Jul 30, 2010

බස්සා


නුඹ කොහි සිටින වග නොදන්නා මුත්
නුබ කොහේ හෝ සිටිනා වග දනිමි
එසේම ඔවුන් ඔබ සොයන වගද දනිමි
අසුවුනොත් නුබට වෙන දේ ද දනිමි
නුඹ එය කළේදැයි යන්න පමණක්
හරියටම නොදනිමි..

රටට සම්පත් වන්නට සිටි නුබ වැන්නවුන්
මෙමගට යොමුකළේ කව්දැයි
සොයා ගන්නට හැකිනම්
කියාදෙනු හැකිය
නුඹට කල දෙය තවත් කරනු නොහැකි වග

සැගවී සිටියොත් නොහැකිවෙයි නුඹට
ඇත්ත ඇත්තමද බොරුවද
වග

Jul 29, 2010

ආදර හිරු 1 [සඳරාණි ප්‍රියලංකා සුදුසිංහ]


හරිම අහිංසක ප්‍රර්ථනාවන් දෙක තුනක් හිත ඇතුලේ තියාගෙන සරසවියට ගියපු මට මගේ ලෝකෙට ඉරක් වගේ ඔය හිත වැඩිය දවස මට අද වගේ මතකයි.

එක දවසක් මම පරිගණකයේ තිබුන කවියක් දැක්කා. ඒ කවියේ අග තිබුන දුරකථන අංකයට මම කතා කළා. එයාම තමයි මට ඔයාව අදුන්නලා දුන්නේ මේ ඔයාලගේ ගමේ කෙනෙක් කියල.කතා කරලා බලද්දී අපේ අල්ලපු ඉස්කෝලේ තමයි ඔයත් ඉදලා තියෙන්නේ. හුඟකාලයක් ඉඳන් දන්න කෙනෙක් වගේ හිතට ලෙන්ගතු කමක් දැනුන. ආයෙමත් කතාකරන්න ඇත්නම් කියල හිතුනා. කවදාවත් නොහිතපු දෙයක් මට හරි අහම්බෙන් ඔයාව මුණගැහුනා. ඔයාගේ නමේ තේරුම නිසා මම ඔයාට "ඉර" කියලා නම දැම්මා. එත් කවදාවත් මට හිතුනේ නෑ "ඉර" මේ තරම් දුරක් මගේ හිත දිගේ ඇවිදන් එයි කියලා. හැරෙන්න බැරි තරම් දුරක්.

ඒ දවස අද වගේම දවසක්.පාන්දරම දිගින් දිගට එවන කෙටි පණිවිඩය ලැබුනා.


"ගුඩ් මෝර්නින් සඳ "

සියලු පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ ඔයාගේ සුපුරුදු පැතුම.

සියක් ආයු ලැබ
මගෙත් ආයු ගෙන
මටත් වඩා කල්
ඉර ජීවත් වේවා

මතකද මමත් පැතුවා,
ටික වෙලාවකින් ආයෙමත් පිළිතුරු ආවා.

මෙතේ බුදුන් දැක
ලොවේ උතුම් ලඳ
විශාකාව වේවා ..!

ආදරණීය පැතුම අදත් මට මතකයි, හෙටත් මතක තියේවි ඔයාට හරි ඉක්මනට විශාකාව අමතක උනදා ඒ විවරණය මම තාමත් හිතේ තියාගෙන බලන් ඉන්නවා. ඉරට බුදු සරණයි ..!

Jul 23, 2010

ලොවක් දකින්නට සුන්දරියක්...[ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර ]

පර්දාව මදකට මෑත්කර
නිල්මිණිවන් නෙතු දෑල
විදහා
බලන්න එකවරක්
දෙතොල් පෙති තදකරන්
දැනෙන ලෙස හදවතින්...
ඇස පියවෙන්නට මොහොතකට කලින්
ස්ථීර නිමේෂයක හෝ
සීමා මායිම්
මොහොතකට අවකාශයට
මුදාහැර
බලන්න ලොව දෙස
නොපෙනුන තරමට සුන්දරය
නොදකින තරමට පින්බරය
සුන්දරියේ ඔබට
ඔබ දකින ලොව

Jul 13, 2010

දිවිය මොනතරම් සුන්දර දෝ..දුකම කොයිතරම් සතුටක් දෝ..[ ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර ]





" තවත් මේ හැම දුකක්ම හිතේ තියන් ඉන්න අමාරුයි දුලාන්"
සචිනි දුලාන්ට ලංවෙලා කිව්වේ ගොඩක් කණගාටුවෙන්. දුලාන් හිටියේ නෙත් දෙක බිමට යොමාගෙන.

"මම හිතුවේ නෑ මේක මෙච්චර ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා..සචී..මම එහෙම දැනන් හිටියනම් කවදාවත්
ඔයාට දුකක් දෙන්න ඔයාට ලන්වෙන්නේ නෑ"
දුලාන් කිව්වේ ගොඩක් දුකෙන් වගේ.

" නෑ මගේ රත්තරන් ...ඒක මට දුකක් නෙවෙයි..මට බයයි..මේ සේරම වෙන්නේ මට ඔයා නැතිවෙන්න යන විදියටයි..ඉතින් මම කොහොමද මේවා බලන් ඉන්නේ.."
සචිනි දුලාන්ගේ අතින් අල්ලගත්තා.

"මේකේ ඉවරයක් තියෙන්න ඕන දුලාන්..මට බෑ වෙනකාගේවත් වෙන්න..එත් අපේ ගෙදර ය ඔයාව නැතිකරන්න හොයනවා..මට බෑ ඒක පැත්තකින්වත් ඔයාව නැතිකරගන්න.."

සචිනි කඳුළු වගුරවමින් කිව්වා..දුලාන්ට මහා දුකක් සචිනි ගැන ඇතිවුනා.හැමදාටම මේ රත්තරන් හිතත් එක්ක ජීවත් වෙන්න තිබුනානම් කොච්චර හොඳද කියලා හිතුනා..

"අපි දෙන්නට වෙන්වෙලා ඉන්න බෑ සචී..එහෙම ඉන්න සිද්දවුනොත් අපි දෙන්නට හැමදාටම විඳවන්න වේවි.."
දුලාන් හිතේ තදකරන් හිටපු දුක පිටකරන ගමන් කිව්වා.

දෙන්නා මොහොතක් වැළඳගෙන හිටියා. හිතේ දුක පිටවෙන්න දෙන්නම හොඳට ඇඩුවා.ඒ දුක පිටකරගන්න දෙන්නටම ඕන වෙලා තිබුනා.

"මේ අපි මුණගැහෙන අනිතිම දවසද දුලාන්..අනේ අපිට වෙන්වෙන්න වෙයිද ?"
සචිනි කඳුළු වගුරමින් ඇහුවා.
දුලාන් අයෙත් ඇයගේ අත්දෙකෙන් අල්ලගත්තා .දෙන්නම වෙරළ තීරයේ ඉදන් රේල් පාර දීගේ ආපහු එන්නට ආවා.

දෙන්නා තාමත් අත්දෙක අල්ලගෙනම කෝච්චි පාර දිගේ ඇවිදිමින් ආවා.

"අපි වෙන්වෙන්න හොඳ නෑ..'
සචිනි දුලාන් දිහා බලලා කිව්වා.

"අපි වෙන්වෙන්නේ නෑ.." දුලාන් ස්ථීරවම කිව්වා..

"මේ හැමදේම නැතිවෙන්න දෙන්න බෑ..මේ දුකම අපිට සතුටක් වෙයි..දුලාන්"
සචිනි දුලාන්ගේ ඇත තදින් අල්ලගත්තා. දෙන්නටම ඈතින් 'රුහුණු කුමාරියේ " හූ හඬ ඇහෙන්නට වුනා .
දෙන්නම අත්දෙක තවත් තදකරල අල්ලගත්තා,දුලාන් සචිනිගේ මූණ දිහා බැලුවා.කවදාවත් නොතිබුණු විදියක
ආදරණීය නිර්භීත බවක් ඒ මූනේ තිබුනා. දෙන්නම එක සැරයක් හිනාවුනා.

"රුහුණු කුමාරිය " මේ ආදරණීය හිත්දෙක නවත්තන්න තව තව හය්යෙන් හූ හඬ පිටකලා. එත් මේ හිත්දෙක වෙන්කරන්න කිසිම දෙකට නොහැකි වුනා. දුම්රිය ලංවෙද්දි දෙන්න තදින්ම බදාගත්තා. අයෙත් කවදාවත්ම වෙන්වෙන්නේ නැතිවෙන විදියට. දුලාන් සචිනි වෙන්කරන්න කාටවත් බැරිවුනා..ඒ හිත්දෙක සදහටම
එක්වුණා..හරියටම " දුකම කොයිතරම් සතුටක් දෝ කියන්න වගේ"


සංසාරේ දුර ඈත
යන්නට පෙර හමුවෙමු ආයේ
එක දිනයක..
වෙන්වෙන්නට නොවේ අපි
බැඳුණේ සදාකල්
වෙන්නොවෙමු සසරේ
යලි යලිත් බැඳෙමින් ...

ආදරණීය සචී...



[සත්‍ය සිදුවීමක් ඇසුරෙන්..නම්ගම් මන :කල්පිතයි ]
මේ සංවේදී කතාව ඔබට දැනුනානම්..ඔබේ අදහස අපිට ලියල යන්න..නැත්නම් ඊ මේල් කරන්න wijaindu@hotmail.com

Jul 8, 2010

අරණක සුවය විදින්නට පෙම් කලෙමි...[ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර]

කරදරකාරී ජීවිතයෙන් මදකට හෝ මිදෙන්නට මම කල්පනා කරමින් සිටි දිනක සිහිවුන යන්නට මට එක අරණකට. නාගරික තරගකාරී දිවියෙන් මිදෙන්නට මට මේ අරණ සිහිවුනි. සැමවිටම වාගේ පුරුදු තනියෙන්ම මම අරණට යන්නට ගියෙමි.

එහි සුවපහස විදින්නට මට අවැසිවුනි.ජීවිතයේ හැබෑ සුවය හදුනාගන්නට එය කොතරම් ඉඩකඩක්ද යන්න මට සැනෙකින් අවබෝධ්විය. මම ඒ අරණ පුරා සැරිසරමින් එහි සුවය විදිමින් සිටි අතර මට අරණ බිම පිහිටි ආරාමය තුලට යන්නට සිත්වුනි.

එහි වැඩවිසූ හිමිනමක් සමග මොහොතකට අදහස් හුවමාරු කරගැනීමට මට ඉඩකඩ ලැබිණි. මම මගේ අරමුණ උන්වහන්සේට පැවසු විට උන්වහන්සේ මා හට අගනා උපදෙසක් තේරෙන භාෂාවෙන් ලබාදුනි.

"මහත්තයෝ මේ ජීවිතේ කියන්නේ කරදර ගොඩක්..එකක් ඉවරවෙන්න එකක් විදියට කරදර පෙළගැහිලයි තියෙන්නේ. මේක ඉවරයක් වෙන්නනම් සංසාරෙන් එතෙර වෙන්නම වෙනවා. එකට මාර්ගේ අපේ බුදුහාමුදුරුවෝ අපි හැමෝටම කියලදීල තියෙනවනේ, ඉතින් ඒ මග හරියට ගියොත් මේ කරදරවලින් සදහටම ගැලවෙන්න පුළුවන්.."

මට උන්වහන්සේ කියූ දෙය හොදින් වැටහිණි, මම උන්වහන්සේට මගේ අදහසද පැවසීම වඩා උචිතයි යන්න වැටහිණි.

"හාමුදුරුවනේ සමාජේ හුරුවෙලා ඉන්නේ අස්ථීර දේවල් පස්සේ දුවන්න විතරයි, අපිටත් එහෙම කරන්න වෙලා තියෙනවා. එත් එහෙමගිහින් හතිවැටෙන දවසක් එනවා හරියට අද මට වගේ.."

"එක ඇත්ත මහත්තයෝ..එත් මහත්තයෝ ගොඩක් දෙනෙකුට එහෙම හතිවටෙන්නේ මරණේ දොරකඩටම ආවාමයි..මරණ භය දැනෙනකොට ධර්මේ මතක්වෙනවා..බුදුහාමුදුරුවෝ මතක් වෙනවා.එතකොට දෙයක් කරගන්න කල්මදී.
මොනවා පස්සෙද මහත්තයෝ මේ එලවන්නේ..තමන් මැරෙනකොට මේ කිසිදෙයක් අරන් යන්නේ නෑ..ආරණ්‍යවාසිව ඉන්න අපේ උන්නාන්සේ කෙනෙක් මෙරුනත් මරණයක්..ඔය සමාජේ ලොකු මහත්තයෙක් මැරුණත් මරණයක්..වෙනස තියෙන්නේ අපේ උන්නාන්සේ නමක් අපවත් වෙන්නේ සියලුම කෙලෙස් ඇත ඇරලා..උන්වහන්සේ ළඟ ඉතුරුවෙලා තිබෙන්නේ පාත්තරෙත්, සිව්රුකඩමාල්ලත් විතරයි.උන්වහසේට ඒ දේවල් ගැනවත් කිසිම ලොබයක් නෑ..එත් ජීවිතේ පුරාම සල්ලි විතරක් හම්බකරපු කෙනෙක් මැරුණම මැරෙන්නේ අධික ලොබයක් හිතේ තියාගෙන..බණක් භාවනාවක් නොකරපු නිසා කොයි ලෝකෙක ඉපදෙවිද දන්නෙත්..අන්න එක තමයි දෙන්නගේ වෙනස..

ඉතින් මහත්තයෝ අපිට පුළුවන් විදියකින් ඒ ගමන යනගමන් මහත්තය වගේ මේ සසර කෙලවර කරගන්න කැමති යට අපේ උපකාර කරන්න කැමතියි. මහත්තයට ඉඩක් ලැබෙන ඕනෑම වෙලාවක මෙහෙ එන්න..කිසිම දෙයක් අරන් එන්න එපා..යහපත් සන්සුන් ධර්මයට ලැදි හිත විතරක් අරන් එන්න..මේ අරණේ කිසිම දෙයක් අයෙත් අරන්යන්න එපා..උතුම්ම බුද්ධ ධර්මයත්, හිතේ නිවනත් විතරක් අරන් යන්න.."


ඉතින් මහත්තයෝ අපිට පුළුවන් විදියකින් ඒ ගමන යනගමන් මහත්තය වගේ මේ සසර කෙලවර කරගන්න කැමති යට අපේ උපකාර කරන්න කැමතියි. මහත්තයට ඉඩක් ලැබෙන ඕනෑම වෙලාවක මෙහෙ එන්න..කිසිම දෙයක් අරන් එන්න එපා..යහපත් සන්සුන් ධර්මයට ලැදි හිත විතරක් අරන් එන්න..මේ අරණේ කිසිම දෙයක් අයෙත් අරන්යන්න එපා..උතුම්ම බුද්ධ ධර්මයත්, හිතේ නිවනත් විතරක් අරන් යන්න.."


Jul 7, 2010

ඝාතනය


මම සොයමින් හිස් ලූ ලූ ඇත
දිව ගියෙමි
තියුණු ආයුධයක්ද රැගෙන
ඇය ආයාචනා කරමින් මා පසුපස
උමතුවූ නියා දිවඑමින්
මා වළකන්නට තැත් කළහ...
මා ඈ පසෙකට ඇද දමා
සොයමින් දිව ගියෙමි..
අවසානයේ හමුවිය
මා ඇත රැඳුණු අවිය එසවිණි
ඇයගේ මරලතෝනිය මැද
පහර පිට පහර ඇණ
මරා දැමුවෙමි..
අප සමගින් විසූ
තෙහැවිරිදි ආදරය ....

Jul 5, 2010

නියාස් මව්ලවිතුමනි, ඔබ නැති අඩුව තුන්හෙළයටම තදින් දැනේවි..




" හොඳ මිනිසුන් ජීවත්වන්නේ කෙටි කාලයකි, ඒ කෙටි කාලයේ ඔවුන් ශතවර්ෂ ගණනාවකට වටිනාදේ ලොවට ඉතිරි කර යයි." යන්න අපට පිළිගැනීමට සිදුවන ධර්මතාවයකි.එම ධර්මතාවට අපට දරාගත නොහැකි මට්ටමේ උදාහරණයක් සම්පාදනය කරමින් ඊයේ උදැසන අල්හාජ් මොහොමඩ් නියාස් මව්ලවි තුමන් මෙලොවින් සදහටම සමුගත්හ.දැන් අප සතුව ඉතිරි වී ඇත්තේ එතුමන්ගේ මතකයන් පමණකි.

සිංහල බෞද්ධයන් වන අපි අන්‍යාගමික යතිවරයෙකුට ගරු කිරීම සම්ප්‍රදායකි. එම සම්ප්‍රදායන්ට එහා ගිය සෙනෙහසකින් අපි එතුමන්ට ගරුකළහ.ඒ හා සමානව අපි ගරුකළ තවත් අන්‍යාගමික යතිවරයාණන් වහන්සේ නමක් වීනම් ඒ ගරු මර්සිලින් ජයකොඩි පියතුමාණන් පමණි. අදටත් එතුමන් හදුන්වන්නේ "පන්සලේ පියතුමා" ලෙසිනි. අල්හාජ් මොහොමඩ් නියාස් මව්ලවිතුමන් ගේ දේශනයක් මා මුලින්ම ශ්‍රවනය කලේ ඉස්ලාම් ආගමික දේශනයක් අවස්ථාවේදීය. අනතුරුව " දොරමඩලාව" එතුමන්ගේ අගය වටහාගත්හ.

ආගමික හා ජාතික සහජීවනය උදෙසා එතුමන් තුල තිබුණු උනන්දුව මා කිසිකලක වෙනත් එවැනි යතිවරයානන්වහන්සේ කෙනෙක් වෙතින් නොදැක්කේය. අන්‍යාගම් පිලිබඳ එතුමන් සතුවුණා වූ දැනුම විශ්මයදනවන සුළුය. විශේෂයෙන්ම අප බුදුදහම පිලිබඳ එතුමන්තුල ගැඹුරු අවබෝධයක් විය. "ධම්මපදය' වැනි ද මෙන්ම පාලි සහ සංස්කෘත ගාථා එතුමන්ට කටපාඩම් විය. එය වනාහි මා අතීතයේ කිසිදු ඉස්ලාමීය යතිවරයාණන් කෙනෙක් වෙතින් නුදුටු මට්ටමේ දැනුමකි. මම එවැනි මට්ටමේ තත්වයක් අනාගතයේ එවැනි යතිවරයෙකු තුලින් දකින්නට අපේක්ස්හාද නොකරමි, ඒ මන්දයත් එතුමන් වන්නෙක් තවත් නොවන බැවිනි

කාතන්කුඩි මුස්ලිම් සංහාරයෙන් ත්‍රස්තවාදය පවතින්නේ සිංහලයන්ට විරුද්ධව පමණක් නොවන බව පෙන්වීමට පෙර පටන්ම මව්ලවි තුමන් ත්‍රස්තවාදය මුලිනුපුටා දමියයුතුය යන ස්ථාවරයේ සිටියහ. එතුමන් ත්‍රස්තවාදයට එරෙහිව ධර්ම අවි අමෝරා සිටියහ. එදා ත්‍රස්තවාදය අවසන්කර සේනාධිනායකයානන් ලක්පොලව සිපගත් මොහොතේ මව්ලවිතුමන් කදුළු වගුරවමින් "සිංහල ඉතිහාසපොතේ " ගීතය ගායනා කළහ. එම සිද්ධිය සිහිවන හැම මොහොතකම මෙන්ම අදද මගේ සිතට මහා කම්පාවක් දැනේ. ඒ මන්දයත් එතුමන් වැනිවූ උතුමා නායකයෙක් අනාගත පරපුර වෙනුවෙන්ද සිටියයුතුව තිබුන බැවිනි. අවාසනාවකට මේ සසර දුකින් කෙටි විවේකයක් ගැනීමට එතුමන්ට සිදුවිය.

ජනපති තුමන් සැම ආගමකටම එකලෙස සලකමින් දියත් කරන ධාර්මික සමාජ වැඩපිළිවලට එතුමන් දැඩි වෙහෙසක් දැරීය. ආගමික උපදේශක වරයෙක් වශයෙන් ඉස්ලාම් ආගම පමණක් නොව සියලුම ආගම් වෙනුවෙන් කැපවුණු එතුමන්ගේ වැඩපිළිවෙල දැකීමට මම පින්කර ඇතුවා නිසැකය. නියාස් මව්ලවි තුමන්ගේ වාග් විලාශයට අපි සැමදා ආදරය කළෙමු. එතුමන් සිටින වියත් මඩුල්ලක්තුල කිසිදු අඩුවක්නම් නොවිය. පසුගිය දිනක ජනපතිතුමන්ගේ ආරාධනාවකට අනුව අරලියගහ මැදුරේ පෝදා ධර්ම දේශනාවකටද නිරහංකාර සිතින් සහභාගීවී සැදැහැවත් බෞද්දයෙක් මෙන් එකත්පස්ව ධර්ම ශ්‍රවනය කළහ.
අප මව්ලවිතුමන්ට ගරුකරන්නේ එතුමන් මේ රටේ උන්නතිය වෙනුවෙන් සැබෑ ජාතිකවාදියෙක් ලෙසින් නොබියව කටයුතුකළ නිස්සවෙනි. එවන්වූ උතුමෙක්ගේ අඩුව තුන්හෙළයටම දරුණුලෙස දැනෙනු ඇත.

මව්ලවිතුමනට එතුමන්ගේ ආගම අනුව හිමි අල්ලා දෙවියන්වහන්සේ සමීපයට යන්නට ලැබේවායි මුළුමහත් ඉස්ලාම් භක්තිකයන් ප්‍රර්ථනා කරනු ඇත. අප ලගින් සිටි කෙනෙකු අහිමි ලෙසින් දුක දැනෙන්නා වූ මේ මොහොතේ බෞද්ධයන් වන අපගේ පැතුම වන්නේ,

මේ රටේ ජනතාව වෙනුවෙන් හදවතින් ඇප කැපවී ක්‍රියාකළ අල්හාජ් මොහොමඩ් මව්ලවිතුමනි ඔබට අජරාමර නිවන්සුව !


Jul 1, 2010

බුද්ධ රතනං....ධම්ම රතනං

අපේ ලොව්තුරා ශාන්තිනායක බුදුරජානන්වහන්සේ පරිනිර්වාණයට ආසන්න මොහොතේ කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ සල් උයනේ සැතපී ඉන්නවා. උන්වහන්සේගේ ශ්‍රාවකයන් වන ගිහි පැවදි දහස් ගණනක් පිරිවර මේ සන්වේදිදායක දසුන බලන් ඉන්නේ බොහොම කම්පාවෙන්.හැමදෙනාටම නිවනට යන්නට මග කියලා දීපු මහාකාරුණිකයන් වහන්සේ තමන්ගේ පිරිවර හැරදමා නිවනට යන්නටයි සූදානම. එත් උන්වහන්සේගේ නිර්මල දහම ශ්‍රාවකයන් අතරට හොදින් ස්ථාපනය කරලයි උන්වහන්සේ මේ ගමන යන්න සූදානම් වෙන්නේ.

කෙමෙන් කෙමෙන් කාලය ගතවුණා. ලොව්තුරා බුදුන්වහන්සේගේ පරිනිර්වාණය වනතෙක්ම ආනන්ද මහා තෙරුන් වහන්සේ අරහත් භාවයට පත්වී සිටියේ නෑ. ආනන්ද තෙරුන් ඒ මොහොතේ බුදුහාමුදුරුවන් සමීපයටම වී සිටිය. එත් බුදුරදුන්ට මේ කිසිවක් දැනුනේ නේ. ආනන්ද තෙරුන්ට තිබුණු ලොකුම ගැටලුව තමන්ගේ රහත් භාවය පිළිබඳව නොවෙයි. ආනන්ද තෙරුන් කල්පනා කල බුදුන්වහන්සේ වැඩසිටිනා කාලය තුල ධර්මය හා විනය පිලිබඳ ගැටළු වලට උන්වහන්සේ ධර්මයෙන්ම අගනා පිළිතුරු ලබාදුන්සේක. නමුත් උන්වහන්සේ පිරිනිවනට සැරසෙයි.

ආනන්ද තෙරුන් සම්මා සම්බුදුන් අසලට වැඩි සේක. උන්වහන්සේ බුදුරදුන අමතා කතා කළහ." බුදුරජානන් වහන්ස, ඔබ වහන්සේ පිරිනිවන් පෑ පසු අප ලෝකයාගේ ධර්ම හා විනය ගැටළු සඳහා කෙසේ පිළිතුරු ලැබෙයිද ? ඔබ වහන්සේ සමතැන්හි තැබීමට සුදුසු කෙනෙක් නැත්තාහ එසේනම් මින් ඉදිරියට අපේ සාසනයට ඔබවහන්සේ වන්නෙක් කොහින්ද?

මහාකාරුණිකයන් ආනන්ද තෙරුන්ගේ ගැටලුව මැනවින් වටහාගත් සේක. උන්වහන්සේ ආනන්ද තෙරුන් අමතා මෙසේ දේශනා කළහ.
"ආනන්ද මා හා සමතැන්හි තැබීමට කෙනෙක් ඇත..එනම් මා විසින් දේශනා කරන ලද්දාවූ ශ්‍රී සද්ධර්මය හා විනය දේශනාවන්ය..එබැවින් නොතැවෙන්න ආනාන්දයනි මා වැඩසිටි සමයෙහි මෙන්ම ..මා නැති කලද ධර්ම හෝ වේවා විනය හෝ වේවා ගැටළුවක් පවතීනම් එය මා දේශනාකළ ධර්මය අසුරුකරන් විසදීමට හැකිවනු ඇත..ඒ සද්ධර්මය තරම් මා සමතැන්හි තැබීමට වෙනකිසිවක් සුදුසු නොවෙති..එබැවින් එම ධර්මය මනාකොට පිළිපදින්න.."