Aug 28, 2013

බොස්ගේ තාවකාලික පැවිද්ද


බොස් ඔෆීස් එකට ආවේ ටිකක් මහන්සියෙන් වගේ. ආපු ගමන් රාජකාරී අසුනේ වාඩි වෙලා පත්තරේ කියවන්න ගත්තා. කාර්යාලයේ සහය කාර්යමණ්ඩලය බරටම වැඩ. බොස් සීරුවට පත්තරේ කියවමින් ඉන්නවා.

"අප්පට සිරි...මේ අයිසේ තමුසෙලා දැක්කද මේක"

වැඩ කර කර හිටපු ගෝලයෝ ටික සේරම බොස් දිහා උඩ ගිහින් වගේ බැලුවා. බොස් හිටියේ පුදුම වෙලා.

"මොකක්ද සර්..?"

"ඇයි අයිසේ තමුසෙලා මේ පත්තර කියවන්නේ  නැද්ද.. දැක්කේ නැද්ද අයිසේ සනත් ගුණතිලක මහණවෙලා කියලා..? තමුසෙලා මරු පොරවල්නේ අයිසේ.."

ගෝලයේ ටික සුසුම් හෙලලා හිනාවක් දාලා නිකං හිටියා.

"අයියෝ සර්...ඕක ඊයේ රෑ ටී.වී එකේ පට්ට ගහපු නිවුස් එකක් නේ..සර් දැන්ද දැක්කේ..ඒ වුණාට සර් සදාකාලිකවම මහණ වෙලා නෙවෙයිනේ...තාවකාලිකවලුනේ..."

ගෝලයෝ එච්චර ගාණකට නැතිව කිව්වා.


"හරි අයිසේ තාවකාලිකව හරි හොඳ වැඩක්නේ...බලනවා සනත් හොඳ නළුවෙක්...විරාගයේ අරවින්ද...ෂා ෂා කතා කරලා වැඩක් නෑ මිනිහගේ රඟපෑම් ගැන.."

බොස් සනත් ගුණතිලකව වර්ණනා කරනවා ඉවරයක් නෑ.

"ඒ වුණාට සර් සමහර හාමුදුරුවෝනම් බණිනනවා තාවකාලිකව මහණ වෙන එක ධර්මයට පටහැණියි කියලා..."

බොස් සීරියස් විදියට කල්පනා කරා.

"ඒ වුණාට අයිසේ ඒක හොඳයි..දැන් බලනවා පැවිද්ද කියන එක කොච්චර වගකීමක් තියන ඒ වගේම ගරුකරනන්න ඕන තත්වයක් ද කියලා..අවබෝධයක් නැතිව සිවුර දාගෙන පස්සේ ඇති වුණාම ගලවලා යනවට වඩා මම හිතන්නේ මහණ වෙන්න ඉන්න ඕන කෙනෙක් මෙහෙම සතියකට විතර තාවකාලිකව මහණ වෙලා තමන්ට සාසනේ ඉන්න පුළුවන් කියලා හිතෙනවනම් දිගටම ඉන්නත් නැත්තම් මේ සනත් ලොක්කා වගේ සතියකින් ධර්මානුකූලව චීවරේට සමුදෙන්න පුළුවන්නේ...එතකොට සාසනේ සවුත්තු වෙන්නෙත් නෑ අයිසේ...මමනම් කියන්නේ ඒක හොඳ ක්‍රමවේදයක්..."

බොස් සෑහෙන්න හොඳ පැහැදිලි කීරීමක් කලා ඒ ගැන. ගෝලයෙක්ට ලොකු ප්‍රශ්නයක් තිබ්බා.

"සර් ඔය වගේම වැදගත්,වගකීම් තියන දෙයක්නේ කසාදේ...ඒකට බැරිද දන්නෑ නේද සර් ඔය ක්‍රමේ යොදාගන්න..මම කියන්නේ සර් නීතියෙන් ක්‍රමයක් හැදුවනම් හරි තාවකාලිකව සතියක් විතර බැඳලා බලලා හොඳනම් දිගට ඉන්නත්...ඉන්න බෑ වගේනම් ධර්මානුකූලව හරි නීත්‍යානුකූලව හරි දික්කසාද වෙන්න ක්‍රමයක්...මම හිතන්නේ සර් ඒකත් හොඳ වෙයි..."

ගෝලයගේ කතාවට මූව ඔෆීස් එකම බඩවල් අල්ලන් හිනාවෙනවා..හැබැයි බොස්නම් සීරියස්.එහෙම ඉදලා බොස් කියනවා..

"ඇත්ත අයිසේ..එහෙම ක්‍රමයක් තිබුණනම් තමුසෙලට කලින් මම ඒක කරනවා..සතියෙන් දික්කසාද වෙලා තාවකාලික නෙවෙයි සදාකාලිකවම මහණ වෙනවා අයිසේ..."

 

4 comments:

  1. ඕනෑම දේක අන්තයට යන්න හොද නෑ. අතරමැද තැනක ඉන්න ඕනේ. ඕනෑනම් ගිහියෙකුට මහණකෙනෙකු විදියට ඉන්නත් පුළුවන්. අර නුලක ගලක් ගැට ගහලා එක කෙළවරකට ඇදලා අත ඇරියම අනිත් කෙලවරට යනවා වගේ. සිවුර දාගෙන හිටියම අත ඇරියොත් නවතින්නේ අනිත් කෙලවරේ. ඒ වගේමයි අධික ලෙස ලෞකික සැප සම්පත් වින්ද අයත් ගිහින් නවතින්නේ අනිත් කෙලවරේ. එහෙම එහාට මෙහාට ගිහින් මැද නවතිනවා නම් හොඳයි. ඒකට තමයි මැදුම් පිළිවෙත කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සූභාෂ් සහෝදරයා..මේ කතාවේ හරයත් එයින් එකක්

      Delete
  2. ෂා නියම ගෝලයෙක්නේ.අපේ ඔෆිස් එකටත් හොඳයි බොසා දෙන ගොං ටෝක් වලට උත්තර දෙන්න.

    ReplyDelete
  3. තාවකාලික පැවිද්ද වරදක් විදිහට මම දකින්නේ නැහැ, නමුත් සනත් ගේ අරමුණ චිත්‍රපටියක් සඳහා නම් ඒ වෙනුවෙන් තාවකාලික පැවිද්ද යොදා ගැනීම ඉතා වැරදි දෙයක්.

    ReplyDelete