‘ඒයි.. මේ බලන්නකෝ අනේ කව්ද ඇවිල්ලා ඉන්නේ කියලා..’
පත්තරේ බලන්න ගත්ත ගමන් කුස්සිය පැත්තෙන් ඇහුණු නෝනාගේ කෑගැහිල්ල එක්ක උඩ ගියපු මම පත්තරේ නවලා පුටුව උඩින් තියලා අඩියට දෙකට කුස්සිය පැත්තට ගියා. ඒ කෑගහපු කෑගැහිල්ලෙ හැටියටනම්ම දියසෙන් කුමාරයා කුස්සිය පැත්තෙන් මතුවෙලා වෙන්නත් බැරි නෑ කියලා මට නිකමට හිතුනා.
‘මේ බලන්නකෝ අනේ...’
කුස්සියේ පුටුව උඩට වෙලා හතිදදා ඉන්න පූසා ව දැක්කේ එතකොටයි. මාස ගණනාවක් තිස්සේ අතුරුදහන් වෙලා හිටපු පූසා හදිස්සියෙම කුස්සියට දුවගෙන එනවා දැකපු නෝනා සන්තෝසේ වැඩිකමට හාල් මැස්සෝ හොද්දට ලුණු කුඩු බෝතලේම ඒ වෙද්දිත් දාලා ඉවරයි. අතුරුදහන් ලයිස්තුවට දාලා ආයේ එන එකක් නෑ කියලා හිත හදාගෙන හිටපු පූසා ආයෙත් ඇවිත් ඉන්නවා දැක්කම හිතට සෑහෙන්න සතුටක් දැනුනා. කිළුටු වෙලා ඒ මදිවට ඇදිලා ගිහිල්ලා හිටපු පූසා සෑහෙන්න දුෂ්කර මාස කීපයක් ගතකරලා කියලා තේරුණා.








