Oct 25, 2014

තණ්හාය රතීය රඟාය...ඒත් හැබෑය (පිස්තෝල සහ සෙල්ලම් පිස්තෝල)


මා කුඩා කාලයේදී වරක් දෙවිනුවර විශ්ණු දේවාලයේ පෙරහැර සමය හා සමගාමීව පැවැත්වෙන වෙළඳ සල්පිලෙන් ප්ලාස්ටික් සෙල්ලම් තුවක්කුවක් මිලට ගත්තෙමි. එවකට ඉතා ප්‍රකට සෙල්ලම් බඩුවක් වූ එහි වූ විශේෂත්වය වන්නේ ප්ලාස්ටික් ගෝලාකාර ඇට දමා සීරුවට උණ්ඩයක් පරිද්දෙන් සූදානම් කර ඉලක්කයට ශබ්දයක්ද සමගින් යැවිය හැකිවීමයි. එමගින් මා සැබෑ තුවක්කුවකින් වෙඩි තබනවා යන්නේ ආශ්වාදයක විඳිබව සිහිපත් කල යුතුය. තුවක්කුව අප දෑතට එතරම් සමීප වන්නට හේතුව වූයේ විසිවෙනි සියවස අගභාගයේ ලංකාව තුල පැවති යුධමය වාතාවරණය විය යුතුය. ජයසිකුරු, රිවිරැස, ඉදිරි පිම්ම ආදී හමුදා ක්‍රියාන්විත මාධ්‍ය හරහා දිනපතා ප්‍රචලිත වීම තුල අපද උතුරු කරයේ යුධ වදින ක්‍රියාන්විතයන් හා යම්තාක් දුරට මානසිකව බැඳී සිටියෙමු. එහි ප්‍රතිඵලයක් විදියට වීරත්වය හා යුධ මානසිකත්වය කේන්ද්‍ර කරගෙන අපිද “සෙල්ලම් පිස්තෝලය“ අතට ගත්තෙමු.

   විසි එක්වෙනි සියවස මූලාරම්භයේම ඊනියා සාම ගිවිසුමෙන් යම්තාක් දුරට වැසීගිය යුධමය ආකල්ප නැවත වතාවක් 2004 තුල ඔප්නැංවීම නිසාවෙන් රටතුල ත්‍රස්තවාදය ආයුධවලින් අවසන් කලයුතුය යන ආකල්පය වගාවීම ඇරඹිනි. රජය,මාධ්‍ය සහ විවිධ සංවිධාන තුලින් රටතුල යුධ මානසිකත්වය ඉතාමත් ඉහල ආකාරයෙන් පැතිරවීම සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස කොටි සංවිධානයේ නායකයා මරා දමන තුරුම ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයක ජයග්‍රාහී මොහොත ලබනා තුරාවට රූපවාහිනිය ඉදිරියේ පොදිකන ක්‍රිකට් ලෝලීන් පරිද්දෙන් ඉවසුම් නැතුව බලා සිටියෙමු. ඉන් අනතුරුව රටපුරා එසවුණු සිංහ කොඩි අතරින්, කිරිබත් දන්සැල්, රාජ්‍ය උත්සව, සංගීත සැණකෙළි අතරින් යුධකාමී වීරත්වයට විශේෂ සැලකිලි ලැබීමේ කූටප්‍රාප්තියට පැමිණියහ. බාල මහළු වෙනසකින් තොරව යුද්ධය වීරත්වයේ ප්‍රමුඛ මාර්ගයක් ලෙස පිළිගත්හ.

   තණ්හා රතී රඟා පදනම් වන්නේ මෙතනින්ය. නිලේන්ද්‍ර දේශප්‍රිය නැමති නිර්මාණකරුවා තම කුළුඳුල් නිර්මාණයට පාදක කරගන්නේ මෙරට බොහෝ දෙනෙක් දන්නා නමුත් නොදන්නා ලෙස කටයුතු කරන්නාවූ සාධකයකි. විමලේ නම්වූ ත්‍රීවිල් රථ රියඳුරා, සුරාජ් නැමති විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සහ සිරා නැමති කම්කරුවා යන මිශ්‍රණය යුධ මානසිකත්වයේ සිට ප්‍රායෝගිකත්වය දක්වා අතීතයේ සිට අනාගතයට ගමන් කරන ආකාරය සහ ඔවුන්ට හිමිවන අහිමිවන දේ පිළිබඳ චිත්‍රපටය පුරාවට දිවයයි. යුධ ජයග්‍රහණයෙන් පසු උතුරු සටන් බිම වෙත ත්‍රී රෝද රථයෙන් චාරිකාවක ගමන් කිරීමේ සිට අවසානයේ වැලිකඩ සිට ගෙදර එන්නට වීම අතරතුර සිදුවීම් මාලාවට පාදක වන්නේ තවත් සෙල්ලම් නොවන පිස්තෝලයක් ද යන්න නරඹන්නා තුල හැඟීමක් ඇතිකරන ගැටළුවක්ද සමගිනි. 

   විශේෂයෙන්ම රට තුල පසුගිය කාලය තුල යුධ මානසිකත්වය ඇති කලේ පැවති මානුෂීය මෙහෙයුම්වලට අවශ්‍ය උත්තේජනය ප්‍රජාව තුලින් ලබාදීමය. රටතුල ත්‍රස්තවාදය නැති කිරීමට හමුදා ක්‍රියාන්විත ඉතා ප්‍රබලව සිදුවෙද්දී සිවිල් අරගල හෝ ප්‍රජා විරෝධතා පැමිණීම වැලැක්වීමට මෙන්ම රටතුල ආර්ථිකමය ඇදවැටීමක් වේනම් (සැබවින් එය එලෙස සිදුවිය) එයට එල්ලවන්නා වූ විරෝධතාවයන් වැලැක්වීම උදෙසා එලෙස ඒකාබද්ධ මාධ්‍ය ක්‍රමවේදයක් මෙන්ම මතවාදමය ක්‍රමවේදයක් දියත් කලා විය හැකිය. නමුත් එම මානසිකත්වය තුලින් සිදුවන්නාවූ සමාජමය විපර්යාසය තණ්හා රතී රඟා තුලින් මනාවට පෙන්නුම් කරයි. කුඩා දරුවන් පවා ගැහැණු පිරිමි භේදයකින් තොරව සෙල්ලම් පිස්තෝල ගෙන කෙලි සෙල්ලම් කරන තත්වයට පත්වීම සහ හැබෑ පිස්තෝල වලට ඇති ඉල්ලුම පෙන්නුම් කරන්නේ මානව චින්තනය තුල යුධමය තත්වය සිදුකර ඇති වෙන්සකම්ය. 

   මුලින්ම මෙම චිත්‍රපටය ගැන අදහසක් ඇති කරගත් විගස පුද්ගලිකව මා විසින් සිතනු ලැබුවේ කාලීන දේශපාලනික හෝ සමාජ තත්වය සෘජුව විවේචනය කරන කතා පුවතක් වනු ඇති බවයි, පසුව සිතුනේ ආගමික කෝණයෙන් ජීවිතය දෙස බලන්නක් විය හැකි බවය, අවසානයට සිතුවේ මානව සමාජය තුල මුල්බැස ගත් දේශපාලනික චින්තනය පිළිබඳ මවන ලද කතාවක් බවය. නමුත් සැබෑ ලෙසම මේ සියල්ලේම සහ ඊටත් වඩා එහා ගිය තාත්වික බවක් කැටිකරගත් නිර්මාණයක් බව කිව යුතුය. එහි සෑම සිදුවීමකින්ම අප ජීවත්වන සමාජයේ ඇති දුර්වලකම් පිලිබඳ ඉතා සියුම් ලෙස පහරදීම වටහා ගත යුතුය. ඒත් පිස්තෝල සහ සෙල්ලම් පිස්තෝල අතර ගෙවෙන අද සහ හෙට මානව ගුණාංගවල සංවර්ධනය කෙසේ වෙනස් වේවිද යන්න සිතාගත නොහැකි තරම්ය. සැබෑ පිස්තෝල රැගෙන විත් සෙල්ලම් පිස්තෝල බව කියන සමාජයක් තුල තණ්හා රතී රඟා යනු හැබෑවට දකින නින්දිත සිදුවීම් පෙළක් අතින් වියදම් කරගෙන, කලාත්ම රාමුවක් තුලින්, තාත්වික රංගනයක් තුලින්, දන්නා කියන නළු නිලි කැලක් වෙතින්, සිනමා රසාස්වාදනයක් ලෙස ගෙණ එන සිතුවම් පටයක් පමණි.

7 comments:

  1. තාම බලන්න බැරි වුනා හිතන් ඉන්නේ ළඟදීම බලන්න :)

    ReplyDelete
  2. මේක හොඳ ෆිල්ම් එකක් කියලා කීප තැනකදීම අහනන ලැබුනා ,බලන්න ඕන

    ReplyDelete
  3. බලනවද නැද්ද හම්ම්ම්ම්ම්.....බලන්න ඕන

    ReplyDelete
  4. ඔබේ විස්තරය කියවීමෙන් පසුව චිත්‍රපටය බැලීමේ දැඩි අවශ්‍යතාවක් ඇතිවුනා. ස්තූතියි..

    ReplyDelete
  5. ඔබගේ විචාරය සඳහා විග්‍රහයක් කල නොහැක්කේ සිනමා පටය නැරඹීම පමාවූ බැවිනි නමුත් ඔබගේ ලිපිය මා ඉක්මනින්ම සිනමාහල කරා යැවීමේ උත්තේජනය ඇතිකිරීම පිළිඹඳ තුතීය ඔබහට පුදකරමි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මිත්‍රයා ටිකට් එකක් අරගෙන පැය 2ක් වාඩිවෙලා බැලුවට පාඩුවක් නෑ කියලා “බඹර වලල්ලෙන්“ පස්සේ දැනුණ එකම චිත්‍රපටිය

      Delete