May 22, 2017

වැල්ලවත්තේ අනතුරේ වරදකරුවා හිරේ - එතකොට මීතොටමුල්ලේ?


පහුගිය මැයි 18 වෙනිදා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව පිටිපස්සේ රථගාල එක්කම තිබෙන මහල් ගණනාවකින් යුත් ගොඩනැගිල්ල කඩාගෙන වැටිලා කීපදෙනෙක් මියගියා, තවත් විශාල ගණනක් තුවාල ලැබුවා. මේ ගොඩනැගිල්ල කඩාගෙන වැටෙන්නේ ගොඩනැගිල්ල තුල පිරිසක් රැඳී සිටින අවස්ථාවකයි. කොහොම වුනත් එක පැත්තකින් මේක බරපතල අනතුරක්, අනික් පැත්තෙන් ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට එල්ලවන වේගවත් අතුල් පහරක්.

මෙගාපොලිස් ඇමති සහ කොළඹ නාගරික කොමසාරිස් හැකි ඉක්මණින් බෝලය පාස්කරලා කිව්වේ අනුමත සැලසුමෙන් පිට ගොඩනැගිල්ල ඉදිකරපු එක අනතුරට හේතුවයි කියලා. ගමක හද්ද කැලෑවේ ඉඩමක අනවසර තාප්පයක් බැන්ඳත් අදාල පළාත් පාලන ආයතනයේ ටී.ඕ(තාක්ෂණික නිලධාරී) ඇවිත් තහනම් කරන රටේ කොළඹ නගරය ආසන්නයේ තඩි බිල්ඩිමක් අනුමත සැලසුමෙන් පිට හැදුවේ නිකම්ම නෙවෙයි කියන එක ඕන ගොනෙක් දන්නවා. දැන් මෙතන මේ බිල්ඩිම විතරක් නෙවෙයි කොළඹ තියන බොහොම තට්ටු ගොඩනැගිලිවල ඉදිකිරීම් සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් සහ අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වෙලා තියනවා. ඒක නිසා අනෙක් ගොඩනැගිලිවලත් තත්ත්වය පරික්ෂාකරලා බලන එක නුවණට හුරුයි.


දැන් මේ සිද්ධියට වැරදිකාරයා විදිහට ගොඩනැගිල්ලේ අයිතිකාරයා අත්අඩංගුවට අරගෙන බන්ධනාගාරයට යවලා තියනවා. ඒකේ ගැටළුවක් නෑ, මේ වගේ බරපතල සිද්ධියක් සිද්ධවෙලා තියෙද්දේ හිමිකරුවා විතරක් නෙවෙයි ඉදිකිරීම් කරපු සමාගම, ඉංජිනේරුවන්ට පවා නිසි පරීක්ෂණ පවත්වලා දඬුවම් දෙන්න ඕන. ඒක ගැන කිසිම තර්කයක් නෑ. ඒත් හරියටම සිංහල අවුරුද්ද දවසේ ජීවිත විශාල ගණනක් සහ දේපල මිලකල නොහැකි තරමට විනාශ කරපු මීතොටමුල්ල කුණුකන්දේ ඛේදවාචකයකට මේ වෙනකොට හිරේ ඉන්නේ කවුද? නඩු දාලා තියෙන්නේ කාටද? උත්තර "කිසිවෙක් නැත" යනුවෙන්ය. එහෙනම් කුණු කන්ද ඉබේ හැදිලා ඉබේම කඩාගෙන වැටුණ එකක්ද? ඔන්න ඕක තමයි මේ රටේ තියන ජරාජීර්ණ සිස්ටම් එකේ කුණුගඳ ගහන පණුවෝ හැලෙන ක්‍රියාවලිය.

පොඩි මිනිහෙක් වරදක් කලොත් සියලුම දඬුවම් අඩු නැතිව ලැබෙන එක අනිවාර්යයි. සල්ලි,දේශපාලන බලය, තනතුරු, බලවතුන්ගේ ඥාතීන්වීම කියන සාධක නැත්නම් මේ රටේ ඕනම මිනිහෙක්ට පොඩි වරදකටත් ලොකු දඬුවම් ලැබෙනවා. ඒත් ලොකු ලොක්කන් මොනවා කලත් කිසිම දඬුවමක් නෑ. හරිනම් මීතොටමුල්ලේ සිද්ධිය සිදුවුණාට පස්සේ අදාල වගකිවයුත්තන් තනතුරුවලින් පවා ඉවත්වෙන්න ඕන. ඒත් මේක කාලකණ්ණි සිස්ටම් එකක් තියන රටක්, පරාද වෙලත් තනතුර දාලා යන්න බැරි, ගියත් තියන දේවල් අතුගාගෙන යන එවුන් සිටිනා රටක කලින් කී මහත්මා ගතිගුණ ජීවිතයට බලාපොරොත්තු විය නොහැකිය. තවමත් මීතොටමුල්ලේ කුණුකන්දෙන් සිදුවුනු ව්‍යසනයට වගකිවයුත්තෙක් නැත, පිළියමක්ද නැත. එසේනම් වැරදිකරුවන් විය යුත්තේ මියගිය මිනිස්සුන්ද? මෙවැනි කාලකණ්ණි අධම සිස්ටම් එකක් සහ ඒ සිස්ටම් එක පාලනය කරන නින්දිතයන් පෝෂණය කරන අපට ගැසිය යුත්තේ මඩුවලිගයෙන් නොව, ඊටත් වඩා එකකින්ය.


1 comment: