May 25, 2012

ආයෙමත් ආදරෙන් - 4 වැනි කොටස




 සමීර එක්ක තිබුණු තරහ දවස තිස්සෙම අඩුවුනේ නෑ. සැරින් සැරේ මගේ මේසෙට ඇවිත් පුරුදු විකාර ටික කරලා ගියත් හිතේ තරහ අඩුවුනේ නෑ. අනිත් සෙට් එකේ එවුන් ඇවිත් එක එක ඒවා කියලා ගියත් ඉවසදරා ගන්න බැරි තරහ තිබුණේ සමීරයා එක්ක විතරක් නෙවෙයි. අහක යන හට්ටියක් මගේ ඔලුවේ නවපු එකට අල්ලපු ගෙදර මාර දූතිකාව නෙත්මි එක්ක මාළු කන්න තරම් තරහක් මගේ හිතේ තිබුනා. ඒ තරහටම හවස සමීර එනකන්  ඉන්නෙත් නැතුව තනියමම ස්ටෑන්ඩ් එකට ආවා. ඇවිත් මුලින්ම තිබුණ බස් එකේ නැගලා ගෙදර ගියා.

   හවස අයියාගේ චූටි එකත් වඩාගෙන ටිකක් එලිපහලියේ ඇවිදින්න හිතුනේ හිතේ තිබුණු බර අඩුවෙන්නත් එක්ක. තාම යන්තන් ඇඟ කෙලින් කරන් හිනාවෙන්න කෑගහන්න පුළුවන් කම තිබුණු පුංචි එකා මගේ අතට වෙලා හොඳට හිටියේ මම මිදුල පුරාම එයාව අරන් ඇවිද්දවන නිසා.

  එතකොටම මල් වට්ටියකුත් අරන් එලියට ආවේ ජිත්මි. ඒත් වැට මායිමේ ගස්වලට වැහිලා එයාට මාව පේන්නේ නෑ. අර මාර දූතිකාවනම් ලඟපාත හිටියේ නෑ. ජිත්මි සින්දුවකුත් කියාගෙන මල් කඩන්න මිදුල පුරා යන්න ගත්තා. මට එයාව පේන්නෙත් මල්ගස් අතරින් විතරයි. ජිත්මි වතුසුද්ද ගහ අද්දර ඉඳගෙන සීරුවට මලින් මල කඩන්න ගත්තේ සින්දුවත් මුමුණන ගමන්මයි.

“ඉගිලෙන්න තහනම් නම් දුරක් - ඇයි දුන්නේ මට අත්තටු දෙකක්..“

මරු සින්දු තමයි කියන්නේ. හරියට කිරිල්ලියෙක් ඉගිලි ඉගිලි කියනවා වගේ. කට තියන් ඉන්න බැරි කම මතුවෙන්නේ ඒ වගේ වෙලාවට.

“චූටි බබා...ඔයානම් ඉගිල්ලෙන්න හදන්න එපා...මොකද අපි කැමති ඔයා පොලවේ පයගහල යන චූටි බබෙක් වෙනවට“

අල්ලපු වත්තටත් ඇහෙන්නම පොඩි එකාගේ කම්මුල මිරිකලා කියපු දේට ජිත්මි ගැස්සිලා මේ පැත්ත බැලුවා. දකින්න ඇත්තේ අහක බලාගෙන පොඩි එකා එක්ක කතාකරන මම. එයාගේ සින්දුව එහෙම්ම නැවතුනා. දඩ බඩ ගාලා මල් ටික කාඩාගෙන ගේ ඇතුලට දිව්වේ හරියට කවුරුවත් අතවරයක් කරන්න ආවා වගේ.

“ඔන්න ඕක තමයි චූටි බබෝ මම කියන්නේ කවදාවත්  ඉගිල්ලෙන්නනම් එපා කියලා“

මම පොඩි එකාට කියනකොට නැන්දයි අක්කයි ඇවිත් මිදුලේ මගේ විකාර දිහා ඉස්තෝප්පුවේ ඉඳන් හිනාවෙවී ඉන්නවා.

“මොකද මල්ලි මේ චූටි බබා කියන්නේ....ආ චූටි බබා මාමිට වද දෙනවද ඔයා“

අක්කා මගෙන් චූටි බබාව ඉල්ලා ගත්තා. අම්මගේ කටහඬ සුවඳ දැනෙන කොට කාන්දමකට වගේ චූටි බබා ඇදිලා ගියා. 

“මේ නොතේරෙන චූටි එකාට ඔයාගේ කවි සිතුවිලි තේරෙන්නේ නෑ චූටි පුතේ...“

නැන්දා දාපු නෝන්ඩියට පොලව පලාගෙන යන්න පුළුවන් තරම් සැපයි. 

                   
                              * * * * * * * * * * * *

   ඊට පහුවෙනි සෙනසුරාදා දවසේ වැඩ කරන්න යනවා. සෙනසුරාදා වැඩ කරන්න තියෙන්නේ වරුව නිසා එදාට තමයි අපි කැමැත්තෙන්ම වැඩට යන දවස. තව ඉතින් සෙනසුරාදා රාජකාරී ඇඳුමෙන් යන්න ඕනත් නෑ, සාමාන්‍ය ඇඳුමෙන් යන්න පුළුවන් නිසා එදාට තවත් කැමතියි.

   මට උදේම නගින්න වුනේ සන්බීම් බස් එකේ.කොහේද ඉඳන් දුවගෙන ආපු ජිත්මිත් හිරට හිරේ ඩෙනිමක් ඇඳගෙන අමාරුවෙන් බස් එකට නැගගත්තා. හිනාවේ පණ යනවා එයා බස් එකට නගින්න විඳපු දුක දැක්කම. මෙච්චර හිරට ඇඳගෙන අමාරුවෙන් බස්වලට නගිනවා,විනාඩි පහේ ගමනට පැයක් විතර මග ගාටනවා, අතේ තියන දෙයක් වැටුනත් නැවෙන්නේ නෑ අහුලගන්න...ඒත් ගෑනු ළමයි කියනවා ඒක හරි ලේසියිලු. අපිටනම් ඕවට අධෝ භාගෙනුත් හිනා.

  බස් එක ස්ටෑන්ඩ් එකේ නැවැත්තුවා විතරයි මම බැහැලා යන්න හදනකොටම ජිත්මිත් බැහැලා ගියා. මම හිතුවේ අඩුම ගානේ නංගි කරපු දේට මෙයාවත් සමාව ඉල්ලාවි කියලා. අපෝ මෙයාලගේ චර්යාව අන්තිමයි. සමාව තියා හිනාවක් වත් දැම්මේ නෑනේ. මට මොකද ඉතින් කියන්න ඕන ටික දෙන්නටම ඇහෙන්න කිව්වනේ එදා.

  මම පහුකරගෙන යන ජිත්මි පර්ස් එක ඇරලා ජංගම දුරකතනේ අතට අරගෙන කනේ ගහගත්තා. වැරදීමකින් ජංගම දුරකතනෙත් එක්කම පර්ස් එකෙන් රුපියල් දෙදාහක කොලයකුත් එලියට ඇවිත්...තව චුට්ටෙන් වැටෙනවා. චුට්ටෙන් නෙවෙයි ඒක වැටුනා. මේ කෙල්ල ඒ කිසි දෙයක් දන්නේ නෑ ජංගමෙත් කනේ ගහගෙන අඩියට දෙකට දුවනවා. කවුරුවත් දකින්න කලින් මම දෙදාහේ කොලේ අතට අරගත්තා..

...නංගි නංගි..මෙන්න ඔයාගේ සල්ලි වැටුනා...

මම කියපුවා ඇහෙන්නේ කොහේද යනවා හැටට හැටේ. එස්. කේ එක ඉස්සරහ කහ ඉරත් පහු කරලා ජිත්මි යනවා. උදේ පාන්දර දුවන්නත් බෑ. මම අන්තිමට එයාට කතාකරන එක අතෑරලා එයාගේ පස්සෙන් ගියා. වැටුන සල්ලි දෙන්න විතරයි. 

  ක්ලාස් සල්ලි වෙන්න ඇති. පවු මේක නැතිවුනොත් කොච්චර ලැජ්ජාවක්ද. ඒ මදිවට ක්ලාස් එකත් පාඩු වෙනවා. නැත්නම් දවල් කෑමත් නැති වෙයි. මේවා හිත හිත මම ජිත්මිගෙ පස්සෙන් යනවා. එයා මයුර කැෆේ එකත් පහුකරලා මාකට් පාරත් පහුකරලා යනවා.

  මෙහෙම ගියොත් ක්ලාස් එකට යන්න කලින් මෙයාව නවත්තන්න වෙන්නේ නෑ කියලා මට තේරුනා. මම ගියර් එක මාරු කරලා වේගේ වැඩිකලා. එයාට ටිකින් ටික ලංවුනා. අන්තිමට මම එයාගේ පැත්තක.

“ එක්ස් කියුස් මී නංගි...“

මම එහෙම කිව්වා විතරයි ජිත්මි හැරුණා හැරිල්ලක් ගිනි කිකිලි වගේ. කතා කලේ මම කියලා දැක්කා විතරයි ජිත්මිගේ ඇස් දෙක උඩ ගියා. කෙල්ල හිතන්න ඇත්තේ මම හදන්නේ ඒකිට බනින්න කියලා වෙන්න ඇති. ඒත් මම මගේ අතේ තිබුණ දෙදාහේ කොලේ දික්කලා.

“ඔයාගේ පර්ස් එකෙන් මේක වැටුනා ස්ටෑන්ඩ් එකේදි“

මම එහෙම කිව්වම එයාගේ මූණේ හරි අසරණ අහිංසක කමක් මැවුනා. දෙයියනේ කෙල්ලෝ වෙස්මාරු කරන ඉක්මණ. කටුස්සෝ හරි ප්‍රාථමිකයිනේ මේ වගේ වෙලාවට. ගෑණු ළමයින්ට පුළුවන් ඕනම වෙලාව සීදේවී ගේ සිට මූදේවී දක්වාත් මූදේවී ගේ සිට සීදේවී දක්වාත් වෙස් මාරු කරන්න.

“තෑන්ක් යූ අයියා“

“මම එතනදි ඔයාට කතාකලා...ඔයාට ඇහුනේ නෑ..“

මම එහෙම කිව්වම ඒකි හීන් හිනාවක් දැම්මා විතරයි. මම මෙච්චර දෙයක් කරලත් මෙයාට කිසි ගාණන් නෑ. දැන්නම් පුච්ච ගත්තු තෙල් ටික ගැන මටම තරහයි.

“බායි“

මෙන්න මේකි බායි කියලා යන්න ගියා. පාරේ තියන පොලු  කෑල්ලක් අරන් මටම ගහගන්න හිතුනා. මාර කෙල්ලෝ තමයි.

මම ටික වෙලාවක් බලන් ඉඳලා ආයෙත් මාකට් පාර පැත්තට හැරුනේ අලුත් තංගල්ල පාරට එන්න. ඒත් එක්කම කොහේද ඉඳලා ආපු ස්කූටියක් මගේ ඉස්සරහින් පාර හරස් කරලා නතර කරා. ඉස්සරහ හිටපු කොල්ලා හෙල්මට් එක අතට ගත්තා. මම දැකලා නැති කොල්ලෙක්. පෙනුමත් නිකන් හුරු නෑ වගේ. හිතට අමුත්තක්නම් දැනුනා. පස්සෙත් තව කොල්ලෙක් හිටියා.

“මේ යාළුවා...ඔබතුමා කව්ද?“

කතාකරපු විදියනම් එච්චර ඇඟට ගුණ නැති නිසා ටිකක් කල්පනාකාරී වෙන්න මම තීරනේ කලා. මෙහෙම ප්‍රශ්නයක් ඇහුවම ඒ විදියටම උත්තර දුන්නම හරි මගෙ හිතේ

“ඇයි අහන්නේ“

මගේ උත්තරෙන් බයිසිකල් කාරයෝ දෙන්නට තේරුණා මමත් නිකන් එසේ මෙසේ පොරක් නෙවෙයි කියලා.

“හරි හරි යාළුවා කව්රු වුනත් කමක් නෑ ඔය පස්සෙන් එලවන්නේ අන්සතු මලක..හරිද“

දැන් තමයිනේ සිද්ධියට මුල පිරෙන්නේ. එහෙනම් මේ ජිත්මි සම්බන්ධ කේස් එකක්.

“අන්සතු මලක්..? මම දන්නෑ එහෙම මලක්“

“දැන් ඔය පස්සෙන් පෑගුවේ...අන්න එයා තමයි...කරුණාකරලා එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න..මේ පලවෙනි සහ අවසන් අවවාදය“

එහෙම කියලා කොල්ලා හෙල්මට් එක දාගෙන වන්ෂොට් බයික් එක ස්ටාර්ට් කලා.

“බොහොම ස්තූතියි යාළුවා“

මමත් හිනාවක් දාගෙනම කියද්දි ඔල්මොරොන්දන් වුනු බයික්කාරයෝ දෙන්නා යන්න ගියා.



17 comments:

  1. නියමය්නේ ජනරංග අය්යේ, ඊලග කොටසත් ඉක්මනට ලියන්න ;)

    ReplyDelete
    Replies
    1. තැන්කූ මලයා..ඊළඟ කොටස සඳුදා

      Delete
  2. අපරාදෙ... ගුටියක් දෙකක් වැදුන නම්...

    ReplyDelete
    Replies
    1. දැන් මේ අහිංසක දිස්නක කොල්ලා ගුටි කනකන්ද ඔයා බලන් ඉන්නේ..අයියෝ ඒක හරි මාන්දමිකයිනේ

      Delete
  3. ලස්සනයි....දිගටම යමු...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යාළුවා..මේක ගොඩක්ම දිග කතාවක් නෙවෙයි..ඒත් කොටමත් නෑ

      Delete
  4. වැඩේ කියන්නේ දවසක් පස්සෙන් ගියත් අයිතිකාරයෝ ඇවිත් සද්දේ දානවනේ දැං.. මම හිතන්නේ ඒ නියම අයිතියාරයා නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. දැන් ලෝකේ එහෙම තමයි..ඇහැට කණට පේන කෙල්ලෙක් උපදින්නෙම් අයිතිකාරයෝ දහ පාලොස් දෙනෙක් එක්ක

      Delete
  5. එළ මචං ඉක්මනට ඉතුරු ටිකත් දාපන්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් මචං...ඉක්මණටම දානවා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  6. නියමයි ! ගේමක් !!!

    ගේම නම් ගේම... කාමර විතරක් මදි හරිය !!!

    මේක නම් මරු ටෙන්ෂන් වෙලාවක ටිකක් රිලැක්ස් වෙන්න !!! නියම ස්ටයිල් එකක් ! ෂුට්ටක් විතර යෞවන සමීන්ද්‍ර ගේ හැඩයක් පේනවා... ටූට්ටයි හොඳේ !!!

    නියමයි සහෝ... මේ , මේක දිනපතා යන මෙගා සීරීස් එකක් කරන්න බැරිවෙයිද ???

    ReplyDelete
    Replies
    1. මෙගා කුජීත වෙන කාලයක්නේ මේ චතුරංග සහෝදරයා..ඒක නිසා මම හිතනවා සතියකට දෙපාරක් වැටුනම ලස්සනයි කියලා. ඒ වගේම මේ කලබලකාරී යෞවන කතා රටාව ගොඩක් අය අනුගමනය කරන එකක්..ඒක “ෆැන්ටසි මොඩලය“ කිව්වොත් වඩාත් නිවැරදියි. ගතානුගතික ප්‍රේමකතා මොඩලයට වඩා ඒක යථාර්ථවාදී සහ තත්කාලීනයි කියලා මම හිතනවා. ගොඩක් ස්තූතියි අදහස් වලට

      Delete
  7. බොලද ලව් ඉස්ටෝරිවලට වඩා මේ වගේ කතා පට්ට....
    ඉතිරි කොටසත් ඉක්මනට ඕන...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝදරයා...ඉතිරි කොටස සඳුදා

      Delete
  8. ආ.. මට මග ඇරිලානෙ කොටස්..

    ReplyDelete
  9. විනාඩි පහේ ගමනට පැයක් විතර මග ගාටනවා, අතේ තියන දෙයක් වැටුනත් නැවෙන්නේ නෑ අහුලගන්න...ඒත් ගෑනු ළමයි කියනවා ඒක හරි ලේසියිලු. අපිටනම් ඕවට අධෝ භාගෙනුත් හිනා.

    එක සිරා...

    "ච: දෙකක් වනුවනන් මරු :3 "

    ReplyDelete