Nov 10, 2013

සෙංකොට්ටං කියවනා සමාජ තලය මත හිඳ

සෙංකොට්ටං අතට ගත්තේ එතරම් ප්‍රසාදයකින් නොවේ. පසුගිය වසර කීපයේ ස්වර්ණ පුස්තක ලෙස ලේබල් ගැසූ නීරස සහ සැබෑ ලෙසම එවැන්නකට සුදුසුදැයි හැඟෙන මට්ටමේ පොත් කියවීමෙන් ලද කටුක අත්දැකීම නිසා සෙංකොට්ටම් යන ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත කියවන්නට ගනිද්දීම හිතුනේ හරි නැත්නම් පැත්තකට දානවා යන්නය. ඒත් එක හුස්මට පිටු පනහක් අවසන් කිරීමේදීම හැඟුනේ සෙංකොට්ටං යනු අපි නොදන්නා රහක් ඇති රස කැවිල්ලක් බවයි. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මවා ඇති සෙංකොට්ටං වපසරිය තුල අපද ජීවත්වීම වැලැක්විය නොහැකිය. වත්මන් සමාජයේ පවා අළු යට ගිනි පුපුරු සේ පවතින මීට දශක කීපයකට කලින් සුළුතරයකට ආයුධයක්ද බහුතරයකට නින්දාවක්ද වූ ග්‍රෝතවාදය නොහොත් කුල ක්‍රමය තුල ජන සමාජයේ තිබූ නින්දා සහගත තත්වය සහ එයට ඈඳුනු අඩුයයි සම්මත පවුලක් තතු මත ඇඳෙන සෙංකොට්ටං කතාව කියාපාන කතා ගණනාවක්ම ඇත.

   “නචච්ඡා වසලෝ හෝති - නචච්ඡා හෝත් බ්‍රාහ්මණෝ...කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මණෝ“ යන බුද්ධ වචනයේ අර්ථය නොපිළිගත් සිංහල බෞද්ධ සැදැහැවතුන් වාසයකල රටක් මීට දශක හතකට අටකට පෙරාතුව මේ රටේ තිබුණ බව වත්මන් සමාජ තලයට කියාදෙන කතාන්තරයක් ලෙස සෙංකොට්ටං හැදින්විය හැක. වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ උප්පත්තියෙන් නොව තමන්ගේ කල්ක්‍රියාවෙන් බව උතුම් බුදු බණේ කියවෙද්දී, එයම පන්සලේ බණමඩුවේ සාධුකාර දී කමටහන් කරන රදල පැලැන්තියම පොදු සමාජයේදී අඩුකුල යයි සැලකූ පාර්ශව තලා දැම්මේ කෙසේද යන්න ඒ ජීවිත තුලටම එබීබලා විමසන්නට මහින්ද ප්‍රසාද් නියමාකාර අවස්ථාවක් ලබාදී ඇත.


   වීරප්පුලි හේනයා සහ ඔහුගේ පවුල වටා ගෙතී ඇති කතන්දරයේ හේනයා නැමති නාමයෙන්ම ලංකාවේ එවකට පැවති කුල ක්‍රමයේ ඔවුන්ට හිමිකර දී තිබුණු රෙදි අපුල්ලන රදා හණ ගැසිල්ලේ කරුමය පෙන්වා දී ඇත. වීරප්පුලි හේනයාගේ මුණුබුරා වන බබා හේනයාගේ නම තැබීමේ සිට පාසලට ඇතුලත් කිරීමට දක්වා ස්වාධිපත්‍යයක් හෝ අවස්ථාවක් හිමි නොවන්නේ තමන්ට උපතින් ලද කරුමය වන කරපින්නාගෙන නිවටුන් සේ ඉන්නට සිදුව ඇති කුලයම බව පෙන්නා දේ. ඒ සියල්ල තබා පිනක් දහමක්වත් කරගන්නට තමන්ගේ කුලය බාධාවක් වූ සමාජයක එතනින් එහාට කුමක් කරන්නද යන්න පෙන්වා දේ. සමාජ ක්‍රමයේ විෂමතා, අධ්‍යාපනයේ හා දැනුවත්භාවයේ අඩුකම හේතුවෙන් ජීවිතයේ මගවරද්දගන්නා සහ මග සලසගන්නා දූ පුතුන් අතරේ අවසන සියදිවි නහගන්නටද වන මහ පරපුරක දුක්ඛදායක මෙන්ම ප්‍රායෝගික යථාර්තයද සෙංකොට්ටං කතාව අපූරුවට හුවාදක්වයි.

   මේ කතාවේ ඉතා ප්‍රිය චරිතයක් වන්නේ ෆ්‍රැන්සිස් බටුවන්තුඩාවේ හෙවත් ගුණ රාළහාමිය. ඔහුගේ විස්තරයෙන් සහ අදහස් වලින්ම තිස් ගණන්වල සමාජවාදියෙක් ලෙස ඇන්.ඇම්, කොල්වින්, පිලිප් අදහන්නෙක් බව පෙන්වනු ඇත. ඒ සමාජවාදී මතයේ හරයේ ගෙන එන සමානාත්මතාවය පෙන්වමින් ගුණ රාළහාමි යන මහ කුලයේ රදලයා හේනයාගේ පවුලේ අයටත් ගමේ අනෙකුත් කුලවල අයටත් භේදයක් නැතිව සලකන සහ සමාජ සම්මතවාදයන්ට පටහැනිව සමාජ විශෝධනය උදෙසා කටයුතු කරන්නෙක් ලෙස දැක්විය හැක. එවන් චරිතද එදා මෙන්ම අද සමාජයටද රැගෙනවිත් ඇති බව හදුනාගත හැක. 

   නමුත් සෙංකොට්ටං කියවා අවසන “අනේ හරි ෂෝක් කතාවක්නේ..අනේ මෙහෙම දේවලුත් අපේ රටේ වුනාද“ කියා විස්සෝප වන ඇත්තන්ම පෙලවහේ සිට මහණකම දක්වාම අදටත් දක්කාගෙන යන කුලය නැමති ගොන් හරකා ගැන නොදන්නවා නොවෙයි, එහෙත් තවමත් ග්‍රෝතික කල්ලිවාදයට ඇති කෑදරකම ඔවුන්ගේ දෑස් අන්ධකර ඇත. එසේනම් එදාට වඩා වෙනසකට ඇත්තේ අද කුල භේදයකින් තොරව නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් සහ මුදලේ ආධිපත්‍යයෙන් කුලය වරිගය ඉක්මවා දැනුම ඉදිරියට පැමිණ ඇති බවයි. නමුත් කුල ගෝත්‍රවාදය යන සත්වයා තවමත් මියගොස් නැත. අදටත් එහෙ මෙහේ කැලෑවල්, අහුමුළු, කොණ්වල සිට ඉඳහිට පැන ඇතමෙක්ට පණ යන්නටම පහරදෙන බව සෙංකොට්ටං වර්තමානයේ කියවන සමාජ තලය මත සිටම වටහාගත යුත්තකි. එය පිටුදකින සමාජයක් සෙංකොට්ටං කෘතියේ ලියුම්කරුගේ අභිප්‍රාය මෙන්ම අපගේ අභිප්‍රායද විය යුතුය.

26 comments:

  1. :) සෙංකොට්ටං කියෝල ඉවර වෙන මොහොතෙ දැනෙන හැඟීම කියල නිම කරන්න බෑ.. මම දැකපු ලස්සනම අවසානයක් :)

    ReplyDelete
    Replies
    1. පැහැදිලිව සමස්ථයක් විදියට ගත්තම කතාව හැඟීම්බරයි වගේම ගලායාම අතින් පොහොසත්

      Delete
  2. හ්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් කිව්වම අදහස් ගණනාවක් හිතාගන්න පුළුවන්

      Delete
  3. මේ ගැන දැකපු දෙවැනි ගුණ කථනය. පලවෙනි එක දැක්කේ උඩින් ඉන්නා සමියගේ මුහුණු පොතේ බිත්තියේ. හරියන්නේ නෑ, කියවලා බලන්නම වෙනවා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක්..

      Delete
  4. හැඟුම්බර කතාවක්.. සෑහෙන දුක හිතෙන කතාවක් !

    ReplyDelete
    Replies
    1. ඇත්ත..අපි ඒ කතාව තුලට ඔබ්බවන කතාවක් සෙංකොට්ටං..

      Delete
  5. සෙංකොට්ටං කියන්නේ අමරකීර්තිගෙ අටවක පුත්තු වලින් පස්සෙ අපූර්ව රසයක් ලබා දුන්නු පොතක්. නැත්නම් ඔබ කියා ඇති ලෙස 'නොදන්නා රහක් ඇති රස කැවිල්ලක්'.

    මේ පොත ඇතුළුව ස්වර්ණ පුස්තක අවසාන වටයට තේරුණු පොත් පිළිබඳව අවසාන වටයේ විනිශ්චය මඩුල්ලේ සාමාජිකයෙකු වූ ගාමිණී වියන්ගොඩ විකල්ප වෙබ් අඩවියට ඉතා හොඳ ලිපි දෙකක් ලියා තියනවා. මේ එහි දෙවන කොටසයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිසර..ඒ ලිපිය බොහොම වැදගත් ලිපියක්.

      Delete
  6. මමත් පොත එක හුස්මට කියෙව්වා. කියවන්න කලින් වුණත් ඔය කුල මල කියන ඒවා විකාර හැටියට යි මට පෙනුණේ. මට හිතෙන හැටියට නම් අද තරුණ පරම්පරාව තුළ ඔය වගේ දේවල්වලට වැඩි සැලකිල්ලක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝදරිය අතීතයට සාපේක්ෂව අද තරුණ පරපුර මේ කුල ගෝත්‍ර භේද එතරම් සැලකිල්ලක් දක්වන්නේ නෑ..නමුත් අදටත් එය ගැන සිතන එය අනුගමනය කරන පිරිසකුත් ඉන්නවා..ඔවුන්ගේ වැඩවසම් ඔළුවලටයි සෙංකොට්ටං පහර දෙන්නේ

      Delete
  7. පොත කියවා නැහැ.නුදුරේදීම මෙය ටෙලි නාට්‍යයක් ලෙස නැරඹිය හැකිබව කතුවරයා පුවත්පතකට කියා තිබුනා. සෙංකොට්ටං යනු රෙදි වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමට සලකුනු යෙදීමට ගන්නා ඉංදියාවෙන් ගෙන්වූ කුඩා ගෙඩි වර්ගයක් බවත් ඔහු කියා තිබුනා.

    ReplyDelete
    Replies
    1. එහෙමද මිත්‍රයා..ඒකනම් බොහොම හොඳ ප්‍රවෘත්තියක්..නමුත් බොහෝ කෘතීන් ටෙලි නාට්‍ය ලෙස ඉදිරිපත් කරනකොට එහි රසයේ රඩුවක් දැනුන අවස්ථා බහුලයි..මොකද පොතක් කියවද්දි අපි ගොඩනගන මනෝරාජික ලෝකය බිඳවැටෙන්න පුළුවන් එහි ඇසිදිසිය එක්ක

      Delete
  8. මම මගේ මේ පාර උපන්දිනේට අරයට එවන්න කිවුවෙත් සෙංකොට්ටං.. තැන් දෙක තුනකම දැක්ක ලිපි හන්දා කියවන්න ආස වුනා මාත්..

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ උපන්දින තෑග්ගක්..කියෙව්වම වටිනාකම තවත් වැඩිවේවි මචං..

      Delete
  9. අඩේ මම අදයි මේ ගැන දන්නේ බන් බලමු ළඟදිම කියවන්න ලැබෙයිද කියලා

    ReplyDelete
    Replies
    1. රුපියල් 300 ට වැඩිම වටිනාකමක් දෙන්න පුළුවන් අවස්ථාවක්

      Delete
  10. හැමොම කියන්නෙ බලන්න කියල නේද

    ReplyDelete
  11. හැමෝම හොඳයි හොඳයි කියල කියන නිසාත් සම්මාන ලාභී නිසාත් ගෙන්නගෙන කියෙව්ව​. ඒත් සීතාම්බර පටය මම දැක්කෙ නැද්ද මන් දා?

    ReplyDelete
  12. මම ඔබගේ බ්ලොගයේ කොමෙන්ටුක් කෙටුවා ඇවිත්ද බැළුවනම්

    ReplyDelete
  13. ඔබගේ හරවත් ලිපිය කියවලා සෙංකොට්ටන් කියවීමට මහත් ආශාවක් ඇතිවුනා. ඉක්මනින්ම පොත ලබා ගන්න ඕනේ. මම නැවතත් ඔබේ ලිපි කියවීමට එන්නම්. ජය!!

    ReplyDelete
  14. මටත් කාලෙකින් කියවන්න ලැබුන මතක හිටින කතාවක්

    ReplyDelete
  15. කියවලා නෑ..................කියවලා බලමු

    ReplyDelete