Sep 6, 2015

ඒස්.බී.දිසානායක නම් වර්තමාන ලාංකේය දේශපාලනයේ සැබෑ නිරුවත



අගෝස්තු 18 බහුතරයක් සරසවි ශිෂ්‍යයන් ඉතාමත් සතුටින් පසුවන්නට ප්‍රධාන හේතුවක් තිබුණි. එසේම ශ්‍රී ලංකාවේ ශිෂ්ට සම්පන්න දේශපාලනයක ක්ෂේම භූමිය දකින්නට දතකන ජනතාවටද එම දිනය සතුටින් ගතකරන්නට හේතුවක් තිබුණි. එස්.බී.දිසානායක ඇතුළු ලංකාවේ දේශපාලනය තුල මජර මාර්ක් දමා තිබූ දේශපාලනඥයන් බරගාණක් ජනතාව විසින් පශ්චාත්භාගයට පයින් ගසා එළවා දමා තිබුණි. ජනතා ඡන්දයෙන් මෙතෙක් කලක් රැකගත් පාර්ලිමේන්තු අසුන පවා අහිමිවීම යනු එවැනි දේශපාලඥයෙක්ට දිය හැකි උත්තරීතරම කණේ පහර බවට සැක නැත. එහෙත් ඒ චිත්තප්‍රීතියට වැඩි ආයුෂ නොමැතිවූයේ ජනාධිපති උතුමාණන් විසින් පාර්ලිමේන්තුව තුල සහ රජයක් තුල නැතිවම බැරි දේශපාලන උත්තමයන් ලෙස සලකා එස්.බී. ඇතුලු තවත් ඔළු ගෙඩි කීපයක් විශේෂ වරප්‍රසාද යටතේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ගත කිරීමයි. එයින්ද නොනැවතී රනිල් වික්‍රමසිංහ නැමති ප්‍රතිපත්තිගරුක දේශපාලඥයා සහ ජනපති උත්තමයාණන් එක්ව ඇමති ධූරයකින්ද පිදීම තුලින් මෙරට ජනතාවගේ ජනමතයට එල්ලකලේ අන්තිම අසික්කිත ප්‍රහාරයකි.


ජාතික ලයිස්තුව අවභාවිතය

පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තුව පවතින්නේ මැතිවරණයකදී ඒ ඒ පක්ෂ වලට අනුපාතිකව මහජන ඡන්දයකින් ජයග්‍රහණය කල නොහැකි රටේ වියත් සහ පාර්ලිමේන්තුව තුල සිටිය යුතුමයැයි විශ්වාස කරන පිරිස පාර්ලිමේන්තුගත කිරීමටය. සමස්තයක් ලෙස සෑම පක්ෂයක්ම එම ලයිස්තුව මෙවරද අවභාවිතය කිරීම දක්නට ලැබුණි. සන්ධානය අන්ත පරාජිත එස්.බී, මහින්ද සමරසිංහ, තිලංග සුමතිපාල,ලක්ෂ්මන් යාපා, විජිත් විජිතමුණි වැන්නවුන් පාර්ලිමේන්තුවට ජාතික ලයිතුවෙන් ගෙන එන ලදි, එක්සත් ජාතික පක්ෂය පරාජිතයන්ට ඉඩ නොදෙන ප්‍රතිපත්තියේ සිටියද පක්ෂයට ආයෝජනය කරන දයා ගමගේ වැන්නවුන්ගේ තනියට භාර්යාව පවා ජාතික ලයිස්තුව තුලින් පාර්ලිමේන්තුවට නැවත කැඳවීම තුලින් එය අවභාවිත කරන ලදි. ජනතා විමුක්ති පෙරමුණද පරාජිතයන්ට ඉඩදීම සහ දෙමළ සන්ධානයද එතැනට වැටීම තුලින් සමස්ථයක් ලෙස ජාති ලයිස්තුව තුලින් රටක ජනතාව අපේක්ෂා කරන යහපාලනය දක්නට නෙැලැබුණි.

ජනවරමට කොකා පෙන්නීම

ජනතාව විසින් එස්.බී වැනි කටහැකර සහ ලැජ්ජා නැති දේශපාලන චරිත වලට උරුම තැන නිසි ලෙස උරුමකර දුන්හ. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා සන්ධානයේ ජාතික ලයිස්තුව හයිජැක් කිරීම හරහා එස්.බී ලාට නැවත පාර්ලිමේන්තුවේ දොර විවරකර දුන්නේ ජනතාවගේ ජනමතය අන්ත අසික්කිත තත්වයකට පත්කරමින්ය. එයින් ගම්‍ය වුනේ “තොපේ ඡන්දය ලැබුනත් නැතත් අපි පාර්ලිමේන්තු යන බවය“ එස්.බී සරමද උස්සා පශ්චාත්භාගය තම ඡන්දදායකයින්ට පෙන්වමින් පාර්ලිමේන්තු ගොස් ඇමති පට්ටමක්ද ගන්නේ එලෙසින්ය. එය මෙරට දේශපාලනයේ වර්තමාන අන්ත ජරාජීර්ණ තත්වය මනාලෙස පෙන්වන සාධකයක් ලෙස තවත් උදාහරණ අවශ්‍ය නැත. අනෙකුත් සාධකය ජනතා ඡන්දයෙන් පරාජයට පත්වූ තිලංග ලා පාර්ලිමේන්තුගත කර නියෝජ්‍ය කතානායක තනතුර දක්වාම යන්නේ හෙතෙම අවශ්‍යය පාර්ලිමේන්තුවටද නැත්නම් ශ්‍රී.ල.නි.ප යේ භාණ්ඩාගාරයට ද යන්න පිළිබඳ ගැටළුවක් ඇතිකරමින්ය.

එස්.බී ගේ ප්‍රකාශය

මෑතකදී එස්.බී ප්‍රකාශකර තිබුණේ තමන් පාරාජයට පත්වූයේ මහින්ද රාජපක්ෂ නිසා බවයි. මහින්ද රාජපක්ෂ ඔහුගේ දිස්ත්‍රික්කය පුරා ඔහුට ඡන්දය නොදෙන ලෙස කියාසිටිනු අපට කොතැනදීවත් ඇසුනේ නැත. එහෙත් ජනාධිපතිවරණයේදී එස්.බී ගේ ක්‍රියාපිළිවෙත සහ අලුත් ආණ්ඩුවේ ඇමතිකම් ගන්නට යාම නිසා මහින්ද පිළ තුලින් එස්.බී කොන්වූ බව සැබෑය. එස්.බී කියන්නේ මහින්දවාදීන් දිස්ත්‍රික්කය පුරා තමන්ට ඡන්දය නොදෙන ලෙසත්, තමන් ඡන්දයෙන් පසු එ.ජා.ප ය සමග එක්වී තනතුරු ගනු ඇති බවත් කියා කටකතා යැවීම නිසා තමන් පරාජයට පත්වූ බවත්ය. නිවිසැනසිල්ලේ කල්පනා කරබලන විට සත්‍ය ලෙසම සිදුවී ඇත්තේද එයමය. වෙනසකට ඇත්තේ ගෙඩි පිටින් එ.ජා.ප යට පනිනවා වෙනුවට නමට ශ්‍රී.ල.නි.ප ය තුල සිට නිමල් සිරිපාල,සුසිල්, අනුර කල දෙයම එස්.බී ද කිරීමය. එසේනම් මහින්දවාදීන් ගොඩනැගූ තර්කය සාධාරණය.

දේශපාලනික නිරුවත

බලය නොමැතිව සිටීමට අසීරු බව මෙවර මනාවට කියාපෑ ශ්‍රී.ල.නි.ප මහජන නියෝජිතයින් ලංකා දේශපාලනයේ සැබෑ නිරුවත ලොවටම හඬගා කියනු ලැබීය. අසංතෘප්ත පුරුෂ ලිඟුවලට මෙන්ම බලලෝභී බඩගෙඩි වලටද බලය නොමැතිව විපක්ෂයේ සිටිය නොහැකි බව ඔවුන් මනාලෙස පෙන්වා දී ඇත. 1994 සිට 2002 දක්වා එ.ජා.ප ය විපක්ෂයේ කල්මැරුවේය, ආයෙත් 2004 සිට 2015 දක්වා විපක්ෂයේ කල් මැරුවේය, මෙම වසර 19 පුරාවටම රනිල්ට සභාග ආණ්ඩු හෝ ජාතික ආණ්ඩු පිහිටුවීමට අවශ්‍ය නොවීය, ඒ ඔහුගේ දේශපාලනික ප්‍රතිපත්තිගරුක බව නිසා වන්නට ඇත. ඔහු දවසක් පාසා කල්පනා කරන්නට ඇත්තේ විපක්ෂ නායක පදවියද රැකගෙන ඊළඟ රජය පිහිටුවීමට කටයුතු කිරීම සම්බන්ධවය. රනිල් සමග සසඳා බලන විට එස්.බී ලා, නිමල් සිරිපාල ලා, සුසිල් ලා අන්ත පරාජිත දේශපාලන තක්කඩින් පමණක්ම බව වටහාගනු ඉතාම පහසුය.

9 comments:

  1. සහතික ඇත්ත. දැන් නම් අපේ රටේ තියෙන්නේ යහපාලනයක් නෙවෙයි. ජහපාලනයක්.

    ReplyDelete
    Replies
    1. යහපාලනය කියන සංකල්පයට පුද්ගලිකව අකමැත්තක් නෑ, නමුත් ඒ නමින් කරනා දෙයටනම් කිසිසේත්ම එකඟ වෙන්න බෑ.

      Delete
  2. මේක හරියට භාවිතා කළොත් නව දේශපාලන සංස්කෘතියක් බිහිකළ හැකියි...... ඒ ගමන කුහකත්වයකින් තොරව ගියොත් හරි......

    ReplyDelete
    Replies
    1. හරියට භාවිතා කලොත් යන්නෙන් අදහස් කලේ මේ වගේ මජර දේශපාලුවන් කොහොමහරි පාර්ලිමේන්තු යැවීමනම් ඒක අලුත් සංස්කෘතියක් නෙවෙයි අපි ගල්යුගය වෙත නැවත හිරිකිතයක් නැතිව කැඳවාගෙන යාමක්. කිසිම කුහකකමක් නෑ තියෙන්නේ විස්සෝපය විතරයි

      Delete
  3. මහින්ද නීතිය බල්ලට දැම්මා කියල බ්ලොග්වල පස් කකා ඇඬුව කට්ටිය ජාතික ලැයිස්තුව ගැනවත් සිරිසේනගේ ඒකාධිපතිත්වය ගැනවත් හ්ම්ම් සද්දක් නැහැ.හොඳ පැහැදිලි කිරීමක්..මාත් ලියන්න හිතන් උන්නු කාරණාවක්..හැබැයි මට වඩා පැහැදිලිව ඉලක්කෙට ලියලා තියෙනවා..ජය!

    ReplyDelete
    Replies
    1. පාට කණ්ණාඩිවලට වඩා පියවි ලෝකය දැකලා විවේචනය කරන්න, හොඳදේ අගයන්න අපිට හැකියාවක් තිබියු යුතුයි මිත්‍රයා. නැතුව සිංහල ටයිප් කිරීමේ හැකියාව, බ්ලොග් එකවුන්ට් එකක් සහ අන්තර්ජාල සබඳතාවක් තිබූ පමණින් බ්ලොගර් කෙනෙක් වෙන්නේ නෑනේ..බොහොම ස්තූතියි මේ කෙටි ප්‍රයත්නය ඇගයීම ගැන

      Delete
  4. හැබැව පිළිබඳ අපුරුම කතිකාවක්. ඇත්තටම දැන් ජන්ද මොකටද, ජනතාවට කොකා පෙන්නන මේ මජර ක්‍රමය කවුරුවත් වෙනස් කරන්නේ නෑ. බල ලෝභයෙන් මත් වෙලා ඉන්නේ මේ හැමෝම. අගනා විග්‍රහයක්.

    ReplyDelete
  5. All are the same, coz this is SRILANKA.

    ReplyDelete