Aug 13, 2011

හමුවුණා...අනේ හමුවුණා...6 වැනි කොටස

1 කොටස 2 කොටස 3 කොටස 4 කොටස 5 කොටස

*****************************************************

 මේ සදීප අයියද කියලා අහපු කටහඩින්ම වගේම ඒ අහපු විදියෙන්ම තීරණය කලා මේනම් ඉරූම තමයි කියලා. මොකද මේ වෙනකොට ඉරූ මගේ ලේ නහර වලට ඇතුල්වෙලා ඉවර නිසා.
 
...ඔව් මම සදීප තමයි කව්ද මේ?...

නොදන්න ගාණට ඇහුවා. කෙල්ල ටිකක් ලැජ්ජාවෙන් වගේ ගොතත් ගැහුණා. අනේ ඉතින් මේ අවස්ථාව එනකං කොච්චර බලං හිටියද මම.

...මම මේ ඉරුදිකා කියලා කෙනෙක්...අයියා ම‍ට නම්බර් එක දුන්නේ පොඩි උදව්වක් ඉල්ලලා...අර ෆ්ලොරන්ස් එකේදි...

කෙල්ල යාං හෑල්ලක් කියාගෙන ගියේ මට එයාව මතක නෑ කියලා හිතාගෙන වෙන්න ඇති. එහෙම අමතක කරන්නේ කොහොමද මගේ ජීවිතේම අරං ගියපු ඔයාව.

...ඔච්චර විස්තර කියන්න ඕන නෑ කෙල්ලේ...මම ඔයාව අදුනගත්තා...

මම කියපු විදිය දයාබර වැඩිද මංදා කෙල්ල ටිකවෙලාවකට ගොලුවුණා. මට මුලින් කලබල වැඩිවුණාවත්ද කියලා හිතුණට පස්සේ හිතුනා කමක් නෑ ඒක තමයි කෙල්ලට මං ආදරෙයි කියලා අගවන්න ගත්තු පලවෙනි ප්‍රවේශය කියලා. නිහඩතාවය මගඇරලා ඉරූ කතාකරා.

...අයියේ මම කතාකලේ අර අයියා කියපු පණිවිඩේට..

..ඔව් නංගා කියන්න...

නංගා කියපු පාර කෙල්ල ආයෙත් ගොළුවුනා. මගේ කටත් ඉතිං අයියෝ ‍සීමාවක් නෑනේ.

...අයියා අපේ පැත්තේ නංගි කෙනෙක් ඉන්නවා..එයා ඒ ලෙවල් කරලා ගෙදර  ඉන්නේ...ගවර්මන්ට එකෙන් කරන කම්පියුටර් කෝස් එකකුත් කරලා තියනවා..එයාව හරියයිද අයියා..

කෙල්ල මගේ වැඩේ ගැන කොච්චරනම් උනන්දුද කියලා මට තේරුණා. ඇත්තටම මම හිතුවටත් වැඩිය කෙල්ල මේ වැඩේට මහන්සිවෙලා තියනවා.

..හරියයි වගේ නංගි..මම මගේ යාළුවට කියන්නම්...අනේ ගොඩක් පින් නංගා ඔයාට...ඒ උදව්වට..

...මට නෙවෙයි පින් දෙන්න ඕන අයියා..ඒ කෙල්ලට රස්සාවක් දෙන අයියටයි අයියගේ යාළුවටයි...ඒ කෙල්ල ගොඩක් දුප්පත් පවුලක කෙල්ලෙක්..තාත්තා ගහෙන් වැටිලා එකතැන..අම්මයි ඒ නංගියි ජීවත්වෙන්නේ බත්පැකට් හදලා..ලොකු පිනක් අයියා..අපේ ගෙවල් ලගමයි..අපිත් පුළුවන් විදියට උදව් කරනවා..මේක කරන්න පුළුවන් නම් මහමෙරක් වගේ වෙයි ඒ නංගිට...

ඉරූ කියාගෙන ගියපු වචන ටික මම අහන් හිටියේ හීනෙන් වගේ. කොච්චර සංවේදී කෙල්ලෙක්ද. සමහර කෙල්ලෝ තමන්ගෙම කෙල්ලෝ තඹ සතේකට ගණන් ගන්නේ නැති කාලේ ඇත්තටම ඉරූ අදහන්න වටින කෙල්ලෙක්. ඉරූ මගේ හිතේ හිටපු හීන කුමරිගේ ලක්ෂණ එක එක පෙන්නනවා කියලා දැනුනම හිත‍ගොඩක් ප්‍රීතිමත් වුණා.

..හොදයි නංගා...අපි කොහොම හරි ඒක කරමු...එයාට කියන්න මට කෝල් එකක් දෙන්න කියලා...මම නිසල්ට එයාව කන්ටෑක් කරන්නම්...

අපි කරමු..කියන වචන ටික ඇහුණම කෙල්ලට හිනාවකුත් ගියා.

...ගොඩක් ස්තූතියි අයියේ..එහෙනම් මම තියන්නම්...

හිත කඩාගෙන වැටුණා...අනේ අනේ..තව චුට්ටක් ඉන්න කියලා කියන්න හිතුණා. ඒත් සංවර වුණේ නැත්නම් දෙවනි අවස්ථාව නැතිවෙයි කියන බයට කටව‍හගෙන හිටියා.

...හොදයි නංගා...මේ ඔයාගේ නම්බර් එකද?..මම මේක සේව් කරගන්නද?

මම අහපු විදියට කෙල්ල නිරුත්තර වුණා. ඒත් මගේ ලෙංගතුකම ඉස්සරහි කෙල්ලට පිටුපාන්න බැරිවුණා.

...හා කමක් නෑ අයියා...බුදු සරණයි

තියන්න කලින් හිත පාරවගෙන තිබුණු ප්‍රශ්නෙ ඇහුණේ ඉබේටම වගේ

..නංගා එදා කොහේද ෆ්ලොරන්ස් එකේ ඉදලා හදිස්සියෙම දිව්වේ...කව්රුවත් තර්ජනයක්වත් කලාද?

මම විහිලුවට වගේ හිතේ තිබුණු ප්‍රශ්නෙ ඇහුවා. කෙල්ලට ලස්සන හිනාවක් ගියා.

..ඒකත් එක්තරා තර්ජනයක් තමයි අයියේ..එදා මම අපේ අයියට එනවා කියලා මග ඉන්න කිව්වා..එයා පරක්කුවෙලා නිසා කෝල් කලේ...

පපුවේ ඇණිලා තිබුණු ගල් ඉන්නක් අයින්වුණා වගේ හිතට මහා නිදහසක් දැනුනා. එහෙනම් ඒ ඉරූගේ කොල්ලා නෙවෙයි අයියා. කව්ද දන්නේ ඕක. මම අපරාදෙ බය වුනේ. එහෙනම් ඉරූ තාමත් අවේලබල්..

..බුදු සරණයි නංගි...

ටිකකින් දුරකතනය විසන්ධි වුණා. මම ඉරූගේ අංකේ තැන්පත් කරගත්තා. දුරකතනේ වගේම හදවතේ 

****************************************************

ඉරූ කියපු විදියටම අර කියපු නංගි මට කෝල් කලා. එයා දුල්මිණි. හරි අහිංසක කෙල්ලෙක්. තුඩාවේ මිනිස්සු හරි වසයි කිව්වට ඉරූත් හොදයි දුල්මිණිත් හොදයිනේ..ඒක තමයි ඔය පොදුවේ කියන කතා කොච්චර බොරුද කියලා තේරෙන්නේ දැන් තමයි. මාතර මිනිස්සුන්ගේ ගුණාංග පොදු කෝණෙකින් මනින්න බැරිවුණාට එකට ජීවත්වෙද්දි ඒ ගුණාංග හොදින් අදුනගන්න පුළුවන්.

  තවත් ඒ විදියෙම උදාර ගුණයක් ප්‍රදර්ශනය කරමින් කිසිදු සම්මුඛ පරීක්ෂණයක් වගක් විභාගයකින් තොරව දුල්මිණි තමන්ගේ කමිනියුකේෂන් එකේ වැඩට ගන්න නිසල් තීරණය කලා. ඒ මගේ ඉල්ලීම නිසාම විතරක් නෙවෙයි මිනිහට දුල්මිණි ගැන කිව්වම ඇත්තටම හිත උණුවෙලා. දික්වැල්ලෙ කොල්ලන්ට හිතක් තියනවා කියලා දැනගත්තෙත් එදාම තමයි මම.

කොහොමහරි දවසක් අපි දෙන්නා දෙවුන්දර දේවාලේ ඉස්සරහා ඉදිවෙන නිසල්ගේ කමිනියුකේෂන් එක බලන්න ගියා. වැඩ ඉවරවෙන්නත් ලගයි. තමන් ඉහල මට්ටමේ රැකියාවක් කලත් තවත් ආදායම් මාර්ගයක් විදියට මෙහෙම දෙයක් කරන්න යන එක හොද ආදර්ශයක්. අපි දෙන්නම පන්සලටයි දේවාලෙටයි ගිහිල්ලා පඩුරු දැම්මා.

...බුදුන්ගේ සරණින්...දෙයියන්ගේ පිහිටෙන් උඹේ වැඩේ හරියන්න ඕන බං කියලා..මම පඩුරක් දානවා නිසල් කට ඇරන් බලන් හිටයා. 

බලං ඉදලා නිකං හිටියේ නෑ මිනිහත් ගත්ත පඩුරක්.

...බුදුන්ගේ සරණින් ...දෙයියන‍්ගේ පිහිටෙන් තොගේ වැඩෙත් හරියන්න ඕන

කියලා පඩුර දැම්මා. මම කල්පනා කලා මොකක්ද මගේ වැඩේ කියලා.

...මොකක්ද හරකෝ මගේ වැඩේ?...

..ඇයි උඹේ  අර තුඩාවේ කුමාරි...හීන අප්සරාවි..අර ඉරූද සදුද? කව්ද...අන්න එයාගේ හිත මෙව්වා වෙන්න කියලා පඩුර දැම්මේ.
නිසල් බදාගෙන ඉබින්න හිතුනා. මමත් ඒ දේ ගැන පුදබිමට ආපු වෙලාවේ ඉදලා කල්පනා කලා.

...ඔව් බන් ඒකත් මගේ හිතේ තියන ලොකු ප්‍රාර්ථනාවක්. ඒකි මට හැම අතින්ම ගැලපෙනවා..මගේ හිත මල් ආසනයක් වගේ තියන් හිටියේ ඒ මල පූජකරන්නමද කියලා මට හිතෙනවා බං...

හිතේ තිබුණු අවංක හැගීම මම කිව්වා.

...මම ඒකි නොදැක්කට උඹ කියන දේවල් වලින් ඒකි ඇත්තටම හොදයි කියලා මටත් තේරෙනවා බං..keep doing මචං...ඕන දේකට මම ඉන්නවා..

මම නිසල්ගේ කරටත් අතදාගෙන දේවාලේ පුදබිමෙන් එලියට ආවා. හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා. 

******************************************************

ඉරිදා උදේ ටිකක් පහුවෙලා ඇහැරුණේ. ඇහැරෙනකොටම සාලෙ පැත්තෙන් ආවේ ලස්සන ගීතරාවයක්. අක්කා පුටු පෙරලා පෙරලා ගේ අතුගානෙ සද්දේ අතරින් ගීතරාවේ කාමරේටත් ඇතුල් වුණා.

රත්තරන් නෙත් දෙකෙන්
සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල්
නිවන්න රත්තරන්....
ටී.එම් ගේ සින්දුව කොච්චර මගේ හිතට බලපෑමක් කරනවද මේ ටිකේ. ඉරුදිකා ඇවිත් මගේ ජීවිතය ගීතයක් කරන්නයි හදන්නේ. ඇත්තටම ඒක මට ලොකු වෙනසක්. ඒකාකාරී ජීවිතේට ඉරූ එක්කරපු සුන්දරත්වය මට දරාගන්නත් අමාරු තරම්. 

  ඉරූ ඔයාගේ ඇස්දෙකෙන් මගේ හිතේ තියන ලසෝ තැවුල් එක තත්පරේකින් නිවලා දාන්න පුළුවන් සත්තයි. මම දන්නවා ඒක. මගේ හිත සාක්කි ඒකට. මම නොදැනීම ඔයාට ගොඩක් ආදරේ වෙලා ඉරූ.

...චූටි මල්ලී...තේ හදලා...

එකම මල්ලිට චූටි මල්ලි කියලා අපේ අක්කා කියන්නේ හරි ගොඩක් ඉන්නවා වගේනේ. කොහොම හරි දැන් ඇදේ හිටියා ඇති කියලා හිතුන නිසා නැගිටලා ජංගම දුරකතනේ අතට ගත්තා..

  ඉබේම වගේ සම්බන්ධතා ලයිස්තුවේ ඉරූගේ අංකය ලග නතර වුනේ අහම්බෙන් වගේ. මගේ දැගලිලිකාර හිතට හිතුනා ඉරූට කෙටි පණිවුඩයක් යවන්න..

..ගුඩ් මොර්නින් නංගි..ඔයාට සුබ දවසක්...බුදු සරණයි...

පණිවුඩේ යැව්වා. වාර්තාව ආවා ගියපු බව ඉරූගේ ලගටම. මටත් යන්න පුළුවන් නම් එයා ලගට මොහොතකට හරි.

   අක්කාගේ දෙවන විධානේ එන්න කලින් ගිහිං තේක ගත්තා. අම්මා හිනාවේගෙන ලගට ආවා.

...චූටි පුතා..මොකද මේ හෝන්දු මාන්දු වෙලා වගේ..ලෙඩක් වත්ද..

අම්මා ඇහුවා...හ්ම්ම් මට තියන එකම ලෙඩේ දන්නේ මමම තමයි. ඒක හොදකරන්න පුළුවන් දොස්තර කෙනෙක්ට නෙවෙයි එකම එක සුන්දර කෙල්ලෙක්ට.

  ඉරිදා දවසේ අම්මා එක්ක ටිකක් කුස්සියට වෙලා කතාකර කර ඉන්න හිතුණා. අම්මා උදේට උයන අතර තුරේ සතුටු සාමිචියේ යෙදුනේ සතියේ නිවාඩු දවසෙ ගෙදර ඉන්න එකේ සතුට බෙදාගන්න වගේ.

  ටික වෙලාවකින් කාමරේ පැත්තට ගියේ නාන්න යන්න කියලා හිතාගෙන. දුරකතනෙට අත ගියේ නිකම්ම. අලුත් කෙටි පණිවුඩයක්..

...ගුඩ් මෝර්නින් අයියා..ඔයාටත් සුබ දවසක්....බුදු සරණයි..

රත්තරන් පාට වෙලා පෙනුන අකුරුවලට උඩින් ඉරූගේ නම් තිබුණා. ‍‍ෆෝන් එක පපුවට තුරුල් කරන් මම එහෙම්ම ඇදට වැටුණා...




7 comments:

  1. හාහා ඔව්වා ඔහොම තුරුලු කරගන්න හොද නෑ :D
    හිටු මාත් පඩුරක් දාන්න බොගේ වැඩේ හරියන්න කියලා + ඊලග කොටස ඉක්මනට දාන්න කියලා

    ReplyDelete
  2. අන්තිම ටිකේ නම්.. කොල්ලා හෙන බොලදයි.. :D

    ReplyDelete
  3. ලස්සනයි ලස්සනයි. අදත් මේ ඉරූ බලන්න ගියා වගෙයි දැක්කෙ නම්. දැන්නම් ඔයාව මතක් කරත් මතක් වෙන්නෙ මේ ඉරූ නේ. තවත් ලස්සන කොටසක් ඉක්මනටම දාන්න.

    ReplyDelete
  4. අවුරුදු පහ හයකට කලින් මගේ හීන ලෝකෙත් ඔය වගේම තමා... එමමයි කිව්වොත් තමා හරි...!

    ඊළඟ එකත් දාන්නෝ...

    ReplyDelete
  5. හැපි එන්ඩින් එකක් ඈ... අපිත් පඬුරක් දාන්නද.

    ReplyDelete
  6. Wow elazz ayye
    oyage adara katawata happy endig ekakma labenna ona....
    (oya mara sup ekakne matara kellanntai kollantai dila tiyenne apit matar dickwelle tamai)

    ReplyDelete
  7. අහ්හ් කොල්ලා එදා කෑවද මන්දා... වැඩේ නැගල යනවා වගෙයි... දේව්දාස් නුත් නිතර දෙවුන්දර පන්සලට යන එකේ පඬුරක් දාන්නම්...

    දේව්දාස්...

    ReplyDelete