුන්...“

“අපි රටක් රාජ්ජයක් ඉල්ලුවේ නෑ යක්කුනේ...අපි ඉල්ලුවේ වතුර...වතුර විතරයි...ඒ නොමැරී ඉන්න...“

අපි කිසි විටක හමුදාව හෝ වැලිවේරියේ රතුපස්වල ජනතාව හෝ රජය හෝ නිවැරදියයි කියන්නේ හෝ වැරදියයි කියන්නට මෙතරම් ඉක්මණට පෙළඹෙන්නේ නැත. ලේ වැගිරී ඇත..එය ඛේදවාචකයකි. ඉතිරි කොටස ජනතාවට බාරයි.

6 comments:

  1. මීට ටික කාලෙකට ඉස්සර අවන්ත ආටිගල කාටුන් එකක් ඇන්දා. හමුදාව උතුරේ ජනතාවට තුවක්කු ඔසවද්දි දකුණේ අපි ඔල්වරසන් දෙනවා. නමුත් ඊට පස්සේ ඒ තුවක්කුව අපේ පැත්තට එල්ල වෙනවා. මම හිතුවේ අවන්ත කොරහේ කිඹුල්ලු දකිනවා කියලා. නමුත් අද ඒක ඇත්ත වෙලා. හෙට දවසේ කුමක් හෝ දෙයක් වෙනුවෙන් ඔබේ හෝ මගේ පැත්තට තුවක්කුව එල්ල නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්?

    ReplyDelete
  2. ඒ කාලය උදා වෙලා! තවත් බකං නිලන් ඉමුද??

    ReplyDelete
  3. ඉක්මනට පෙළඹෙන්නේ නැත්තේ සිද්දිය ගැන නොදන්න නිසානේ... සිද්දිය ගැන දන්න මිනිස්සු දන්නවා.. ආන්ඩුවයි, ඇමතිවරුයි, අලවාහිනියයි, නයි ටී ඇන් එකයි, දිණමින පත්තරෙයි කියන්නේ බොරු කියලා..

    මුන් උතුරේ ක්‍රියා කරන්න ඇත්තේ කොහොමද කියලා හිතාගන්න දැන් චනල් ෆෝ ඕන නෑ. තමන්ගෙම සහෝදරයන්ට, අම්මට, තාත්තට, පූජකයන්ට, ආගමික ස්ථානවලට සලකන්නේ මෙහෙම නම්. එහේ කොහොමට තියෙන්න ඇද්ද කියලා හරකෙකුට උනත් හිතා ගන්න පුළුවන්.

    ReplyDelete
  4. චම්පකටයි,විමලයටයි පොලිස් බලතල *කේ ගහගන්න තියෙන්නේ.ඔය වැඩ කරලා තියෙන්නේ මහ එකාගේ බලතල.

    ReplyDelete
    Replies
    1. එකෙක්ට බලතල තිබිල ඔහොම නම් පලා බබලටත් බලතල දීල ඇඩ්රස් නැතිවෙන්න්නම කමු

      Delete
  5. හලේ මන්දා, මේවා බල බල ඉන්න වෙලා තියෙන්නෙ, ඔක්කමත් හරි මේ ටික හැමෝටම තේරෙනවානේ,ඊට පස්සේ ආයෙම ඡන්දයක් තිබ්බාම ආයේ මේ අයම දිනනවා,හැබැයි ඡන්දෙ දුන්න කෙනෙක් හොයාගන්නත් නෑ, හමුදාවටත් දැන් තියෙන ආයුධ වලට කරකියාගන්න දෙයක් නැතිව වගේ දකින දකින මිනිස්සුන්ට වෙඩි තියෙනවා.. (හොද වෙලාවට මට ඡන්දෙ නැත්තෙ තවම)

    ReplyDelete