Aug 10, 2017

අපේ මන්ත්‍රීතුමාගේ සුන්වූ බලාපොරොත්තුව - ආත්මීය සටහන් 02


ඒ දවස්වල එක දවසක් ඉස්කෝලේ ගිහින් එනවා කියන්නේ සෑහෙන්න ලොකු ව්‍යාපෘතියක්. ඒ දවස්වල කිව්වේ ඉස්කෝලේ පහ වසරෙදි විතර. උදේ 6 ට වත් අඩුම ගානේ නැගිටින්න ඕන. ගෙදරට පහළින් තියන ළිඳ ලඟට යන්න ඕන, බඹ 11 ක් විතර ගැඹුර ලිඳෙන් වතුර ඇදලා රෑ නින්දේ මලවිකාර ටික හෝදලා දාන්න ඕන. පස්සේ හරකා මස්කඩේට දක්කන්න කලින් ඇඳුම් එහෙමත් අන්ඳවනවා වගේ නිල්පාට කලිසං කොටේ එක්ක සුදුපාට ෂර්ට් එක අඳින්න ඕන. සපත්තුනම් දානේ අපිට ඕන දවසට. ඒකට අභිමතානුසාරී බලය ඉස්කෝලෙන් අපිට පවරලා තිබුණා ඒකමතිකවම. ඔහොම ඇඳගෙන කන්න දෙන දෙයක් එහෙමත් ඔතාගෙන බෑග් මල්ලට දාගෙන හපුතලේ යනවා වගේ වැනි වැනි ගෙදර ඉඳන් මීටර් පන්සීයක් විතර දුරින් තියන පොඩි ඉස්කෝලෙට යන්න ඕන. සීමන් සීයලගේ වෙරළු ගහ, හන්ඳියේම තියන ගුළු ගහ, හන්දියට එහායින් තියන පෙට්ටි අඹගහ, ඊටත් එහායින් තියන බට් අඹගහ ඉස්කෝලෙට පොඩ්ඩක් මෙහාට වෙන්න පාර අයිනේ තියන කාබරංකා ගහ වගේ ස්ථාන ගණනාවක් පහුකරලා හවස මුණගැහෙන්නම් කියලා යන එක ලේසි පහසු වැඩක් නෙවෙයි.

ඔය හැමදේටම වඩා ඒ දවස්වල අමාරුම වැඩක් තිබුණා. හරියටම ඉස්කෝලේ වැට මායිමට මෙහා පැත්තේ තිබුණ කඩකාමර දෙකෙන් වම් පැත්තේ කඩකාමරේ තිබුණේ බාබර් සාප්පුවක් (දැන් නම් සැලූ....න්) දකුණු පැත්තේ කඩේ තිබුණේ ටේලර් සාප්පුවක්. ඔන්න ඔය ටේලර් සාප්පුවේ හිටියා මහ අලුගුත්තේරු කොල්ලෙක්. උගේ නම තමයි සම්පත්. අපේ තාත්තාගේ හිත මිත්‍රයෙක්ගේ පුතෙක් වෙච්ච මේ සම්පතා උදේ 7 ට විතර ටේලර් සාප්පු ඇරලා කටබලියං ඉන්නේ මම ඔතන ඉස්සරහින් ඉස්කෝලෙට යනකන්. මගේ අවාසනාවකටදෝ මන්දා ප්‍රධාන පාරෙන් යනවා ඇරෙන්න වෙන විකල්ප පාරක්වත් තිබ්බේ නෑ. ඔය සම්පතා ටේලර් කෙනෙක් වුණාට මොකද ඕකට තිබ්බේ මහා එපාකරපු කටක්. හැමදාම මම උදේ බැරි බැරි ගානේ ශිෂ්‍යත්වේ කාලේ ඉස්කෝලේ යද්දි මේ යකා කඩේ ඉඳන් කියනවා ගමටම ඇහෙන්න.


"අහා..අපේ මන්ත්‍රීතුමාගේ සුන්වූ බලාපොරොත්තුව.. ශිෂ්‍යත්වේ ඉතිං කොට උඩ තමයි..නරකද තාත්තා වගේම ඡන්දෙකටවත් බැස්සනම්.."

තාත්තලාගේ දේශපාලනෙයි මගේ අධ්‍යාපනෙයි පටලවලා මූ කියන මේ නොසන්ඩාල කතාවට අතේ කරේ තියන දේකින් දමලා ගහන්න තරමට තරහයි. ඒත් මොකුත් නොකිය දත් මිටිකාගෙන පහුකරගෙන යන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා. පාන්දරට සම්පතා ඔහොම කිව්ව දවසට දවසම දුවන්නේ මළ යකා එක්ක. ඔය මළ යකා ගැන මීට කලිනුත් ලියලා ඇති. ඔය විදිහට දවස ගෙවෙද්දි ඉස්කෝලේ සිද්ධ වෙන පොඩි පොඩි ඒවට පවා රණ්ඩු හදාගත්ත. ඒත් ඉතින් මම රණ්ඩු වෙන අනිත් එවුන් දන්නේ නෑනේ උදේ පාන්දර මුස්පේත්තු ගොබිලෙක්ගේ කටකැඩෙන කතාවකටයි මම මේ යකා නැගලා ඉන්නේ කියලා.

එහෙම දවසට ගෙදර ගියාම ගෙදර අම්මටත් තාත්තටයි නඩු කෝටියයි. සමහර දවසට තාත්තට කියනවා පුළුවන්නම් සම්පතාගේ ටේලර් සාප්පුව කුඩු කරලා දාන්න කියලා දේශපාලන බලය පාවිච්චි කරලා. තාත්තා ඒ වෙලාවට හයියෙන් හිනාවෙලා නිකන් ඉන්නවා. වැඩේ කියන්නේ මම තනියම යන දවසට විතරක් නෙවෙයි අම්මා එක්ක ඔය සම්පතාගේ ටේලර් සාප්පුව ලඟින් යන දවසට පවා මට අනම් මනං කියන එක තරම් ඉවසගන්න බැරි දෙයක් නෑ. ඒ වෙලාවට තවත් යකා නගින්නේ ඌ කියන දේවල් අහලා අපේ අම්මත් කොක් හඬ දාලා හිනාවෙලා යන එකයි. 

"ආ..දැන් ඉතින් ඔය සිස්සත්වෙට මහන්සිවුණා කියලා වැඩක් නෑ..ඔය අපරාදේ නිකන් සෙල්ලං කරන්න තියන කාලේ..."

මානසිකව වැටිලා තුවාල වෙන මට්ටමේ ප්‍රකාශ රාශියක් එක්ක අන්තිමට ඒ අවුරුද්දේ අගෝස්තුවේ මම ශිෂ්‍යත්වෙට වාඩි වුණා. ඊට පස්සේ නිවාඩුව නිසා සම්පතාගේ මුස්පේත්තු කතා අහන්න වුනේ නෑ. ඔහොම ගිහින් ටික දවසකින් ශිෂ්‍යත්වේ ප්‍රතිඵල ආවා. 

"අඩේ...මම ගොඩ මම ගොඩ...."

කොහොම හරි කොළු පැටියා පොඩි ඉස්කෝලේ වාර්තාගත ලකුණු ගාණක් අරන් ශිෂ්‍යත්වේ පාස්වුණා. ඒකත් එක්කම ලොකු ඉස්කෝලෙට ඇතුල්වෙන්න තිබුණු අභාග්‍යසම්පන්න අවස්ථාව පැත්තකට දාලා ටවුන් එකේ ඉස්කෝලෙකට යන්න තිබුණ ආසාව ඉෂ්ට කරගන්නත් පුළුවන් වුනා. කොහොමහරි මගේ ලකුණු ප්‍රමාණය දවසකින් දෙකකින් විතර ගමපුරා ප්‍රසිද්ධ මාතෘකාවක් වෙද්දි ඊට පස්සේ දවසේ මම පොර වගේ යනවා සම්පතාගේ ටේලර් සාප්පු ඉස්සරහින්..මම දැක්කා විතරයි ඇස් දෙක ටොම්බා සයිස් කරන් සම්පතා මගේ දිහා බැලුමා. මමත් නිකන් පොරට පෙන්නම විසිල් පාරකුත් දාගෙන යනවා නිකන් "දැක්කනේ මල්ලි මගේ වැඩ.." කියලා කියන්න වගේ. මෙන්න සම්පතා වැඩේ පැත්තක තියලා එළියට ආවා.

"මට ආරංචි වුණා ශිෂ්‍යත්වේ පාස් කියලා..."
සම්පතා හිනාවෙලා කිව්වා. මමත් නිකන් ඩෝන්ට් කෙයාර් වගේ ඉඳන් කිව්වා

"ඔව් පාස් තමයි.." කියලා

එතකොට සම්පතා කිව්වා.

"බොහොම සතුටුයි ඒක ගැන..හැබැයි මතක තියාගනින් කොල්ලෝ හැමදාම මෙතනින් යද්දි මම මැඩෙව්ව නිසා තව දශමයක් හරි වැඩිපුර පාඩම් කරන්න ඇති මාත් එක්ක ඇරියස් එකට හරි...අන්න ඒක තමයි මටත් ඕන වුනේ කියලා.."

එහෙම කියලා ගිහින් සම්පතා පාඩුවේ වැඩ කරන්න පටන් ගත්තේ හිනාවක් දාලා රේඩියෝ එකේ ගියපු සින්දුවත් වැඩි කරගෙනමයි.

"ගංගා දිය ඇළි ගලා - යන ලෙස ඉදිරිය බලා - බාධක හැම බිඳ හෙලා - යමු යමු පෙරමුණ බලා"
පුන්සිරි එහෙම රේඩියෝ එකේ කියද්දි මම සම්පතා ගැන කල්පනා කරමින් ඉස්කෝලේ පැත්තට ගියා.

(ජනා - 2017.08.10)


5 comments:

  1. නියමනේ ඔය වගේ තමයි දෙන්න ඕනේ .

    ReplyDelete
  2. බලාගෙන ගියාම සම්පතත් අමුතු ඩෑල් එකක්.

    ReplyDelete
    Replies
    1. Praසන්ன ඔයාගේ කන් දෙකයි පොල් නහය මිරිකන්න හිතෙනවා

      Delete
    2. Praසන්ன ඔයාගේ කන් දෙකයි පොල් නහය මිරිකන්න හිතෙනවා

      Delete